නිල නිවාස ආරවුල


  • මහින්දානන්දට උපන්දින කේක්
  • චන්ද්‍රිකා සජිත්ට කීවේ මොනවාද?

 

ඉකුත් සතිය ද ගෙවී ගියේ කොරෝනාවලිනි. පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය ගිය සඳුදා ආරම්භ වුවද ඒ පිළිබඳ වැඩි කතා බහක් රටේ ඇති නොවුණේ හැම තැනම කතාබහ කෙරෙන මාතෘකාව බවට කොරෝනා පත්ව ඇති බැවිනි.


වෙනදා අයවැය ඉදිරිපත් කළ පසුව ඒ පිළිබඳ විවාදය මාසයක් තිස්සේ ඇදී යයි. අයවැය දෙවන වර කියවීමේ විවාදයට සතියක් පමණ ද කාරක සභා අවස්ථා විවාදයට සති තුනක පමණ කාලයක් ද වෙනදා අයවැයට වෙන්විය. එහෙත් මෙවර අයවැය විවාදයට වෙන්වුණේ දින 20කි. දෙවැනි වර කියවීමට දින 4ක් ද කාරක සභා අවස්ථා විවාදයට දින 16ක් ද වෙන්කර ඇත්තේ කොරෝනා හේතුවෙනි. ඒ කෙසේ නමුත් වෙනදා අයවැය විවාදයට තියෙන උනන්දුව මෙවර දක්නට නැත.


ජනපති යටතට ඇමැති ධුර දෙකක්


අලුතින් කැබිනට් අමාත්‍ය ධුර දෙකක් ජනාධිපතිවරයා විසින් පසු ගිය සතියේ දී ගැසට් කරනු ලැබීය. එකක් තාක්ෂණ කැබිනට් ඇමැති ධුරයයි. අනෙක මහජන ආරක්ෂක කැබිනට් ඇමැති ධුරයයි. මීට පෙර ජනාධිපතිවරයා යටතේ තිබුණේ ආරක්ෂක ඇමැති ධුරය පමණි. 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ඇමැති ධුර දැරිය නොහැකි බවට සීමාවක් පනවා තිබිණි. එහෙත් 20 වැනි සංශෝධනයෙන් එම සීමාව ඉවත් කරනු ලැබීය. ඒ අනුව ජනාධිපතිවරයාට ඇමැති ධුර කිහිපයක් වුවද දැරිය හැකිය. ආරක්ෂක ඇමැති ධුරයට අමතරව අලුතින් ඇති කරන ලද තාක්ෂණ ඇමැති ධුරය ද ජනාධිපතිවරයා යටතට පත්කර ඇත්තේ ඒ අනුවය.


අලුතින් ඇතිකරන ලද මහජන ආරක්ෂක කැබිනට් ඇමැති ධුරයේ සරත් වීරසේකර දිවුරුම් දුන්නේ ගිය බ්‍රහස්පතින්දා ය. ඒ සඳහා කැඳවනු ලැබ සිටියේ ද සීමිත පිරිසකි. සරත් වීරසේකර සිය බිරිඳ හා පවුලේ සාමාජිකයන් සමග කල්වේලා ඇතිව ජනාධිපති කාර්යාලයට පැමිණි නමුත් ජනාධිපතිවරයා වෙනත් හදිසි රැස්වීමක සිටි නිසා පැමිණියේ ටික වෙලාවකට පසුවය. ඒ නිසා සරත් වීරසේකරට ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ කාර්යාලයේ ටික වෙලාවක් රැඳී සිටින්නට සිදුවිය. ඔහු මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව චමල් රාජපක්ෂ ද කැබිනට් ඇමැති ධුරයට අමතරව ආරක්ෂක රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේය. චමල් දිවුරුම් දෙන්නට පැමිණ සිටියේ තනිවමය. ඔහු ඊට පෙර ද කැබිනට් ඇමැති ධුරයට අමතරව මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස ද කටයුතු කළේය. එහි තිබූ පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙවර අයත් වන්නේ මහජන ආරක්ෂක කැබිනට් ඇමැති ධුරයටය. චමල්ට මෙවර රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දෙන්නට සිදුවුණේ ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙසය.


බැසිල් පාර්ලිමේන්තු ගේන්නැයි ජනපතිගෙන් ඉල්ලති


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නැයි ඉල්ලා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් 19 දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් ඔහුට බාර දුන්නේ මීට සති දෙකකට පමණ ඉහතදීය. එහෙත් ඔහුගෙන් ඒ සඳහා පිළිතුරක් මෙතෙක් ලැබී නැත. මේ අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමැති ධුරයකට පත්කරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් බාරදීමට සූදානමින් සිටිති. ඒ සඳහා මූලික වී සිටින්නේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර ඇතුළු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසකි. ජනාධිපතිවරයාට යැවෙන ලිපියට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම ද ගිය සතියේ ආරම්භ කළ අතර කැබිනට් ඇමැතිවරුන් ද ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් 113 දෙනකු පමණ දැනටමත් අත්සන් කර ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තු සතියක් නිසා ගිය සතියේ පාර්ලිමේන්තුවේ ඊට අත්සන් ගැනීම සිදුවූ අතර එය මේ සතියේ දී ජනාධිපතිවරයාට බාර දී පිටපත් අගමැතිවරයාටත් පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරීස්ට හා බැසිල් රාජපක්ෂටත් බාරදීමට නියමිතය. ඔවුන් ඉන් ඉල්ලා ඇත්තේ 2015 දී පැරදුණාට පසුව අලුතින් පක්ෂයක් හදා, පළාත් පාලන මැතිවරණයත්, ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් ජය ගැනීමට විශාල කැපකිරීමක් කළ බැසිල් රට වෙනුවෙන් තවදුරටත් වැඩ කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවය.


අාණ්ඩුවේ ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් විශාල පිරිසක් රජයේ නිල නිවාස ඉල්ලා ඇති බව වාර්තා වේ. ඉන් තිස්දෙනකුට පමණ කොළඹින් නිවාස ලබා දී ඇති නමුත් තවත් තිස්දෙනකුට පමණ නිවාස ලබාදීමට නියමිතව ඇත. ගැටලුව වී ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් තරම් නිවාස නොමැතිවීමය. ඉකුත් යහපාලන ආණ්ඩුවේ ඇමැති ධුරයක් ද දැරූ දැනටත් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයකු ලෙස සිටින කෙනකු ද තවමත් නිල නිවස බාර නොදී එහිම රැඳී සිටින බව ද වාර්තාවේ. ඉකුත් ආණ්ඩුව අවසන් වී මේ වන විට වසරක් ගත වී ඇත. එහෙත්, හිටපු ඇමැතිවරයා තවමත් එහි රැඳී සිටින බව වාර්තා විය. එම නිවෙස තමන්ට ලබා දෙන්නැයි ආණ්ඩුවේම අමැතිවරයකු ඉල්ලීමක් කර ඇති බව ද දැන ගන්නට ඇත.


රජයේ නිල නිවාස ගත් ඇමැතිවරුන් අතර කොළඹ පදිංචි ඇතැම් ඇමැතිවරුන් ද සිටින බව වාර්තා වේ. දකුණු පළාතේ තරුණ ඇමැතිවරයකුට කොළඹින් නිල නිවසක් දුන්න ද තමාට එය අනවශ්‍ය බව පවසා නිල නිවෙස ආපසු බාර දී ඇති බව ද වාර්තා විය.


කැබිනට් රැස්වීම මෙවර නෑ


වෙනදා සුපුරුදු පරිදි සඳුදා හැන්දෑවේ පැවැත් වෙන කැබිනට් රැස්වීම ද මෙවර නොපැවැත්විණි. අයවැය කාරක සභා අවස්ථා විවාදය ගිය සඳුදා ආරම්භ වූ බැවින් සතිය පුරා එම විවාදය පැවැත්වීමත් හැන්දෑවේ ඡන්දය විමසීමත් නිසා මෙසේ කැබිනට් රැස්වීම නොපැවැත්විණි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ මහනුවර බලා ගියේ අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගිවීම වෙනුවෙනි. ආදාහන උත්සවය පැවැති මැණික්හින්න වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයට ගිය ජනාධිපතිවරයා ආදාහන උත්සවය අවසන් වන තෙක්ම එහි රැඳී සිටියේය. ජනාධිපතිවරයා මහනාහිමියන්ගේ දේහය ඉදිරිපස පසඟ පිහිටුවා වැඳ අවසන් ගෞරව දැක්වීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වූවකි.


මහින්දානන්ද අලුත් ගමගේ ඇමැතිවරයාගේ උපන්දිනය ගිය සතියේ සෙනසුරාදාට යෙදී තිබිණි. එදින පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැති නිසා මැති ඇමැතිවරුන් සිටියේ පාර්ලිමේන්තුවේය. මහින්දානන්ද සභාවට එද්දී ඩිලාන් පෙරේරා ඔහු මන්ත්‍රී භෝජනාගාරයට කැඳවාගෙන ගියේ විශේෂ කටයුත්තක් සූදානම් කර තිබූ බැවිනි. ඒ බවක් මහින්දානන්ද නොදැන සිටියේය. ඩිලාන් ඇතුළු හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් මන්ත්‍රී භෝජනාගාරයේ උපන්දින කේක් එකක් සූදානම් කර තිබුණේ මහින්දානන්දගේ උපන්දිනය වෙනුවෙනි. පිරිසගේ ආශිර්වාදය මැද මහින්දානන්ද කේක් කපා මන්ත්‍රීවරුන්ට ද කැව්වේය. ඒ අතර පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයෙන් මහින්දානන්දට පණිවිඩයක් ලැබුණේ අගමැතිවරයා ඔහු සොයන බව කියමිනි. මහින්දානන්ද අගමැතිවරයා හමුවන්නට යද්දී එහිද උපන්දින කේක් එකක් සූදානම් කර තිබිණි. දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන්, උදය ගම්මන්පිල ඇතුළු ඇමැතිවරු පිරිසක් ද අගමැති කාර්යාලයේ සිටි අතර අගමැතිවරයා මහින්දානන්දට සුබ උපන්දිනයක් කියමින් කේක් කපන්නට ආරාධනා කළේය. ඒ අනුව මහින්දානන්ද කේක් කපා අගමැතිවරයාට දී ඇමැතිවරුන්ට ද බෙදා දුන්නේය.


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ අතර එම කමිටු කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා යෝජනා ලබන 30 වැනිදා දක්වා උදේ 8.30 සිට හවස 4.30 වන තෙක් එම කමිටු කාර්යාලයට බාරදිය හැකි බවට පුවත්පත් දැන්වීමක්ද පළකර තිබිණි. ජාතික නිදහස් පෙරමුණ නව ව්‍යස්ථාව සඳහා යෝජනා 26ක් ඇතුළත් යෝජනාවලියක් බාර දෙන්නට ගිය සතියේ එම කමිටු කාර්යාලයට ගියේය. ඒ ජයන්ත සමරවීර රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ පිරිසකි. එහි යද්දී කමිටු කාර්යාලය වසා දමා තිබූ බැවින් ජයන්ත සමරවීර ජානිපේ නායක විමල් වීරවංශ ඇමැතිවරයාට දුරකතන ඇමැතුමක් දී විමසා තිබුණේ යෝජනාවලිය බාරදීමට නොහැකි බවය. විමල් දැනුම් දී තිබුණේ කාර්යාලය වසා ඇතිනම් එම යෝජනාවලිය මාධ්‍ය වෙත ලබාදෙන ලෙසය. ඒ අනුව ජයන්ත සමරවීර යෝජනාවලිය මාධ්‍ය හමුවේ ඉදිරිපත් කර තිබිණි.


බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ ඉංජිනේරුවකු එහි සේවිකාවකට පහර දීමේ සිද්ධියක් ගිය සතියේ සමාජ මාධ්‍යවල පළවී තිබුණේ ලොකු ප්‍රචාරයක් දෙමිනි. එම කාර්යාලය පිහිටියේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ උඩුගම්පොළ නිවසට යාබදවය. මේ සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍යවලින් ප්‍රසන්න රණතුංග ද විවේචනයට ලක්කර තිබිණි.


සමාජ මාධ්‍යවල පළවූ සිද්ධිය දුටු බැසිල් ඒ ගැන ප්‍රසන්නගෙන් විමසුවේ දුරකතන ඇමතුමක් දෙමිනි. ප්‍රසන්න ද කීවේ තමා ද එම වීඩියෝව දුටු බවත් එය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවත්ය. එහෙත් විරුද්ධවාදීන් ඒක අල්ලාගෙන තමන්ටත් ආණ්ඩුවටත් මඩ ගසන බව ප්‍රසන්න කීවේය. ඒ සමගම ප්‍රසන්න බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකට ද දුරකතන ඇමතුමක් ගෙන මේ සිද්ධිය පැහැදිලි කළේය. ඒ සම්බන්ධයෙන් වහා පියවරක් ගෙන පුද්ගලයා කවුරුන් වුවත් තරාතිරම නොබලා දඬුවම් දෙන්නැයි ඔහු

ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.


අය වැය විවාදය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විවිධ ස්ථානවලට එක්වී දේශපාලන කතාබහවල යෙදී සිටීම මේ දිනවල සුලබ දසුනකි.


පසුගිය 26 වැනිද‌ා සභා ගර්භයේ සිට සභානායක කාර්යාලයට පැමිණි විදේශ කටයුතු අමාත්‍ය හා සභානායක දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මන්ත්‍රී අනුර යාපා, අගමැති දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යහපාලන සමයේ සිදුවූ සිද්ධීන් සිහිපත් කළහ.
‘ඒ යහපාලනය නිසා ආයේ නිවැරදි කරන්න බැරි හානි සිද්ධ වුණා. ඒවායේ විපාක අපි කාටත් අත්විඳින්න වෙලා. එද‌ා ජනාධිපති සිරිසේන මහත්තයට අපි කොච්චර කිව්ව ද යන ගමන වැරදියි ඒවා හරිගස්ස ගන්න කියලා. හොඳයි බලමු කිය කියා හිටියා.’ අනුර යාපා කියද්දී ‘යහපාලනය මටත් නඩු ද‌ාන්න ලොකු උත්සාහයක් කෙරුව. මම ඒ ගොල්ලන්ට චැලේන්ජ් කළා පුලුවන් නම් නඩු ද‌ාන්න කියල. ඊට පස්සේ කාගෙත් සද්ද වැහුණා.’ අමාත්‍ය අජිත් කබ්රාල් කීවේය.


‘ඒ අයට ඕන වුනේ මිනිස්සුන්ගෙ හදවත් දිනා ගත් මහින්ද රාජපක්ෂ මහත්තයා වට්ටන්න. කරන්න පුළුවන් හැමදේම කළා. ඒක හරි ගියේ නෑ. එතුමාට හැමද‌ාම මිනිස්සු ආදරෙයි.’ කුමාරසිරි හෙට්ටිගේ කීවේය.
‘අපි රට හදන්න බලන කොට සතුරු බලවේග පිටුපස්සෙන් එනවා. ඊළඟට අපිට එරෙහිව මානව හිමිකම් චෝදනාත් ගෙනේවි.’ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියද්දී’ ජනාධිපතිතුමා අගමැතිතුමා එක්ක කතා කරගෙන ඒකට සුදුසු වැඩපිළිවෙළක් හද‌ාගන්න වෙනවා.’ අනුර යාපා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යෝජනා කළේය.


විපක්ෂ නායක සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවක් ඉකුත් සඳුදා සිදුවිය. විපක්ෂනායකවරයා හිටපු ජනාධිපතිනියගේ නිවසට යනවිට ඈ ඉතා සුහදශීලි ලෙස ඔහු පිළිගත්තාය. දෙදෙනා අතර පැයකට ආසන්න කාලයක් සුහදශීලී කතාබහක් සිදුවූ අතර සජිත් විපක්ෂ නායකයා වූ පසු ඈ හමුවූ පළමු අවස්ථාවද එය විය.


ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව එම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය.
කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත් බරපතළ ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුළ එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත්, ඒවා ජයගත යුතු ආකාරය පිළිබඳවත් එහිදී සාකච්ඡාවට ගැණිනි.
එමෙන්ම ශ්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසී​මේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගනු ලැබීය.


සජිත්ගේ කතාව නිසා හැරෙන තැපෑලෙන් විසඳුම


රජයේ රැකියා ස්ථානයකදී එහි සේවිකාවකට එක්තරා පුද්ගලයෙක් පහර දෙමින් පීඩාවට පත් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පැවති අතර එය දුටු සජිත් වහාම ඒ පිළිබඳව සොයා බැලුවේය. ඔහු මුලින්ම කළේ ඒ අමානුෂික ක්‍රියාව පිළිබඳව සිය ට්වීටර් ගිණුමෙහි සටහනක් තැබීමය.
මෙම බිහිසුණු සාපරාධී ක්‍රියාව සියලු දෙනා විසින් දැඩි ලෙස හෙළා දැකිය යුතු අතර මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයාට එරෙහිව කඩිනම් හා දැඩි දඬුවම් ලබා දෙන ලෙස මම රජයෙන් තරයේ ඉල්ලා සිටිමි.
එමෙන්ම එවැනි ක්‍රියාවන්ට දඬුවම් ලබා දෙන නීති ශක්තිමත් කළ යුතු අතර රැකියා ස්ථානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිතභාවය සහ සුභසාධනය වඩාත් හොඳින් ආරක්ෂා කළ යුතුය.
සජිත් එම සටහන තබා ඉන් නොනැවතී පසුදා පාර්ලිමේන්තුවේ දී මේ බව නැවත මතු කළේය.
‘‘කාන්තාවට පහරදුන් මේ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දෙන්න’’
සජීත් කීවේය.


ඉන් පැය බාගයක් යන විට ලැබුණු ප්‍රවෘත්තිය වූයේ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවය.


‘‘සර් කතා කරලා පැය භාගයක් ගියේ නෑ මෙන්න අර මනුස්සයා අල්ලලා’’


ජේ.සී. අලවතුවල කීවේය.


‘‘ඕක තමයි හැමදාම වුනේ කලිනුත් සර් පාර්ලිමේන්තුවේදී යම් යම් දේවල් හෙළි දරව් කළාම ආණ්ඩුවට ඒවට ක්‍රියාත්මක වෙන්න වුණා.’’


මනූෂ කීවේ කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් සජිත්ගේ මැදිහත්වීම ද සිහිපත් කරමිනි.


‘‘ඉස්සරනම් සමහරු ආණ්ඩුව එක්ක ඩීල් දාගෙන තමන්ට උදව් ගත්තා. ඒත් දැන් විපක්ෂ නායකතුමා ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ ඇස් අරවනවා. ඒකයි වෙනස’’


එහෙම කීවේ කිංස් නෙල්සන් ය.


‘‘හතර වටෙන්ම ඇහෙන්නේ ස’ ෆේල් කියන කතාව. පොඩි දරුවා පවා ඒක කියනවා’


මහලේකම් රංජිත් කියද්දී


‘‘ඒකේ ගෞරවය යන්න ඕන හරින්ලා ඇතුළු තරුණ මන්ත්‍රීවරුන්ට.’’ යැයි සජිත් කීවේය.
‘‘මේ යන විදිහට ස’’ විතරක් නෙවේ ආණ්ඩුවත් ෆේල්’’


හරින් කීවේ සතිය තුළ ආණ්ඩුව කළ කරුණු කිහිපයක් සිහිපත් කරමිනි.


වැඩ කරපු සතිය මෙන්න නොවැ. 19 උදෑසන මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ බව කියපු අනූෂ පැල්පිට, ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස්. එදාම හවස කෝටි 100ක බදු වංචාවක් කියලා චෝදනා පිට සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාළ බලපත්‍රය කිසිදු අයකර ගැනීමකින් තොරව නැවත ලබාදුන්නා. 20 උදේ ඇමැති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙකක චෝදනා පත්‍ර බලශුන්‍ය කළා. එදාම සවස රජයට කෝටි විස්සක වංචාවක් සිදුකළ බවට චෝදනා ආව ‘‘ලක්පොහොර’’ සභාපති ඇප මත නිදහස් කළා’’ හරින් කීවේය.


‘‘බලාගෙන ගියාම එක දවසට වැඩ දෙකක් කියලා ප්‍රොජෙක්ට් එකක් ආණ්ඩුව කරනවා වගේ’ සජිත් කීවේය.


සජිත්ගේ ට්වීටර් සටහන


මේ අතර සමාජය තුළ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවූයේ කාන්තා ‘‘සනීපාරක්ෂක’ තුවා සඳහා ආණ්ඩුව බදු වැඩි කළ බවට වූ ප්‍රවෘත්තියයි.


අාණ්ඩුවට එරෙහිව හතරවටින් ප්‍රහාර එල්ල වීමට එය ඉවහල් විය.


‘‘ඔබතුමාට මොනතරම් මඩ ගැහුවද පහුගිය කාලේ හැබැයි ඒ අයට දැන් තේරෙනවා ඇති’ සජිත්ට මේ බව කීවේ රෝහිණි විජේරත්න ය.


දේශපාලනයයි ජීවිතෙයි දෙකම මඩවලින් ගෙවන අය මොනවා කීවත් මම කවදාවත් රටට හරි ජනතාවට හරි අබමල් රේණුවක වරදක් වෙන දෙයක් කියලා නෑ.


සජිත් කීවේය.


අලියා වැටුණට කුංචනාද කරන්න පුළුවන්


එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ දී අනුරාධපුරයේ හා මහනුවර විහාරස්ථාන ගණනාවකට ගොස් එහි මහ නාහිමිවරුන් බැහැදුටුවේය.


පසුගිය ඉරිදා උදේ 5.30 වනවිට කොළඹින් මහනුවර බලා පිටත් වූ ඔහු මහනුවර සීදේවි හෝටලයේ දී දිස්ත්‍රික් ක්‍රියාකාරින් හා පක්ෂ සංවිධායකවරුන් හමුවූයේය.


පක්ෂයේ පවතින ගැටලු හා ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම අවස්ථා දෙකේදීම සාකච්ඡා කරනු ලැබීය. එහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ලබන ජනවාරි මාසය වන විට පක්ෂය සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් ඉදිරිපත් කරන බවයි. එම සැලැස්ම සකස් කිරීම සඳහා මෙවැනි සාකච්ඡාවලින් අදහස් හා යෝජනා ලබා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.


මෙම සාකච්ඡාවලින් පසු සවස්වරුවේ මහනුවර ජයන්ති විහාරයට ගොස් නුගතැන්නේ පඤ්ඤානන්ද හිමියන් හමුවී උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවේය. අනතුරුව මිරිසවැටිය විහාරයට ගොස් ඊතල වැටුන වැවේ ඥානතිලක හිමියන් හමුවී පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කළේය. එහිදී උන්වහන්සේ පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව දේශනාවක් ද කළේය.


දැන් අලිය වැටිල ඉන්නෙ. මේ අලියා නැගිට්ට ගන්න ඕනෑ. ඌට බඩේ අජීර්ණයකුත් තියෙනවා. හමේ රෝගයකුත් තියෙනවා. හැබැයි තවම කුංචනාද කරන්න පුළුවන්. හයි හක්තිය තියෙනවා. මේ අලියා නැගිට්ටව ගෙන නිර්වස්ත්‍රව පාරෙ ගෙනියන්න බැහැ. හෙළුව පේනවනේ. හරියට ඇඳුමක් මස්සවා ගන්න. අලිය ව​ටේ යන්නෙ කවුද? පිටුපස්සෙන් ගෙන්න ගන්නෙ කවුද? හොඳ ඇත්ගොව්වො ටිකක් දාගන්න’’ ඥානතිලක හිමියන් කරන දේශනාවට හොඳින් ඇහුම්කන් දුන් විජයවර්ධන මහතා ‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ මහා සංඝරත්නයේ අනුශාසනා මම කවදත් පිළිගත්තා. ඒවා ධෛර්යක්’’ යැයි ප්‍රකාශ කළේය.


ඉන් අනතුරුව ශ්‍රී මහා ​බෝධිය වැඳ පුදාගත් ඔහු අභයගිරිය, රුවන්වැලිසෑය හා සාරානන්ද පිරිවෙන් විහාරයට ද ගිය අතර අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයට ද සහභාගි වූයේය. එහිදී හිටපු අගමැති වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවිඩය බාරදීම ද විජයවර්ධන මහතා අතින් සිදුවිය.


එජාප දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති අතර එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී පුරප්පාඩුව පිළිබඳව සාකච්ඡා කෙරිණි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රුවන් විජයවර්ධන මහතාගේ නම ද මෙහිදී යෝජනා විය. එහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ එම පුරප්පාඩුවට පක්ෂයේ නායකත්වයෙන් නම යෝජනා වී තිබෙනවා. එම තනතුරට පත්වීමට මට වඩා ජ්‍යෙෂ්ඨයන් පක්ෂයේ ඉන්නවා යනුවෙනි.


බෙල්ලන්විල රජමහා විහාරයේ දී බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන්ගේ ආරක්ෂාව ගැනත් සිතිය යුතු බවය. විශේෂයෙන් ඇතුළේ ඉන්න සතුරන් ගැන අවධානයෙන් සිටිය යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

 

-ගජබා-