නිමල් - බැසිල් සුවිශේෂී සාකච්ඡාවක්


ආණ්ඩුව


එජාපයේ 1977 ජයග්‍රහණය පසුපස හා එම ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිධුර දරමින් එජාපයට හා රටට විශාල සේවයක් කළ රේණුකා හේරත් මැතිනියගේ අභාවයෙන් අගමැතිවරයා දැඩි කම්පාවට පත්ව සිටියේය. අගමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා උදයේම වලපනේ ගියේ රේණුකා හේරත්ට අවසන් ගෞරව දැක්වීමටය. අනතුරුව කොළඹ පැමිණි ඔහු කෙළින්ම ආවේ අරලියගහ මැදුරටය. 


‘මම රේණුකාගේ අවමංගල්‍ය උත්සවයේ කතාවක් කරන්නයි හිතාගෙන හිටියේ. ඒත් හවස වහින නිසා හෙලිකොප්ටර්වලට යන්න අමාරු නිසා උදේ යමුයි ගුවන් හමුදාව යෝජනා කළා. ඒ උපදේශය නිසයි උදේ වලපනේ ගියේ. කාන්තා පක්ෂය පැත්තෙන් රේණුකා එජාපයට විශාල ශක්තියක් දීපු එඩිතර කාන්තාවක්’ අගමැතිවරයා කීවේ ඉතා සංවේදීවය.


‘1976 වලපනේ එජාප සංවිධායක වෙලා 77 ඉඳලා වසර විසි ගණනක් එතුමිය පාර්ලිමේන්තුවේ හිටියා. සෞඛ්‍ය ඇමැතිකම හොඳටම ඇය කළා කියලා දොස්තරවරු හුඟ දෙනෙක් මට කිව්වා’ ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයා සමග ශෝකය බෙදාගනිමින් කීවේය. 
‘රේණුකාට කාලෙකට ඉස්සර ඉඳලා හාර්ට් කේස් එක තිබුණා. පරිස්සම් වෙන්නැයි අපි අනන්තවත් කිව්වා. පිටරට හරි යමු කියලත් යෝජනා කළා. රටට වැඩ කළා මිසක් ඇය තමන් ගැන බැලුවේ නෑ. අපි විපක්ෂයේ ඉන්න කාලේ දවසක් සිහි නැතිවෙලා රේණුකා උත්සවයකදී බිම වැටුණා. ළඟදී වලපනේ පාරක් විවෘත කරලා කිලෝමීටර් 02ක් ඒ පාර දිගේ කඳු නැගලා. අපි නම් පාර විවෘත කරලා එනවනේ. ඇය මිනිස්සුත් එක්ක හදපු පාර දිගේ කන්දේ ඇවිදගෙන ගිහින්. රේණුකා විවාදවලටත් දක්ෂයි. පිරිමි 10ක් කතාකළත් ඊට උඩින් යන්න ඇයට කතාකළ හැකියි. අගමැතිවරයා රේණුකා හේරත්ගේ හැකියාව වර්ණනා කළේය. 


‘දැන් ඇමැති මාරුව කරනවද? ඒක යට ගිහින්ද? කතාව වෙනතකට යොමු කරමින් දයා ගමගේ ප්‍රශ්න කළේ අගමැතිගෙනි. 
ඒක කියන්න අමාරුයි. බලමු බලමු කී අගමැතිවරයා සිනහ සෙමින් ඉවත බලා ගත්තේය. 


එජාපයට වෙන් කරපු ප්‍රබල ඇමැතිධුර ශ්‍රීලනිප පැත්තට අරගන්න කට්ටියක් ජනාධිපතිතුමාට බල කරනවා කියලත් ආරංචියි. ඒ හුඟ දෙනෙක් එතුමාව ජනාධිපතිවරණයේදී පරාද කරන්න ක්‍රියා කරපු අයයි. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. 


එජාප ඇමැතිධුර වෙනස් කරලා එජාපය ඇතුළේ අර්බුද හදන්නත් සමහරු එතුමාට යෝජනා කරනව කියලත් කතාවක් යනවා. ඒත් ජනාධිපතිතුමා මුල අමතක නොකර සමබරව හැමදේම කරන නිසා සමහරු හිතන දේවල් වෙන එකක් නෑ. පී. හැරිසන් කියා සිටියේය.


එජාපයට අයත් විෂයන් ඒ අයට ලබාගන්න බැහැ. ඒ පැත්තෙ ඇමැතිවරු කීප දෙනයි ඇමැතිකමේ වැඩ කරන්නේ. අනිත් හැමෝම දේශපාලනයයි කරන්නේ. තනි ආණ්ඩු හදන්න  සිහින මවනවා. ජනාධිපතිතුමාත් එයාලට ඉඳල හිටල හොඳ ෂොට් දෙනවා. වජිර අබේවර්ධන කීවේය. 


මම මහින්ද රාජපක්ෂට අභියෝග කළා තමාට බැඳුම්කර ගැසට් එක ප්‍රශ්නයක් නම් උසාවි යන්න කියලා. මම අදත් ඒ අභියෝගය කරනවා. ඒත් එයා මග හරිනවා. අනික බන්දුල ගුණවර්ධන කට ඇරියොත් කියන්නේ පට්ටපල් බොරු බව අපි ඉස්සර ඉඳලම රටට කිව්වා. කොමිසමේ විනිසුරුවන් බොරු නොකියන ලෙස බන්දුලට අවවාද කිරීම රටේ ජනතාව හොඳට තේරුම් ගතයුතු දෙයක්. රවී කරුණානායක කීවේ එවැන්නකි. 


ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි පත්වෙලා වසර දෙකකින් ප්‍රාන්ත ඡන්ද තියල වාසි ගත්තා. අපේ ඡන්ද තවත් කල් යනවදැයි මිනිස්සු අහනවා. පී. හැරිසන් ඇසුවේ අගමැතිගෙනි. 


එජාපයත් වසර දෙකක් හොඳට වැඩ කරලා ඊට පස්සේ ඡන්දවලට යන්නේ. මෝදිත් එජාප ක්‍රමය වෙන්නැති මේ අත්හදා බලල තියෙන්නේ. අගමැතිවරයා කීවේය. 


‘2019 මහා මැතිවරණයටයි මෝදි පසුබිම හදන්නේ. අපිත් තීරණාත්මක ඡන්දයට වසර දෙකක් තියල දේශපාලනය පටන් ගන්න ඕනෑ. එතෙක් මහන්සි වෙලා රටේ දියුණුවට කැප වෙන්න ඕනෑ’ ගයන්ත කරුණාතිලක කී දේ කවුරුත් අනුමත කළහ.


‘ඉතිහාසයේ අසීරුම රෝග, ජලය හා ආහාර අහේනියට ලෝකය මුහුණදීලා බව එජා  සංවිධානය නිවේදනය කළා. ලංකාවේ අපි ඒ අතින් කොච්චර වාසනාවන්තද? මේ ආණ්ඩුව නොතිබුණා නම් ආර්ථික සම්බාධකත් වැටිලා රඟේ බලන්න තිබුණා.’ දයා ගමගේ කීය.


‘ඇමෙරිකාවත් ලොකු හිම කුණාටුවකින් බෑට කෑවා. නිව්යෝර්ක් නගරය බේරුණේ නූලෙන්’ නවීන් දිසානායක කීවේය. 
‘ඇන්ටි ඩම්පිං නීතිය ලංකාවේ ඇතිකිරීම ගැන අගමැතිතුමා රටට කීම වටිනවා.  පිටරටින් ලාබ බාල බඩු ගෙනාවාම ලංකාවේ හදන හොඳ බඩුවලට ඉල්ලුම නැති වෙනවා. ඒක නැති කිරීම වටිනවා. රවී කරුණානායක කීය. 


මේ රටට හයිබි්‍රඞ්  අධිකරණ  ගේන්නේ නෑ කියලා ජනාධිපතිතුමයි අගමැතිතුමයි කිව්වත් ජිනීවා යෝජනාවේ  හයවැනි ඡේදයේ හයිබි්‍රඞ් තියෙනවා කියලා ජී.එල්. රටට කිව්වා. 


මේ අය ජනතාව නොමග යවලා පටු වාසි ගන්න හදනවා. ජිනීවා යෝජනාවේ තියෙන්නේ විදේශ නඩුකාරයො ලංකාවට ගේනව කියල නොවෙයි. අවශ්‍ය නම් ඒ අයගේ උපදේශ ලබාගත හැකි බවයි. අගමැතිවරයා පැහැදිලි කළේය. 


ටී.එන්.ඒ.  එකත්  රැස්වෙලා නොයෙක් තීන්දු ගත්තට රට ගැන තීන්දු ගන්නේ ආණ්ඩුවයි. ලක්ෂ්මන් කිරිඇල්ල කීය. 


ඒකාබද්ධ විපක්ෂයේ පටු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න වර්ජන  කරන්න ගිහින් අපේ නර්ස් හාමුදුරුවෝ අනාථ වුණා. රන්ජන් රාමනායක දිගු වේලාවක් නිහඬව සිට කීවේය.  අනික සරසවි සිසුන් ආණ්ඩුවෙන් නොමිලේ ඉගෙන ගන්න අතරේ රටට අදාළ තීන්දු  ගන්න එයාලව හවුල් කර ගන්නලු. එහෙම කරන්නේ කොයි රටේද  දන්නේ නෑ. රන්ජන් කීවේ දිනපතා පා ගමන්  හා විරෝධතා සංවිධානය කරන සිසුන් ගැනය. 


මේ සියලු පෙළපාළි යන්නේ උසාවි තීන්දුවට විරුද්ධව මිසක් ආණ්ඩුවට විරුද්ධව බව අපි හිතන්න නරකයි. උසාවිය රටට අදාළ තීන්දුව දුන්නාම ආණ්ඩුවට ඒක ක්‍රියාත්මක කරන්න වෙනව මිසක් අපිට උසාවි තීන්දු වෙනස් කරන්න බෑ. ලක්ෂ්මන්  කිරිඇල්ල විග්‍රහ කළේය. 


‘එජාපයට තවත් නියෝජ්‍ය නායකවරුන් පත් කරනවාද? පී. හැරිසන්  ඇසුවේය. 


‘විවිධ අය කියන හැමදේම  ඇත්ත වෙන්නෙත් නෑ. ප්‍රවෘත්ති වෙන්නෙත් නෑ යැයි කී අගමැතිවරයා නළල රැලි ගන්වා ඉවත බලා ගත්තේය. 

 

සෙනෙට් සභා සෙංකෝලය හැදූ කලාකරුවා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස කිහිපයකි. 


පාර්ලිමේන්තු ඉතිහාසයේ නම රැන්දූ පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් මෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයේ අභිමානය සංකේවත් කළ සුවිශේෂ නිර්මාණ කිහිපයක්ද වෙති. ඒ අතර  පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙන්කෝලයයි.


1949දී බි්‍රතාන්‍ය  රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබාදුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිතා කළ සෙන්කෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි. 1956 දී තමන්ට ලබාදුන්  සැලැස්ම අනුව අඟල් 52ක දිගින් යුතුව ඇත් දලයකට කැරට් 20 රන් පවුම් 45 කින් හා රාදී රාත්තල්  3 1/2කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කන ලද්දේ එවකට ප්‍රසිද්ධ විශිෂ්ට රන්කරුවකු ලෙස ප්‍රසිද්ධියක්  ඉසිලූ රඹුක්කන දොඹේමඩ  ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි. මෙම විශිෂ්ට කලාකරුවා අද 88 වියැතිය. අඩ සියවසකටත් පෙර නිමවා  භාරදුන් මෙම අතිශය සම්භාවනීය  සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදාතුර ඔහුට වරම් හිමි නොවීය. දෑත, දෙපය හොඳින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය  දරු මුණුබුරන්  කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයයූරිය මහතා ඉකුත්දා ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ භෝජන සංග්‍රහයක් සහ තුටු පඬුරුද පිරිනමමිනි. 


කලකින් හමුවූ දරුවකු පරිද්දෙන් කඳුළු පිරි දෙනෙතින් සෙන්කෝලය අතපත ගෑ පියතිලක මහතා කථානායකවරයාට කීවේ ‘මේකේ වැඩ ඉවර වෙලා බාරදෙන කොට මං අවුරුදු 27ක තරුණයෙක්. දැන් මට වයස 88යි. එදා වගේම සතුටක් අදත් දැනෙනවා. මේක බලන්න මම අවස්ථා කිහිපයකම ඉල්ලීම් කළත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඔබතුමාට බොහොම පින්‘ යනුවෙනි. 


ප්‍රවීණ ලේඛකයකු පරිපාලන නිලධාරියකු සහ මාධ්‍යවේදියකු වන ධර්මරත්න තෙන්නකෝන් මහතා විසින් සම්පාදිත ග්‍රන්ථ ත්‍රිත්වයක් කථානායකවරයා වෙත පාර්ලිමේන්තුවේදී පිරිනැමිණි. ගොඩගේ ප්‍රකාශන සමාගමේ අධිපති සිරිසුමන ගොඩගේ මහතා ද  එම අවස්ථාවට එක්වූ අතර ලේඛකයන් දිරිමත් කිරීමට සිරිසුමන ගොඩගේ මහතා එදා මෙදා තුර දැක්වූ දායකත්වය කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.

 

උතුරට නිවාස-අගමැතිගෙන් කොළ එළියක්

පසුගියදා අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතුණේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් සාකච්ඡාවකි. මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා දන්වා සිටියේ යාපනය, මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක 4 තුළ නැවත පදිංචි කිරීමට නියමිතව ඇති පවුල් සඳහා පුළුල් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අරමුදල් අවශ්‍යව ඇති බවයි. අගමැතිවරයා ඇසුව් ‘මොකක්ද සැලසුම’ කියාය. සජිත් කීවේ 2017 වසරේදී එම දිස්ත්‍රික්ක හතරේ නව උදාගම්මාන 46ක නිවාස 2,534ක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවයි. අගමැතිවරයා පිළිතුරු දෙමින්  කියා සිටියේ ‘ඔයා ලොකු වැඩ කොටසක් කරනවා. ඒකට දෙන සහයෝගයක් හැටියට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් ලක්ෂ 12,670ක් ලබා දෙනවා’ කියාය. අගමැතිවරයාගෙන් ලැබුණු ක්ෂණික විසඳුම පසසමින් සජිත් කීවේ ‘උතුරේ දේශපාලන අධිකාරියේද සහයෝගය ලබාගෙන අනුමත සැලසුම්වලට අනුව ගෙවල් හදලා ජනතාව ඒ නිවෙස්වල පදිංචිකරලා  ලයිට්, වතුර,  මාර්ග පහසුකම් ලබාදීලා මම පෙන්වන්නම් කියාය. මෙම සාකච්ඡාවේදී සජිත් මතුකළ තවත් ප්‍රශ්නයක් වූයේ අගමැතිවරයාගේම සංකල්පයක් මත ක්‍රියාත්මක වන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමවලට අදාළ කටයුතුවලදී රජයේ ඇතැම් ආයතනවල සමහර නිලධාරීන්ගේ  නිසි සහයෝගය දිගින් දිගටම නොලැබීම ගැනය. සමහරු තර්ජනාත්මක ලිපි එවනවා අර වන්දි, මේ වන්දි ඕනෑ කියලා. මේ විදියට වැඩ කරන නිලධාරීන් එක්ක රට  සංවර්ධනය කරන්න බෑ. නිලධාරීන් සුළු පිරිසක් හදන්නේ වැඩ කඩාකප්පල් කරන්නයි සජිත් කියද්දී අගමැතිවරයා කීවේ මම මේක ආර්ථික කළමනාකරණ අනු කමිටුවේදී විසඳනවා කියාය.

 

රණවිරුවන්ට මුල්තැනක්

පසුගිය සෙනසුරාදා දින කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති සුප්‍රකට බොලිවුඞ් ගායන ශිල්පී උදිත් නාරායන්ගේ සංගීත ප්‍රසංගය නොමිලේ නැරැඹීම සඳහා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ මැදිහත්වීම මත රණක්ෂියට පත්වූ (විශේෂ අවශ්‍යතා සහිත) රණවිරුවන් ඇතුළු රණවිරු සාමාජිකයන් දෙසීයකට වැඩි පිරිසකට අවස්ථාව ලබාදීම පිළිබඳ එම රණවිරුවෝ ඇමැති රුවන්ට සිය ප්‍රණාමය පුදකර සිටියහ. ප්‍රසංගය නැරැඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූ කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සඳහා පනවා තිබූ ආසන පේළියට සමාන්තර අසුන් පේළියක එම රණවිරු සාමාජිකයන් සඳහා අසුන් පනවා තිබීම මගින් තමන්ට දැඩි ගෞරවයක් ලැබුණු බව සඳහන් කරමින් ඔවුහු රුවන් ඇගයූහ.


මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක රේණුකා හේරත් මහත්මියගේ අභාවය පිළිබඳ පුවත සැලවූ සැණින් ඊට පසුදිනම ඇමැති රුවන් ඇයගේ අවමංගල උත්සවයට සහභාගිවූ අතර එහිදී රේණුකා හේරත් මහත්මියගේ ස්වාමි පුරුෂයා සහ දියණියට සිය ශෝකය පළ කරමින් තම දේශපාලන ගමනට රේණුකා ලබා දුන් ගුරුහරුකම් ගැනද කෘතවේදීව සිහිපත් කළේය. ඊට ටික වේලාවකට පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාද පැමිණි අතර එහිදී වෙල්ගමත්, රුවනුත් සෑහෙන වේලාවක් රේණුකා හේරත් මහත්මියගේ දේශපාලන ගමන හා ජීවිතය ගැන කතා බහ කළෝය. මේ අවස්ථාවට දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ නායිකා සුනේත්‍රා රණසිංහත්, නීතිඥ කීර්ති රාජපක්ෂත් එක්ව සිටියහ.


මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මියගේ අවමංගල උත්සවයට සහභාගි වන මැති ඇමැතිවරුන් සඳහා අගමැතිගේ උපදෙස් මත විශේෂ ගුවන් යානයක් වෙන් කරවා ගත් ගයන්ත, අමුණුගම, වජිර, සුජීව, නාවින්න, හැරිසන්, අජිත් පී. පෙරේරා යන මැති ඇමැතිවරුන් සමඟ එම ගමනට එක්විය.


එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නායිකාවක මෙන්ම සෞඛ්‍ය හා පෝෂණ ඇමැතිවරියක වූ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා වලපනේ ඇගේ නිවසට ගිය කරු ජයසූරිය මහතා සිහිපත් කළේ නිතර සිනහමුසු මුහුණින්  යුතුව සෑම තරාතිරමකම මිනිසුන්ට සවන්දුන් රේණුකා හේරත් මැතිණිය කිසි විට ජනතා සේවයෙන් විඩාබර නොවූ සහ කන්ද උඩරට ජනතාවට සැබෑ මවක් වූ නායිකාවක් බවයි. 


ජනපතිගේත් අගමැතිගේත් උපදෙස් පරිදි රාජ්‍ය ඇමැති රුවන්ගේ සංකල්පයක් මත ආරම්භ කිරීමට නියමිත රණක්ෂියට පත් (විශේෂ අවශ්‍යතා සහිත) රණවිරුවන් සඳහා ඉදිකිරීමට නියමිත “විරු සුමිතුරු” නිවාස වැඩපිළිවෙළ සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට කැමැති ආයතනවල සහභාගිත්වයෙන් පසුගිය දිනෙක විශේෂ රැස්වීමක් ඇමැති රුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී එම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රිචර්ඞ් පීරිස් ආයතනය රුපියල් මිලියන හයක මුදලක් ප්‍රදානය කළ අතර රුවන් එවෙලේම ඊට අදාළ චෙක්පත රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය අතට පත්කරමින් කීවේ අදාළ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙසය. නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාද මේ වැඩසටහනට එක්කර ගැනීමට බලාපොරොත්තුවන බව සඳහන් කරමින් රුවන් කීවේ නිවාස හදන වැඩවල ශූරයෙක් වන අපේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ සහයෝගයත් ඉදිරියට ලබාගන්න බලාපොරොත්තු වෙනවා කියාය.

 

ලෝක බැංකු නියෝජිතයන් ඇවිත්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දිනෙක හොංකොං බලා පිටත් වූයේ හොංකොං හී ස්ථාපිත බැංකුවක් සහ එහි ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ විශේෂ රැස්වීමකට සහභාගිවීම සඳහාය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට වුවමනා ආයෝජන අවස්ථා පුළුල් කළ හැකි ආකාරය ගැන කරුණු සාකච්ඡා විය.


පසුගිය සතියේ අඟහරුවාදා දින ලෝක බැංකුවේ විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන් කිරීමට අදාළව ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති වැඩසටහන සඳහා ලබාදිය හැකි ලෝක බැංකුවේ සහයෝගය පිළිබඳ සාකච්ඡා කිරීමටය. එම නියෝජිත පිරිස හා රවී අතර සාකච්ඡාව මුදල් අමාත්‍යංශයේදී පැවැති අතර එහිදී එම වැඩ සටහනට ලෝක බැංකුවේ සහාය ලබාදිය හැකි ආකාරය ගැන කරුණු සාකච්ඡා විය.


විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ආධාර උපකාර කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන පැහැදී එම කටයුතුවලදී ශ්‍රී ලංකා රජයට උදව් වීම සඳහා සිංගප්පූරුවේ විශේෂ කණ්ඩායමක් ඉකුත් දිනෙක ලංකාවට පැමිණ ඇමැති රවී සමඟ සාකච්ඡා කළ අතර එහිදී ආබාධිත අය වෙනුවෙන් කළ හැකි උපකාර ගැන කරුණු සාකච්ඡා විය.

 

මහා සංඝරත්නයෙන් සමාව අයැදී

අධිරාජ්‍ය විරෝධී කැරැල්ලට නායකත්වය දුන් විරුවන් සඳහා බි්‍රතාන්‍ය පාලකයන් පනවා තිබූ දේශද්‍රෝහී නාම ඉවත් කොට ඔවුන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තැබීමේ උත්සවයට මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහානායක හිමිවරුන්ගෙන් ලැබුණු විශේෂ සහයෝගය හා අනුශාසනා වෙනුවෙන් උන්වහන්සේලාට ජනපති මෛත්‍රීගෙන් පිරිනැමුණු විශේෂ ගෞරවපූර්වක ස්තුති සහිත ලිපිය ඉකුත් දිනෙක ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් උන්වහන්සේලාට පිළිගැන්වීම සිදුකරනු ලැබීය. මේ අතර එම උත්සවයට සහභාගිවීමට පැමිණි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පෙමසිරි හිමියන්ට සිදුවූ අපහසුතාවක් පිළිබඳව මාධ්‍ය මගින් කරුණු වාර්තා කර තිබූ අතර, ගයන්ත ඊට සමාව අයදිමින් විශේෂ ලිපියක් ද උන්වහන්සේ වෙත යොමු කර තිබිණි. රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව පසුගිය දිනෙක මීරිගම සේනානායක මුදලින්දාරාම විහාරස්ථානයේ දී අඟහරුවාදා දින රැස්වූ අතර, එම අවස්ථාවට එක්වූ ගයන්ත එහිදී ද උන්වහන්සේගෙන් අදාළ සිද්ධිය පිළිබඳ සමාව අයැද සිටියේය. එම අවස්ථාවට වැඩම කර සිටි සංඝයා වහන්සේලා ගයන්තගේ එම ක්‍රියාව අගය කරමින් විශේෂ පිරිත් සජ්ඣායනයක් ද පැවැත්වූහ.

 

විහාරස්ථාන 150 ක් සංරක්‍ෂණය කෙරේ

මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සමගාමීව දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 150ක මුදලක් යොදවා සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින්ට උපදෙස් දුන්නේ ඉකුත් දිනෙක ඔවුන් සමග පැවැති සාකච්ඡාවකදීය. මීට අමතරව රජමහා විහාර සංරක්ෂණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 4500ක මුදලක්ද වෙන් කර තිබේ. මේ සියලු කටයුතු ජාත්‍යන්තර වෙසක් දින උත්සවයට සමගාමීව කඩිනමින් ආරම්භ කරන ලෙස ද අකිල කීවේය.
රංගිරි දඹුලු විහාරය, සීගිරිය හා තවත් ඓතිහාසික වටිනාකමකින් යුත් සිද්ධස්ථාන කීපයක පිහිටි විහාර සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩකටයුතු ද වේගවත් කරන ලෙස ඇමැති අකිල එම සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් දෙමින් සඳහන් කළේය.


අධ්‍යාපන, ගුරු හා විදුහල්පති සේවාවල පත්වීම් හා උසස්වීම් ලැබූ පිරිසකට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයක් ඉකුත් දිනෙක අකිලගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැති අතර, එහිදී අකිල කීවේ ඉදිරියේදී අධ්‍යාපන සේවය ශක්තිමත් කිරීම සඳහා නොබියව තීන්දු තීරණ ගන්නා බවය. යුද්දෙකට බලමුළු සංවිධානය කරනවා වගේ අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙනුත් බලමුළු සංවිධානය කරන්න වෙලා තියෙන්නේ.  මම ඒ සඳහා තෝර ගන්නේ සුදුස්සෝ විතරයි. කිසිම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මම වැඩ කරන්න සූදානම් නැහැ.

 

ජනපති

මෙවර කැබිනට් රැස්වීම පැවැත්වුණේ සති දෙකකට පසුවය. ජනපති මෛත්‍රී ඉන්දුනීසියාවේ සංචාරයක නිරතවූ නිසා ඉකුත් සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්විණි. ඒ අනුව ගිය අඟහරුවාදා උදේ කැබිනට් මණ්ඩලය ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය. ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් උපදේශක කමිටු පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්කර තිබුණේ අගමැතිවරයා විසිනි. ගම් මට්ටමින් පිහිටුවන උපදේශක කමිටුවලට ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන් පත් කිරීමටත්, ගමේ සිදුවන සංවර්ධන කටයුතු අධීක්ෂණය එම කමිටුවලට පැවැරීමටත් එමගින් යෝජනා කර තිබිණි. ප්‍රාදේශීය සභාවල බලය මේ කමිටුවලට යනවා කියල විරෝධයක් ආ හැකි බව ඇමැතිවරයෙක් කීවේය. චම්පික රණවක කීවේ පළාත් පාලන ඡන්දයට කොට්ඨාස නිර්ණය කරනවා නම් ඡන්ද කොට්ඨාස හා ග්‍රාම රාජ්‍ය කොට්ඨාස කියන දෙකම එකම කොට්ඨාසයක් විදියට වෙන් කළ හැකි බවය. අපි ඉදිරිපත් කළේ යෝජනාවක් විතරයි. දේශපාලන පක්ෂවලට, අමාත්‍යංශවලට මේකට අදහස් දක්වන්න පුළුවන් යැයි අගමැති කීවේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගම ඈවර කිරීමේ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඇවන්ගාඞ් සමාගමට රක්නා ලංකා සමාගමෙන් රුපියල් මිලියන 742ක් අයවිය යුතු බව මුලදී කියා තිබිණි. ඒ අතර නාවික  හමුදාව දැනුම් දී තිබුණේ නාවික හමුදාවට ඇවන්ගාඞ් සමාගමෙන් රුපියල් මිලියන 685ක් අයවිය යුතුව ඇති බවය. රක්නා ලංකා සමාගම ඈවර කරන්නේ නම් මේ ගනුදෙනුද සමථයකට පත් කරගත යුතු බව නාවික හමුදාව යෝජනා කර තිබිණි.

මේ අතර රක්නා ලංකා ආයතනයේ සේවකයින් ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ආරක්ෂක අංශයට අනුයුක්ත කිරීමටද යෝජනාවී තිබිණි. චම්පික රණවක කියා තිබුණේ මේ සේවකයින් අපට භාර ගන්න පුළුවන්. හැබැයි ගනුදෙනු පියවන ඒවා අපට භාරගන්න බැහැ කියාය.


වීදි ලාම්පු, එල්.ඊ.ඩී. කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් රවි කරුණානායක සහ ෆයිසර් මුස්තාපා අතර වාග් සංග්‍රාමයක් ඇතිවිය. ෆයිසර් කීවේ මේකට සමාගම් දෙකක් ඉදිරිපත් වුණා. ආර්ථික කළමනාකරණ කමිටුව දැඩි තීන්දුවත් එක්ක අපි එක සමාගමක් තෝරා ගත්තා කියාය. රවි කීවේ එම තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම වැරැදි බවය. ෆයිසර් මුස්තාපා ආර්ථික කළමනාකරණ කමිටුවේ තීරණය ඉංග්‍රීසියෙන් කියෙව්වේය. මටත් ඉංග්‍රීසි තේරෙනවා. හැබැයි මේ තෝරාගෙන තියෙන ක්‍රමය වැරැදියි රවි කීවේය. මේක ගෙනත් අවුරුදු එක හමාරක් වෙනවා. තවම කරල නැහැ. මෙහෙම ගියොත් මේක කවදාවත් කරන්න නම් වෙන්නෙ නෑ. මේක කරන්න දෙන්න යැයි ජනාධිපතිවරයා කීවේය.


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ප්‍රතිපාදන දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ට අසාධාරණයක් වී ඇති බව මහින්ද අමරවීර කියා තිබිණි. රංජිත් මද්දුම බණ්ඩාර කීවේ ඒ ප්‍රශ්නය විසඳන එක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට භාරදෙමු කියාය. ඕකට තියෙන්නෙ චක්‍රලේඛයක් යවන එකනේ යැයි දයාසිරි ජයසේකර කීවේය. මේ අතර රංජිත් මද්දුම බණ්ඩාර වෙනත් ප්‍රශ්නයක් මතු කළේය. ඔහු කීවේ පළාත් සභාවල එජාප මන්ත්‍රිවරුන්ට අසාධාරණයක් සිදුවන බවය. පළාත් සභාවල ප්‍රතිපාදන දීමේදී ඔවුන්ට කිසි දෙයක් නොලැබෙන බව ඔහු කීවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ තමා ලබන සතියේදී සියලු පළාත් සභාවල මන්ත්‍රීවරුන් ගෙන්වා මේ ගැන සාකච්ඡා කරන බවය. දයාසිරි ජයසේකර ඇමැතිවරයා වයඹ පළාත් සභාවේ ඇතිව තිබෙන අර්බුදය ගැනද මතු කළේ මේ කතාවෙන අතරවාරයේය. “වයඹ අධ්‍යාපන අධ්‍යක්ෂ පත් කිරීමේදී සිදුව ඇති අසාධාරණය ගැන මම ඔබතුමාට ලිපියක් දුන්නා. මේ තනතුරට පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඉද්දි ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවන තැන ඉන්න නිලධාරියා සම්මුඛ පරීක්ෂණ  තියලා අරගෙන. මේක පළාත් සභා මහ ඇමැතිගේ අනුමැතිය ඇතිව කරන්න ඕන වැඩක්. මේ පත් කිරීමත් එක්කයි ආණ්ඩුකාරතුමියට විරුද්ධව දෝෂාභියෝගය එන්නෙ. මම මේ ගැන ඔබතුමාට කතා කළාම ඔබතුමා විසඳන්නම් කීවා. තීන්දුවක් දෙන්නම්, දෝෂාභියෝගය නවත්වන්න කිව්වා. අන්තිමට මොකද වුණේ. මෙයා අද උදේ වැඩ භාරගත්තා. අපි මෙහෙම කොහොමද? වැඩ කරන්නෙ. මේ විදියට වෙනකොට අපට දේශපාලනය කරන්න එපා වෙනවා යැයි දයාසිරි කීවේ දීර්ඝ විස්තරයක්ද කරමිනි. දයාසිරිට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ මම අගමැතිතුමාත් එක්කත් කතා කරලා මේ පත්වීම වහාම නතර කරන්න කියල ආණ්ඩුකාරතුමියට කිව්වා කියාය.


අපි පළාත් සභාවලට බලය බෙදන්න කතා කරනවා. නමුත් ආණ්ඩුවේ ඇමැතිවරු පළාත් සභා වැඩවලට මැදිහත් වෙනවා. දැන් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ පත් කරන්න පුළුවන්. හැබැයි මට ඒක කරන්න බැහැ. ඒක පළාත් සභාවෙන් කරන්න ඕන දෙයක් යැයි දයාසිරි කීවේය.  අවසානයේ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයේ අලුතින් වැඩ භාරගත් නිලධාරියාට වැඩ භාරගෙන පැයකට පසුව ගෙදර යන්නට සිදුවිය.


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් ආංශික කාරක සභා වාර්තාවද මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ගැන චම්පික රණවක ඇමැතිවරයා දැඩි විරෝධය පළ කළේය.


කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ මෙවර මැයි දිනය පැවැත්වීම ගැන සාකච්ඡා කිරීමටය. ජනාධිපතිවරයා පිරිස අමතමින් කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරියට පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගෙන යා හැකිනම් ඊළඟ මැතිවරණයෙදී ශ්‍රීලනිපයට රාජ්‍ය බලය ගන්න තැනට ගෙනයාමට පුළුවන් බවය. මධ්‍යස්ථ මතධාරින් එය තේරුම් ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කීවේය. මෙම සාකච්ඡාවේදී තීරණය වූයේ මෙවර ශ්‍රීලනිප මැයි රැලිය මහනුවරදී පවත්වන්නටය. මැයි රැලියට නොඑන මන්ත්‍රීවරුන් ගැන තීන්දුවක් ගන්නැයි ඇමැතිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළහ.


වයඹ පළාත් සභාවේ ඇතිව තිබෙන අර්බුදය මේ රැස්වීමේදී මතුවිය. දයාසිරි ජයසේකර කීවේ ආණ්ඩුකාරධුරවලට ඒ පළාතේ දේශපාලනඥයින් පත් කරන්න එපා කියාය. එහෙම අය පත්කළාම ඒ අය කරන්නෙ ජනාධිපතිතුමා පවරපු වැඬේ නෙවෙයි. ඒ අයගේ දේශපාලනයයි. මෙතෙක් වෙලා තියෙන්නෙ ඒක. අමරා පියසීලි රත්නායක කුරුණෑගල හිටපු ඇමැතිවරියක්. එතුමියගේ පුතා පළාත් සභා මන්ත්‍රී. එයා තමයි ආණ්ඩුකාර තුමියගෙ පෞද්ගලික ලේකම්. මහජන දිනේදි අම්මයි පුතයි ඒ අයගෙ දේශපාලන වැඩ ටික කරගන්නවා. අන්තිමට වෙන්නෙ එයාලගේ දේශපාලන වැඩ පිළිවෙළ ඉස්සරහට ගෙනියන එක යැයි දයාසිරි කීවේය. එහිදී ඇමැතිවරුන් ඉල්ලා සිටියේ අමරා පියසීලි රත්නායක මහත්මිය වෙන පළාතක ආණ්ඩුකාර ධුරයට පත්කර යවා වයඹට වෙනම ආණ්ඩුකාරවරයකු පත් කරන ලෙසය.


ජනපති මෛත්‍රී ගිය බ්‍රහස්පතින්දා උදේ හම්බන්තොට ගියේ එහි යොදාගෙන තිබූ උත්සව කීපයකට සහභාගි වීම සඳහාය. අම්බලන්තොට, නෝනගම ප්‍රදේශයේ ඉදිකරන ලද සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කරන්නට ජනපති මෛත්‍රී කොළඹ සිට හෙළිකොප්ටරයෙන් ගියේ මහින්ද අමරවීර ඇමැතිවරයාද සමගය. අම්බලන්තොට පොලිස් ක්‍රීඩාංගණයට ගුවනින් ආ මෛත්‍රී, සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කරන්නට මුලින්ම ගියේය. ජනපති පිළිගන්නට ඇමැති එස්.බී. නාවින්නත්, මහ ඇමැති ෂාන් විජයලාල් හා පළාත් සභාවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. මෛත්‍රී සමග වාහනයෙන් පැමිණි අමරවීරද ජනාධිපතිවරයා පිළිගන්නට කලබලයෙන් බුලත් අතක් සොයනු මෛත්‍රීගේ නෙත ගැටිනි. මෙයා මේ මාත් එක්ක ඇවිත් මාව පිළිගන්න හදනවා. මම එන්න කිව්වෙ නැත්නම් මෙයා එන්නෙත් නෑ. දැන් බුලත් හොයනවා. අනේ අනේ යැයි ජනාධිපතිවරයා කියද්දි හැමෝටම හිනාය.


අනතුරුව හම්බන්තොට ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයට ජනාධිපතිවරයා ගියේය. හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම උත්සවයේදී ජනාධිපතිවරයා ළඟදී සිදුවන වෙනසක් ගැන රහසක්ද හෙළි කළේය. අද මේ සභාවෙදි කියවුණා ධීවර ඇමැතිකම් තුනක්ම තංගල්ල ආසනයට දීලා තියනවා කියලා. මධ්‍යම ආණ්ඩුවේ ධීවර ඇමැතිකම, නියෝජ්‍ය ඇමැතිකම, පළාත් සභාවේ ධීවර ඇමැතිකම, ඒ කියන්නෙ කාගෙ හරි ඇමැතිකමක් අස්කරන්න ඕනෑද? හරි එහෙම නම් මම මෙහෙම කරන්නම්. එහෙම කරල මම අපේ මහින්ද අමරවීර ඇමැතිතුමාට වැඩ කරන්න ලොකු වගකීමක් තියෙන ඇමැතිකමක් දෙමු යැයි ජනාධිපතිවරයා කියද්දි මුළු සභාවම අත් පොළසන් දෙන්නට විය.


උත්සවය හමාරවී තේ බොන අතරේ ඇමැතිවරුන් ගැන යළි කතාවිය. සර් මොකද අපේ මහින්ද අමරවීර ඇමැතිතුමාගෙ ධීවර ඇමැතිකම වෙන කෙනකුට දෙන්නද හදන්නෙ යැයි ෂාන් ඇසුවේය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා හිනාවෙමින් කීවේ කවුද එහෙම කිව්වෙ. මම කිව්වෙ වගකියන ඇමැතිකමකුත් දෙන්න පුළුවන් කියලයි කියාය. සර් දැක්ක නේද අපේ නායක හාමුදුරුවො සර් ගාවට ඇවිත් කරපු ඉල්ලීම. හාමුදුරුවො කිව්වෙ බුද්ධ ශාසන ඇමැතිකම මට දෙන්න කියලයි. මට ඒ ඇමැතිකමින් මොනව කරන්නද? යැයි අමරවීර කියද්දි ජනාධිපතිවරයා කීවේ ඔයා ඒ වෙලාවෙම කිව්වෙ ඊට හොඳයි මාව මහන කරන්න කියලා. ඒකට හැමෝටම හයියෙන් හිනාය.


උත්සවය හමාරවී ජනාධිපතිවරයා පිටත්වන්නට වාහනයට ගොඩවී ෂාන් ඔයා කොහොමද යන්නෙ. එන්න මාත් එක්ක කොළඹ යමු යැයි කීවේය. සර් මට සර් එක්ක කොළඹ යන්න එන්න පුළුවන්. හැබැයි ආයෙ මට එන්න වෙන්නේ බස් එකෙන් තමයි යැයි ජනාධිපතිවරයාට පිළිතුරු දුන්නේය.


මේ අතර ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා කරන ප්‍රකාශ සැළකිල්ලට ගෙන ඔහුට විරුද්ධව විනය පියවර ගන්නැයි ඉල්ලා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායකට ලිපියක් යවා ඇති බව වාර්තාවේ. එම ලිපියේ පිටපතක් ජනාධිපතිවරයාටද යවා ඇතැයි දැන ගන්නට තිබේ.


කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්නගේ නැන්දණිය වූ සෝමා පෙරේරා මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ඇය පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක මෙන්ම හිටපු නාගරික මන්ත්‍රීවරියකද වූවාය. දේහය තැන්පත් කර තිබුණේ පැල්මඩුල්ලේය. දේහයට අවසන් ගෞරව දක්වන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගියේ මොනරාගල පැවැති උත්සවයකට ගොස් කොළඹ එන අතරවාරයේය. ජෝන් අමරතුංග හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුද ජනාධිපතිවරයා සමග පැමිණ සිටියහ. 


ආණ්ඩුවේ එජාපයෙ හා ඒකාබද්ධ විපක්ෂයේද මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් මළගෙදරට පැමිණියහ. හිටපු ඇමැති බැසිල් රාජපක්ෂද දේහයට අවසන් ගෞරව දක්වන්නට ගිය ඉරිදා මළ ගෙදරට පැමිණියේය. බැසිල් එන බව දැන ගන්නට ලැබී පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියද, රංජිත් සොයිසා හා ජානක වක්කුඹුර යන මන්ත්‍රීවරු දෙදෙනාද රාත්‍රියේම මළ ගෙදරට ආවෝය. පිරිස බැසිල් සමඟ කාමරයකට වී කතා බහ කරමින් සිටියෝය. මේ අතර වාරයේ මළ ගෙදරට තවත් අමුත්තෙක් ආවේය. ඒ නිමල් සිරිපාල ද සිල්වා මහතාය. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව නිමල් ද බැසිල් ඇතුළු පිරිස සමඟ කතාබහට එක්විය. නිමල් කාමරය තුළට එනු දුටු රංජිත් සොයිසා කීවේ බලන්නකො සර් අපේ බැසිල් මහත්තයට හෙට උසාවි යන්න තියෙනවනෙ කියාය. ඔය වෙන දේවල් ගණන් ගන්න එපා යැයි නිමල් ද කීවේය. බැසිල් කීවේ ඒවට මම නම් සැළෙන්නෙ නෑ. අපි ඉස්සර දවසම මහන්සි වුණේ රටට වැඩ කරන්න. දැන් මහන්සි වෙන්න වෙලා තියෙන්නෙ අපිට දාන නඩුවලට මුහුණ දෙන්නයි කියාය. තිදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් එහිදී සිදුවිය.


ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා දින උත්සවය ගිය සති අන්තයේ පැවැත්වුණේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංගපීඨයේය. කුමාර වෙල්ගම, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම, ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වේදිකාවට මඳක් ඈතින් බිම වාඩිවී සිටියහ. රූමත් කාන්තාවක් එතැනින් යන්න ඇවිත් කකුල පැටලී ඇද වැටෙන්නට ගියාය. කාන්තාව වැටුණේ වෙල්ගමගේ ඇඟට වීම කාගේත් පුදුමයට හේතුවිය. ඇයට වැටෙන්නට නොදී වෙල්ගම ඇය අල්ලා ගත්තේය. කාන්තාව වෙල්ගමට ස්තුති කර එතැනින් පිටව ගියාය. අනතුරුව එතනට ආ ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රිවරුන් වෙල්ගමට කීවේ ඒ චාන්ස් එක වැටුණෙත් අයියට නේ කියාය. ඕක තමයි මල්ලි ඕවටත් පින තියෙන්න ඕනෑ කියල කියන්නෙ යැයි වෙල්ගමද හිනාවෙමින් උත්තර දුන්නේය.

 

කෝප් කමිටුවට ඉල්ලීම් ගලයි

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ සිවිල් සංවිධාන, ශිෂ්‍ය සංගම්, දෙමාපියන් ඇතුළු පිරිස් විසින් කෝප් කමිටුවේ සභාපතිවරයාටත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කෝප් සාමාජිකයින්ටත් විශාල වශයෙන් දුරකතන ඇමතුම් ගලා එන්නට විය. සයිටම් ආයතනය සම්බන්ධයන් තමන්ටත් අදහස් දැක්වීමට කෝප් කමිටුවේ අවස්ථාවක් ලබා දෙන ලෙස දුරකතන ඇමතුම්වලින් ඔවුන් ඉල්ලා සිටියහ. සියලු දෙනාට කෝප් කමිටුවේ අවස්ථාවක් ලබාදීමට හැකියාව ඇත්දැයි ක