නාමල් කුමාර ගිය සුපිරි රිය කාගේද?


රාජපක්ෂ රජය සමයේ පෝෂණය කළ බවට සමහරුන් චෝදනා කරන මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදය ලෙස පෙරට පැමිණ පසුගිය අප්‍රේල් 21 වැනිදා මහා භීෂණය ඇති කළේය. ඒ අවස්ථාවේදී එය ඉතා ආයාසයෙන් දරා ගත් මෙරට ජනතාවට අස්වැසිල්ල වූයේ ආරක්ෂාව භාර ජනපතිවරයා රටේ හෝ නොසිටියදී පැය කිහිපයක් යන්න පෙර පොලීසිය- ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ ප්‍රමුඛ ආරක්ෂක අංශ බිහිසුණු ත්‍රස්තවාදීන් රැසක් හා ඔවුන්ට අනුබද්ධ විශාල පිරිසක්, අවි ආයුධ- පුපුරණ ද්‍රව්‍ය හා කඩු කිනිසි සමග අත්අඩංගුවට ගැනීමත් සමගය.


රට තුළ දිනෙන් දින සාමකාමී පසුබිමක් ඇතිවෙමින් තිබියදී දේශපාලන අවස්ථාවාදය හා ජාතීන් අතර ගැටුම් ඇති කිරීම තම ජීවන වෘත්තිය කරගත් සිංහල අන්තවාදී සංවිධානවලට මෙය දරාගත හැකි තත්ත්වයක් නොවීය. එකී දේශපාලකයන් සහ අන්තවාදීන්ගේ මෙහෙයවීම මත කුරුණෑගල, පුත්තලම, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජාතීන් අතර ගැටුම් ඇති කිරීම පසුගිය සතියේ සංවිධානාත්මකව ආරම්භ වූ බව බුද්ධි අංශ මෙන්ම ආරක්ෂක අංශද අවබෝධ කරගෙන තිබිණ.


සඳුදා අරලියගහ මැදුරේදී කැබිනට් ඇමතිවරුන්ගේ රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතියේ ජාතීන් අතර අසමගිය ඇති කරන කලකෝලාහල ඇතිවෙන අවස්ථාවේදීද ජනාධිපතිවරයා විදෙස්ගතව සිටියදීය. එහෙත් ජනාධිපතිවරයා මෙවර විදේශ ගතවන විට ආරක්ෂක හා පොලීසියට අදාළ ඇමැති ලෙස රුවන් විජයවර්ධන පත්කොට යාම මහත් අස්වැසිල්ලක් විය.


“රට් ආරක්ෂාව ගැන වගේම ජාතිවාදී කලබල ඇති කරන්න උත්සාහ කරන සියලු දෙනා ගැන දැඩි ලෙස ක්‍රියා කිරීමේ වගකීම අප ආණ්ඩුව හැටියට පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට පවරනවා. අපේ උපදෙස් අනුව ඇමැති රුවන් අදාළ වගකීම් ඉටු කරාවි” අගමැතිවරයා සඳුදා පැවැති රැස්වීමේදී ඇමැතිවරුන්ට පැහැදිළි කළේය.


“1983 වගේ කළු ජූලිය ඇතිකර දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදීන්ගේ ඔඩොක්කුවට තල්ලු කළා වගේ මුස්ලිම් මිනිස්සුත් මුස්ලිම් ත්‍රස්තවාදයට තල්ලු කරන්නයි විපක්ෂයේ සමහරුන් හා අන්තවාදී සිංහල සංවිධාන වගේම වගකීමක් නැතිව ක්‍රියා කරන ඇතැම් ජනමාධ්‍ය උත්සාහ කරන්නේ” සභානායක ලක්ෂමන් කිරිඇල්ල කීය.


“ප්‍රහාරයට අදාළව අප එක එක්කෙනාට ඇඟිල්ල දික්කර ගැනීමෙන් ප්‍රශ්නය තවත් අවුල් වෙනවා. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා ප්‍රශ්නය මාස තුනෙන් ඉවර කරනවද, අවුරුදු තුනක් දක්වා යනවද එහෙමත් නැතිනම් වසර 30 ක කුරිරු යුද්ධයක් දක්වා තල්ලු කරනවද කියලයි දැන් අපට තීන්දු කරන්න තිබෙන්නේ. පාඨලී චම්පික රණවක කීවේ ආවේගාත්මකවය.


කෙසේවෙතත් ඒ අවස්ථාව වන විට ප්‍රදේශ කිහිපයක මුස්ලිම්වරුන්ගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබිණ. අදාළ ප්‍රදේශවලට පමණක් ඒ වෙලාවන්වලට ඇඳිරි නීතිය පැනවීමටත්, දිවයිනේ ඇනෙකුත් ප්‍රදේශවලට රාත්‍රී කාලයේ පමණක් අත්‍යවශ්‍ය නම් පමණක් ඇඳිරි නීතිය පනවන ලෙසත් අගමැතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.


ඊට පසුදා අගමැතිවරයා සියලු රාජකාරි නවතා ප්‍රහාර එල්ල වූ ප්‍රදේශ වෙත ගියේ අවශ්‍ය ආරක්ෂක කටයුතු තවත් තර කිරීම සඳහා තීන්දු තීරණ දීමටය. චාරිකාව සඳහා රවී කරුණානායක, රාවුෆ් හකීම්, අකිල විරාජ්, ජේ.සී. අලවතුවල, ඉඳුනිල් අමරසේන ඇතුළු මැති ඇමැතිවරු එක් වූහ.


වෙනදා බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවන එජාප මැති ඇමැතිවරුන් මේ සතියේ බදදා උදයේම අරලියගහ මැදුරට පැමිණියේ අගමැතිවරයාද ආරක්ෂක කටයුතු සංවිධානය පහසුව සඳහා මේ දිනවල වැඩිපුරම එහි රැඳී සිටීම නිසාය.


“සති තුනකට පසු ජාතිවාදී කෝලාහල ආරම්භ වීම නිසාම මෙතන දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙන බව පැහැදිලියි. ඊයේ කුරුණෑගල, ගම්පහ චාරිකාව කොහොමද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.


“කෝලාහල අවුළුවන සියළු දෙනාත් කෝලාහල අවුලන්න උත්සාහ කරනවා කියා ආරංචි වූ සියලු දෙනාත් අත්අඩංගුවට ගන්නැයි, මා නියෝග කළා. රට ගිනි තියන්න අවස්ථාවාදීන්ට ඉඩ දෙන්න බැහැ” අගමැතිවරයා කීය.


“මිනිස්සු කලබල කරන තැන්වලට ආරක්ෂක අංශවලට මිසක් දේශපාලකයන් ගිහින් වැඩේ තව ඔද්දල් කරන්න එපා කියා ආණ්ඩුවේ අයට උපදෙස් දීම වටිනවා. ඒත් දයාසිරි එතෙන්ට ඔළුව දැම්මෙ ඇයි? ඒක ප්‍රශ්නයක්.” චමින්ද විජේසිරි කීවේය.


“එතෙන්ට ගිහිල්ලා කෝලාහලවලට අත්අඩංගුවට ගත් 6 දෙනෙකු නිදහස් කර ගත්තේ කොහොමද? හදිසි නීතිය තිබෙන වෙලාවේ පොලීසියට ඇප දෙන්න බෑනේ? කාගෙ හරි ඉහළ ඕඩරේකුත් ඇවිල්ලා ඇති. ඒක ආවේ පිටරට ඉඳලද දන්නේ නෑහැ” හේෂා විතානගේ කීවේ සිනා මැදය.


“දයාසිරි සැකකරුවන් හයදෙනා නිදහස් කර ගත්​ෙත මොරාල් එකටයි, එතෙන්ට රැස්වෙලා හිටපු සෙනඟ ඊට පසු මුස්ලිම් අයට පහර දීගෙන ගිහිල්ලා තිබෙනවා කියලයි පොලීසිය කියන්නේ” මුජිබර් රහුමාන් කීවේය.


“කළු පාට ඩිෆෙන්ඩර් එකකින් නාමල් කුමාර කියන පිස්සු මිනිහා එතෙන්ට ගිහිල්ලා. සහරාන්ගේ බිරිඳගේ ගම හෙට්ටිපොළ නිසා එතනින් ජාතිවාදී කෝලාහල පටන්ගන්නයි, මොවුන්ගේ ප්ලෑන් එක තිබෙන්න ඇත්තේ කියලයි, බුද්ධි අංශ හිතන්නේ” නවීන් දිසානායක කී දෙය සියළු දෙනාම අනුමත කළහ.


“හෙට්ටිපොළ හිටපු නාමල් කියන මිනිහට අමතරව සිංහල ජාතිවාදී සංවිධාන රැකියාව කර ගත්ත තවත් දෙන්නෙකු පොලීසිය කොටු කළ එක රටේ සාමයට ලොකු රුකුලක්. මෙයාලා නිදහස් කර ගන්නත් සමහරුන් උත්සාහ කර තිබෙනවා” වජිර අබේවර්ධන කීය.


ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවන බවට බුද්ධි අංශ වාර්තා කර තිබෙනවිටත් ජනාධිපතිතුමා පිටරටයි. දැන් ජාතිවාදී කලකෝලහල සති 3 කට පසු පටන් ගන්නවිටත් එතුමා පිටරටයි. මේකෙ සැකයක් නැද්දැයි හුඟ දෙනෙකු අහනවා”, එජාප නීති නිලධාරියෙක් කතාව වෙන පැත්තකට යොමු කළේය.


ජනාධිපතිතුමා 27 දෙනෙකුත් එක්ක මේ සමුළුවට ගිහින් තිබෙන්නේ. ඒක එච්චර වැදගත් සමුළුවක් නොවෙයි කියලයි කියන්නේ. වැදගත් සමුළුව තිබෙන්නේ බ්‍රසල්ස්වල කියලත් ආරංචියි” රංජිත් අළුවිහාරේ කීවේ එවැන්නකි.


“මෙච්චර ආරක්ෂාව දීලත් දරුවන් පාසල් එන්නේ නෑහැ. ඒත් කිසිම ආරක්ෂාවක් නැති ටියුෂන් පන්තිවලට දහස් ගණන් එනවා. දෙමව්පියන් පුදුම විදියට හිතන්නේ” නවීන් දිසානායකගේ විග්‍රහයට අගමැතිවරයාගේද දැඩි අවධානය යොමු විය.


“නවීන් කිව්වේ වැදගත් කතාවක්. අද ළමයි අධ්‍යාපනය ලබන්න සූදානම් නැහැ. විභාග පාස්වෙන්න විතරයි, ඔවුන් උත්සාහ කරන්නේ. ටියුෂන් පිරෙන්නේ ඒ නිසයි. ළමයි පාසල් නොපැමිණීමේ ගැටලුවට සමහර මාධ්‍යත් වග කියන්න ඕනෑ” අගමැතිවරයා කීවේය.


දරුවන් පාසල් එන්නයි, ජන ජීවිතය ප්‍රකෘතිමත් වෙන්නයි ආරක්ෂාව ගැන මීට වඩා විශ්වාසය අවශ්‍යයි. ෆොන්සේකාට වගකීම දුන්නා නම් මිනිස්සු අතර ඒ විශ්වාසය ඇති වෙනවා. ඒත් ඒක නොකෙරෙන එක අවාසනාවක්” නවීන් දිසානායක කී දේ සියලු දෙනා අනුමත කළහ.


“ඔබතුමාගේ ලියුමේ ප්‍රශ්නෙන් ඔබතුමා දිනුවා. ඒත් ඒ ළමයි තුන්දෙනා තාම ඇතුළෙ නේද?” චමින්ද විජේසිරි සභා නායකවරයාගෙන් විමසීය.


“ඒක කැලෑ පත්තරයක් නම් රතු පාට ලියුම් පෙට්ටිවලට දාගෙන යනවා මිසක් මධ්‍යම තැපැල් හුවමාරුවට ගෙන යන්න අපි ගොන්නුද?” ලක්ෂමන් කිරිඇල්ල කීවේ සිනා මැදය.
“ඒ ළමයි තුන් දෙනා බලන්න පොලීසියට ගියපු ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර රටට ඉතා වැදගත් දැනුම්වත් කිරීමක් කළා. අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති අගමැති ඇමැතිවරුන් හෝ ඉහළ නිලධාරින් හෝ ඕනෑ කෙනෙකු ලිඛිතව හා වාචිකව විවේචනය කරන්න පුරවැසියෙකුට අයිතිය තිබෙනවා කියා රටට පැහැදිලි කිරීම මීට පෙර කිසිම නීතිඥයෙකු ජනතාවට පැහැදිලි කර නෑහැ. ඒ නිසා නිශ්ශංක නානායක්කාර ජනතාවගේ අයිතීන් ගැන ඉතා වැදගත් දැනුම්වත් කිරීමක් කළේ.” හේෂා විතාන​ෙග් කී දේ සියළු දෙනා අනුමත කළහ.


“කාදිනල්තුමයි ටිල්වින් සිල්වායි මේ සතියේ හොඳ කතා දෙකක් කිව්වා. කාදිනල්තුමා කිව්වේ ප්‍රහාරයට වගකිවයුතු නිලධාරින් පමණක් නොවෙයි ඉහළම දේශපාලන නායකයන්ද ඉවත් වෙන්න ඕනෑ කියලයි. නැතිනම් ජනතාව විසින් ඉවත් කළ යුතු බවත් උන්වහන්සේ කිව්වා.” ටිල්වින් කිව්වේ මහින්ද-ගෝඨා එදා මුස්ලිම් අන්තවාදය මර්දනය නොකර පෝෂණය කරමින් තම පටු දේශපාලන අරමුණුවලට යොදා ගත්තා කියලයි” මුජිබර් රහුමාන් කීවේය.