පළාත් සභා ඡන්දය තියන්න ජනපති මැතිවරණ කොමසාරිස් සමඟ කතාබහක්


ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය එයිද? මේ බොහෝ දෙනා විමසිල්ලෙන් සිටින කාරණයකි. දේශපාලන කරළියේ මේ දිනවල වැඩිම කතාබහට ලක්ව ඇති මාතෘකාව ද පළාත් සභා මැතිවරණයයි. වසර ගණනාවක් තිස්සේ කල්ගොස් ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිටින බව පෙනේ. ඔහු මීට පෙර ද මැයි මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව කීවේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය සති කිහිපයේම නීති විශාරදයින් සමග ද සාකච්ඡා කර තිබිණි.


මේ අතර ජනාධිපතිවරයා ගිය සඳුද‌ා රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිල නිවෙසට කැඳවූ බව වාර්තා විය. කල්ගොස් ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා ඔහු සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. මැතිවරණය පැවැත්වීමට තිබෙන බාධාවත් එම බාධා ඉවත්කර ගැනීම ඡන්දය පවත්වන්නේ අලුත් ක්‍රමයට ද නැතිනම් පැරැණි ක්‍රමයට ද ආදිය යන්න සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා විය.


පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් ලබා ගන්නැයි ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්ද‌ා නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලිපියක් මගින් දැනුම් දුන්නේ මැතිවරණ කොමසාරිස්වරයා සමග පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙනි. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පෙර එය කළ හැකි ද යන්න ගැන ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය. නීතිපතිවරයා ඒ ගැන මේ සති අන්තය වන විට ජනාධිපතිවරයාට ලිඛිත පිළිතුරක් ලබා දීමට පියවර ගනු ඇත.



මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගිය සඳුද‌ා පුවත්පත් කතුවරු හමු විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පුවත්පත් කතුවරුන් මේ ආකාරයෙන් හමු වූ පළමු අවස්ථාව එය විය. ඔවුන් හමුවීමේ අරමුණ වූයේ ද පළාත් සභා මැතිවරණය ගැන කතා කිරීමය. සීමා නිර්ණ වාර්තාව ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළකරන්නේ නම් හෝ පැරැණි ඡන්ද ක්‍රමය වලංගු බවට ශ්‍රේෂඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දෙන්නේ නම් ඔක්තෝබර් 15 ට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය පුවත්පත් කතුවරුන් සමග කීවේය. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් ඒ සඳහා අවශ්‍යම බවය. මීට සති කිහිපයකට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා තිබුණේ ජනාධිපතිවරණයට දවසක් හෝ පෙර පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ නම් තමා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වන බවය. ජනාධිපතිවරයාගේත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේත් අවශ්‍යතාව මත පළාත් සභා ඡන්දය ජනාධිපතිවරණයට පෙර පවත්වන්නේ දැයි රටම බලා සිටින බව නම් පැහැදිලිය.


ගිය සතියේ ​ෙද්ශපාලන කරළියේ කතාබහට ලක්වූ තවත් මාතෘකා දෙකකි. එකක් කුඩු ජාවාරම්කාරයින්ට මරණ දඬුවම දීමය. දෙවැන්න මහ බැංකු බැඳුම්කර කොල්ලයයි. ගිය සති අන්තයේදී ඇඹිලිපිටියේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ මරණ දඬුවම අහෝසි කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බවය. මරණ දඬුවම අහෝසි කිරීම මේ රටේ අපරාධකරුවන්ගේ විශිෂ්ට ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා කීවේය. ඒ සමඟම එහි රැස්ව සිටි විශාල පිරිසකගෙන්ද ජනාධිපතිවරයා විමසා සිටියේ කුඩු ජාවාරම්කාරයින්ට මරණ දඬුවම දීමට එකඟදැයි කියාය. රැස්ව සිටි දහස් ගණන් පිරිස අත් ඔසවමින් කීවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඔවුන් එකඟ බවය.


මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන ජනාධිපතිවරයා ගිය අඟහරුවාද‌ා කළුතර පාලින්දනුවරදී කතා කළේය. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට තමා සිංගප්පූරු අගමැතිවරයා සමඟ පෞද්ගලිකවම සාකච්ඡා කර තිබෙන බව ජනාධිපතිවරයා කීවේ මෙම වංචාවට සම්බන්ධ සියලු දෙනා හඳුනාගෙන ඇති බව සඳහන් කරමිනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවීමට යෝජිත නව සන්ධානය පිළිබඳ සාකච්ඡා කඩිනමින් නිමකිරීමට දෙපාර්ශ්වයම අපේක්ෂාවෙන් සිටී. පොදුජන පෙරමුණ පාර්ශ්වය කියන්නේ ලබන මස 10 වැනිදාට පෙර සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය. ඒ අතර ශ්‍රීලනිපයෙන් ද කියන්නේ සාකච්ඡා කඩිනමින් අවසන් කරන බවය. එම සාකච්ඡා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ පාර්ශ්වයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අසුබවාදී අදහස් ප්‍රකාශ කළ ද, එම පක්ෂයේ නායකයින්ගේ මට්ටමින් එවැනි අදහස් ප්‍රකාශ කිරීමක් දකින්නට නොමැත. ශ්‍රීලනිප පාර්ශ්වය ද සාකච්ඡා ගැන සුබවාදී අදහසක සිටින බව පෙනෙන්නට තිබේ.  


මේ අතර නව සන්ධානයේ ව්‍යුහය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනිමින් යෝජනාවලිය දෙපාර්ශ්වයම මේ වන විට අධ්‍යයනය කරමින් සිටී. එම යෝජනාවලිය අධ්‍යනය කර අවශ්‍ය සංශෝධන කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකගෙන් යුත් කමිටුවක් ද පත්කර තිබිණි. එම කමිටුව අදාළ සංශෝධන සිදුකර ගිය බදාදා වන විට ජනපති මෛත්‍රීට ද බාරදී තිබිණි. ජනාධිපතිවරයා අදාළ යෝජනාවලිය පිළිබඳව අධ්‍යයනය කර, මධ්‍යම කාරක සභාව කැඳවා දැනුම් දීමෙන් පසුව එය පොදුජන පෙරමුණ වෙත බාරදීමට නියමිතය. පොදුජන පෙරමුණ අධ්‍යයනය කරමින් ශ්‍රීලනිප යෝජනාවලිය ද අවශ්‍ය සංශෝධන සිදුකර ශ්‍රීලනිපයට බාරදීමට නියමිතය. ඒ අනුව දෙපාර්ශ්වයේම සංශෝධන ඇතුළත් යෝජනාවලිය මීළඟ සාකච්ඡා වටයේදී සාකච්ඡාව සඳහා යොමු කෙරෙනු ඇත. යෝජිත සන්ධානයේ නායකත්වය සභාපති, ලේකම් ආදී තනතුරු දේශපාලන මණ්ඩලය, විධායක සභාව ආදී තොරතුරු යෝජනාවලියට ඇතුළත් වුවද ඒ සඳහා පත්කෙරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කර නැතැයි ශ්‍රීලනිපයේ ප්‍රකාශකයෙක් කීවේය.  


වෙනදා සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වෙන කැබිනට් රැස්වීම ද මෙවර නොපැවැත්විණි. ඊට හේතුව අඟහරුවාදා දිනයේ ඇසළ පුර පසළොස්වක පොහොය යෙදී තිබීමය. බදාදා දිනයේද කැබිනට් රැස්වීම නොපවත්වන්නට තීරණය කර තිබුණේ එදින ඇමැතිවරුන්ගේ මහජන දිනය නිසාය. එබැවින් ගිය සතියේ කැබිනට් රැස්වීම පෙරේදා (19) සැන්දෑවේ 6.00ට යොදාගෙන තිබිණි.  


පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැතිර යන ආරංචියත් සමග දේශපාලන පක්ෂ ද ඒ පිළිබඳ සූදානමකින් පසුවන බවක් පෙනෙන්නට තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ද එතරම් කැමැත්තක් නොදක්වන අතර, ඔවුන් කියන්නේ ජනාධිපතිවරණය මුලින් පැවැත්විය යුතු බවය. මේ අතර එජාපය ද දිගින් දිගටම කියමින් සිටින්නේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවකි. කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනපති මෛත්‍රී සූදානමකින් සිටින බව පෙනේ. ඒ අනුව දේශපාලන පක්ෂ ද යම් හෙයකින් පළාත් සභා මැතිවරණය මුලින් පවත්වන්නේ නම් ඊට මුහුණදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. පොදුජන පෙරමුණ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පසුගිය සති කිහිපයේම සැලසුම් සාකච්ඡා කරමින් සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙනි. එහෙත් යම් හෙයකින් පළාත් සභා මැතිවරණය මුලින් පවත්වන්නේ නම් ඒ සඳහා ද ඔහු සැලසුම් සකස් කරමින් සිටින බවක් වාර්තා වේ. ඔහු ගිය සිකුරාදා හවස පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පළාත් සභාවල හිටපු පිරිසක් නෙළුම්පොකුණ කාර්යාලයට කැඳවීය. ඒ සඳහා කැඳවනු ලැබ සිටියේ එක් දිස්ත්‍රික්කයකින් එක් නියෝජිතයකු බැගිනි.  
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගිය සතියේ ගාල්ලේ උත්සව කිහිපයකට ගියේය. ඉන් එක් උත්සවයක් ශීපාල බෝධිරාජ විවේක සේනාසන විහාරයේ පැවැති උත්සවයකි. ඒකාබද්ධ විපක්ෂයේ රමේෂ් පතිරණ, මොහාන් ද සිල්වා මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්ද, ශ්‍රීලනිපයේ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා ද ඊට පැමිණ සිටියහ. පන්සලේ උත්සවයෙන් අනතුරුව මහින්ද ගාල්ලේ පැවැති වියත්මග සමුළුවට ​ද සහභාගි වූයේ රමේෂ් පතිරණ හා මොහාන් ද සිල්වා යන මන්ත්‍රීවරුන්ද සමගය. ගීතා කුමාරසිංහ හිටපු මන්ත්‍රීවරිය ද සහභාගි වී සිටි අතර, දේශකයින් වශයෙන් මොහාන් සමරනායකත්, නාලක ගොඩහේවාත් ඊට එක්ව සිටියහ.  


වියත්මග සමු​ළුවෙන් පසුව මහින්ද තංගල්ල කාල්ටන් නිවස බලා පිටත්ව ගියේ පසුවදා උදේ පොහෝ දින ධර්ම දේශනය කාල්ටන් නිවසේ පැවැත්වීමට සූදානම් කර තිබූ බැවිනි. ධර්මදේශනයට සවන්දීමටත් සමග තවත් පිරිසක් මහින්ද හමුවීමට නිවසට පැමිණ සිටියහ. ඒ දකුණු පළාතේ ආබාධිත රණවිරුවන් පිරිසකි. ඔවුන් පැමිණ සිටියේ මහින්ද හමුවී විශේෂ ඉල්ලීමක් ද ඉදිරිපත් කිරීමේ අදහසිනි. ඔවුන්ට තිබුණේ එකම ඉල්ලීමකි. ඒ මීළඟ ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නැයි යන ඉල්ලීමය. ‘‘අපි ලබන 11 වැනිදා අපේ අපේක්ෂකයා නම් කරනවා, ඒකට මට බලය දීලා තියෙන්නේ. අපි එදාට බලමු’’ යැයි මහින්ද කී​ෙව් ඔවුන්ගේ ඉල්ලීමට පිළිතුරක් දෙමිනි.


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ගිය බ්‍රහස්තින්දා විජේරාම නිල නිවසේ දී විපක්ෂ නායක මහින්ද හමුවූහ. ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, ෂෙහාන් සේමසිංහ, සනත් නිශාන්ත, පියල් නිශාන්ත සහ පවිත්‍රා වන්නිආරච්චි මෙසේ විපක්ෂනායක හමුවූ මන්ත්‍රීවරු පිරිසට අයත් වූහ. පිරිස අතර කතාබහට ලක්වූයේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනතාවට විඳින්නට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙනි.  


“මේ ගොල්ලො ආවෙ නම් දින සීයෙන් අලුත් රටක් කියලා. අවුරුදු 5ක් කිට්ටුවෙනකොට කියනවා ඉන්න හිතෙන රටක් කියලා. ජනතාවට මේ ගොල්ලො දීලා තියෙන්නෙ ඉන්න හිතෙන රටක් නෙවෙයි. ඉන්න එවුන්ටත් යන්න හිතෙන රටක්’’ යැයි පවිත්‍රා කීවේ කතාවට මුලපුරමිනි. අනතුරුව කතා කළේ ප්‍රසන්න රණතුංගය. ප්‍රසන්න කතා කළේ පවිත්‍රාගේ අදහස අනුමත කරමිනි. ඒකනම් ඇත්ත තමයි. ආණ්ඩුවේ තියෙන්නෙ වැඩ නෙමෙයි ‘ෂෝ විතරයි’ ප්‍රසන්න කීවේය.


 “යුද්ධය දිනුවට පස්සෙ ඔළුව උස්සගෙන ආපු රට මේ ​ගොල්ලො ඇවිත් 2015න් පස්සෙ පහළටම ඇදල දැම්මා” යැයි ලන්සා කියද්දි මහින්ද ද කීවේ “ආර්ථිකය හදන්න පුළුවන් රනිල්ට කියලයි සමහරු එදා විශ්වාස කළේ. දැන්නම් කවුරුවත් එහෙම කියන්නෙ නැහැ” යනුවෙනි. “රනිල්ගෙ ප්‍රතිපත්තිය විකුණන එක. මේ ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් සැලැස්මක් නැහැ. එ්ක තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ” මහින්ද කීවේය.  


“ජනාධිපතිවරණය ළං වෙන කොට ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව තියෙන නඩුත් කඩිනම් වෙන පාටකුයි පේන්නෙ’’ පියල් නිශාන්ත කියද්දි ප්‍රසන්න කීවේ, “ඔව් දැන් තමයි ආණ්ඩුවට නඩු ඉක්මන් කරන්න මතක් වෙලා තියෙන්නෙ” කියාය. “නීතිපති දෙපාර්තමේන්තුව දැන් හරියට කාර්ය බහුල වෙලා. මට හිතන්නෙ ඒ ගොල්ලො රෑටත් වැඩ වගෙයි’’ යැයි ප්‍රසන්න කීවේය. අනතුරුව මහින්ද පැහැදිලි කළේ “අපිව හිරේ දාලා ගමන නතර කරන්නයි ආණ්ඩුව මුලදි බැලුවෙ. ඒක කරගන්න බැරි වුණාම අපේ දරුවො හිරේ දැම්මා. ඒත් අපි සැලුණේ නැහැ. දැන් ආණ්ඩුව හොඳටම දන්නවා අපේ ගමන නතර කරන්න බැරි බව. ඒ හින්දා දැන් හදන්නෙ ඡන්ද කල් ද‌ාලා හරි බලයෙ ඉන්න. ඡන්ද කල්ද‌ාන එකේ අවාසිය ආණ්ඩුවටම බව ඒ ගොල්ලො දන්නෙ නැහැ” යැයි මහින්ද කීවේය.  


රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශය ද මන්ත්‍රීවරුන් අතර කතාබහට ලක් වූ මාතෘකාවකි. ෂෙහාන් සේමසිංහ කීවේ ආණ්ඩුව හරිනම් මේ මනුස්සයව අයින් කරන්න ඕන කියාය. “මේ ආණ්ඩුව යටතේ මහා සංඝරත්නය තරම් පීඩාවට පත්වුණ වෙනත් පිරිසක් නැතිව ඇති. ආණ්ඩුවේ ඇමැතිවරුන් හාමුදුරුවන්ට විතරක් නෙමෙයි අනෙකුත් ආගමික නායකයින්ටත් අපහාස කරනවා. ජනාධිපතිත් ආණ්ඩුවත් මේ අයට විරුද්ධව කටයුතු කළ යුතුයි” මහින්ද කීවේ දිගු විවේචනයක් ද එල්ල කරමිනි.  


ශ්‍රී ලංකා ​පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග සිටින පක්ෂ සමග සන්ධානයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක වෙනු ඇත. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු මේ දිනවල බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේ නිතර රැඳී සිටිමින් දේශපාලන පක්ෂ සහ සංවිධාන සමග ඒ පිළිබඳව කතා කරමින් සිටී.  


පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ මෙන්ම ඉන් පිටත ඇති පක්ෂ ද සමග පක්ෂ 26ක් පමණ එම සන්ධානයට එකඟත්වය පළකර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් කීවේය.  
එම සාකච්ඡා වැඩපිළිවෙළ යටතේ ගිය සඳුදා තමිල් මහජන විමුක්ති පෙරමුණ හා බැසිල් අතර සාකච්ඡාවක් පැවැත්විණි. නැගෙනහිර හිටපු මහ ඇමැති පිල්ලෙයාන්ගේ සහෝදරයකු වන ශ්‍රියශාන්තන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.   


කලින් සතියේ බැසිල් සමග සාකච්ඡා කළේ තමිල් එක්සත් ජනතා පෙරමුණය. එහි නායකයා ලෙස කටයුතු කරන්නෙ කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන්ය. ඔහු කීවේ “පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමග දෙමළ ජනතාවත් දැන් ගෝඨාභය” රාජපක්ෂට කැමති බවය. 


මේ අතර, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සහ මාධ්‍යවේදීන් පිරිසක් අතර සුහද හමුවක් ගිය බදාදා තලවතුගොඩ දී පැවැත්විණි. රාත්‍රී 7.00ට පමණ ආරම්භ වූ සුහද හමුව මැදියම් රැය ද ආසන්න වන තෙක් ඇදී ගියේ, දේශපාලන කරළියේ රසමුසු තැන් ද සිහිපත් කරමිනි. ඒ අතරේ වත්මන් දේශපාලන කාරණා මෙන්ම, ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන ද කතා බහට ලක්විය. රණතුංග පවුලේ හැමෝම 2015දීත්, ඊට පසුවත් ජනපති මෛත්‍රීට සහාය පළකරද්දී, ප්‍රසන්න පමණක් මහින්ද සමග සිටියේ ඇයිදැයි මාධ්‍යවේදියෙක් ඔහුගෙන් විමසීය. “මටත්, පොදු අපේක්ෂකයාට එකතු වෙන්න කියල ඉල්ලීම් ආවා. ජනාධිපතිවරණයෙන් පස්සෙත් මෛත්‍රීපාල මහත්තයාගේ ආණ්‍ඩුවට එකතු වෙන්න කියලත් ඉල්ලීම් ඉදිරිපත් වුණා. සමහර ඉල්ලීම් ආවේ ප්‍රතිකේෂ්ප කරන්නත් බැරි මට්ටමිනුයි. නමුත් මම මුල ඉඳලම මහින්ද මහත්තයා අතහැර යන්නේ නැහැ කියල තීන්දුවක් අරගෙනයි හිටියේ” ප්‍රසන්න කීවේ මාධ්‍ය​වේදියාගේ ප්‍රශ්නයට දිගු පිළිතුරක් දෙමිනි. 


“මහින්ද මහත්තයා ජනවාරි 9 වැනි ද‌ා ප්‍රතිඵල එන්නත් කලින් අරලියගහ මන්දිරයෙන් එළියට බැස්සා. ඒක ලෝකයටම ආදර්ශයක් කියලයි මම හිතන්නෙ. කිසිම දේශපාලනඥයෙක් එහෙම යන්නෙ නැහැ. එදා හවස මෛත්‍රීපාල මහත්තයා දිවුරුම් දෙනකම්ම මහින්ද මහත්තයා තමයි රටේ ජනාධිපති” ප්‍රසන්න කීවේ ජනවාරි 9 වැනිදා සිද්ධිය ආවර්ජනය කරමිනි. 


මහින්දට ජනවාරි 9 වැනිද‌ායින් පසුව සාකච්ඡා පවත්වන්න ප්‍රසන්නගේ නිල නිවස දුන් හැටි ද ඔහු සිහිපත් කළේය. “මහින්ද මහත්තයාට සමහරු මඩ ගැහුවට අදටත් එතුමට කොළඹ ගෙයක් නැහැ. ඒ හින්දා ජනවාරි 9 වැනිදා උදේ ඉඳන් එතුමගේ සාකච්ඡා පැවැත්වුණෙත් මගේ නිල නිවසෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ හිටපු බොහෝ දෙනෙක් මෛත්‍රීපාල මහත්තයා එක්ක ඩීල් ද‌ාන්න පටන් අරන් තිබුණා. හැබැයි මම එතැනට ගියේ නැහැ. මහින්ද රාජපක්ෂ චරිතය නැවත දේශපාලනයට ගෙන ආ යුතුයි කියන ප්‍රතිපත්තිමය තීන්දුවක මම හිටියා. මම ඒ තීන්දුව ගත්තෙ මහින්ද මහත්තයා අරලියගහ මන්දිරයෙන් එළියට බැස්ස වෙලාවෙමයි ප්‍රසන්න කීවේ එදා සිට අද දක්වා ඇති වූ සිද්ධිය පිළිබඳ දීර්ඝ විස්තරයක් ද කරමිනි. 


චම්පික රණවක ඇමැතිවරයා ගිය සතියේ මහනුවර ගියේ යොදාගෙන තිබූ උත්සව කිහිපයකට සහභාගිවීමටය. ඒ අතරෙ ඔහු උමගක් බලන්නට ගියේය. ඒ මහනුවර නගරයේ ගංවතුර පාලනය සඳහා රජ කාලයේ ආරම්භ කරන ලද පැරැණි උමගකි. එය මේ වනවිට ප්‍රයෝජනයට නොගන්නා තත්ත්වයට අබලන් වී ඇති අතර උමග බලන්නට ගිය චම්පික ඉංජිනේරුවන්ට කීවේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු ලබන අප්‍රේල් මාසය වනවිට අවසන් කරන ලෙසය.