පළාත් සභා ඡන්දෙ තියන්න එජාපය සූදානම්


අගමැතිගේ රැස්වීමට මෝදිගෙන් දුරකථන කතාවක්

සති අන්තයේ අගමැතිවරයා යාපනේ ඇතුළු උතුරේ සංචාරය කළේ ව්‍යාපෘති රැසක් විවෘත කිරීමට හා ආරම්භ කිරීමටය.


එහිදී ඉන්දියානු උපකාර මත දැනට බස්නාහිර හා දකුණු පළාත්වල ක්‍රියාත්මක “සුව සැරිය” නොමිලේ ගිලන් රථ සේවාව උතුරේදී ආරම්භ කිරීම විශේෂත්වය ගත්තේය.


එහිදී ඉන්දීය අගමැති මෝදි දිල්ලියේ සිට සයිබර් තාක්ෂණය ඔස්සේ සභාව ඇමතීමද සිංහල හා දෙමළ භාෂාවෙන් කතා කිරීමද විශේෂත්වය විය. ඉන්දියානු අගමැතිවරයා ඒ කටයුත්තට එසේ සම්බන්ධ වූයේ අගමැති රනිල් දුරකථන හරහා ඔහුගෙන් කළ ඉල්ලීමට අනුවය.


අගමැති රනිල්ට එහිදී උතුරේ දෙමළ ජනතාවගෙන් දැවැන්ත පිළිගැනීම සිදුවීමද විශේෂත්වයකි.


බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තු ගියේ විශේෂ රාජකාරී කිහිපයක් සඳහාය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිස අගමැතිවරයා පිළිගත්හ.


“මා අද ඉක්මනින් මහනුවර දුවන්න ඕනෑ. මහින්ද චීන සමාගමෙන් රුපියල් කෝටි 112 ක් ගත්ත කියන එකට තිබ්බ විවාදය මඟඇර සිංගප්පූරු පැන්නා. නාමල් හා අනිත් රාජපක්ෂලා හැංගුණා. ගත්තද, නැද්ද කියන්න කොන්දක් තිබුණේ නැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“මහින්ද මහත්තය සිංගප්පූරු ගිහින් ඒ අගමැති හමු වූ බව අඟවන්න එතුමා ජනාධිපති කාලේ සිංගප්පූරු අගමැති හමුවූ පරණ ෆොටෝ ෆෙස් බුක් එකේ යවනවා. ලැජ්ජ නැති නොමඟ යැවීම්”, චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.


“බැඳුම්කරේ චෝදනා ආවාම අගමැතිතුමා හා එජාපයේ සියලු දෙනාම පාර්ලිමේන්තු විවාදවලට විපක්ෂය අහපු ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ විතරද? බැඳුම්කර කොමිසමට ගිහින් උත්තර දෙන්නත් කොන්දක් තිබුණා. ඒත් මේ අය සිංගප්පූරුවට පැනලා ගියා.”, විජයදාස රාජපක්ෂ කීවේය.


“ඒකාබද්දේ අයම දැන් කියන්නේ මෙයාලා පගා විවාදය මඟ ඇරපු නිසා අප දැන් බැඳුම්කරේ ගැන දිගටම එජාපයට විරුද්ධව කතා කරන්නේ කොහොමද කියලලු...” දයා ගමගේ කීය.


“මහින්ද සිංගප්පූරු ගියේ විවාදය මග අරින්නයි. සිංගප්පූරුව හා ලංකාව අතර ගිවිසුම ගැන කතා කරන්න ගියා කියලත් බොරු ප්‍රචාර යවනවා. ඒ ගිවිසුමට එයා යටින් විරුද්ධ නැති බව අඟවලා රට ඉදිරියේ බොරුවට විරුද්ධ වෙන්නේ මිනිස්සු කුලප්පු කරන්නයි” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“මහින්ද රාජපක්ෂට විරුද්ධව කල් තැබීමේ විවාදය මඟ ඇරියා නම් අගමැතිතුමාට වගේ විශ්වාසභංගය ආවා නම් එතුමා මොනව කරාවිද කියා හිතා ගන්නත් බැහැ.” නවීන් දිසානයක කීවේය.


“කිරිඇල්ල ඇමැතිතුමා වතු කම්කරුවන්ට පර්චස් හතක් දීම දින 100 දී පටන් ගත්ත වැඩපිළිවෙළ අනිත් දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත කරන්න. ඒක ලොකු පිනක්” චමින්ද විජේසිරි කී විට අගමැතිවරයාද එකඟත්වය පළ කළේය.


“මගෙන් වැවිලි ගැලවුණාම මේක නැවතුණා. ඒත් දැන් මට ලැබුණු වතු හරහා මා මහනුවර දිසාවේ කැබලි 1500 ක් බෙදුවා. 10,000 ක් බෙදීම ඉලක්කයයි. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළ පටන් ගත්තා.


වතු කම්කරුවන්ට මෙවැනි අයිතිය දුන්නු එකම රජය අපයි. ඉඩම් ලැබුණු දවසේ රෑ ඒ මිනිස්සු සතුටට හොඳටම බීලා සමහර තැන්වල රණ්ඩුත් කරගෙනලු.”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවිට අගමැති ඇතුළු සියලු දෙනා සිනාසුනහ.


“ගාල්ලේ අපේ ක්‍රිකට්වලට ඉතා වාසි ක්‍රිකට් පිටියේ ප්‍රශ්නය ඉවරද? අප ඒක සමබරව විසදා ගත යුතුයි. ඒක දැන් සමහරුන් පටු දේශපාලනයටත් යොදා ගන්නවා.”, නවීන් දිසානායක කීය.


“ලංකාවට ලෝක උරුම 08ක් තිබෙනවා. ගාලු කොටුව ඉන් වැදගත්ම තැනයි. දකුණේ සුන්දර මුහුදු තීරය හා කොටු පවුර ලෝක උරුමය බලන්න ලක්ෂ ගණනක් සංචාරකයෝ එනවා.


“එදා බලය පාවිච්චි කර යුනෙස්කෝවටත් පාට් දාලා හදපු බිල්ඩින් දෙක හා අනිත් කුඩා අනවසර ඉදිකිරීම් ඉවත් කළාම ප්‍රශ්නය ඉවරයි.”, විජයදාස රාජපක්ෂ පැහැදිළි කළේය.


“ගාල්ලට ක්‍රිකට් ඇතුළු වෙනම ක්‍රීඩා සංකීර්ණයක් හදන්න ඒ කාලෙම යෝජනා කළා. ඒ පිටියේ 40,000 කට ක්‍රිකට් බලන පහසුකම් දෙන්න යෝජනා වී තිබෙනවා.


“සමහරුන් කියන්නේ එච්චර ලොකු වැඩියි, වියදමත් වැඩියි කියලයි. 25,000 ක් ඇතියි සමහරුන් කියනවා.


“මා කියන්නේ 35,000 කට ආසන්න මට්ටමේ එකක් අනාගතය ගැන හිතා ඉදිකළ යුතු බවයි. ගාල්ලේ මැච්වලට උදේ ගිහින් හවස කොළඹ එන්නත් ප්‍රේක්ෂකයන්ට දැන් පුළුවන්නේ. එතකොට ගාල්ලට ස්ටේඩියම් දෙකයි. මංගලලා -සාගලලා මාතර පිට්ටනිය ටෙස්ට් මට්ටමට ගේන්න. බලනවා”, අගමැතිවරයා පැහැදිළි කළේය.


“මත්තල ඉන්දියාව බාර ගත්තම සූරියවැව පිටියේ ක්‍රිකට් තරග පවත්වන සැලසුම ගැන ඉන්දියාව හිතන බව ආරංචියි. සමහර විට අයි.පී.එල්. තරග කිහිපයක් ගහන්න බැරි නැහැ.


ගාල්ල රටේ ප්‍රධාන ගුවන් තොටුපළවල් දෙක අතරේ තිබෙන නිසාත්, නවාතැන් පහසුකම් ඇති නිසාත් ගාල්ල රැක ගන්න ඕනෑ. දඹුල්ල දුරයි. නවාතැන් පහසුකම් අඩුයි.”, නවීන් දිසානායක විග්‍රහ කළේය.


“සූරියවැව රාත්‍රී ක්‍රිකට් ගහන වැඩපිළිවෙළක් හැදුණොත් ඒ පැත්තෙත් අලුත් හෝටල් හැදේවි. ගාල්ල පැවිලියන් එක ගැන දැන් කෑ ගහන්නෙ ජනමාධ්‍යයි, ඒකාබද්දෙයි විතරයි”, අගමැති කීවේ සිනා​ෙසමිනි.


“කළුගඟ ජලාශය විවෘත කරන එකට අගමැතිතුමාට යන්න බැරි වුණේ ඇයි.?” දයා ගමගේ මෙන්ම විජයදාස රාජපක්ෂ ද විමසූහ.


“මොරගහකන්ද එකට මා ගියා. විදේශ අයගේ වැදගත් හමුවීම් තිබූ නිසා මෙවර යන්න බැරිවුණා. ලෝකල් ඒවා නම් කැන්සල් කරන්න හරි තිබුණා.”, අගමැති කීය.


“බැසිල් මාස ගාණකට රට ගියා. එයා ජනපති අපේක්ෂකත්වය සඳහා නම් නොකරන තාක් ආපහු එන්නෙ නැහැ කියා ගියා කියලත් ආරංචියි.” චමින්ද විජේසිරි කීය.


“අධ්‍යාපන සේවයේ උසස්වීම් ජනාධිපතිතුමා නැවැත්තුවා නේද?. ඒක අවුල් කරගත්ත එක අපරාධයක්”, දයා ගමගේ කීය.


පළමු රවුම අකිල දිනුවා. වෘත්තීය සමිති ජනාධිපති හමුවෙලා ඊළඟ රවුම එයාලා දිනුවා. ඔය ජෝශප් ස්ටාලින්ලා අපට හුඟක් හිතවත් අයයි. ඔවුන් අදත් මාත් එක්ක සමීපයි. අකිලලා වෘත්තීය සමිතිවල මතයටත් කන් දෙන්න ඕනෑ.


අකිල අපේ අයට සාධාරණය කරන්න හැදුවා. ඒත් ඒ හරහා අනිත් අයට අසාධාරණය වෙන්න බැහැ. ජනාධිපතිතුමයි, මායි කතා කර අප නම් කරන අධ්‍යාපන කමිටුවකින් ඊළඟ පියවරට යමු කියා එකඟත්වයට ආවා. මා මෙතනදී තැපැල් පියුන් විතරයි. ”අගමැති කීය.


“පළාත් සභා තියනවාද”? චමින්ද විජේසිරි ඇසීය.


“පළාත් සභා මොන ක්‍රමයට හරි තියන්න වෙනවා. පළාත් පාලන ඡන්ද කල් දාලා ලැබුණු වාසියක් තිබුණද”? අගමැතිගේ පිළිතුර විය.


“කළුගඟ ජලාශය විවෘත කරපු දවසේ ජනාධිපතිතුමා රටේ පක්ෂපාති ජනමාධ්‍ය ගැන කරපු විග්‍රහය වටිනවා. අද අප දී ඇති නිදහස අවභාවිතා කර පස්සේ අඬන්න එපා කියා එතුමා පක්ෂග්‍රාහී හා විපක්ෂය බලයට ගේන්න පටු විදිහට හිතා වැඩ කරන ජනමාධ්‍යවලට ඇඬෙන්නම දුන්නා.” විජයදාස රාජපක්ෂ කී විට අගමැති ඇතුලු සියලු දෙනා එය අනුමත කළහ.