පදවි ප්‍රාප්ති පිංකමට ජනපති අනුරපුරයේ


 

ආණ්ඩුවට ගිය සතිය කරුණු තුනක් නිසා සුවිශේෂය. පළමුවැන්න පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පළමුවැනි අයවැය ඉදිරිපත් කිරීමය. දෙවැන්න ගෝඨාභය රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරයට පත්ව පසුගිය බදාදාට වසරක් සපිරීමය. තෙවැන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයද එදිනටම යෙදී තිබීමය. මේ කරුණු තුන නිසාම ආණ්ඩුවට ඉකුත් සතිය සුවිශේෂම සතියක් වූ බව පැහැදිලිය.


අය වැය ඉදිරිපත් කිරීමට තිබීමත් පාර්ලිමේන්තු සතියක් වීමත් නිසා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට මෙන්ම විපක්ෂයේ අයටද ගිය සතිය කාර්යබහුල විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සති අන්තය ගත කළේ අනුරාධපුරයේය. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සපිරීම වෙනුවෙන් ශ්‍රී මහා බෝධින්වහන්සේ ඇතුළු අටමස්ථානය වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමත් අගමැතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් අටමස්ථානය වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමත් නිසා ඔවුන් දෙදෙනාම සති අන්තය ගත කළේ අනුරාධපුරයේය. ඉකුත් සතියේ සිකුරාදා අනුරාධපුරයට ගිය ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කොළඹට ආවේ ඉරිදාය. ජනාධිපතිවරයා සිය බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය සමග අනුරාධපුර ජනපති මැදුරේ නැවතී සිටි අතර අගමැතිවරයා සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග නැවතී සිටියේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන මුදිත ගුණසේකරගේ නිවසේය. මහින්ද විපක්ෂයේ සිටියදීද අනුරාධපුරයට ගියවිට හැමදාම නැවතුනේ මුදිත ගුණසේකරගේ නිවසේය. අගමැතිවරයා එහි රැඳී සිටියදී ඔහු මුණගැසීමට මැති ඇමතිවරුන් එහි ගියද ජනාධිපතිවරයා හමුවන්නට නිල නිවසට මැති ඇමතිවරුන් පැමිණ සිටියේ නැත. ජනාධිපතිවරයා අටමස්ථානය වැඳපුදාගැනීමටද ගියේ සිය බිරිය සමග පමණි. එහෙත් අගමැතිවරයා අටමස්ථානය වැඳපුදාගන්න සිය බිරිඳ සමග යද්දි එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ යන අමැතිවරුද හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත්ද පැමිණ සිටියහ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අටමස්ථානය වැඳපුදාගන්නට වෙන වෙනම ගියද මිරිසවැටිය චෛත්‍යය අබියස පැවැති ආශිර්වාද පින්කමට දෙදෙනාම එකට පැමිණ සිටියහ. ජනාධිපතිවරයා ඉරිදා උදේ 7.00 ට පැමිණ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගෙන ගිය පසුව අගමැතිවරයාද පැමිණ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදා ගත්තේය. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියත් අගමැතිවරයාගේ උපන්දිනයත් මෙවර ආගමික වතාවත්වලට පමණක් සීමාවී තිබිණි.


කැබිනට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. හවස 5.00 ට ආරම්භ වූ කැබිනට් රැස්වීම අවසන්වන විට රාත්‍රි 9.00 ද පසුවී තිබුණේ. කැබිනට් පත්‍රිකා රැසක් ඉදිරිපත් කර තිබීමත් වෙනත් කරුණු රැසක් සාකච්ඡාවට ගැනීමත් හේතුවෙනි. එදින ඉදිරිපත් කර තිබූ පත්‍රිකා අතර අවි ආයුධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ අගමැතිවරයා විසිනි. මෙරට පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී ඇති අවි ආයුධ මෙන්ම පාරම්පරිකව ඇතැම් පුද්ගලයන් සතුව තිබෙන පැරැණි අවි ආයුධ සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කිරීම එහි අරමුණ විය. එම පත්‍රිකාව පිළිබඳව සාකච්ඡා කරද්දි විමල් වීරවංශ ඇමැතිවරයා කීවේ ඩග්ලස් දේවානන්ද පාවිච්චි කරපු අවි ආයුධද මේ කෞතුකාගාරයේ තැන්පත් කළ හැකි බවය. ඒකට පිරිස හිනාවෙද්දි මහින්දානන්ද අලුත්ගමගේ අැමැතිවරයා කීවේ ඇයි ඩග්ලස් ඇමැතිතුමාගේ විතරක්? විමල් ඇමැතිතුමා ඒ කාලේ පාවිච්චි කරපු අවි ආයුධත් මේකේ තැන්පත් කරන්න... යනුවෙනි. ඒකටද හැමෝටම හිනාය.


කොවිඩ් වයිරසය වැළඳී මියයන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමදානය කළ හැකි බවට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන ඇතැයි ඉකුත් සතියේ සමාජ මාධ්‍යවල පැතිර ගියේය. එහෙත් රජය කීවේ කැබිනට් මණ්ඩලය එවැනි තීන්දුවක් ගෙන නැති බවය. ගිය සඳුදා කැබිනට් රැස්වීමේදී විමල් වීරවංශ ඇමැතිවරයා කියා සිටියේ අලි සබ්‍රි ඇමැතිවරයා සිය මුහුණු පොතේ දැමූ සටහනක් ඊට පාදක වී ඇති බවය. එහෙත් අලි සබ්‍රි විමල්ගේ චෝදනාව ප්‍රතික්ෂේප කළේ තමා එවැන්නක් මුහුණු පොතේ නොදැමූ බව කියමිනි. තමා එවැන්නක් සිය මුහුණු පොතේ දමා ඇතැයි පුළුවන් නම් පෙන්වන ලෙසද අලි සබ්‍රි විමල්ට කීවේය.


මේ අතර කැබිනට් රැස්වීමේදී පැයකටත් අධික කාලයක් කතාබහට ලක්වුණේ සමාජ මාධ්‍යවලින් ආණ්ඩුවට එරෙහිව ගෙන යන ප්‍රචාර පිළිබඳවය. ආණ්ඩු විරෝධී ඇතැම් පිරිස් බොරු ප්‍රචාරය කරමින් ආණ්ඩුවට එරෙහි මඩ ප්‍රචාර සමාජ මාධ්‍යවල පළකරන බව ජනාධිපතිවරයා කීවේය. ආණ්ඩුව කොවිඩ් මර්දනය කිරීමටත් ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් විශාල කාර්යභාරයක් කරද්දී කොවිඩ් රෝගීන් පාරවල්වල මිය යන බවට ඇතැමුන් සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාරය කරන බව ජනාධිපතිවරයා කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක්ද කරමිනි. අගමැතිවරයාත් ඇමැතිවරුන් ඒ ගැන දිගින් දිගටම කතා කළේ මෙම බොරු ප්‍රචාරවලට එරෙහිව පියවරක් ගත යුතු බව කියමිනි. ආණ්ඩුව ගෙන යන කොවිඩ් මර්දන වැඩපිළිවෙළ රටේ සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගැනීමට ගෙන ඇති පියවර ගැන ජනතාව දැනුවත් කිරීමටද එහිදී තීරණය විය.


මහින්ද රොනීගේ අයවැය වාර්තාව සම කරයි


ලබන වසර සඳහා වන අයවැය අගමැතිවරයා විසින් ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එය මහින්ද මුදල් ඇමැති ලෙස ඉදිරිපත් කළ 11 වැනි අයවැයයි. මීට පෙර අයවැය 11ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ එවකට මුදල් ඇමැතිව සිටි රොනී ද මැල්ය. ඒ අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් මහින්ද රොනීගේ වාර්තාව සම කළේය. නිදහසින් පසුව ඉදිරිපත් කෙරුණු 75 වැනි අයවැය ද මෙය වූ අතර එහි විශේෂත්වය වූයේ මහින්දගේ 75 වැනි උපන් දිනයද ඊට පසුදිනට යෙදී තිබීමය. අයවැය ලේඛනයද රැගෙන මහින්ද එදින දහවල් 1.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු පිළිගනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන ඇමැතිවරුන් දෙදෙනා විසිනි. අයවැය ඉදිරිපත් කිරීමට වෙලාව වෙන්වී තිබුණේ ප.ව. 1.40ට නිසා අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට ගියේය. මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල ද කාර්යාලට පැමිණ අයවැය ගැන සාකච්ඡාවක යෙදී සිටියහ. සර් අද ඓතිහාසික දවසක්. ගෝඨාභය මහත්තයා ජනාධිපතිවෙලා අදට අවුරුද්දක් පිරෙනවා යැයි ජොන්ස්ටන් කියද්දී ලොහාන් රත්වත්ත කීවේ අගමැතිතුමා හෙට 75 වැනි උපන් දිනය සමරන්නේ අද 75 වැනි අයවැය ඉදිරිපත් කරමින් යනුවෙනි.


අගමැතිවරයාගේ අයවැය කතාව පැය දෙක හමාරක් පමණ ඇදී ගිය නිසා අතරමැද තේ පැන් සංග්‍රහය සඳහා කතාව නතර කෙරිණි. වෙනදා මෙන් අයවැය දිනයේ සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයක් නොවූ නමුත් තේ සංග්‍රහයට මැති ඇමැතිවරු රැසක් පැමිණ සිටියහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණ සිටියේය. ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාද වසර 10කට පමණ පසුව අයවැය තේ පැන් සංග්‍රහයට පැමිණ සිටියේ සිය පුත්‍රයා වන ප්‍රමිත තෙන්නකෝන් ද කැටුවය. එය දුටු ප්‍රියංකර ජයරත්න කීවේ ඇමැතිතුමා වෙනදා තේ බොන්න නාවට අද පුතත් එක්කම ඇවිල්ලා යනුවෙනි.


මන්ත්‍රීවරුන්ට උපන්දින කේක්


ඉකුත් පාර්ලිමේන්තු සතියේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවකගේ උපන්දින යෙදී තිබිණ. ඒ වෙනුවෙන් උපන්දින කේක් කැපීමේ අවස්ථා කිහිපයක්ම මන්ත්‍රීවරුන් විසින් සංවිධානය කරනු ලැබ තිබුණේය.
අගමැතිවරයා අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තම කාර්යාලයට පැමිණියේය. ප්‍රේමනාත් දොලවත්ත හා වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරුන්ගේ උපන් දිනය සැමරීමට කේක් කැපීම ද එහි සංවිධානය කර තිබිණි. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, සී.බී. රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කාංචන විජේසේකර ඇතුලු මැති ඇමතිවරු පිරිසක්ද ඊට එක්ව සිටියහ. කෝ මේ උපන් දින කුමාරයො දෙන්නා අගමැතිවරයා විමසද්දි අපි ඉන්නව සර් කියමින් ​දොලවත්ත හා වීරසුමන මන්ත්‍රීවරුන් එතැනට එක් වූයේ සතුටු සිතිනි. ‘‘දෙන්නටම ලොකු වයසක් නෑ නේ’’ ඔව් සර් එහෙම පේනව නම් ලොකු දෙයක්’’ දොලවත්ත මන්ත්‍රීවරයා කීවේය.


‘‘සර් මේ දවස්වල දොලවත්ත මන්ත්‍රීතුමාට යහපාලන කාලේ වගේ වොයිස් කට් දෙන්න ඕන කරන පරිසරය අඩු වෙලා’’ අගමැතිවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කීවේය.
‘‘යහපාලන කාලෙ දොලේගෙ වොයිස් කට් මාධ්‍යයේ නැති දවසක් නෑ. වැඩිපුර උසාවි ළඟ, බන්ධනාගාර ළඟ. ‘‘විමල් කීයද්දී’’ ඒ කාලේ ඒ ආණ්ඩුව අපිට දුන්නේ පුදුම වදයක් ඇමැති ජොන්ස්ටන් කීවේය.
ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ඉන්පසු පැවැත්වුණු අතර විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් මන්ත්‍රීවරුන් දෙදෙනාද රැස්වීමට පැමිණියහ. ඩයනා සහ අරවින්ද පැමිණෙද්දී මන්ත්‍රීවරුන් ඒ දෙදෙනා පිළිගත්තේ අත්පුඩි ගසා සතුට පළ කිරීමෙනි.


අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාගේ උපන් දිනයද එදිනට යෙදී තිබුණ අතර ඔහු වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක්ද සූදානම් කර තිබිණ. කේ්ක් කැපීමට ආරාධනා කරද්දී අරවින්ද පුදුමයෙන් බලා සිටියේය.
‘‘මට ලැබුණු හොඳම බර්ත්ඩේ සුබ පැතුම මේක තමයි. මම අවුරුදු ගාණක් විපක්ෂයේ හිටියා. හැබැයි කවදාවත් මට මෙහෙම පිළිගැනීමක් ලැබුණේ නෑ. අද උදේම මට අගමැතිතුමා කතා කරල සුබපැතුවා. මට එහෙම සුබපැතුමක් කවදාවත් ලැබිලා නෑ. අරවින්ද කීවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීන්ට ස්තුති කරමිනි.


මහින්ද 75 සපුරයි


මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ 75 වැනි උපන් දිනය ගිය බදාදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් විශේෂ උත්සව ආදිය සංවිධානය නොවූ නමුත් අගමැතිවරයාට ආශිර්වාද කරන්නට කිරි අම්මාවරුන්ගේ දානයක් නාරාහේන්පිට අභයාරාමයේ සූදානම් කර තිබුණේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසිනි. එදින ගම්පහ දිස්ත්‍රික්කයේ උත්සව කිහිපයකටද අගමැතිවරයා සහභාගි වූ අතර දිවා ආහාරය සූදානම් කර තිබුණේ ප්‍රසන්න රණතුංගගේ කටුනායක පිහිටි නිවසේය. දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු ද අගමැතිවරයා සමග ප්‍රසන්නගේ නිවසට දවල් කෑමට පැමිණ සිටියහ. කටුනායක ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ දෙවන අදියර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදින ආරම්භ විය. උත්සවය අවසානයේ හදිසියේම උපන්දින කේක් එකක් රැගෙන එනු ලැබුවේ ප්‍රසන්න රණතුංග විසිනි. මහින්දගේ උපන් දිනය නිසා පොහොට්ටුවේ ලාංඡනයද සහිත උපන් දින කේක් එකක් එතනට රැගෙන එන්නට ප්‍රසන්න සූදානම් කර තිබුණේ කාටත් හොරෙනි. මැති ඇමැතිවරුන්ගේද සහභාගිත්වයෙන් අගමැතිවරයා කේක් කපා පළමු කෑල්ල ද ප්‍රසන්නට කැව්වේය.
‘‘යහපාලන ආර්ථික අසානාසිය’’ අරන් බන්දුල පාර්ලිමේන්තුවට යයි.


යහපාලන ආණ්ඩුකරණයේ අසානාසිය නමින් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ලියූ පොතක් ගිය සතියේ එළිදුටුවේය. එය ලියා ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේ ආර්ථිකය  මෙහෙයවීම ගැන පැහැදිලි කරමිනි. බන්දුල ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වීමට ගියේ පොතේ පිටපත් මන්ත්‍රීවරුන්ටද බෙදා දෙමිනි.


හරීන්ලාගේ වැඩේට සජිත්ගේ සහාය


විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස පසුගිය අඟහරුවාද‌ා විපක්ෂනායක කාර්යාලයට පැමිණියේ කොරෝනා සම්බන්ධයෙන් මහජන ගැටලු ලබා ගැනීම සඳහා වන ඇමැතුම් මධ්‍යස්ථානයට ලැබෙන දුක් ගැනවිලිවලට සවන් දීමටය. ඔහු විපක්ෂනායක කාර්යාලයට පැමිණෙන විට ඔහු හමුවීමට අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ පසුගිය මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරියයි. ඔහු එහි පැමිණ සිටියේ සජිත් විසින් කළ විශේෂ ආරාධනයකට අනුවය. ඔහු සමග අඩහෝරාවක් පමණ සිය කාර්යාලයේ දී සාකච්ඡා කළ සජිත් සමගි ජනබල වේගයේ බුද්ධි මණ්ඩලය සමග එක්වන ලෙස ආරාධනා කළේය.


ඒ හමුවෙන් පසුව මහලේකම් රංජිත් ද ක්‍රිෂ්මාල් ද සමග විපක්ෂනායකවරයා දුරකතන ඇමැතුම් මධ්‍යස්ථානයට පැමිණියේය. ඒ වන විටත් ඇමතුම් මධ්‍යස්ථානයට විශාල ඇමැතුම් සංඛ්‍යාවක් ලැබෙමින් තිබුණි. ඒ විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු ජනතා ගැටලුවලට සවන් දීමට සූද‌ානමින් සිටින බවට ජනතාවට ලැබී තිබුණ තොරතුරු සමගය. හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරු ගැටලුවලට සවන් දුන්හ. ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වීමට පැමිණ සිටි දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ද එතැනට පැමිණියේය. විපක්ෂනායකවරයා පැමිණ කොරෝනා නිසා ජනතාව මුහුණ දී තිබෙන ගැටලු ගැන සාවධානව අසා සිටියා පමණක් නොව ගැටලු ගැන සටහන් තබා ගැනීමට ද අමතක කළේ නැත.


‘මම මේ ද‌ාපු සටහන්වල ඔර්ජිනල් එක කෝල් සෙන්ටර් එකේ තියන්න. ෆොටෝ කොපියක් ගහලා මගේ අතට දෙන්න. මම දැන් පාර්ලිමේන්තුවට යන අතරවාරයේදී ඔය හැම ගැටලුවක් ගැනම කතා කරලා විසඳුමක් ලබා දෙනවා.’ සජිත් කීවේ විපක්ෂයේ කාර්යභාරයෙන් ඔබ්බට ගොස් ජනතාවගේ ගැටලුවලට සක්‍රීය විසඳුම් ලබාදෙන බවට සහතිකයක් ලබා දෙමිනි.


විපක්ෂනායකවරයා පැයක් පමණ ජනතාවගේ ගැටලුවලට සවන් දුන්නේය.


‘පාර්ලිමේන්තුවේ කණ්ඩායම් රැස්වීමක් තියෙනවා. ඒකට මම යන්න ඕනෑ නැතිනම් මම අද දවසේම මෙතැන ඉදලා හරි මේ ගැටලු ගැන අහනවා. මට පුලුවන් හැම අවස්ථාවකදීම මෙතැනට ඇවිත් ජනතාවගේ ගැටලුවලට සවන් දෙනවා.’ සජිත් සඳහන් කළේය.


‘මෙතැන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?’ සජිත් ඇසුවේ හරීන්ගෙනි.


‘හැම දවසකම අපි මෙතැන වැඩ. හැමද‌ාම මන්ත්‍රීවරයෙක් ඇවිත් ජනතාවගේ ගැටලුවලට සවන් දෙනවා. ඒ වගේම අපි මෙතැන ප්‍රශ්න එකතු කරන ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒවා අද‌ාළ අංශවලට යොමු කරලා ගැටලුවලට විසඳුම් ලබාදෙන්න කියන බලකිරීම් අපි කරනවා.’


‘මේ වැඩෙන් ආණ්ඩුවට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකට වඩා විශේෂ වෙන්නේ විපක්ෂය දැන් ජනතාවගේ දුක්ගන්නා රාළ බවට පත්වෙලා තියෙන එක. විපක්ෂය විදියට මේ වගේ නිර්මාණාත්මක වැඩ කරන්න ඕනැ.’ සජිත් කීවේ එතැන සිටි මනූෂ, මරික්කාර්, මුජිබර් ඇතුළු මන්ත්‍රීවරුන් දෙස බලමිනි.
‘අපි කණ්ඩායමක් විදිහට ජනතාවගේ ගැටලුවලට විසඳුම් දෙන්න කියන බලපෑම උපරිමයෙන් කරනවා.’ මරික්කාර් කීවේය.


‘අපේ පක්ෂයේ හැකියාව, දක්ෂතාව තියෙන අයට ඉඩ තියෙනවා. විශේෂ වරප්‍රසාද ලබාදෙන කිසිම කෙනෙක් මේ පක්ෂය ඇතුළේ නෑ.’ සජිත් කීවේ තරුණ මන්ත්‍රී කණ්ඩායම තවත් දිරිගන්වමිනි.’ සජිත් හරීන් ඇතුළු කණ්ඩායමට සිය කෘතවේදීත්වය ද පුද කළේය.


මාළු කෑ මන්ත්‍රීට සජිත් කී දේ?


කොරෝනා තත්ත්වය සමග ධීවරයන්ට මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වය ගැන සමගි ජන බලවේගයේ අවධානය යොමුව තිබුණේය. ධීවරයන් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වූයේ දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයාය.


‘මාළුවලින් කොරෝනා බෝ වෙනවා කියලා සමහරු කිව්වට එහෙම වෙන්නේ නෑ. මම අමු මාළුවෙක් කාලා පෙන්වන්නම්’ කී දිලිප් තමන් ගෙන ආ අමු මාළුවකුගෙන් කොටසක් කෑවේය.


මෙය මාධ්‍යයට නිකුත් වූ විට ඇතැමුන් ඒ ගැන විවිධ විවේචන එල්ල කර තිබුණි. සමහරු පක්ෂ නායකයාගෙන් දිලිප්ට ලැබෙන ප්‍රතිචාරය ගැන විමසිලිමත් වූහ.


‘මේ වෙලාවේ ධීවර ප්‍රජාව අන්ත අසරණ වෙලා. ආණ්ඩුව කිසිම දෙයක් කරන්නේ නෑ. ධීවර ජනතාව වෙනුවෙන් ඔබ ලොකු දෙයක් කළේ. ඔබ ඒ ජනතාව වෙනුවෙන් අව්‍යාජව පෙනී සිටියා.’ මේ ගැන සමාජ මාධ්‍යයේ විවිධ අදහස් මතුවන විට සජිත් දිලිප් වෙනුවෙන් පෙනී සිටියේය.


‘අමුවෙන් මාළු කන සංස්කෘතියක් ජපානය වගේ පෙරදිග රටවල තියෙන බව නොදන්න අය මේක විහිළුවට අරගෙන තියෙනවා. දකුණේ මිනිහෙක් විදියට මමත් දිලීප් වෙනුවෙන් පෙනී සිටිනවා.’ මනූෂ කීවේය.
‘දිලිප් බය නැතිව මේ කරපු වැඩේ ලොකු දෙයක්. ආණ්ඩුවකින් කරන්න ඕනැ දේ තමයි විපක්ෂයේ අපි කරලා තියෙන්නේ. මේක බයියොන්ට විහිළුවක් වුණාට ජාත්‍යන්තර මාධ්‍ය එහෙම හොඳට අරගනීවි.’ හරීන්ගේ තක්සේරුව විය. එම තක්සේරුව නිවැරදි විය. එදින ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක්ම මෙම පුවත වාර්තා කර තිබුණේය.


මාධ්‍යයට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න


ආණ්ඩුව මේ වන විට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත් ආණ්ඩුව පත්වී වසරක් තුළ සිදු​ෙවන මේ බරපතළ ප්‍රහාරය හෙළා දකින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතා ඉකුත් ද‌ා චෝදනා කළේය.


‘මේ ආණ්ඩුව පත්වෙලා වසරක් සම්පූර්ණ වෙලා තිබෙනවා.


ආණ්ඩුවේ අසමත්කම හැම තත්පරයක්ම ගානෙම ඔප්පු කරමින් ඉන්නවා.


ඒ අතර තමන්ව විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කරගෙන දැඩි මර්දනයක් දියත් වෙනවා. මාධ්‍යවේදීන් සිරගෙදරට ගෙන යන මාධ්‍ය දඩයමක් ආණ්ඩුව කරගෙන යනවා. කිසිසේත්ම ඒ දඩයමට අපි ඉඩ දෙන්නේ නෑ. ඊට එරෙහිව අපි සටන් කරනවා. ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න. කොයිම ආකාරයක හෝ මාධ්‍යයට එරෙහිව දියත් වෙන මර්දනයට සහ බලපෑමට අපි විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුව උල්ලංඝණය කරනවා. සජිත් කීවේය.
අයවැය ගැන මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් බද‌ාද‌ා රාත්‍රියේ දී පැවැත්විණි. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය සමරතුංග ඇතුළු විද්වත්හු පිරිසක් අයවැය ගැන කරුණු දැක්වූහ.


‘අයවැයෙන් ජනතාවට දැනෙන කිසිම සහනයක් ලබා දී නැහැ.’ සාකච්ඡාවට ආරම්භයක් දුන්නේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාය.


‘ආණ්ඩුව අපි ගත්ත ණය ගැන කතා කරනවා. අපි අවුරුදු පහට ගත්තාට වඩා වැඩි ණය ප්‍රමාණයක්ම මේ ආණ්ඩුව පසුගිය අවුරුද්දේ දී අරගෙන තියෙනවා.’ අශෝක අබේසිංහ මන්ත්‍රිවරයා කරුණු දැක්වූවේය.
‘මේ ආණ්ඩුව කළු සල්ලි සුදු කරන්න වැඩ කරනවා. විදේශ රටවල හංගලා තියෙන සල්ලි සියයට එකක දඩයක් ගෙවලා රට ඇතුළට ගෙන්වා ගන්න අයවැයෙන්ම යෝජනා කර තියෙනවා. ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ විදියට කළු සල්ලි ලංකාවට ගේන්න අවසර දෙන නිල ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙන්නේ. රාජපක්ෂලා තමයි ඒවා කරලා තියෙන්නේ.’ හර්ෂ ද සිල්වා පැවැසුවේය. මේ අතර සජිත් ආර්ථික කරුණු ගැන දීර්ඝ ලෙස විමසීම් කරමින් කරුණු පැහැදිළි කරගත්තේය.


සමගි ජනබලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව අලුත් කරයි


සමගි ජනබලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව ලෙස මෙතෙක් කල් පැවතුණේ එම පක්ෂය පිහිටුවීමට පෙර තිබූ අපේ ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවය. සමගි ජන බලවේගය පිහිටවූයේ අපේ ජාතික පෙරමුණ එහි හිමිකරුවන්ගෙන් නීත්‍යානුකූලව ලබා ගනිමිනි. ඒ යටතේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, නීතිඥ පිරිසක් ද සමග එක්ව පක්ෂයකට හා වර්තමානයට ගැලපෙන පරිදි සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ලෙස එහි වගන්ති අලුතෙන්ම ලියවා සංශෝධනය කළේය. එය නුදුරේදීම පක්ෂ නායකයන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.


සමගි ජනබල වේගයට සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු ලබන ජනවාරියේදී ඇරඹීමට ද තීරණය කර තිබේ.


කොරෝනා වසංගතයට මුවා වී කැලෑ කැපීම ගැන රුවන්ට පැමිණිලි


සංචරණ සීමා කර තිබීම නිසා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතියේ කොළඹින් පිටතට ගියේ නැත. එහෙත් ඔහුට විවේකයක් නම් නොවීය. ගම්පහ ජනතාව නිතර නිතර දුරකථනයෙන් කතා කරමින් තමන්ට පවතින ගැටලු පිළිබඳව ඔහුට පැමිණිලි කර සිටියහ. එහිදී එක් ඡන්දදායකයෙක් ප්‍රකාශ කර සිටියේ රුපියල් 5000 ක සහනාධාරය ලබා ගැනීම සඳහා පෙර දිනයේ රාත්‍රී එකොළහයි තිහ පමණ වන තුරු පෝලිමේ සිටීමට සිදු වූ බවය.


දෛනික රැකියා කර වැටුප් ලබන අයට මේ කොරෝනා සමයේ ජීවත් වීමට කිසිදු මාර්ගයක් නොමැති බවට ද පැමිණිලි ලැබී තිබුණි. සියලු දුරකථන ඇමතුම් කෙරෙහි ඉතා සංවේදීම ඇහුම්කන් දුන් නියෝජ්‍ය නායකවරයා හැකි පමණින් ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අදාළ බලධාරින්ට හා දේශපාලනඥන්ට කතා කරමින් සහන ලබා දුන්නේය. මීට අමතරව සිය හිතවතුන්ට කතා කර සුව දුක් විමසා බැලුවේය.


පරිසර විනාශය වැළැක්වීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡාව පසුගිය සතියේදී විශේෂයෙන් වැදගත් එකක් විය. හෙක්ටයාර් ලක්ෂ 5 කට අධික වනාන්තර භූමියක් ආරක්ෂා කළ යුතු බව සඳහන් චක්‍ර ලේඛයක් අවලංගු කිරීමත් කොරෝනා වසංගතයක් වුවා මෙන් කැලෑ විනාශ කිරීම සම්බන්ධයෙන් “පරිසර හඬ” එකමුතුව රුවන් විජයවර්ධන මහතා සමග සාකච්ඡා කළේය. එම සංවිධානයේ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ප්‍රධාන පිරිසක් සිරිකොතට පැමිණ මෙම සාකච්ඡාවට සහභාගී වූහ.


සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් පැවැති මෙම සාකව්ඡාවේදී පරිසරය විනාශ කරමින් හොර රහසේ කැලෑ විනාශ කිරීමේ සිදුවීම්වලට විරෝධය දැක්වීමේ වැඩපිළවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් පවතින බව කතා බහ විය.


කොරෝනා වසංගතයටට මුවා වී කරන මෙම කැලෑ කැපීමේ ජාවාරම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව කරුණු දක්වමින් රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, මේ විනාශය රටට පෙන්වා දිය යුතු බවයි. ජනතාවට අවබෝධයක් ලබා දිය යුතු බවයි. මේ විනාශයට එරෙහිව නිහඬ විරෝධතාවන් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා විය.


ඉකුත් සතියේ තවත් විශේෂ දෙයක් වූයේ වාද්දුව සමුද්‍ර්‍රාරාම විහාරයේ කඨින පූජෝත්සවය හා රන්වැට විවෘත කිරීමේ උත්සවයයි. රුවන් විජයවර්ධන මහතා ද එම උත්සවයට සහභාගී විය. රුවන් විජයවර්ධන මහතා සමග කරු ජයසූරිය, අර්ජුන රණතුංග, රවී කරුණානායක, මර්වින් සිල්වා, උපුල් මාලේවන, ලක්ෂ්මන් විජේවර්ධන යන මහත්වරු හා බෝපිටියේ ධම්මිස්සර හිමියෝ උත්සවය ආරම්භ කිරීමට පෙර සුහද කතාවක යෙදී සිටියහ. එහිදී මර්වින් සිල්වා ප්‍රකාශ කළේ නායකත්වයට වයස ප්‍රශ්නයක් නැහැ. ඇමෙරිකාවෙ වයස අවුරුදු 77 ක් වු ජෝ බයිඩින් මහත්තයත් ජනාධිපති වුණා නම් අපේ කරු ජයසූරිය මහත්තයට නායකත්වයට ඒමට කිසිම බාධායක් නෑ කියාය. එයට පිළිතුරු ලබා දුන්නේ බෝපිටියේ ධම්මිස්සර හිමියන්ය. නෑ. දැන් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය තරුණ නායකයෙක්. ඒකට මේ රුවන් විජයවර්ධන මහතා ඉන්නවනේ. එතුමාට ඒකට සුදුසුකම් උපරිමෙන් තියෙනවා. පරම්පරාවෙන් ද, සුදුසුකමින් ද, අත්දැකීමෙන් ද මේ හැම එකකින්ම රුවන් විජයවර්ධන මහත්තයා ඉදිරියෙන්ම ඉන්නවා. දැන් අපට අවශ්‍ය විජයවර්ධන මහත්තයා වගේ කෙනෙක්, යැයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.


විජයවර්ධන මහතා මේ සියලු කතා බහ සිනා මුසු මුහුණෙන් අසා සිටියේය.


ආදායම වියදම වැරදි සංඛ්‍යා ලේඛන - චම්පිකගෙන් චෝදනා


දළ ජාතික ආදායම, ප්‍රාග්ධන වියදම වැනි කරුණු සම්බන්ධයෙන් අයවැය යෝජනාවලියේ ඉදිරිපත් කර ඇත්තේ වැරදි තොරතුරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කළේය. ඉදිරිපත් කර ඇති ඉලක්කම්වලින් රාජ්‍ය මූල්‍යයේ යථාර්ථය පෙන්වන්නේ නැති බවද මුදල් අමාත්‍යාංශය මහ බැංකුව වැනි ආයතනවල සංඛ්‍යා ලේඛන අතර පරස්පරතා ඇති බවද රණවක මහතා සඳහන් කළේය.

 

-ගජබා-