පළාත් සභා ඡන්දය කල් ගියේ ශ්‍රීලනිපයේ වුවමනාවට


අගමැති

 

ගෙවී ගිය සතිය ආරම්භයේදී අගමැතිවරයා කොලොන්නාව සේදවත්ත පුරාණ විහාරයේ බෝධි ප්‍රාකාරය මත ඉදි කළ රන්වැට සසුනට පූජා කිරීමේ පුජෝත්සවයට එක්විය.
විජයවර්ධන-වික්‍රමසිංහ පරම්පරාවේ විහාරය ලෙස රන්වැට සිය පෞද්ගලික ධනයෙන් පූජා කිරීමටද අගමැති රනිල් ඇතුළු එම පවුල්වල අය ක්‍රියා කළහ.
“අද ඇතැම් පිරිස් බුදු දහමත් එයාලට ඕනෑ විදියට දේශපාලන වාසි තකා නරක විදියට පරිහරණය කරනවා. මම නම් පන්සල් යන්නෙ ආගමික කටයුතුවලට විතරයි. ඒත් සමහරුන් පන්සල්වල කරන්නේ “මයික් දේශපාලනයයි.” සිංහල-බෞද්ධයන් කවුද කියා තමන්ම ලියාපදිංචි කර ගන්නා තත්ත්වය ඇතිවීම බුදු දහමට කරන ද්‍රෝහිකමක්” අගමැතිවරයා කීවේය.


බ්‍රහස්පතින්දා අගමැති රනිල් අරලියගහ මැදුරට පැමිණියේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තවත් විධිමත් කිරීම සඳහා වූ විශේෂ උත්සවයට එක් වීමටය. අධ්‍යාපනයේ නූතන විප්ලවය එනම්, සෑම දරුවකුටම වසර 13ක පාසල් අධ්‍යාපනය සහතික කිරීම එහි අරමුණ විය. එය නිදහස් අධ්‍යාපනයේ “විශ්වීය හැරවුම” ලෙසද නම් කර තිබිණ.
උත්සවයට යාමට පෙර අගමැතිවරයා අරලියගහ මැදුරට තමා හමුවීමට පැමිණ සිටි මැති-ඇමැතිවරුන් හා නිලධාරීන් සමගද කතාබහට එක්විය.
“පළාත් සභා ඕනෑ කියා පොහොට්ටුව දඟලන දැඟලිල්ලට දැන් ජනාධිපතිත් එකතු වෙලා වගෙයි පේන්නේ. ඒත් පළාත් සභා ඡන්ද කලින් ආවොත් පොහොට්ටුව ශ්‍රීලනිපය හලා තනියම තරග කරන්න තීන්දු කිරීමේ අවදානම තිබෙන නිසා ශ්‍රීලනිප පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවල සියලු මන්ත්‍රීවරුන් ජනපතිට බල කළාලු පළාත් සභා ඡන්ද කලින් තියන්න එපා කියලා”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුල පිරීය.


“පළාත් පාලන වගේම පළාත් සභා ඡන්දත් කල් ගියේ ශ්‍රීලනිපයේ වුවමනාවටයි. පළාත් සභා ඡන්ද කලින් ආවොත් ශ්‍රීලනිපයේ අද ඉන්න පළාත් සභා මන්ත්‍රීවරුන් සියයට 90 ක් විතර පොහොට්ටුවට යාවි. ශ්‍රීලනිපයට අපේක්ෂකයන් හොයාගන්නත් දැල් දාන්න වේවි”, අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදය.


“කැබිනට් එකේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නව කියා රන්ජන් ඇමැතිතුමා කියන කතාව මොකක්ද?”, චමින්ද විජේසිරි විමසුවේ අගමැතිගෙනි.


“මා දන්නේ නැහැ. කියපු එක්කෙනාගෙන්ම අහ ගන්න” යයි” කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.


”මෙතන නොපෙනෙන කතාවක් තිබෙනවා. මධුෂ් ඇල්ලුවාම දේශපාලන පිය-පුතු දෙපළක් දිහාට ඇඟිල්ල දික්වෙන්න ගත්තා.’’ එජාප නීති නිලධාරීයෙක් විස්තර කළේය.
”ඇමති කෙනෙකු කටට එන පළියට විකාර කියවන්න නරකයි. ඔය මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ නම් ලැයිස්තුව රංජන් මට කියා නැහැ. කතානායකට හෝ සී අයි ඩී එකට හෝ කියලත් නැහැ. මේ ගැන කතා කළ එජාප කණ්ඩායම් රැස්වීමට එයා ආවෙත් නැහැ. “විපක්ෂයත් මට පැමිණිලි කළා. කරුණාකරල මේ බොරු චෝදනාවෙන් පාර්ලිමේන්තුවේ 225 බේරා දෙන්න කියලයි. රංජන්ගේ කටට අලුත් බ්‍රේක් පෑඞ් හයි කරන්න කියලත් එයාලා මට කිව්වා.”, අගමැතිවරයා කීවේ සිය ආවේගය යටපත් කරමින් මඳ සිනහවක් ද පාමිනි.
“ආ.. චමින්ද, ඔයා මොකද පොලීසියට ගහන්නේ? එහෙම අයිතියක් ඔයාට නැහැ.” අගමැතිවරයා කීවේ චමින්ද විජේසිරිටය.


“නැහැ. සර්, මමත් මාත් එක්ක හිටපු කිසි කෙනෙකුවත් කාටවත් ගැහුවේ නැහැ. යහ පාලනය පොලීසියට බලපෑම් කරන්නේ නැති එකේ නීතිය හා සාමය දැන් ජනාධිපතිතුමා අරන් නිසා මහින්දගේ නඩය පොලීසියට බලපෑම් කළා මාර ගේම් එකක් ගහනවා. ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕනෑ.”


“පොලිස් කියා ගහපු නැති වාහනයක ආපු සිවිල් කට්ටිය මා ගිය වාහනේට වෙට්ටු දාලා-රෝන් සයිඞ් එකෙන් හප්පාගෙන යන්න හැදුවා. අප ඒක ප්‍රශ්න කළා. පොලීසියෙන් කියා කිව්වාම මා අයිඩෙන්ටි කාඞ්වත් ඉල්ලුවෙ නැහැ. ඒත් ජනාධිපතිතුමාගේ පොලීසියේ සමහරුන් දැන් ජනමාධ්‍යත් එක්ක එකතුවෙලා මේ වගේ සිද්ධි නිර්මාණය කර ආණ්ඩුවට ගහන තත්ත්වය තිබෙනවා.” චමින්ද විජේසිරි අගමැතිවරයා ඇතුළු පිරිසට පැහැදිලි කළේය.


“මේ ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නැහැ, බැංකුත් කඩා වැටිල කියා ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ කියන එක ඉතා පුදුමයි. සත්‍ය තත්ත්වය ඒක නොවෙයි කියා ආණ්ඩුව උත්ත​ෙර් දුන්නා මදියි.”, හේෂා විතානගේ කීවේ එවැන්නකි.


“රටේ නායකයා, විපක්ෂ නායකයාවත් නොකියන කතා කීම ගැන මිනිස්සුත් පුදුම වෙනවා. ජනාධිපතිතුමාගේ ඒ නිවැරදි නොවූ ප්‍රකාශයට පොල් ගෙඩි අකුරෙන් ප්‍රසිද්ධිය දීපු ජනමාධ්‍ය ඒකට උත්තර දීපු සුජීව සේනසිංහගේ පැහැදිලි කිරීම කුඩා ප්‍රවෘත්තියක් විදියට හංගලයි, ගැහුවේ.”, දයා ගමගේ කීවේය.


”දැන් කිරි පිටි ගැන තිබෙන ප්‍රශ්නයට දොස්තර සංගමයත් බැහැලා. ඔක්තෝබර් 26 පත්වූ හොර ආණ්ඩුව අද තිබුණා නම් එයාලා මෙහෙම කතා කරාවිද?. ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැති වෙලා ඉන්න කාලේ කිරි පිටිවල ඔය ප්‍රශ්නේ තිබුණෙ නැද්ද දන්නේ නැහැ.


ලංකාවේ දියර කිරි හදන්නේ 10% යි. අනිත් ඒවා නවසීලන්තයෙන් ගෙනෙන්නේ. ලෝකයේ වෙන කිසිම රටකට ඒ කිරි පිටි ගැන ඇති නොවෙච්ච ප්‍රශ්නය ලංකාවෙ විපක්ෂයේ දේශපාලකයන්ට ඇතිවීම පුදුමයි. අපේ එක්කෙනෙකුත් රැල්ලට ගිහින් ඒකට උඩ ගෙඩි දීමෙන් ප්‍රශ්නය තවත් ඔද්දල් වුණා.”, වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.


”දැන් ජනාධිපතිතුමා යටතේ පොලීසිය තිබෙද්දි රත්ගම දෙන්නෙකු අතුරුදන් වීම ගැන වහාම කරුණු හොයන්න ඕනෑ. මොකද, මේ ආණ්ඩුව යටතේ අතුරුදන් වූ පළමුවනි දෙන්න ඔවුනුයි. මේකට ආණ්ඩුවේ හෝ ඉස්සර වගේ සුදු වෑන්වල හෝ කිසිම සම්බන්ධයක් නැහැ කියා ජනතාව දන්නවා”, ගයන්ත කරුණාතිලක කීවේය.


”ව්‍යවස්ථාදායක සභාවට විරුද්ධව ජනාධිපතිතුමා කළ කතාව රාජපක්ෂ නඩය ඇදන් යනවා. දැන් ජනාධිපතිතුමාට කොටි වල්ගේ අල්ල ගත්තා වගේ වැඩක් වෙලා තිබෙන්නේ. එතුමාගේ එකඟත්වයෙන් 19 වැනි සංශෝධනය යටතේ ඇති කළ ස්වාධීන කොමිෂන්වලට දිගටම පහර නොදුන්නොත් රාජපක්ෂලා තරහ වෙනවා. පහර දුන්නොත් 2015 වෙනස සඳහා හිටපු සිවිල් සංවිධාන ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන රටේ බහුතර ජනතාව ජනාධිපතිතුමා එක්ක තරහ වෙනවා”, ලක්ෂ්මන් කිරිඇල්ලගේ විග්‍රහය එය විය.
”ජනාධිපතිතුමා එක්ක ඇමතිවරුන්ට රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු තිබෙනවා. ඒත් සීමාව ඉක්මවලා අපේ සමහරුන් එතුමා එක්ක රහස් ඩීල් දාන්න යන එක ආණ්ඩුවට ඉතා අවාසියි. මේ ගැන පක්ෂය ඇතුළේ යම් තීන්දුවක් ගන්න වෙනවා.”, කිරිඇල්ල යළිත් කීවේය.


”අපේ කිහිප දෙනෙකුගේ එහෙම සබඳතා තිබෙනවා කියා මටත් තොරතුරු තිබෙනවා. ඒත් ඒවා පෞද්ගලික ගනුදෙනු මිස දේශපාලන ගනුදෙනු වුණොත් ඒක ලොකු අවුලක් වේවි. මොකද, ජනාධිපතිතුමා අප පත් කළාට එයා දැන් වෙනත් පක්ෂයක නායකයෙකු හා වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක ඉන්න බව පේන කෙනෙකුයි. ඒ නිසා පක්ෂයට හානි වෙන විදියටයි එජාප පාක්ෂිකයාගේ හිත්වල සැක ඇතිවෙන විදියටයි, වැඩ කරන්න ගියොත් අන්තිමට ඒ ඇමතිවරුම අමාරුවේ වැටේවි. මොකද, මේක මැතිවරණ වර්ෂයක්”, අගමැතිවරයා කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.