පළාත් සභා ඡන්දෙට මොකද වුණේ ?


 

ගෙවීගිය සතියේ දේශපාලන කරළියේ වැඩි අවධානයක් යොමුව තිබුණේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ගැන ය. අලුත් ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමට නම් සීමා නිර්ණ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතුය. නිලකාලය අවසන් වූ පළාත් සභා තුනක ඡන්දය වසරකටත් වැඩි කාලයක් තිස්සේ කල් ගොස් ඇත්තේ ද, මේ අලුත් ඡන්ද ක්‍රමය හේතුවෙනි. ඉදිරියට ද පළාත් සභා ඡන්දය කවදා පැවැත්වේදැයි හරියට කීමට ආණ්ඩුව දන්නේ ද නැත. විපක්ෂය දන්නේ ද නැත. ඒ නිසා මැතිවරණ කොමිසමද දන්නේ නැත. ඒ තරමටම තත්ත්වය සංකීර්ණ වී ඇත්තේ අලුත් ඡන්ද ක්‍රමයට අදාළ සීමා නිර්ණ වාර්තාවට ආණ්ඩුවේම කොටස් පවා එළිපිටම විරෝධය දැක්වීම හේතුවෙනි.


අලුත් ක්‍රමයට ඡන්දය තියනවාද? නැතිනම් පරණ ක්‍රමයටම ඡන්දය තියනවාද එසේත් නැත්නම් ඡන්දය දින නියමයක් නැතිව කල්යනවාද යන්න ඉකුත් සිකුරාදා (24) හැන්දෑව වනවිට තීරණයවීමට නියමිතව තිබිණි. ඒ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ ඡන්දය එදින හැන්දෑවේ ගැනීමට නියමිතව තිබූ බැවිනි.


බම්බලපිටිය වජිරාරාම දහම් පාසලේ සියවස සමරු උත්සවය ගිය ඉරිදා හැන්දෑවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති අැමැතිවරුන්ගේ සහභාගීත්වයෙනි. ජාතික හෙළ උරුමයේද ප්‍රබල භූමිකාවක් නියෝජනය කරන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් තරමක් සැර අනුශාසනාවක් කරමින්, ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ගයන් විවේචනය කළේ ජනාධිපති හා අගමැතිවරයා ද ඉදිරියේ තබාගෙනය. ඉන් එක් චෝදනාවක් වූයේ කොළඹ නගරාධිපතිනියගේ කාමරයේ තිබූ පැරැණි බුද්ධ ප්‍රතිමාවක් ඉන් ඉවත් කර ඇති බවය. සෝභිත හිමියන් අනුශාසනාව කරද්දී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පමණක් නොව කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක ද එහි සිටීම විශේෂත්වයකි. හාමුදුරුවන්ගේ චෝදනාව ගැන ජනාධිපතිවරයා අගමැතිවරයාගේ ද අවධානය යොමු කළ විට, අගමැතිවරයා ද ඒ සම්බන්ධයෙන් වහා සොයා බැලීය. සෝභිත හිමියන්ගේ චෝදනාව අගමැතිවරයා සිය කතාවේදී නිවැරැදි කළේ බුදු පිළිමය අදාළ කාමරයේ තිබෙන බව තහවුරු කරගනිමිනි.


මේ අතර, සෝභිත හිමියන් තවත් චෝදනාවක් කළේ සංහිඳියා කාර්යාලය බුදුදහමට නිගරු වන ලෙස ඇතැම් වචන යොදා ගනිමින් ගුවන් විදුලි නාට්‍ය නිර්මාණය කර ඇති බව කියමිනි. පහුවදා සංහිඳියා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැන්නක් සිදුවී ඇත්නම් කනගාටුව පළකරන බවය.


කැබිනට්ටුවේදී අමරවීර සජිත් මතගැටුමක


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වුණේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. දුම්රිය සේවක වැටුප් ප්‍රශ්නයට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් රැස්වීමට ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටියද එය ඉදිරිපත් වූයේ නැත. අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට අදාළ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා විසින් ප්‍රතිකේෂ්ප කරනු ලැබුවේ දැනට සති දෙකකට පමණ ඉහතදීය. එය ඉවත නොදැමූ බවත්, ඊළඟ සතියේ ගෙනැවිත් අනුමත කරගන්නා බවත් කීවේ ආණ්ඩුවේම ඇමැතිවරුන්ය. එසේ වුවද කලින් සතියේ මෙන්ම පසුගිය සතියේද කැබිනට් මණ්ඩලයට එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොතිබුණු බව වාර්තා විය.


ආණ්ඩුව විසින්ම ගෙනෙන ලද තවත් යෝජනාවක් ගිය කැබිනට් රැස්වීමේදී ඉවත් කෙරිණි. ඒ අවුරුදු 35ට අඩු ත්‍රිරෝද රථ රියැදුරන්ට කුලී ගමන් යාමට පනවා තිබූ තහනමය. මෙම යෝජනාව පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතක් වශයෙනි. අවුරුදු 35ට අඩු ත්‍රීරෝද රථ රියැදුරන්ට කුලී ගමන් තහනම් කිරීම වැරදි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා මාතර දී ප්‍රසිද්ධියේම විවේචනය කර තිබිණි. ඔහු ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබුණේ තරුණයකුට තමන් කැමති රස්සාවක් කිරීමට තිබෙන අයිතිය මෙමගින් උල්ලංඝනය වන බව පවසමිනි. මංගලගේ කතාවට උත්තර දුන්නේ නිමල් සිරිපාලය. ඔහු කීවේ ත්‍රීවිල් රියැදුරන්ගෙන් වන අනතුරු අවම කිරීමත්, තරුණ දායකත්වය ආර්ථිකයට ලබාගැනීමත් අරමුණු කරගනිමින් මෙම යෝජනාව ගෙන ආ බවකි.


නිමල්ගේ යෝජනාවට මහින්ද අමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුද සහාය පළ කරමින් කතා කරන්නට වූහ. දයා ගමගේ, සරත් ෆොන්සේකා ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක් මංගල වෙනුවෙන් පෙනී සිටිමින්, නිමල්ගේ යෝජනාවට විරෝධය පළ කළහ. ‘මේක නිමල් ඇමැතිතුමාගේ හොඳ යෝජනාවක් වුණත්, මේ වේලාවෙ මේක ගෙනඒමෙන්, තරුණයින් අපිත් එක්ක තරහ වෙයි’ කියමින් ජනාධිපතිවරයා මෙම තීරණය නතර කළයුතු බව කීවේය. ඒ අතර ශ්‍රී ලංකාවට ගෙන එන ත්‍රීරෝද රථ සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අඩුකිරීම ගැනද ජනාධිපතිවරයා කීවේය.


හම්බන්තොට, වීරවිල ප්‍රදේශයේ වාණිජ වශයෙන් වැදගත් ඉඩම් උදාගම් සඳහා යැයි කියමින් ගෙවල් හැදීමට ගන්නා බවට මහින්ද අමරවීර ඇමැතිවරයා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට එරෙහිව චෝදනාවක් කළේ ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී ය. එදින සජිත් කැබිනට් රැස්වීමේ නොසිටි නිසා අමරවීරගේ චෝදනාවට පිළිතුරු දෙන්නට නොහැකි විය.


ඒ ප්‍රශ්නය මේ සතියේද කැබිනට්ටුවේ ඇදුණේ සජිත් සහ අමරවීර යන දෙදෙනාම සිටි බැවිනි. අමරවීර කීවේ වීරවිල පිහිටි ගුවන් විදුලි සංස්ථාවට අයත් ඉඩමක් නිවාස හැදීමට සජිත් ඇමැතිවරයා වෙන්කර ගෙන ඇති බවය. තමා දුප්පත් ජනතාවට ගෙවල් හදාදීමට ගෙනයන වැඩපිළිවෙළ නතර කරන්නට සමහරුන් උත්සාහ කරන බවට සජිත් චෝදනා කළේ අමරවීරට ය. ‘මිනිසුන්ට ගෙවල් හදල දෙනවට මම විරුද්ධ නෑ. මම කියන්නෙ මේ වාණිජ වශයෙන් වටිනා ඉඩම් කැබලි කරන එක වැරදියි කියලයි’ අමරවීර කීවේ සජිත්ගේ චෝදනාවට පිළිතුරු දෙමිනි.


මෙතන ප්‍රශ්නය දෙදෙනාම නියෝජනය කරන්නෙ එකම දිස්ත්‍රික්කය වීමය. දෙදෙනා අතර වාදය ඇදි යද්දී, ජනාධිපතිවරයා ඊට මැදිහත් විය. ජනාධිපතිවරයා කීවේ ‘ඔයාලා දෙන්න දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරල තීන්දුවකට එන්න’ කියා ය.


මොරගහකන්දේ ජලය වයඹට ගෙනයන වයඹ ඇළ දෙවන අදියරේ කටයුතු ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ ගිය සිකුරාදාය. ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමද ඊට සමගාමී ව්‍යාපෘතියකි. මේ දෙකම පොල්පිතිගමදී ආරම්භ විය. වයඹ ඇළ ව්‍යාපෘතිය හා ග්‍රාමීය වැව් 2400 ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා ගිය අඟහරුවාදා රාත්‍රියේ කොටුව ජනපති මැදුරේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවිය. ‘‘ඇමෙරිකාවෙන් අපට ළඟදී ආරක්ෂක නැවක් ලැබෙනවා. ජපානයෙනුත් නැව් 2ක් ලැබෙනවා’’ ජනාධිපතිවරයා එහිදී කීවේ ජාත්‍යන්තරයෙන් රජයට ලැබෙන සහයෝගය ඉහළ බව පෙන්වමිනි. තමා මහවැලි හා පරිසර ඇමැතිකම බාරගත් හැටිද ජනාධිපතිවරයා කීවේය. මම ජනාධිපති වුණු ගමන් මට සහාය දුන් සිවිල් සංවිධානවල අය ගෙනත් සාකච්ඡා කළා. ඒ අය මගෙන් ඇහුවා ජනාධිපතිතුමා ඔබතුමා ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව මොන අමාත්‍යාංශය ද බාර ගන්නෙ කියලා. මම දෙපාරක් හිතන්නෙ නැතිව කිව්වෙ මහවැලි හා පරිසර කියලයි. නැත්නම් මට ඛණිජ තෙල්, විදුලිබල, මුදල් වගේ අමාත්‍යාංශ බාර ගන්නවා කියන්න තිබුණා. මම කැමති කරිජ්ජ පාගන්න නෙමෙයි මිරිජ්ජ පාගන්නයි’’ ජනාධිපතිවරයා කීවේ වැව් අමුණු ඇළදොළ ගැන සිය අති සුන්දර අත්දැකීම් සිහිපත් කරමිනි.

 


මැතිවරණ කොමසාරිස්ගෙන් ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට තේ පැන් සංග්‍රහයක්


පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රී පිරිසක් ඉකුත් සිකුරාදා පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවන්නට රාජගිරියේ පිහිටි ඔහුගේ කාර්යාලයට ගියහ.


ඊට මහීපාල හේරත්, කංචන ජයරත්න, එස්. එම්. රංජිත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පී. වී. උපුල් ඇතුළු හිටපු හා දැනට සිටින පළාත් සභා මන්ත්‍රීවරු 100 ක පමණ පිරිසක් සහභාගිවී ඇති අතර ඔවුන් මැතිවරණය ඉල්ලා කාර්යාලය අසල උද්ඝෝෂණයකද යෙදී සිටියහ.


ඒ අවස්ථාවේ එතැනට පැමිණි සභාපතිවරයා මහීපාල, ප්‍රමිත, කංචන ඇතුළු පිරිස සිය කාර්යාලයට කැඳවාගෙන ගියේ උද්ඝෝෂණය නොකර සාකච්ඡාවකට එන ලෙස දන්වමිනි.


එහිදී මැතිවරණය කල් තැබීම ගැන අප්‍රසාදය පළ කළ සභාපතිවරයා ඒකාධිපතිවාදයේ සොහොයුරා නිලධාරිවාදය යැයි කීවේය.


“ඡන්ද කෝ මැකෝ” යයි කියමින් තමා ගැන සමාජ මාධ්‍ය ජාලවල නොයෙක් ප්‍රවෘත්ති පළවන බව කී ඔහු ඡන්ද කෝ මැකෝ යන්නෙහි අකුරු වෙනස්කර ඇතැමුන් තමන්ට තැපැල් පත් පවා එවන බවද කීය. මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සිය අපේක්ෂාව බව ප්‍රකාශ කළ සභාපතිවරයා තේ පැන් සංග්‍රහයක්ද පවත්වා ඔවුන් පිටත්කර යැවීය.