පාර්ලිමේන්තු දූත පිරිසක් නවදිල්ලියේ


ඉන්දියානු පාර්ලිමේන්තුවෙන් (ලෝක් සභාවෙන්) කෙරුණු විශේෂ ඇරයුමක් පරිදි කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් ද ඇතුළත් නියෝජිත පිරිස නවදිල්ලිය බලා පිටත්ව ගියේ පසුගිය සඳුදාය.


ඉන්දිය ජනාධිපති, අගමැති ඇතුළු ප්‍රධානතම චරිත කිහිපයක් සමඟ වැදගත් රාජතාන්ත්‍රික හමුවීම් එක දිගට යෙදී තිබූ බැවින්, ලංකා දූත පිරිස වෙනුවෙන් දිල්ලියේ කවදත් ප්‍රමුඛ විදේශ දූතයන් සඳහා වෙන් කෙරෙන අශොක් හෝටලයේ නවාතැන් පහසුකම් සැලසීමට ඉන්දියානු බලධාරීන් කටයුතු කර තිබිණි.


කතානායක ප්‍රමුඛ දූත පිරිසට විපක්ෂ නායක ආර්. සම්බන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන් යන මහත්වරුන් සහ ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මන්ත්‍රීවරු ද, පාර්ලිමේන්තු මහ ලේකම් දම්මික දසනායක යන අය ද එක් වූ අතර, සඳුදා පෙරවරුවෙහි ඔවුහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවූහ.


එය ඉතා සුහද ගෞරවණීය හමුවක් ලෙසින් සංවිධානය කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් කටයුතු සම්පාදනය කර තිබූ අතර, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරමින් එම සාකච්ඡාව පැවැත්විණි.


විශේෂයෙන්ම ඉන්දියාවේ පවතින ඛණිජ තෙල් මිල අර්බුදය කෙරෙහි රජයේ පුළුල් අවධානයක් යොමුව තිබියදී ශ්‍රී ලංකාවේ දූත පිරිස වෙනුවෙන් හෝරාවකට ආසන්න කාලයක් වෙන් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සාකච්ඡාවට එක්වීම ඉන්දිය මාධ්‍යයන්හි පුළුල් අවධානයට ලක්ව තිබිණි.


දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කළද ශ්‍රී ලාංකික නියෝජිත පිරිස මව්බිමට පොදු වැදගත් කාරණා සම්බන්ධව එකම මතයක සිට අදහස් දැක්වීම පරිණත දේශපාලනඥයකු වූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට හේතු විය.


කරු ජයසූරිය මහතා ඇතුළු පිරිස වෙනුවෙන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කොවින්ද් විශේෂ හමුවක් සඳහා කටයුතු යොදා තිබූ අතර, පිරිස ඉතා සුහදව පිළිගත් ඉන්දිය ජනපති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඉතා සමීප ඓතිහාසික සබඳතා තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සෑම අංශයකින්ම සහාය දීමට ඉන්දියාව කිසිවිටෙක හෝ පසුබට නොවනු ඇති බවද අවධාරණය කළේය.


ලෝක පාර්ලිමේන්තු සංගමයේත්, ලෝක කතානායක සමුළුවේත් ජ්‍යෙෂ්ඨයෙකු වන ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසූරිය මහතා වෙනුවෙන් ඉන්දිය කථානායිකා සුමිත්‍රා මහාජන් මහත්මිය ද ඉහළ පිළිගැනීමක් ලබා දුන් අතර, ඇය ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමුවාය.