නිලධාරීන්ට ගමට යන්න ජනපතිගෙන් උපදෙස්


​ගෙවී ගිය සතියේ දේශපාලන කරළිය තරමක් උණුසුම් විය. පාර්ලිමේන්තු සතියක් වීමත්, යුක්රේන ජාතික සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අන්දෝලනාත්මක කතාබහත් ඊට හේතුවිය.


ආණ්ඩු පක්ෂ රැස්වීම


නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූයේ ගිය අඟහරුවාද‌ාය. කොරෝනා වයිරසය හේතුවෙන් මීට පෙර පාර්ලිමේන්තු රැස්වීම්වලට ආ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවේ අඩුවක් තිබුණ ද ගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීමට මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් සහභාගි වූහ. පාර්ලිමේන්තු සතිය නිසා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සඳුද‌ා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්විය. සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව කතාබහට ලක්වුණේ යුක්රේන සංචාරකයන් ගෙන්වීම හා කොවිඩ් වයිරසය හමුවේ සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සම්බන්ධයෙනි. ඒ ගැන මුලින්ම කතා කළේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයාය. ‘දැන් රට සංචාරකයන්ට විවෘත කරන්න කටයුතු කරගෙන යනවා. ඒක හොඳ වැඩක්. හැබැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන වැඩේ නම් අවුල් ජාලාවක් වෙලා. සමහර අය ඒක ඉල්ලමක් කරගෙන. පිටරට ඉන්න ලාංකිකයන්ගේ නම් ලැයිස්තුවට ද‌ාන්න රුපියල් විසිපන්ද‌ාහක් ගත්ත සිද්ධිත් වාර්තා වෙලා තියෙනවා. හෝටල්වලිනුත් ලක්ෂ ගණන් සල්ලි ගන්නවා යැයි අරුන්දික කීවේ කතාවට මුල පුරමිනි. අරුන්දිකගේ කතාව තහවුරු කළේ නාමල් රාජපක්ෂ ඇමැතිවරයාය. ‘අරුන්දික කියන කතාව සත්‍ය බව නාමල් කීවේ දීර්ඝ විස්තරයක් ද කරමිනි. විදෙස්ගතව ඉඳලා එන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීමේ දී හෝටල්වලින් නිරෝධායනයට අය කළ මුදල් ගැන විමර්ශනයක් කළ යුතුයි. මම නම් කියන්නෙ මුදල් ගෙවල කරන නිරෝධායනය නවත්වලා නිවෙස්වල කොරන්ටයින් වෙන්න අවස්ථාව දෙන්න ඕනෑ කියලයි නාමල් කීවේය. අනතුරුව ප්‍රසන්න රණතුංගත්, නිමල් සිරිපාලත් ඒ ගැන කතා කළහ. ප්‍රසන්න කීවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන වැඩේ නිසා මමත් නොසෑහෙන්න බැණුම් අහනවා. සංචාරක ඇමැති නිසා හැමෝම හිතාගෙන ඉන්නේ ඒකටත් වගකියන්න ඕනැ මම කියලයි.’ යනුවෙනි.


එදින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ උපන් දිනය ද යෙදී තිබිණි. ඒනිසා උපන්දින කේක් දෙකක් ද ආණ්ඩු පක්ෂ රැස්වීමට ගෙනැවිත් තිබුණේ රැස්වීම අවසානයේ කේක් කපා මන්ත්‍රීවරුන් දෙදෙනාට සුබ පැතීමටය. උපන් දිනය යෙදී තිබූ එක් මන්ත්‍රීවරයකු වූයේ යද‌ාමිණි ගුණවර්ධනය. අනෙක් කෙනා හම්බන්තොට මන්ත්‍රී අජිත් රාජපක්ෂය. අගමැතිවරයාත් මැති ඇමැතිවරුනුත් එක්ව කේක් කපා මන්ත්‍රීවරුන් දෙදෙනාට සුබපැතුවේ හැපි බර්ත් ඩේ කියමිනි.


මාතලේ පුරපති පුටුවට
ශ්‍රීලනිප - පොහොට්ටු අවුලක්


මාතලේ නගරාධිපතිව සිටි ඩල්ජිත් අලුවිහාරේ මධ්‍යම ආණ්ඩුකාරවරයා විසින් ධුරයෙන් පහකරනු ලැබීමෙන් පසුව එම ධුරය පුරප්පාඩු විය. ඒ සඳහා නව නගරාධිපතිවරයකු පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණේ ගිය බද‌ාද‌ාය. පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වන පාලිත ජයසේකර එහි නගරාධිපති ධුරයට පත්කරන්නට පොහොට්ටුවේ ප්‍රබලයන් ද තීරණය කර තිබුණේ ශ්‍රීලනිපයේ ද සහයෝගයෙනි. එහෙත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් නගර සභාවට ශ්‍රීලනිපයෙන්ම තරග කර ජයගත් ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු නගරාධිපති පුටුවට ගෙන එන්නට සැලසුමක් සකස් කර තිබුණේ එජාපයේ මෙන්ම පොහොට්ටුවේ ද පිරිසකගේ සහායෙනි. නගරාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාවේ දී එහි වැඩබලන නගරාධිපති ලෙස සිටි සන්දනම් ප්‍රකාශ්ගේ නම නගරාධිපති ධුරය සඳහා යෝජනා කරනු ලැබුවේ එජාප මන්ත්‍රීවරයකු විසිනි. පොහොට්ටුවේ පාලිත ජයසේකර මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරනු ලැබුවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු විසිනි. අවසානයේ ඡන්ද විමසීමක් පැවැති අතර සන්දනම් ප්‍රකාශ්ට ඡන්ද 10ක් ද පාලිත ජයසේකරට ඡන්ද 9ක් ද ලැබිණි. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 4 දෙනෙක් ද පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද එජාප මන්ත්‍රීවරු තිදෙනෙක් සහ ජවිපෙ මන්ත්‍රීවරයා ද සන්දනම්ට පක්ෂව ඡන්දය දුන්හ. පාලිතට පක්ෂව පොහොට්ටුවේ හතර දෙනෙක් ද, එජාපයේ හතර දෙනෙක් හා මනෝ ගනේෂන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ද ඡන්දය දුන්හ.
එහි ඇති විශේෂත්වය වන්නේ පොහොට්ටුවෙන් නගරාධිපති ධුරයට යෝජනා කළ මන්ත්‍රීවරයාගේ නිවසට එදින උදේ ගොස් ඔහු සමග කිරිබත් කා ඔහුගේ වාහනයෙන්ම පැමිණි බව කියන පොහොට්ටුවේම මන්ත්‍රීවරයකු ඔහුට විරුද්ධව ඡන්දය දීමය. ශ්‍රීලනිපයෙන් තරග කළ කම්කරු කොංග්‍රස් මන්ත්‍රීවරයා නගරාධිපති පුටුවට ගෙනෙන්නට ශ්‍රීලනිපයේ ඉහළ පෙළේ අයකුගේ ද සහාය ලැබී ඇතැයි දේශපාලන කරළියේ කතාබහට ලක්වෙමින් තිබේ.


ගම සමග පිළිසඳරක් තුළ ‘“වැඩ සමග යළි ගමට” වැඩසටහන ආණ්ඩුවේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘතියකි. එය රට වටා ගෙනයාමේ වගකීම පවරා ඇත්තේ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂටය. එම වැඩසටහන රටපුරා ගෙනයාමේ මූලික පියවර යටතේ පළාත් මට්ටමේ රැස්වීම් මාලාවක්ද ඉකුත් සති කීපයේ පැවැත්වුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. පළාතේ මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, දිසාපතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ එම රැස්වීම් මාලාවල සාකච්ඡාවට ගැනුණේ නතර වී තිබූ සංවර්ධනය ගමට ගෙනයන ආකාරය සම්බන්ධයෙනි. වැඩ සමග යළි ගමට වැඩසටහන ගැන රටපුරා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ ප්‍රධාන වැඩසටහන ගිය බ්‍රහස්පතින්දා හවස අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන්ද ආණ්ඩුකාරවරුද අමාත්‍යාංශ ලේකම්වරුද දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු ද වෙනත් වගකිව යුතු රාජ්‍ය නිලධාරීහු ද එම රැස්වීමට පැමිණි පිරිස අතර වූහ. ග්‍රාමීය මට්ටමේ පවතින ගැටලු, ප්‍රශ්න නීති රීතිවලට හිර නොවී ප්‍රායෝගිකව විසඳන්නැයි ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ තමා ගමට ගියවිට ජනතාව කියන දේවල් සැලකිල්ලට ගනිමිනි. කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් ජනතා ප්‍රශ්න හඳුනාගෙන වැඩ කරන්නැයි ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කළේය. අගමැති මහින්ද කතා කරමින් කීවේ නිලධාරීන්ට නිදහසේ වැඩ කළ හැකි පරිසරයක් ව්‍යවස්ථානුකූලවම ඇති කරන බවය. එබැවින් නිලධාරීන්ට ජනතා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් දීමට හැකිවන බවත් ඒ වෙනුවෙන් රජය හැමවිටම පෙනීසිටින බවත් අගමැතිවරයා කීවේය. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල රටේ සංවර්ධනය ගැන දේශනයක් කළේ සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කරමිනි. ඔහු කීවේ රජය රුපියල් බිලියන 243ක හිඟ බිල්පත් ගෙවා ඇති බවය. ආටිගලගේ එම අදහස් පිළිගත නොහැකි බව එස්.බී. දිසානායක කීවේ ප්‍රශ්නයක් මතු කරමිනි. ‘ලේකම්තුමා හිඟ බිල් ගෙවලා ඉවරයි කිව්වට නුවර නම් බිලියන ගාණක් ගෙවලා නැහැ. විශේෂයෙන්ම පාසල් ගොඩනැගිලි ඉදිකිරීම්වල හිඟ බිල් ගෙවන්න තියෙනවා. ඒක මේ අකිල කරපු වැඩ නිසයි ප්‍රමාද වෙලා තියෙන්නෙ’ යැයි එස්.බී. කීවේය. ඒ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරියකු ද කීවේ තම දිස්ත්‍රික්කයේද හිඟ බිල්පත් සියල්ල ගෙවා නොමැති බවය.


වල් අලි ප්‍රශ්නයද මේ රැස්වීමේ වැඩි කතාබහට ලක් වූ මාතෘකාවකි. ගම්වල වල් අලි ප්‍රශ්නය විසඳන්න කියා විපක්ෂය උද්ඝෝෂණ කරන බව මන්ත්‍රීවරයෙක් කීවේය. ඊට පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයාය. ‘‘අපි ඒකට වැඩපිළිවෙළක් හදාගෙන යනවා. හැබැයි විපක්ෂයේ අය උද්ඝෝෂණය කරන්නෙ නම් හරියට මම ආවට පස්සෙ අලි පැටව් ගැහුවා වගෙයි’’ ජනාධිපතිවරයා කීවේ හැමෝම හිනස්සමිනි.


කැබිනට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම ගිය සඳුදා හැන්දෑවේ සුපුරුදු පරිදි ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද පස්දෙනකුගෙන් යුත් කමිටුවේ අවසන් වාර්තාව ද අධිකරණ ඇමැති අලි සබ්‍රි විසින් ඉදිරිපත් කරනු ලැබීය. එහි අතුරු වාර්තාවක් ඉකුත් දෙසැම්බර් මස 7 වැනිදා ඉදිරිපත් කර තිබූ අතර කමිටු නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාව ඇමැතිවරයාට බාරදී තිබු​ණේ ඉකුත් 30 වැනිදාය. ඒ අනුව අධිකරණ ඇමැතිවරයා නිර්දේශ ඇතුළත් වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ එම ගැටුමට වගකිව යුතු සියලු දෙනාටම තරා තිරම නොබලා නීතිමය පියවර ගත යුතු බව කියමිනි.


මේ අතර රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද දීර්ඝ කතාබහක් ඇතිවුණේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකා කිහිපයක්ම ඉදිරිපත් කර තිබීම හේතුවෙනි. ජාතික පාසල් 1000ක් රටපුරා ඇති කිරීමේදී එකම ජාතික පාසලක් හෝ නැති ප්‍රාදේශීය ලේකම්​ කොට්ඨාස 125 තුළ ජාතික පාසල් මුලින් ඇති කළ යුතු බවට එහිදී සාකච්ඡා විය. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාද ඊට හවුල් වූයේ හිටපු අධ්‍යාපන ඇමැතිවරයා වශයෙනි. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලේ පාසල් 231 ක මහින්දෝදය තාක්ෂණ පීඨ පටන් ගත්තා. මහින්දෝදය විද්‍යාගාර 231 ක් ආරම්භ කළා. මේ සමහර පාසල් ජාතික පාසල් නෙවෙයි. ඒ නිසා ජාතික පාසල් 1000ක් රටපුරා ඇති කිරීමේදී මේ මහින්දෝදය තාක්ෂණ පීඨ මහින්දෝදය විද්‍යාගාර තියෙන පාසලුත් මුල්වටයෙම ජාතික පාසල් ලැයිස්තුවට ඇතුළත් කරන්න’’ බන්දුල කීවේය. මහාචාර්ය ජී.එල්. පීරිස් ද එය කාලෝචිත පියවරක් බව කීවේය. ජනාධිපතිවරයාද කීවේ එය ජාතික පාසල් 1000ට ඇතුළත් කිරීම ගැටලුවක් නොවන බවය.


නව වසරේ ආ ඉන්දීය අමුත්තා


ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ගිය අඟහරුවාදා දිවයිනට පැමිණියේ තෙදින නිල සංචාරයක් වෙනුවෙනි. නව වසරේ මෙරටට මුලින්ම ආ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ ද ඉන්දීය විදේශ ඇමැතිවරයාය. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ඊ.පී.ඩී.පී. සංවිධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන්ද හමුවිය.


ඉන්දීය විදේශ ඇමැතිවරයා ජනපති ගෝඨාභය සමග පැවැති හමුවේදී කීවේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිඩ් එන්නත පිටරටවලට දීමේ දී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවය. එමෙන්ම ඔහු 13 වැනි සංශෝධනය ගැන ද සඳහන් කළේ එය ඉන්දියාවේ මැදිහත්වීම මත මෙරට නිර්දේශ වූවක් බැවිනි. දෙමළ ජනතා අවශ්‍යතා ඉටුකිරීමේදී 13 ක්‍රියාත්මක කිරීම වැදගත් බව ඔහු කීවේ එබැවිනි. ආචාර්ය ජයශංකර් ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදී දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්පන්ධන් ඇතුළු මන්ත්‍රීවරුන් 5 දෙනකුද දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ මනෝ ගනේෂන්, රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් ද ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා ද වෙන වෙනම හමු වී සාකච්ඡා කළේය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කර ඇති දෙමළ සන්ධාන යෝජනාවලියේ පිටපතක් ද සම්පන්ධන් විසින් ආචාර්ය ජයශංකර්ට බාර දෙනු ලැබීය. සම්පන්ධන් කියා තිබුණේ 13 වැනි සංශෝධනය ගැන ඉන්දියාව එකම ස්ථාවරයක සිටීම ගැන අගය කරන බවය. ඉන්දියාව ද 13 ගැන එකම ස්ථාවරයක සිටින බව ජයශංකර් ද කීවේය. ඔහු කීවේ දෙමළ පක්ෂ ද ඒ ගැන එකම ස්ථාවරයකට පැමිණිය යුතු බවකි.


පළාත් සභා ගැන
විපක්ෂනායක මතය


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලු‍‍ත් අවුරුද්දේ පුවත්පත් ප්‍රධානීන් හමුවෙමින් තමන්ගේ කටයුතු ආරම්භ කළේය. ඔහු සමග මහලේකම් රංජිත්, රාජිත, තිස්ස, මනූෂ ඇතුළු පිරිසක් ද එක්වූහ.


“කොරෝනා අභියෝගය මැද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මාධ්‍ය විශාල කාර්යභාරයක් ඉටු කළා” විපක්ෂ නායකවරයා කීවේය.
“පහුගිය අවුරුදුවලදී අපිට සහාය ලබාදුන්නා වගේම මේ අවුරුද්දේදීත් ඔබතුමන්ලා අපිට සහාය ලබාදේවි යැයි විශ්වාස කරනවා.”‍


මේ අතර පුවත්පත් මාධ්‍ය මුහුණදී තිබෙන අර්බුදය ගැනද ඔහු අවධානය යොමු කළේය.


‘‘මුද්‍රිත මාධ්‍ය මේ වෙනකොට අභියෝග රැසකට මුහුණදී තිබෙනවා. වෙ​ෙළඳ දැන්වීම් නොමැතිව පත්තර පවත්වාගෙන යාමේ අභියෝගයකට මුහුණදී තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක අලු‍‍ත් උපක්‍රම සෙවීමට මාධ්‍යයටත් සිදුවෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නිදහස් මාධ්‍යයක් තිබිය යුතු යැයි අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මාධ්‍යයට ඕනෑම සහායක් ලබාදීමට අපි සූදානම්. පුවත්පත් කර්මාන්තයේ අභියෝග ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් කළ යුතු යමක් වේ නම් ඒ සියල්ල ඉටු කිරීමට අපි සූදානම්’’ විපක්ෂ නායකවරයා කීය.


‘‘දැන් පළාත් සභා ගැන කතා වෙනවා. පළාත් සභා සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය මොකක්ද’’මාධ්‍ය ප්‍රධානියෙක් විමසුවේය.


‘‘මම ලංකාවේ ඇතුළෙදී එකක් කියලා වෙනත් රටකට ගිහින් තව එකක් කියන්නේ නෑ. ඒ වගේම උතුරට ගිහින් එකක් කියලා දකුණට ඇවිත් තවත් එකක් කියන්නේ නෑ. සමගි ජන බලවේගය විදියට තියෙන්නේ එකම ස්ථාවරයයි. ඒ තමයි දැනට ක්‍රියාත්මක වන ආකාරයට පළාත් සභා ක්‍රියාත්මක විය යුතුය කියන එකයි’’ විපක්ෂ නායකවරයා කීවේය.
‘‘පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීවරයා හතළිස් තුනේ සේනාංකය කියලා වෙනම කණ්ඩායමක් පිහිටුවාගෙන තිබෙනවා. මේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුමක ප‍්‍රතිඵලයක්ද’’ තවත් ප‍්‍රශ්නයකි.


‘‘දවසින් දවස ආණ්ඩු ගැන කළකිරෙන විට විවිධ සංවිධාන හැදෙනවා. ඒ සංවිධාන පක්ෂය සමග ඒකාබද්ධ කරමින් ඉදිරියට යනවා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක්’’ විපක්ෂ නායකවරයා පැහැදිළි කළේය.


‘‘මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීම පක්ෂ ව්‍යවස්ථාව තිබෙන්නේ අපේ පක්ෂයට. ඕනෑම අයෙක්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීමේ අයිතිය ලබාදී තිබෙනවා’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීය.


‘‘අපේ පක්ෂය ඇතුළේ නායකත්ව වන්දනාවක් නෑ. එහෙයියෝවත් වහල්ලු‍‍වත් නෑ. මේක හැකියාවට, කුසලතාවයට ඉඩ ලබාදෙන දේශපාලන ව්‍යාපාරයක්’’ විපක්ෂ නායකවරයා සඳහන් කළේය. සාකච්ඡාව අවසානයේදී උදෑසන තේ පැන් සංග්‍රහයටද මාධ්‍ය ප්‍රධානීහු විපක්ෂ නායකවරයා සමග එක්වූහ.


ඉන්දීය විදේශ ඇමැති හමුවේ


තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ‍්‍රමනියම් ජයශංකර් විපක්ෂ නායකවරයා හමුවූයේය. දෙරට අතර පවතින ද්වි පාර්ශවික සම්බන්ධතාවන් ගැන අවධානය යොමු කරමින් පැවති සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා ඉන්දියාවෙන් තමන්ට ලැබුණු සහාය ගැන සිහිපත් කිරීමට අමතක කළේ නැත.


‘‘නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී මට ඉන්දියාවේ මෝදි අගමැතිතුමාගෙන් විශාල සහායක් හිමිවුණා. අපි මෝදි ගම්මානය හැදුවා’’ විපක්ෂ නායකවරයා කීය.
‘‘නිවාස ඇමැතිවරයා ලෙස ඔබ කරන දේ ගැන අපි ලොකු අවධානයකින් හිටියේ. මෝදි අගමැතිතුමාත් ඔබ ගැන විශාල අවධානයකින් සිටියා’’ ඉන්දීය විදේශ ඇමැතිවරයා පැවසුවේය.


‘‘ඉන්දියාවෙන් අපිට ලැබුණ 1990 සුව සැරිය අමතක කරන්න බෑ. මේ දවස්වල කොරෝනා රෝගීන් වෙනුවෙන් විශාල කාර්යයක් කරනවා. සුව සැරිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න මැදිහත්වුණ ඇමැතිතුමා තමයි මේ ඉන්නේ’’ විපක්ෂ නායකවරයා සමග සාකච්ඡාවට එක්ව සිටි හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා පෙන්වමින් විපක්ෂ නායකවරයා කීය.
”‍මේ වෙලාවේ ඔබතුමාට අගමැති මෝදි වෙනුවෙන් ආරාධනාවක් කරනවා”‍


ඉන්දිය විදෙස් කටයුතු ඇමතිවරයා සජිත්ට කීවේය. සජිත් කුතුහලයෙන් ඔහු දෙස බැලු‍‍වේ ය.


”‍අපේ රටේ නිල සංචාරයකට ඔබතුමාට ආරාධනා කරනවා”‍ සුබ‍්‍රමනියම් ජයශංකර් සජිත්ට කීවේය.


සරසවි ඇදුරන් විපක්ෂ නායක කාර්යාලයට


වඩාත් ප්‍රශස්ත සහ නවීන මෙන්ම යාවත්කාලීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමගි ජනබලවේගය බල ගැන්වීමත්, ඒ මුල්කරගෙන ඉදිරියේදී බිහිකරනු ලබන පාලනයක් තුළ උපයෝගී කරගත යුතු පාලන ක්‍රමවේදයත් අරමුණු කොටගෙන පසුගිය දා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් එක්ව ජනතාවාදී විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය බිහිකරනු ලැබීය.


පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනය මෙන්ම උපාය උපක්‍රම සැකසීමේද බුද්ධිමය සක්‍රීය කාර්යභාරයක් එම සංසදයට පැවරේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදී විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය පිහිටුවා ගත් අතර මෙරට සරසවි පද්ධතිය නියෝජනය කරන කීර්තිමත් මහාචාර්යවරු ආචාර්යවරු කථිකාචාර්යවරු ඊට එක්වූහ.මේ අතර සිසිර පින්නවල, ටෙරන්ස් පුරසිංහ ඇතුළු පිරිසක් වූහ.


විදේශගත ශ‍්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම ගැන පසුගිය කාලයේදීම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය අදහස් මතු කළේය. කොරෝනා සමයේදී ජනතා ගැටලු‍‍ පිළිබඳ විමසීමට ඇති කළ දුරකතන මධ්‍යස්ථානයට ද විදේශ රටවල සිටි බොහෝ දෙනෙක් ඇමතුම් ලබාදෙමින් ඉල්ලා සිටියේ තමන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙසය.


මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූහ. මේ අතර ඔවුන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් විරෝධතාවක්ද පැවැත්විණි. හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා සංවිධානය කළ මෙම විරෝධතාවට මන්ත‍්‍රීවරු සියලු‍‍දෙනාම පාහේ එක්ව සිටියහ.


විපක්ෂ නායක සජිත් නියමිත වෙලාවටම එතැනට ආවේය.


”‍මේක මාෆියාවකට අහුවෙලා. අපේ මිනිස්සු පිටරට මහ පාරවල්වල දුක් විඳිනවා. ඒත් යුක්‍රේනයෙන් එන අයට නීති මොකුත් නෑ. නිරෝධායනය පවා අද බිස්නස් එකක් කරගෙන”‍
ඔහු ආණ්ඩුවට චෝදනා කළේය.


පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීවරයා පැමිණෙන විට විරෝධතාව ආරම්භ වී තිබුණි. ඔහු පැමිණ විරෝධතා පුවරු රැගෙන සිටිනවා දුටු මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඔහු කැඳවාගෙන විපක්ෂ නායකවරයා අසලටම පැමිණියේය.


‘‘අපි මැදටම යමු’’යැයි කියමින් ඔහු විපක්ෂ නායකවරයා අසලට කැඳවාගෙන ආවේය. විපක්ෂ නායකවරයා අසල සිටි ගයන්ත කරුණාතිලක පසෙකට වී චම්පිකට ඉඩ දුන්නේය. සජිත්ගේ එක් පසෙකින් චම්පික සිටින විට අනෙක් පසින් සිටියේ සරත් ෆොන්සේකාය.


‘‘ආණ්ඩුවේ මාධ්‍ය බොරුවට මඩ ගහනවා. මේ නායකයින් හැමෝම එකට ඉන්නේ’’ චම්පික හා සජිත් පෙන්වමින් අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයා කීය.


‘‘මේ බොරුකාරයින්ට අපි උත්තර දෙන්න ඕනෑ. මම ෆේස් බුක් එකේ ඔය මඩ ගැන ලියලා දැම්මා’’ හරින් පැවසුවේය.


එජාප නියෝජ්‍ය නායකයා 
සමන් දේවාලය ළඟ පෝලිමේ


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේ රත්නපුර මහ සමන් දේවාලයේදීය. විහාරස්ථානයට පළමුවෙන් ගිය රුවන් විජයවර්ධන මහතා මහ සමන් දේවාලයේ පූජාවට පැමිණ සිටි පිරිස සමඟ පෝලිමේ හිටගෙන සිටියේය. ඔහු සමඟ පාලිත රංගෙ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සන්දිත් සමරසිංහ, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසද එක්ව සිටියහ. සමන් දේවාලයට ඇතුළු වීමට පෝලිමේ බලා සිටි රුවන් විජයවර්ධන මහතා පෝලිම නොසළකා දේවාලයට යැවීමට පිරිසක් සූදානම් වුවත් එය ප්‍රතික්ෂේප කළ රුවන් අනෙකුත් පිරිස සමඟ පෝලිමේ සිටියේය.


සමන් දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් පසු ඔහු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතාගේ නිවසේදී උදේ ආහාර ගත්තේය.


අනතුරුව රත්නපුර මවුන්ට් ගැප් හෝටලයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකට සහභාගි වූයේය. එහි පැමිණ සිටි සියලු දෙනාට මාළුපාන් එකක් හා කිරි පැකට්ටුවක් ලැබුණු අතර රුවන් විජයවර්ධන මහතාද ඒවා කෑමට ගත්තේය.


එහිදී පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා බොහොම සරල, පොදු ජනතාව සමඟ ජීවත්වන දේශපාලනඥයෙක් බවට හොඳම උදාහරණය මේ කෙටි කෑම වේල බවය. වෙනත් නායකයන් පොදු ජනතාව සමඟ මෙවැනි කෙටි ආහාර වේලක් ලබා නොගන්නා බවද ඔහු කීය. එදින දිවා ආහාරය ගැනීමට සිදුවූයේ ප.ව. 4.00ට පමණය. ඉන්පසු රත්නපුර නව නගරයේ ශිවකාලි කෝවිලට ගිය රුවන් විජයවර්ධන මහතා එදින රාත්‍රියේම කොළඹට පැමිණියේය.


සෙසු දින කීපයේදීම වරින්වර සිරිකොතට පැමිණ ආසන සංවිධායකවරුන් හා හිතමිතුරන්ද හමුවී සාකච්ඡා කළේය. ඒ අතර නන්දන ගුණතිලක මහතාද සිටියේය. රුවන් විජයවර්ධන මහතා හා නන්දන ගුණතිලක මහතා කාලයකට පසු හමුවී ආ ගිය තොරතුරු හා පක්ෂ සංවිධාන කටයුතු කතා කළහ.

 

 

- ගජබා-