නැගෙනහිර සංවර්ධන වැඩ කීපයක් අගමැති අතින් විවෘත වෙයි


සති අන්තයේ නැගෙනහිර පළාතට ගිය අගමැතිවරයා මද විවේකය ලබන අතරතුර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම සමඟ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


එහිදී යුද්ධයෙන් බැට කෑ එම ජනතාවගේ ඉඩම් ඇතුළු බහුවිධ ප්‍රශ්න ගැන බෝගොල්ලාගම අගමැතිවරයා දැනුවත් කළේය.


ඉරිදා මඩකළපුවේ දෙමළ ජනතාව වෙසෙන ආරියම්පති වෙත පැමිණි අගමැතිවරයා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළ අතර අනතුරුව බෝගොල්ලාගම සංවිධානය කර තිබු සිවිල් සංවිධාන හමුවීමකටද එක්විය.
සහජීවනය ගොඩනඟන අයුරු එහිදී සාකච්ඡා විය.


ආණ්ඩුකාර නිල නිවසේදී තේ පානය කළ අගමැතිවරයා මුස්ලිම්වරුන් වෙසෙන එරාවුර් වෙත ගොස් එහි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද විවෘත කළේය. අති විශාල ජනතාවක් එක්වු ජන හමුවද ඇමතු අගමැතිවරයා එහිදී විශේෂ ප්‍රකාශය කළේය.


“නැගෙනහිර සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණු කිරීමට සෘජු ගුවන් සේවය කඩිනමින් අරඹනවා. එවිට සංචාරකයන්ගේත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේත් කටයුතු කඩිනම් වේවි”, අගමැතිවරයා කීවේ සුවිසල් අත්පොළසන් හඬ මැදය.


ආණ්ඩුකාර බෝගොල්ලාගම, රවුෆ් හකීම්, වජිර අබේවර්ධන හා ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ද උත්සවවලට එක් වූ අතර ඔවුන් එදින දිවා අහාරය ගත්තේ නැගෙනහිර හිටපු මහ ඇමැතිගේ එරාවූර් නිවසේදීය.
ඉරිදා සවස අගමැතිවරයා යළි කොළඹ බලා පිටත් විය.


අඟහරුවාදා, අගමැතිවරයා ගාල්ලට ගියේ තරු පහේ නවීනතම හෝටලය විවෘත කිරීමටය. හෙලිකොප්ටරයෙන් බහින විට මද වැසි ඇද හැළිණ,


“කෝට් එක අඳිනවාට වඩා ෂර්ට් එකට උඩින් ජැකට් එක අදිමු. ස්මාර්ට් කැෂුවල්නේ එන්න කියා තිබෙන්නෙත්”, කී අගමැතිවරයා තැඹිලි පැහැයට හුරු ඉන්දියානු ක්‍රමයේ ජැකට් එකක් ඇද උත්සවයට එක් විය.
“අප හිතුවා ජනපති මෛත්‍රීපාල ඡන්දය ඉල්ලන්න එනවා කියලා”, වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලකද කී විට අගමැතිවරයා ද සිනාසුනේය.


බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ දූත පිරිස හමුවීමටය. අනතුරුව පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමඟද අගමැතිවරයා කාලීන දේශපාලනය ගැන අදහස් හුවමාරු කර ගත්තේය.


“අද නේද ආණ්ඩුව පෙරළන, මහින්ද අගමැති කරන ඒකාබද්ධයේ ලිප්ටන් උද්ඝෝෂණය? පළාත් පාලන ඡන්දයේදීත් කිව්වේ මහින්ද අගමැති කරනවා කියලනේ?” ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුල පිරුවේ උස් හඬින් සිනාසෙමිනි.


“ඒකාබද්ධයේ දැන් ඇතුළෙත් උද්ඝෝෂණ, එළියෙත් උද්ඝෝෂණ. ආණ්ඩුව ඕනෑම උද්ඝෝෂණයකට ආරක්ෂාව දෙනවා. එයාලා වගේ අප වෙඩි තියා මිනිස්සු මරන්නේ, අතපය කඩන්නේ නැහැ.” අගමැතිවරයා කීවේද සිනාසෙමිනි.


“අගමැතිකම ගන්න බව කියන මහින්ද මහත්තය උදේ හවස විපක්ෂ නායක කමයි, ඉල්ලන්නේ.”, චමින්ද විජේසිරි කීවේද සිනා මැදය.


“පාර්ලිමේන්තු සම්ප්‍රදායට කාටවත් අභියෝග කරන්න බැහැ. අගමැති පත් වෙන්න වැඩිම මන්ත්‍රීවරුන් ඉන්න පක්ෂයෙනුයි. විපක්ෂ නායක පත් වෙන්නේ ඊළඟට වැඩිම පක්ෂයෙන්. මේ පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම මන්ත්‍රීවරුන් ඉන්න පක්ෂය ආණ්ඩුවේ ඉන්න නිසා තුන් වැනිව වැඩිම මන්ත්‍රීවරුන් ඉන්න පක්ෂයටයි, විපක්ෂනායකකම යන්නේ. මේක නොතේරෙන බබාලයි, අද ඒකාබද්ධයේ ඉන්නේ.”, ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහය අගමැතිවරයාද අනුමත කළේය.”


“මෙයාල ඒක තේරුම් ගන්න බැරිව බොරුවට කතානායකතුමාට බණිනවා”, අගමැතිවරයා කීය.


“ඇඹිලිපිටියේ පන්සලකට මහින්ද මහත්තයා ආවේ නැහැ කියා චමල් ආවම මිනිස්සු හූ තියලා. මහින්ද ටෙලිෆෝන් එකෙන් සංවිධායකට බැණලා. අප කියන විදියට උඹලා වැඩ කරපල්ලා කියා තර්ජන කළ හැටි ටී.වී.වල ගියා. මේ සිද්ධිය ඒකාබද්දේ වෙනම ටීම් එකක් සැළසුම් කරපු බවයි, ආරංචි ” නවීන් දිසානායක කීය.


“විශේෂ මහාධිකරණ එයාලා ආපු දවසට අහෝසි කරනවා කියා බැසිල් කිව්වා”, දයා ගමගේ කීය.

 

 

“නීතිය දන්නේ නැති අයයි ඕක කියන්නේ. උඩතලවින්න, විද්‍යා දැරියගේ නඩු එහෙම ඇහුවෙත් විශේෂ මහාධිකරණවල තමයි”, විජයදාස රාජපක්ෂ කීය.


“නවක වදයට එරෙහිව වසර 10 ක් හිරේ යන, ඇපත් නැති නීති ගේන එක අනාගත සිසු පරපුරට කරන විශාල සේවයයි. මේ ආණ්ඩුවටයි. විජයදාස ඇමතිතුමාටයි රටම ස්තුති කරනවා.”, චමින්ද විජේසිරි කීය.
“ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීකමක්වත් දිනන්න බැරි පෙරටුගාමින් පටු අරමුණු මත අධ්‍යාපනය විනාශ කරන්න සිසුන් යොදා ගන්නවා. කැම්පස් එන්න කළින්ම ඒ ගෙවල්වලට බැහැල සිසුන්ට සමාජ වෛරය ඇති කරනවා. ඊළඟට නවක වදය හරහා සිසුන් බිළි ගන්නවා. මහපොළෙන් ජීවත් වෙන සිසුන්ගේ උද්ඝෝෂණවලට දස ලක්ෂ ගණන් මුදල් යොදවන්නේ කවුද කියා අප දන්නවා.”


“ශිෂ්‍ය නායකයෝ ලක්ෂ 300 වාහන වලින් ඇවිත් සිසුන් අව්වේ පයින් යවා කදුළු ගෑස්, ජල ප්‍රහාරවලට ලක් කර නායකයෝ ටික සල්ලි මලු අරන් තරු හෝටලෙකින් අඩියකුත් ගහලා පයින් ආපු අර සිසුන්ට හිනා වෙවී ගෙදර යනවා. අද ඇත්ත තත්ත්වය එයයි. මේකට දැඩි පියවර ගෙන සිසුන් බේරා ගන්න ඕනෑ”, විජයදාස රාජපක්ෂ කළ විග්‍රහය අගමැතිවරයා ඇතුළු පිරිස අසා සිටියේ නළල රැළි ගන්වමිනි.


“2015 වෙනසට විශාල කැප කිරීම කළ රතන හිමි දැන් ආණ්ඩුවට, ජනපතිට පහර දෙනවා. වස විස නැති වැඩ පිළිවෙලට වැය කළ කෝටි ගණන් මුදලට හා වාහන මෙන්ම වෙනත් පහසුකම්වලට සාපේක්ෂ ප්‍රගතිය නැහැ කියා ජනපතිගේ ප්‍රකාශකයෙක් හිමියන්ට ප්‍රහාර එල්ල කළා. ජනාධිපතිතුමාමයි, රතන හිමි නලවලා තිබෙන්නේ කියා ඒ පැත්තේ අයම බනිනවා”, පී. හැරිසන් කීය.


“එක පාරටම කුඩා කාර් බදු ඉහළ යාම ගැන මිනිස්සු අවුල් වෙලා ඉන්නේ”, දයා ගමගේ කීය.


“දැනටත් පාරවල් හිරවෙලා. මිනිස්සු ඒකට බනිනවා. වාහන එන එක අඩු කරන්න පියවර ගත්තම ඒකටත් බනිනවා. රාජ්‍ය ණය නිසා අලුත් පාරවල් හදන්න රටට සල්ලි නැහැ. ඉක්මනින්ම කණු උඩ යන කෝච්චි ආවාම පාරවල්වල තදබද අඩු වුණාම බදුවල වෙනස කළ හැකියි”, අගමැතිවරයා කීය.


“මාතර ඉඳලා හම්බන්තොටට අධිවේග මාර්ග තව වසර 04 කට ඕනෑ නැහැ. මුළින් හම්බන්තොට කර්මාන්ත දියුණු කර පස්සෙයි, අධිවේග මාර්ග ගේන්න තිබුණේ. නිරපරාදේ රාජපක්ෂලා රටේ සල්ලි හිර කළා. ” ගයන්ත කරුණාතිලක කීය.


“හම්බන්තොට පැත්තේ අනවශ්‍ය ඉදිකිරීම් හා පාරවල්වලට යට කළ සල්ලි තිබුණා නම් මහනුවර හා රත්නපුර අධි වේගවලට ඒ මුදල් දාලා ඒවා තවත් ඉක්මන් කරන්න තිබුණා”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“මහනුවර ටවුන් එක මැද ඉදි කරන්න ගිය ටනල් එක කෝ? අධිවේගයේත් නුවර පැත්තේ ඉදි කිරීම් මදියි. ඒ මිනිස්සු දොස් කියනවා කියා මට මයන්ත මල්ලි කිව්වා.”, නවීන් දිසානායක කීවේ අගමැතිටය.


“ටනල් එක නුවර වැවේ මට්ටමටත් පහළට ගෙන යන්න වෙනවා. එතකොට අධික මුදලක් වැය වෙනවා. මේ වසරේ ණය සීමාවත් පනීවි. ඒත් නුවර අධි වේගය ඊළඟ ඡන්දවලට කළින් සම්පූර්ණ කරන්න වැඩ කළ යුතුයි”, අගමැතිවරයා කීය.


“රාජිත ඇමැතිතුමා ඖෂධ 48 ක මිල කළින් අඩු කළා. ළඟදි තව 25 ක මිල අඩු කරනවා. මේවා ජනතාවට දැනෙන්නෙ නැත්තේ ඇයි? ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රයේ අඩුපාඩු තාම තිබෙනවා.”, නවීන් දිසානායක කීවේය.
“ නවීන් එජාප ජාතික සංවිධායක ලෙස රට පුරා පක්ෂය ශීඝ්‍රයෙන් සංවිධානය කර ගෙන යනවා. ඒක පක්ෂයට ලොකු හයියක්. සජිත් රට පුරා ගෙවල් හැදීම තවත් හයියක්”, දයා ගමගේ කතා කළේ ප්‍රශංසා මුඛයෙනි.
“පොහොට්ටුවට අනුබද්ධ බව දැන් රටටම පේන දොස්තර සංගමය ආපහු වර්ජන කර රෝගීන් මරලා හරි පරණ කට්ටිය බලයට ගේන්න දඟලනවා. සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ දොස්තරලා කී දෙනෙකු ඒ රටින් බෙහෙත් ගන්නවද? වෙන ලෙඞ්ඩු එක්ක එහේ ගිහින් දස ලක්ෂ කීයක් හම්බ කරනවද කියා ඒ සංගමය රටට පැහැදිළි කරන්න ඕනැ”, පී. හැරිසන් කී විට සියලු දෙනා එය අනුමත කළහ.