පරිසර විනාශයට එරෙහිව විපක්ෂයේ සටන


  • අගමැති මහින්දට බංග්ලාදේශයේ සහාය
  • සජිත් දියවන්නාවට බසියි


ගෙවී ගිය සතියේ දේශපාලන කරළියේ වැඩියෙන්ම කතාබහට ලක්වුණේ ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් ගෙනා මානව හිමිකම් යෝජනාව ගැනය. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හයක් විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාව පරාජය කිරීමට ශ්‍රී ලංකා රජය ද නොගත් උත්සාහයක් නැත. එසේ වුවද අවසානයේ සිදුවූයේ යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත වීමය. යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ද විපක්ෂව ඡන්ද 11ක් ද ලැබුණු අතර රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. 


ශ්‍රී ලංකාවට හිතවත් රටවල් ලෙස ඉන්දියාව සහ ජපානය ගන්නා ස්ථාවරය දෙස හැමෝම බලා සිටියහ. චීනය ශ්‍රී ලංකාවට සහාය දෙන බව මුල සිටම දැන සිටියේය. එසේ වුවද ඉන්දියාවේ සහ ජපානයේ හැසිරීම කුමක්දැයි රටම බලා සිටියේ කොළඹ වරායේ බටහිර ජැටිය සම්බන්ධයෙන් එම රටවල් දෙක දැක්වූ ප්‍රතිචාරයත් සමඟය. කෙසේ හෝ ඉන්දියාවත් ජපානයත් අවසන් මොහොතේ ඡන්දය දීමෙන් වැළකී සිටියේය. බටහිර ජැටිය සම්බන්ධයෙන් ප්‍රශ්නයටත් වඩා ඉන්දියාව මෙම යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී සිටීමට තවත් හේතුවක් ද බොහෝ දෙනා සඳහන් කරති. එනම් තමිල්නාඩුවේ ඡන්දය ළඟදී පැවැත්වීමට නියමිතව තිබීමය. ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටීමට එය ද ආසන්න හේතුවක් බව ඔවුන්ගේ අදහසය.


කැබිනට් රැස්වීම


මෙවර කැබිනට් රැස්වීම පැවැත්වූවේ අඟහරුවාදාය. සඳුදා හැන්දෑවේ කැබිනට් රැස්වීම පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවුවද එදින සවස ජනාධිපති කාර්යාලයෙන් ඇමැතිවරුන්ට දන්වා තිබුණේ කැබිනට් රැස්වීම අඟහරුවාදා සවස පැවැත්වෙන බවය. ඒ අනුව කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෙවර කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව තිබූ පත්‍රිකා අතර වැදගත්ම පත්‍රිකාවක් වූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කර තිබූ කැබිනට් සංදේශයයි. එය ඉදිරිපත් කරනු ලැබුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා විසිනි. පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත. එහෙත් ඡන්දය තියන්නේ කුමන ක්‍රමයට ද යන්න තවමත් තීරණය කර නැත. ජනකගේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූයේ මේ අතර වාරයේය. ඔහු එමගින් විකල්ප යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබිණි. එකක් පැරැණි මනාප ක්‍රමයටම පළාත් සභා ඡන්දය පැවැත්වීමය. එසේ පවත්වන්නේ නම් කළ යුතුව ඇත්තේ සරල සංශෝධනයකි. පළාත් සභා ඡන්දය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට සම්මත කරන ලද නව මැතිවරණ පනත අහෝසි කර පැරැණි පනත බලාත්මක කිරීම එම සංශෝධනයයි.


ඔහුගේ දෙවැනි විකල්ප යෝජනාව කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පවත්වන්නේ නම් මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පනහට පනහ වෙනුවට කොට්ඨාස ක්‍රමයෙන් සියයට 70ක් ද අනුපාත ක්‍රමයෙන් සියයට 30ක් ද පත්කර ගැනීමය. ඒ සඳහා ද පාර්ලිමේන්තුවට සංශෝධනයක් ගෙන ආ යුතුය. ඒ සමගම ඔහු තවත් යෝජනාවක් කර ඇත්තේ පළාත් සභා ඡන්දයෙන් ජය ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසන දෙක වෙනුවට දිස්ත්‍රික්කයකට ප්‍රසාද ආසන දෙක බැගින් ලබාදීමය. එය පළාත් සභාවේ පාලනය ස්ථාවරව පවත්වාගෙන යාමට ඉවහල් වන්නක් බව ඔහු පෙන්වා දී තිබිණි. ජනකගේ යෝජනාව සාකච්ඡාවට ගත් අවස්ථාවේ ඇමැතිවරුන් යෝජනා කළේ පත්‍රිකාව ලැබුණේ එදාම බැවින් මේ ගැන අධ්‍යයනය කිරීමට තරමක කාලයක් අවශ්‍ය බවය. ඒ අනුව පත්‍රිකාව සතියකින් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කළේය.


මේ අතර මේ දිනවල වෙළෙඳ පොළේ පවතින සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ දැඩි කතාබහක් ඇතිවිය. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද කීවේ රටේ සහල් හිඟයක් නැති බවය. මාස 6 කට අවශ්‍ය සහල් රට තුළ තිබෙන බව ඔහු කීවේය.


බන්දුල හාල් ටොන් ලක්ෂයක් රටින් ගෙන ඒමට අවසර ඉල්ලුවත් මහින්දානන්ද කීවේ රුපියල් 94ට වී මණ්ඩලයේ ඇති සහල් දිය හැකි බවය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධානවල නියෝජිත හමුවක් ගිය බදාදා නුගේගොඩ ‘වැලිපාර්ක්’ උද්‍යානයේ දී පැවැත්වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමැතිවරුන් වන ගාමිණී ලොකුගේ, එස්.එම්. චන්ද්‍රසේන, ඩී.වී. චානක කනක හේරත්, පියල් නිශාන්ත, ලලිත් එල්ලාවල, සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, සිරිපාල ගම්ලත් යන මැති ඇමැතිවරු ද ලලිත් යූ. ගමගේ, මහීපාල හේරත් යන ආණ්ඩුකාරවරු ද ඊට සහභාගි වූහ. මේ හමුව පැවැත්වූයේ උද්‍යාන භූමියෙ එළිමහනේය. ජනාධිපතිවරයා සිය අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කරමින් කීවේ මේ ස්ථානය තමා ආරක්ෂක ලේකම්ව සිටිය දී සකස් කරන්නට පෙර එහි ගස් කොළන් නොතිබූ බවය. ගස් සිටුවා අලංකාර උද්‍යානයක් කළේ තමා ආරක්ෂක ලේකම් ලෙස සිටිය දී බව ජනාධිපතිවරයා කීවේ පරිසර විනාශයක් සිදුවන බවට එල්ලවන චෝදනාවලට ද පිළිතුරු දෙමිනි.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ සිටියේ බංග්ලාදේශයේය. ඒ එරට අගමැතිනි ෂික් හසිනාගේ ආරාධනයකට අනුවය. ෂික් හසිනාගේ පියාගේ ජන්ම ශත සංවත්සරයත් එරට නිදහස් ස්වර්ණ ජයන්තියත් අගමැතිවරයාගේ බංග්ලාදේශ සංචාරයට නිමිත්ත විය. මහාචාර්ය ජී.එල්. පීරිස්, දයාසිරි ජයසේකර, අජිත් නිවාඩ් කබ්රාල්, තාරක බාලසූරිය ඇතුළු මැති ඇමැති පිරිසක් ද අගමැති මහින්දගේ සංචාරයට එක්ව සිටියහ. ජිනීවා හිදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා මානව හිමිකම් යෝජනාවට විරුද්ධව බංගලාදේශය සිය ඡන්දය භාවිත කිරීමට ද අගමැතිවරයාගේ බංග්ලාදේශ සංචාරය ඉවහල් විය.
ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වන ඩඩ්ලි සිරිසේන මහතාගේ උණවටුන අරලිය බීච් රිසෝට් හෝටලය ඉකුත් සති අන්තයේ විවෘත කිරීමට නියමිතව තිබුණේ ද අගමැති මහින්ද අතිනි. එහෙත් අගමැතිවරයාගේ බංග්ලාදේශ සංචාරය නිසා ඊට සහභාගිවීමට නොහැකි වූ අතර ඔහු ඒ බව ඩඩ්ලිට කල්තියාම දන්වා තිබිණි. හෝටලය ඉකුත් සති අන්තයේ විවෘත වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ හිටපු කථානායක ඇමැති චමල් රාජපක්ෂ යන මහත්වරුන් අතිනි. ඊට අමතරව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසක් ද ප්‍රබල ව්‍යාපාරිකයෝ ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. අර්ජුන රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සිරිපාල ගම්ලත්, කාවින්ද ජයවර්ධන යන මැති ඇමැතිවරු ද රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ ඇතුළු ප්‍රකට ව්‍යාපාරිකයෝ පිරිසක් ද ඒ අතර වූහ. පිරිස හෝටලය විවෘත කර තේ පැන් සංග්‍රහයට එක්වෙද්දී ඩඩ්ලි කීවේ තමා දේශපාලන භේදයෙන් තොරව හැමෝටම ඊට ආරාධනා කළ බවය. ඔහු හෝටලයේ ඇති විශේෂත්වය ගැන ද සඳහන් කරමින් කීවේ උණවටුන වෙරළේ වසරේ ඕනෑම දිනයක නාන්නට හැකි පරිසරයක් තිබෙන බවය. මැති ඇමැතිවරුන් හෝටලය විවෘත කර තේ පැන් සංග්‍රහයෙන් පසුව පිටත්ව ගිය නමුත් හිටපු ජනාධිපතිවරයාත්, සිරිපාල ගම්ලත් ඇමැතිවරයාත් මැදියම් රැය ආසන්න වන තෙක්ම එහි රැඳී සිටියහ.


පසුපෙළ මන්ත්‍රීවරුන් සිංහරාජයේ


ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ගිය බ්‍රහස්පතින්දා සිංහරාජය බලා පිටත්ව ගියෙ සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට විපක්ෂයෙන් හා සමාජ මාධ්‍යවලින් චෝදනා එල්ලවන පසුබිමකය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යූ. කේ. එස්. සුමිත්, මිලාන් ජයතිලක, අකිල එල්ලාවල, සමන්ප්‍රිය හේරත්, ලලිත් එල්ලාවල, ගුණතිලක රාජපක්ෂ, ඩී. වීරසිංහ, අමරකීර්ති අතුකෝරළ, වසන්ත යාපා බණ්ඩාර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරු 11 දෙනා මෙම සංචාරයට එක්වූහ. මේ පිරිස රක්වානට යද්දි ජානක වක්කුඹුර රාජ්‍ය ඇමැතිවරයාද එතැනට පැමිණ සිටියේය. ඔවුන් මුලින්ම ගියේ රක්වාන ප්‍රදේශයේ හෝටලයක් ඉදි කිරීම සඳහා කැලය කපන බවට චෝදනා එල්ලවී ඇති තැන බැලීමටය. පිරිස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාද හමුවී ඒ ගැන විමසූ අතර ඔහු කියා තිබුණේ අදාළ ස්ථානය සිංහරාජයට අයත් ප්‍රදේශයක් නොවන බවය. සිංහරාජය පිහිටියේ ඊට කිලෝ මීටර් 10 කින් පමණ එහායින් බවටද ග්‍රාම නිලධාරිවරයා කියා තිබිණි. පසුපෙළ මන්ත්‍රීවරුන් සංචාරය නිමවා ආපසු පැමිණියෙ කොළඹට පැමිණ මේ ගැන මාධ්‍ය හමුවේ සත්‍ය්‍ය හෙළි කළ යුතු බව කියමිනි.

 


විපක්ෂය පරිසරය රකින්න එක්වෙයි


පරිසර විනාශය ගැන පසුගිය දිනවල සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු දැඩි අවධානයෙන් සිටියහ. පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් පරිසර විනාශයට එරෙහිව විවිධ විරෝධතා සංවිධාන කළහ.
“හුස්ම ගන්න ඉඩ දෙන්න” තේමාව ඇතිව පරිසර විනාශයට එරෙහිව සමගි ජන බලවේගයේ විරෝධතාවය සංවිධානය කර තිබුණේ විහාර මහාදේවි උද්‍යානය අසල දීය. විරෝධතාවයට පෙර දින සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසලට පැමිණියහ. ඒ පරිසර විනාශයට එරෙහිව මන්ත‍්‍රීවරුන්ගේ නිහඬ විරෝධයක් දැක්වීමටය. විරෝධතා පුවරු රැගත් මන්ත‍්‍රීවරු නිහඬව විරෝධය දැක්වූහ. එස්.එම්. මරික්කාර් මේ විරෝධය සංවිධානය කර තිබුණේය.


“කැලෑ ත‍්‍රස්තවාදයට විරුද්ධව, සංකේතාත්මක නිහඬ විරෝධතාවයක් ආරම්භ කළේ හෙට දිනයේ දී වඩාත් ශක්තිමත්ව විහාර මහාදේවි උද්‍යානය අසල ක්‍රියාත්මක කරනවා. පරිසරයට ආදරය කරන ජනතාව මේ විරෝධතාවයට සහභාගි වෙන්න එන්න” විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස විවෘත ආරාධනාවක් කළේය.
සජිත් කළ ආරාධනාව බොහෝ දෙනා පිළිගෙන තිබුණහ. බෞද්ධ කාන්තා විද්‍යාලය අසල වට රවුමින් ආරම්භ වූ විරෝධතාවය විහාර මහාදේවි උද්‍යානය වටා නෙළුම් පොකුණ දක්වා වැටී තිබුණි. එක පෙළට රැස්වූ විවිධ ජන කණ්ඩායම් විරෝධතා පුවරු රැගෙන විරෝධයට එක්වූහ.


කණ්ඩායම් 5ක් මේ විරෝධතාවයට එක් වූ අතර අනපේක්ෂිත ලෙස ප්‍රමාණය විශාල විය.


විරෝධතාවය ආරම්භ කරන ස්ථානයේ සිටියේ සමගි වනිතා බලවේගයේ කණ්ඩායමයි. එතැන සිට සජිත් පා ගමින් ඉදිරියට පැමිණියේය. විහාර මහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසල ආදිවාසීන් එක්ව සිටියේ පරිසරය ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් කිරි කොරහ ශාන්ති කර්මය කිරීමටය.


එතැන ටික වේලාවක් නතර වී සිටි සජිත් ඉදිරියට එන්නට විය.


කුරුණෑගල, මාතර සහ දකුණේ දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ජනතාව සිටි ස්ථාන පසු කරමින් සමගි තරුණ බලවේගයේ කණ්ඩායම් ද පසුකරමින් පෙළපාළියෙන්ම විපක්ෂ නායකවරයා ඉදිරියට එන්නට විය.


ජනකාය පාලනය කිරීමට බොහෝ දෙනා කටයුතු කළ අතර මනූෂ එහි මූලික විය.


“මාධ්‍යවේදී මහත්තුරුන්ට ඉඩ දීලා අනෙක් අය පාරේ ඉඩ දෙන්න”‍
මනූෂ දැඩි ප්‍රයත්නයක් ගෙන පිරිස පාලනය කරන අයුරු සජිත් දුටුවේය.
“මනූෂ ඔහොම ඉන්න. සෙනග පාලනය වෙනකම් මෙතන ඉන්නම්”‍
දාඩිය පෙරාගෙන පිරිස පාලනය කරන මනූෂට සජිත් කීවේය.


විරෝධතාව අවසන් වන ස්ථානයේ කුඩා රැළියක් සංවිධානය කිරීමට අවශ්‍ය වී තිබුණි. එතැන වේදිකා ගැසීමට අවස්ථාවක් නොමැති නිසා එයට විකල්පයක් සොයන්නට විය.
විරෝධයට පිරිසක් ආ කැබ් රථයක් හරින් දුටුවේය.
“අන්න බඩු. ඕක තමයි ස්ටේජ් එක”‍ හරින් කීවේය.


“නියමයි. ඒක අරගෙන ඇවිත් විපක්ෂනායකතුමා ඒකට නග්ගලා කතාව කරමු” නලින් බණ්ඩාර යෝජනා කළේය.


ඒ අනුව කැබ් රථය එතැනට රැගෙන ආ අතර එයට නැගීමට කිසිදු ආධාරකයක් නොවීය.
“නායකතුමාට මේකට නගින්න පුළුවන් වෙයි ද?” එතැන සිටි අයෙක් ඇසුවේ හරින්ගෙනි.
“පිස්සුද? නායකතුමා ෆිට් එකේ ඉන්නේ. මේකට නගින එක ලොකු දෙයක් නෙමෙයි” හරින් උත්තර දුන්නේය.
හරින් කීවා වගේම සජිත් නලින්ගේ සහ හෙක්ටර්ගේ උරහිසට බර දී කැබ් රියට ගොඩවිය.
විරෝධතාවය අවසන් වී සජිත් ඊට එක්වූ පිරිස් සමග සුහද කතා බහක ද යෙදුණි.


සජිත් දියවන්නාවට බසියි


පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණෙන විට දියවන්නාව ජලාශයේ වතුර අවපැහැ ගැන්වී තිබෙන ආකාරය සජිත්ගේ නිරීක්ෂණයට ලක්විය.


“දියවන්නාවත් මේ දින කිහිපය ඇතුළත විශාල වශයෙන් විනාශ වෙලා. මොනවද මේ තියෙන්නේ. ඇල්ගී නෙමෙයි නේද”


“නෑ සර්. ඇල්ගී නෙමෙයි. මේක බලන්න කියලා පාර්ලිමේන්තුවේ උද්‍යාන පාලකට කියලා තියෙන්නේ” එතැන සිටි නිලධාරියෙක් පැවසුවේය.


“මම මේ ගැන කතානායකතුමාටයි, උද්‍යාන පාලකටයි කතා කරන්නම්” කී සජිත් පාර්ලිමේන්තුවට පැමිණ මේ ගැන අවධානය යොමු කළේය.
“දියවන්නාවේ ජලය අපවිත‍්‍ර වෙලා. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ දියවන්නාවේ එක පැත්තක් විනාශ වෙලා” සජිත් කීය.


“මේක පාර්ලිමේන්තුවේ ඉදිරියේ තියෙන ටැංකියක් සුද්ද කරලා. ඒකේ වතුර දියවන්නාවට මුදාහැරලා. ඒ නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. මේක සුද්ද කරන්න වෙනවා. හිතලා බලන්නේ නැතිව ජලය මුදාහැරපු නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ” කතානායකවරයා උත්තර බැන්දේය.
“පාර්ලිමේන්තුවට පිවිසෙන තැනත් පරිසරය විනාශ කරනවා නම් සිංහරාජය ගැන කවර කතා ද” සජිත් කීවේ කනගාටුවෙනි.


මේ අතර අපවත්වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර සංඝ නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටත්, ආදාහන පූජෝත්සවයේ කටයුතු ගැන සොයා බැලීමටත් සජිත් වැඩි අවධානයක් යොමු කළේය.


“මට එදා ඉඳලා සමීපව සිටි හිමිනමක් තමයි කොටුගොඩ නායක හාමුදුරුවෝ. සසුනට අරුණ වැඩසටහන කරන්න වගේම, ඊට කලින් කරපු හැම වැඩකටම උන්වහන්සේ ආශිර්වාද කළා. අවවාද අනුශාසනා දුන්නා” සජිත් කීවේ අවස්ථා කිහිපයක දීම එහි ගොස් දේහයට අවසන් ගෞරව දක්වමිනි.


පසුගිය සතියේ දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී ඉදිරි පාර්ලිමේන්තු සතිය ගැන වැඩි අවධානයක් යොමු වුණේය.
“සීනි වංචාව ගැන පාර්ලිමේන්තුවේ දී විවාදයක් ඉල්ලන්න ඕනෑ” ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා යෝජනා කළේය.


“බැඳුම්කර වංචාවට වඩා ලොකු වංචාවක් කරපු සීනි වංචාව යට ගහන්න දෙන්න එපා. පාරලිමේන්තුවේ විවාදයක් ඉල්ලමු. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටතදීත් සීනි වංචාව ගැන කතා කරන්න” සජිත් මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දුන්නේය.


“මේ ආණ්ඩුව ෆේල්. ඒත් ඉතිං සමහරු දැන් අපි සාර්ථක නෑ කියලා සල්ලි ගෙවලා ෆේස් බුක් කැම්පේන් කරන්න හදනවා” ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා තමන්ට ලැබුණු තොරතුරක් හෙළි කළේය.
“ආණ්ඩුව මෙච්චර ඉක්මනට අසාර්ථකයි කියලා රට දැනගත්තේ විපක්ෂය නිසා. වැඩ කරන විරුවා වැඩ බැරි ෆේල් පුද්ගලයෙක් කියලා දැනගත්තේ විපක්ෂය නිසා. විපක්ෂයේ ප‍්‍රමාණය කුඩයි. නමුත් ඩීල් නැති විපක්ෂයක් නිසා අපිට ඉදිරියට යන්න පුළුවන් වෙලා තියෙනවා” මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කීවේ ඔවුන්ට ලබාදිය යුතු පිළිතුර ගැන සිහිපත් කරමිනි.


“ලංකාවේ ආණ්ඩුවක් නැති අවස්ථා දෙකක් තිබුණා. එකක් තමයි දින පනස් දෙකේ සෙල්ලම් ආණ්ඩුව. දැන් ආණ්ඩුව ජනාධිපති ද අගමැති ද නැතිනම් වෙන කවුරුවත් ද කියලා හිතාගන්න බෑ” හරින් කීවේ ආණ්ඩුව ඇතුළේ ඇතිව තිබෙන අර්බුද ගැන සිහිපත් කරමිනි.


දිනේෂ් කියන්නේ ජනාධිපති සජිත් කියලා ද?


ජිනීවා හිදී රටක් ලෙස ලද පරාජය පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් ද සිය අවධානය යොමු කළහ.


“මේක රටට හොඳ නෑ. හැබැයි මේකෙ වරද ආණ්ඩුවේ”‍
එහෙම කීවේ අශෝක අබේසිංහ ය.
“ඔව් මේක ආණ්ඩුව මායිම් කරන්නේ නෑ. හැබැයි මැතිවරණයට මේ අය අනුකම්පාව ගන්න ඕක යොදා ගන්නවා.” නලින් කීවේය.


හස්තියාට නිසි වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගත යුතුයි


නිදහස් ලංකාවේ පළමු අගමැති සහ එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 69 වැනි ගුණ සමරු උළෙල ඉකුත් දා පවත්වනු ලැබුවේ මීරිගම ඓතිහාසික බෝතලේ වලව් භූමියේදීය. ඩඩ්ලි සේනානායක මහතා උපත ලැබූ දිනයේ බුදු සසුනට පූජා කළ අඹේපුස්ස පිරිස්යාල සේනානායක මුදලින්දාරාමයේ වැඩවසන කටුගස්තොට සාරද හිමියන් ඩී.එස්. සේනානායක ගුණ සමරු උළෙලට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියේ ඇද්‍ වැටී සිටින එක්සත් ජාතික පක්ෂය නමැති හස්තියා නිසි වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු බවය. සේනානායක ලේ උරුමය ඇති රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ නායකත්වයට පත්වී පක්ෂය ගොඩනැගිය යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. එම සමරුව පැවැත්වුණේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
එදින සවස ටොරිංටන් චතුරස්‍රයේ පිහිටි ඩී.එස්. සේනානායක සමරුවට මල්මාලා පැළඳවීම රුවන් විජයවර්ධන මහතා හා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අතින් සිදු කෙරිණි.
පසුදා එජාප ආසන සංවිධායකවරුන් පිරිසක් හමුවූ රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව කතා කළේය.


ගම්පහ මහ නගර සභාවේ විපක්ෂ නායක ලෙස පත්වී සිටින රවින් ගනේගොඩ මහතා හා කණ්ඩායම් සංවිධායක අනෝමා නුගපිටිය මහත්මිය හමු වූ රුවන් විජයවර්ධන මහතා ඉන් අනතුරුව ගම්පහ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමීර රන්දෙණිය සහ විපක්ෂයේ සංවිධායක රේණුකා ශ්‍යාමලී මහත්මිය ද හමුවී සාකච්ඡා පැවැත්වීය.


ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් ධුරය ශාන්ත බණ්ඩාරට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මධ්‍යම කාරක සභාව ද ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රීලනිපයට අලුතින් පත්වූ නිලධාරි මණ්ඩලය සඳහා ලබන අඟහරුවාදා (30) මාතලේ දී දෙදින වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


එහිදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කරනු ලැබීය. තවත් කමිටු ගණාවකට සාමාජිකයන් පත් කිරීමද එහිදී සිදුවිය.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ශ්‍රීලනිපය ඉදිරිපත් කරන යෝජනා මේ මස 30 වැනිදා මහනුවරදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට ඉදිරිපත් කිරීමටද නියමිතය. එදින මධ්‍යම කාරක සභා සාමාජිකයන් දළදාව වැඳපුදා ගන්නා අතර ඉන්පසු මාතලේ බලා යන්නේ මධ්‍යම කාරක සභිකයන්ට පැවැත්වෙන දින දෙකක වැඩ මුළුව සඳහාය.

 

 

- ගජබා -