දේශපාලකයනුත් හුදකලා කළ කොරෝනා බිය


  • අගමැතිත් ස්වයං නිරෝධායනයේ
  • ඔන්ලයින් කැබිනට් රැස්වීමේදී ඩලස් ඇමැතිවරයා නොපෙනී ගිහින්

 

මෙරට සෑම ක්ෂේත්‍රයකින්ම පාහේ කොරෝනා රෝගීන් වාර්තා වූ නමුත් ඉකුත් සති අන්තය වනතෙක්ම කොරෝනා හැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වාර්තා වූයේ නැත. එහෙත් ඉකුත් සති අන්තය වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටද කොරෝනා වැළඳී ඇතැයි වාර්තා විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරටය. කොරෝනා හැදුණු බොහෝ දෙනකු ඒ ගැන ප්‍රසිද්ධියේ කීමට අකමැති වන්නේ එය හරියට මහා වරදක් ලෙස සළකමිනි. එසේ වුවද දයාසිරි තමන්ට කොරෝනා වැළඳී ඇති බව සිය මුහුණු පොතේ සටහනක්ද තබමින් ප්‍රසිද්ධ කළේ තමන් හා ගැවසුණු අය සිටිත්නම් ඔවුන්ටද නිරෝධායනය වන ලෙස දන්වමිනි. නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම ඉකුත් 5 වැනිදා ආරම්භ වූ නමුත් දයාසිරි ජයසේකර ඒ සතිය පුරාම පාර්ලිමේන්තු පැමිණියේ නැත. එසේ වුවද ඔහු ඉකුත් 1 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති නව වසරේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි විය.


දයාසිරිට කොරෝනා වැළඳී තිබුණේ හෙට්ටිපොළ ඔහුගේ කාර්යාලයේ පැවැති මහජන හමුවකට ආ අයකු ගෙනි. මේ නිසා එම මහජන හමුවට ආ බොහෝ දෙනකුට නිරෝධායනය වන්නට සිදුවිය.


දියවන්නා පොකුර


දයාසිරි පාර්ලිමේන්තු නොපැමිණියද විපක්ෂයේ මන්ත්‍රී රාවුෆ් හකීම්ටද කොරෝනා වැළඳී තිබිණි. හකීම් පාර්ලිමේන්තු සතිය පුරාම පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ සිටි අතර ඔහු එක දිනෙකවත් මුහුණු ආවරණ පැළඳ නොසිටි බව පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී තහවුරු විය. මේ නිසා ඔහුගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කරන්නටද සිදුවිය. වැඩේ එතනින් නතර නොවීය. දියවන්නා කොරෝනා පොකුර 3ක් දක්වා ඉහළ ගියේ ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාරද කොරෝනා ආසාදනය වී ඇතැයි පසුගිය සඳුදා තහවුරු වීමෙනි. කොරෝනා වැළඳුණු පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දයාසිරි වන අතර පළමු කැබිනට් ඇමැතිවරයා වාසුය. වාසුගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරුන් 11 දෙනකු හඳුනා ගැනීමත් සමඟ නිරෝධායනයට යොමු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 31 දක්වා ඉහළ ගියේය. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න යන දෙදෙනාටද කොරෝනා ආසාදිත විය. චමින්ද කුලරත්න ආසාදිතවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලයද වසා දමන්නට සිදුවූයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙනි.


එය එතැනින් නතර නොවීය. පාර්ලිමේන්තුවේ කතානායකවරයාට මැති ඇමැතිවරුන්ට පොලිසියෙ නිලධාරීන්ට හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටද පීසීආර් පරීක්ෂණ කරන තැනට තත්ත්වය දුරදිග ගියේය. ඒ අතරේ වාසුගේ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රමද කොරෝනා ආසාදිතයකු බව බදාදා වනවිට හඳුනා ගනු ලැබීය. ප්‍රියත් බන්දු හා චමින්ද කුලරත්න යන දෙදෙනා ඊට කලින් දවසේ අගමැතිවරයා හමුවී තිබීම නිසා අගමැතිවරයාද ස්වයං නිරෝධායනයට යොමුවී සිටි බව වාර්තා විය. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමද බදාදා පැවැත්වීමට කලින් තීරණය කර තිබුණද එයද අනිද්දා (19) දිනය තෙක් කල් දමන්නට සිදුවූයේ පාර්ලිමේන්තුවේ කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගනිමිනි. පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ සඳුදා (18) ය. ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව ලබන සතිය තුළ රැස්වනු ඇත්ද යන්න ද සැක සහිතය.


කැබිනට් රැස්වීමත් ඔන්ලයින් වෙයි


පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුට කොරෝනා වැළඳීම නිසා ඉකුත් සඳුදා කැබිනට් රැස්වීම ද පැවැත්වූවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. අධ්‍යාපනයට සම්බන්ධ කැබිනට් පත්‍රිකා කිහිපයක්ම ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා විසිනි. පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉන් ප්‍රමුඛය. ජී.එල්. කීවේ පාසල් පටන් ගත් විගසම නිල ඇඳුම් ලබාදෙන බවය. ජනාධිපතිවරයා ද කීවේ හැකි ඉක්මනින් එය ලබාදීමට පියවර ගන්නැයි යනුවෙනි. දේශීය කර්මාන්තකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා මේ නිල ඇඳුම් දෙන්න. අපි උත්සාහ කළේ ජනවාරි 15 ට පෙර දෙන්න. නමුත් ඔවුන් කියන්නෙ ජනවාරි 31 වන විට දෙන්න පුළුවන් කියලයි, විමල් වීරවංශ ඇමැතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා කීවේ අන්තිම මොහොත වනතුරු නොසිට කලින් දෙන්න බලන්න කියාය. ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කැබිනට් රැස්වීමට සම්ප්‍රාප්තවූයේ සිය ජංගම දුරකථනයෙනි. ඔහු දුරකථනය අල්ලාගෙන සිටි විදිය අනුව අනෙක් ඇමැතිවරුන්ට පෙනුණේ ඔහුගේ නළල පමණි. ඩලස්ගේ කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට ගනිද්දී ජනාධිපතිවරයා ඇසුවේ කෝ මේ ඇමැතිතුමා ඉන්නව නේද? යනුවෙනි. විමල් විහිළුවක් කරමින් කීවේ ඇමැතිතුමා පේන්නෙ නෑ. පේන්නෙ එතුමාගේ නළල විතරයි කියාය. සමාවෙන්න මම මේ දුරකථනයෙනුයි සම්බන්ධ වෙලා ඉන්නෙ... කියමින් ඩලස් ජංගම දුරකථනය සිය සගයන්ට මුහුණ පෙනෙන ලෙසට හරවා ගත්තේය. දැන් හරිදැයි ඔහු අසද්දී හැමෝම කීවේ ‘‘ඔන්න දැන්නම් හොඳට පේනවා’’ යනුවෙනි.


ඊළඟට සාකච්ඡාවට ගත්තේ ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේගේ කැබිනට් පත්‍රිකාවකි. එහෙත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොකුගේ කියන දේවල් අනෙක් ඇමැතිවරුන්ට ඇසුනේ නැත. විමල් විහිළුවක් කරමින් කීවේ මේක ගන්නකොටමනෙ සද්දෙ නැතිව ගියේ කියාය. ඊට හවුල් වූයේ මහින්දානන්දය. අපේ බන්දුල ඇමැතිතුමා ළඟපාතක ඉන්නවද දන්නෙ නෑ. ලොකුගේ ඇමැතිතුමාගේ සද්දෙ නොඑන්න එයා මොනව හරි කරල ඇති යැයි මහින්දානන්ද කීවේ හැමෝම සිනස්වමිනි. මහින්දානන්ද කීදේට බන්දුලටත් හිනාය. මම ළඟ හිටිය නම් උදව් කරනවා යැයි බන්දුල ද උත්තර දුන්නේය. ලොකුගේ තාක්ෂණික දෝෂය නිවැරදි කරගත නොහැකි වූ තැන බන්දුල ඉදිරිපත් විය. ඇමැතිතුමා වෙනුවෙන් මම පැහැදිලි කරන්නම් කියමින් බන්දුල ඒ ගැන කරුණු කීවේය.


යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් ගිය සතියේ දිනෙක රාත්‍රියේ හදිසියේ කඩා දැමීම උතුරත් නැගෙනහිරත් දෙකම ගිනියම් කරන්නට හේතුවක් විය. එය කඩා ඉවත් කරනු ලැබුවේ එහි උපකුලපතිවරයාගේ තීන්දුවකට අනුවය. ඊට එරෙහිව යාපනය විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම උතුරේ දේශපාලන පක්ෂ ද විරෝධය පළකිරීම නිසා ඇතිවූයේ අනපේක්ෂිත තත්ත්වයකි. යාපනය විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණවලින් නොනැවතී උපවාසයකට ද එක්වූ අතර දෙමළ පක්ෂවල ද සහාය ඊට හිමිවිය. ඒ අතරේ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙළෙඳසැල් වසා දමා හර්තාලයක්ද ක්‍රියාත්මක විය. ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් ජයශංකර්ද ලංකාවට පැමිණ ගොස් පැය 24 ක් යන්නට මත්තෙන් යාපනයේ ඇතිවූ මේ සිද්ධිය නිසා දකුණු ඉන්දියාවේ දේශපාලනය ද උණුසුම් විය. අවසානයේ උපකුලපතිවරයාට ද මැදිහත්ව සිසුන් සමග එක්ව ස්මාරකයට මුල්ගල තබන්නට සිදුවූයේ වැඩේ තවදුරටත් ඉදිරියට යාම ගැටලුවක් වූ බැවිනි.


මේ මාතෘකාව ගිය සතියේ කැබිනට් රැස්වීමේදීද කතාබහට ලක්වුණේ ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයා ඒ ගැන මතුකළ බැවිනි. ‘‘මේ ගැන ජනමාධ්‍යයත් දිගින් දිගටම මගෙන් ඇහුවා. ඒක හැදුවෙත් මහරෑ කැඩුවෙත් මහ රෑ කියලා මම කිව්වා. මේක අනවසර ඉදිකිරීමක් තමයි. හැබැයි මේ වෙලාවෙ කඩපු එක රටට විරුද්ධව මානව හිමිකම් යන අයට ආයුධයක්’’ යැයි ඩග්ලස් කීවේ උතුරේ තත්ත්වය ද පැහැදිලි කරමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඒ ගැන පැහැදිලි කළේය.


‘‘මේක යූ.ජී.සී. එක ගත්ත තීන්දුවක්. විශ්‍වවිද්‍යාලය තුළ තියෙන නීති විරෝධී ඉදිකිරීම් අයින් කරන්න යූ.ජී.සී. එක තීරණය කර තිබෙනවා. යාපනය විශ්‍ව විද්‍යාලයෙ වුණෙත් ඒක’’ යැයි ජනාධිපතිවරයා කියද්දී සරත් වීරසේකර ද ඊට හවුල් විය. ඔහු කීවේ මේකට හමුදාවෙ හෝ පොලිසියෙ සම්බන්ධයෙන් නැති බවය. මහාචාර්ය ජී.එල්. පිරිස්ද ඒ ගැන පැහැදිලි කළේය. යු.ජී.සී එක මේ තීන්දුව අද ඊයෙ ගත්ත එකක් නෙවෙයි. කාලයකට කලින් ගත්ත තීරණයක්. උපකුලපතිතුමා අද උදේ නැවත මුල්ගලක් තියලා තියෙනවා. ඒකටත් අපේ සම්බන්ධයක් නැහැ යැයි ජී.එල්. කීවේය. විමල් වීරවංශ කීවේ කලින් ගත්ත තීන්දුවක් හදිසියේ ක්‍රියාත්මක කීරීමත් ඒ තීන්දුව අකුලාගෙන උපකුලපතිතුමා ආයේ ඒක හදන්න මුල්ගල තියන එකත් දෙකම ගැටලුවක් බවය. මේක තවත් අනවශ්‍ය අර්බුදයක් යැයි ඔහු කීවේය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ අම්පාර උහන ලාහුගල ප්‍රදේශයට ගියෙ ‘‘ගම සමග පිළිසඳරක්’’ වෙනුවෙනි. දිගටම වැස්ස තිබු නිසා ජනාධිපතිවරයා තරමක් ප්‍රමාද වී පැමිණියත් රැස්ව සිටි පිරිස ජනාධිපතිවරයා එන තෙක්ම එහි රැඳී සිටියහ. ජනාධිපතිවරයා සමග ඔහුගේ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ද පැමිණි අතර ප්‍රදේශයේ මහජන නියෝජිතයා වන විමලවීර දිසානායක රාජ්‍ය ඇමැතිවරයා කල්තියාම පැමිණ සිටියේය. ආරක්ෂක නිලධාරියකු ජනාධිපතිවරයාට කුඩේ අල්ලද්දී එය ඉල්ලා ගෙන ජනාධිපතිවරයා ජනතාව අතරට ඇවිද ගෙන ගියේය. පසුව පැවැති හමුවේදී ප්‍රදේශයෙ ගැටලු ගැනද සාකච්ඡා වූ අතර ඉන් බො​හොමයක් විසඳන්නට ද එහිදී හැකි විය. ජනාධිපතිවරයා ද ඉලක්ක කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කලින් සතියෙ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙන්නට ද ජනාධිපතිවරයා එය අවස්ථාවක් කර ගත්තේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි. තමාට ජනාධිපති රාජපක්ෂ වගේම ආරක්ෂක ලේකම් ​ගෝඨාභය රාජපක්ෂද විය හැකි බව ජනාධිපතිවරයා කියද්දී රැස්ව සිටි පිරිස අත් පොළසන් දුන්හ. එසේ වුවද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කොළඹ දේශපාලන කරළිය තරමක් ගිනියම් කළේය. 


මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඉකුත් සති අන්තයේ කුරුණෑගල ඉරුදෙණියාය ගොවිජනපදයට ගියේය. අගමැතිවරයාගේ එම ගමනට මැදිහත් වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාය. ඉරුදෙණියාය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිව සිටිය දී පිහිටුවන ලද ගොවි ජනපදයකි. කහල්ල පල්ලෙකැලෙ අභයභූමියක් ලෙස පසුකාලීනව ප්‍රකාශයට පත් කරද්දී ඉරුදෙණියාය ගමද ඊට ඇතූළත් කර තිබිණි. පසුගිය වසර ගණනාවෙම එහි අලි මිනිස් ගැටුම් ආදියෙන් අඩුවක් නොවීය. ජවිපෙ හිටපු මන්ත්‍රී නාමල් කරුණාරත්න ද එම රැස්වීමට පැමිණියේය.


ඔහුට ද වේදිකාවේ අසුනක් වෙන් කරන්නට ජොන්ස්ටන් පියවර ගත්තේය. අලි මිනිස් ගැටුම ගැන කතා බහ යද්දී අගමැතිවරයා මොකක්ද විසඳුම යැයි වනජිවී නිලධාරීන්ගෙන් විමසීය. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද එහි සිටියදී උත්තර දුන්නේ නාමල් කරුණාරත්නය. අගමැතිවරයා හිනාවෙමින් කීවේ ‘‘ඔයාලට පසුගිය කාලෙ මේකට විසඳුමක් දෙන්න තිබුණත් කරන්න බැරිවුණානෙ. දැන් අපි එ්ක විසඳන්න යන්නෙ ඔබතුමාලත් උදව් කරන්න’’ යනුවෙනි.


මාස කිහිපයක් තිස්සේ වසා දමා ඇති බස්නාහිර පළාතේ පාසල් ද ලබන මස මැද දී විවෘත කිරීම රජයේ අපේක්ෂාවය. ඒ සමගම අගමැතිවරයා ක්ෂේත්‍රයේ සිදු කරන්නට යන වෙනස්කම් ගැන මල්වතු අස්ගිර මහනාහිමිවරුන් දැනුවත් කරන්නට මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා මේ සති අන්තයේ මහනුවරට යාමට නියමිතය. කොවිඩ් එන්නත ද ලබන මස මුලදී මෙරටට ඒමට නියමිතව ඇති අතර එය පෙබරවාරි අග පමණ වන විට තෝරාගත් කණ්ඩායම්වලට ලබාදීම රජයේ අපේක්ෂාවය. මේ සඳහා සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලබන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකවරයා ද වන ලලිත් වීරතුංග විසිනි.


විපක්ෂය මහ පාරේ අරගලයක


සමගි ජන බලවේගයට මේ සතිය අභියෝගාත්මක දේශපාලන සතියක් විය. පසුගිය සති අන්තය වන විට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන කාගේත් අවධානය ​යොමු වී තිබුණේය. සති අන්තයේ මහනුවර බලා පිටත්ව ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නුවරට යන තෙක්ම දුරකතනයෙන් සිය පක්ෂයේ මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරමින් ගියේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ලවන බාධා ගැනය.


‘‘​මේ සම්බන්ධයෙන් පක්ෂයක් විදියට අපි කඩිනම් පියවර ගන්න ඕන. මන්ත්‍රීවරයෙක්ට නිදහසේ පාර්ලිමේන්තුවේ දී අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දෙන්නේ නැතිනම් හෙට දවසේ දී මාධ්‍යවේදීන්ට, සාමාන්‍ය ජනතාවට කටක් අරින්න ඉඩක් ලැබෙන එකක් නෑ. මේ නිසා වහාම අපි මෙයට මැදිහත් විය යුතුයි.’’ විපක්ෂ නායකරයා මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය.


සති අන්තයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටියේ ද නුවරය. ඒ පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි. නුවර සිට කොළඹ පැමිණි මන්ත්‍රීවරුන්ගේ අවධානය හරීන්ගෙන් ඈත් නොවුණි.
“මම මේ ගැන පොලිස්පතිවරයාට ලියනවා. මගේ ජීවිතයට හරි මගේ පවුලේ කාගේ හරි ජීවිතයකට හරි හානියක් වුණොත් එහි වගකීම ජනාධිපතිවරයා ගත යුතුයි” හරීන් සිය සහෝදර මන්ත්‍රීවරුන් සමග පැවසීය. ඒ අනුව හරීන් සකස් කළ ලිපිය පොලිස්පතිවරයා වෙත ඊ​මේල් මගින් යැවීමටත් මුල් ලිපිය භාරදීමටත් කටයුතු කෙරිණි. සජිත්ගෙන් ඊට ආශිර්වාදය ලැබිණි.


එතැනින් නොනැවතුණ මන්ත්‍රීවරුන් නිදහස් චතුරශ්‍රයේ දී නිහඬ විරෝධතාවයක් ද සංවිධානය කර තිබුණි. භාෂණයේ නිදහස ආරක්ෂා කරන ලෙස බල කරමින් පැවති විරෝධතාවයට පැමිණි සියලුම මන්ත්‍රීවරුන්ට රතු පැහැති ජැකට්ටුවක් ලබාදී තිබුණි. සජිත් නිදහස් චතුරශ්‍රයට පැමිණ වාහනයෙන් බසින විට දී මන්ත්‍රීවරයෙක් රතු පැහැති ජැකට්ටුවක් ලබාදුන්නේය. ඔහු එතැනට පැමිණියේ ජැකට්ටුව හැඳගෙනය.


රන්ජන් වෙනුවෙන් සජිත්


රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අධිකරණයෙන් සිර දඬුවම් ලැබුණ විට ඒ ගැන වහාම සොයා බැලීමට විපක්ෂ නායකවරයා කටයුතු කළේය. රංජන්ගේ නීතිඥයින් හමුවූ ඔහු අදාළ නීතිමය කරුණු ගැන සොයා බැලුවේය. අනතුරුව ඔහු මහලේකම් රංජිත්ට උපදෙස් දුන්නේ අධිකරණ පරිශ්‍රයට ගොස් රන්ජන් ගැන සොයා බලන්නටය. රංජිත්, ඉරාන්, නලින් ඇතුළු පිරිසක් උසාවි පරිශ්‍රයට ගියහ.


“සර් රන්ජන් කියන්නේ අසාධාරණයට එරෙහිව හඬ නගපු මනුස්සයෙක්. එතුමාව තනි කරන්න එපා”
රන්ජන්ගේ හිතවතුන් සජිත්ට දුරකතන ඇමතුම් දෙමින් ඉල්ලා සිටියහ.


“මම එක මොහොතකටවත් කිසි කෙනෙක් තනි කරන්නේ නෑ. එතුමා වෙනුවෙන් නීත්‍යානුකූලව කරන්න පුළුවන් සියල්ල කරනවා.” සජිත් කීවේය.


“රංජන්ට නාමයෝජනාවත් නොදුන් සමහර බංකොලොත් අය දැන් රන්ජන් හිරේ ගියපු එකෙනුත් ලකුණු දාගන්න යනවා” එහෙම කීවේ තුෂාර ඉඳුනිල්ය.


‘‘මගේ කළණ මිතුරාණෙනි, අපි ඔබව මොහොතකට හෝ අත් නොහරිමු. ඔබේ නිදහස වෙනුවෙන් අපි නීත්‍යානුකූලවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීවත් අරගල කරමු’’ රංජන්ට ශක්තියක් වෙමින් සජිත් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් ද තැබුවේය.


මේ අතර රංජන්ගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වන්නේදැයි යන්න ගැන විපක්ෂ නායකවරයා අවධානය යොමු කර තිබුණි.


‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රංජන්ගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කරන්න බෑ. 89 අනු වගන්තිය, 91 අනු වගන්තිය, 105 අනු වගන්තිය අනුව රංජන් රාමනායක මහතාට මන්ත‍්‍රී ධුරය අහෝසි වන්නේ නෑ.” විපක්ෂ නායකවරයා සිය ස්ථාවරය පැහැදිළි කළේය.


උපන්දිනය සැමරූ හැටි


පසුගිය සතියේ දී විපක්ෂ නායකවරයාගේ පනස් හතර වැනි උපන්දිනය යෙදී තිබුණේය. උදෑසනම සිට පාක්ෂිකයින්ගෙන් හා පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් ඔහුට නොකඩවා දුරකතන ඇමතුම් ලැබුණේ උපන්දිනට සුබ පැතීමටය. ඒ අතර වට්ස් ඇප් හරහා ද ඔහුට සුබපැතුම් රැසක් ලැබී තිබුණේය. ඒ සියල්ලටම පුද්ගලිකව ස්තුති කිරීමට ඔහු අමතක කළේ නැත.


උපන්දිනය වෙනුවෙන් ඔහු විශේෂ සාද සූදානම් කර තිබුණේ නැත. ඒ වෙනුවට ‘සසුන අරුණ - වැවයි දාගැබයි ගමයි පන්සලයි’ වැඩසටහන යටතේ රත්නපුර බලංගොඩ මැද්දේකන්ද ශ‍්‍රී පරමානන්දාරාම විහාරස්ථානයේ ඉදි කළ ධම්මපාල නාහිමි සමරු සෑය සසුනට පූජා කළේය. එය සසුනට අරුණ හරහා පූජා කළ නව වැනි චෛත්‍යයයි.


විපක්ෂ නායක ජංගම සේවයේ දී ජනතාව විවිධ ගැටලු‍ සජිත්ට ඉදිරිපත් කළේය. පසුගිය සතියේ දී හම්බන්තොට කතරගම පැවති ජංගම සේවයේ දී රෝහලේ ඇති අඩුපාඩු ගැන ජනතාව අදහස් ඉදිරිපත් කළහ.


වහාම ඔහු දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරයාට දුරකතනයෙන් කතා කළේය. එහිදී රෝහලේ පවතින අඩුපාඩු ගැන ඔහු දැනුවත් කළේය.


‘‘මම දානපතියන්ගේ අනුග‍්‍රහය ඇතිව මේ අඩුපාඩු සම්පූර්ණ කර දෙන්නම්’’ සජිත් පොරොන්දු විය.
මේ ගැන තොරතුරු දැනගත් විට දානපතියෙක් සජිත්ට කතා කළේය.


‘‘ඒකනායක කියන අපේ මාපියන්ට පිං පිණිසත්, ඔබතුමාගේ උපන්දිනය වෙනුවෙනුත් මේ පරිත්‍යාගය කරන්නම්’’ ධානපතියෙක් සජිත්ට කතා කර කීවේ හැට හත් ලක්ෂ පනස් දහසක මුදලක් ලබාදීමට එකඟ වෙමිනි.


ඒ මුදල විපක්ෂ නායකවරයාට ලබාදුන් අතර විපක්ෂ නායකවරයා එය වෛද්‍ය සැපයුම් ආයතනයට පරිත්‍යාග කළේ කතරගම රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කර දෙන ලෙස ඉල්ලමිනි.

එජාපයේ අලුත් තනතුරු


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතිය ගත කළේ නුවරඑළියේය. ඔහුගේ හිතවතෙක් ඉදිකළ හෝටලයක් විවෘත කිරීම සඳහා රුවන් විජයවර්ධන මහතා ද සහභාගි විය. එම හෝටලය විවෘත කිරීමෙන් පසු හිතවතුන් පිරිසක් හමුවූ ඔහු නුවරඑළියය දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කළේය.


පසුගිය බද‌ාද‌ා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ද ඒ මහතා සහභාගි විය. පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පත් කිරීම මෙම රැස්වීමේ මූලික අරමුණ වී තිබුණි.


රැස්වීම ආරම්භ කිරීමට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාමරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. හිටපු ඇමැති රවි කරුණානායක මහතාට පක්ෂයේ මහලේකම් තනතුර ලබා දීම සම්බන්ධයෙන් කතාබහක් ඇතිවී තිබෙන අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂය ගම් මට්ටමින් ස්ථාවර කරගැනීම සඳහා ගමට සම්බන්ධ කෙනකුට මහලේකම් තනතුර ලබාදිය යුතු බවය. රවි දැනට ඔහොම ඉන්න. අපි පළමුවෙන්ම කළ යුත්තේ ගම් මට්ටමින් පක්ෂය ස්ථාවර කර ගැනීමට වැඩපිළිවෙලක් සකස්කර ගැනීමයි. රනිල් වික්‍රමසිංහ මහතා එහි දී පැවසුවේය.


එම ප්‍රකාශයට එකඟතාව නොදැක්වූ රවි කරුණානායක මහතා ‘මට මහලේකම් තනතුර දෙන්නේ නැතිනම් මම ඉඳල වැඩක් නැහැ. එළියට ගිහිල්ල මාධ්‍ය සාකච්ඡාවක් කරල පාක්ෂිකයන්ට කරුණු කියනවා.’ යනුවෙන් රවි ප්‍රකාශ කර ඇත. ‘මෙපමණ කාලයක් පක්ෂය වෙනුවෙන් ඉඳලා පක්ෂයට වැඩ කරපු මට සලකන්නෙ මෙහෙමයි.’ තරමක උස්හඬින් ප්‍රකාශ කළ රවි කරුණානායක මහතා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමටවත් නොසිට සිරිකොතින් ඉවත්ව ගොස් තිබේ.


මෙහිදී ජ්‍යෙෂ්ඨ හිටපු ඇමැතිවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ ‘පක්ෂයට ලැබුණු ඡන්ද ලක්ෂ දෙකහමාර වැඩිකර ගන්න එක ගැන කතා කරන්නේ නැහැ. නායක පිස්සුව ඔළුවට ගහල. මෙහෙම කොහොමද පක්ෂය ඉදිරියට යන්නේ’ යනුවෙනි. ඉන්පසුව කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භ වුවත් මාධ්‍යවේදීන් හා බාහිර කිසිවකුත් නොමැතිව රැස්වීම පවත්වා තිබුණි.


එහිදී පක්ෂයේ මහලේකම් ලෙස පාලිත රංගෙබණ්ඩාර මහතා ද, සභාපති ලෙස වජිර අබේවර්ධන මහතා ද, උපනායක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා ද, භාණ්ඩාගාරික ලෙස මිස්බා සතාර් මහතා පත්කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට කිසිදු විරෝධතාවක් ඉදිරිපත් වී නොතිබුණි.


පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස හිටපු ඇමැති සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන්, දයා ගමගේ යන මහත්වරුන් හා සුනේත්‍රා රණසිංහ මහත්මිය ද, පරිපාලන ලේකම් ලෙස අනෝමා ගමගේ මහත්මිය ද, නියෝජ්‍ය මහලේකම් ලෙස නාලක කොලොන්ගේ ද පත් කිරීමට මෙහි දී තීරණය වී ඇත.


මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කතා කරමින් පක්ෂය සඳහා පර්​ෙ‌ය්ෂණ හා ප්‍රතිපත්ති සංවර්ධන අංශයක් පිහිටුවීමට අවශ්‍ය බව පෙන්වා දී ඇති අතර ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා එහි ලේකම් වශයෙන් පත්කරනු ලැබුණි.


කාත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු සිරිකොත කාර්යාලයේ කටයුතු නව සැලැස්මක් යටතේ සිදුකරන ලෙසට අද‌ාළ අයට උපදෙස් දුන්නේය.


ගිය බ්‍රහස්පතින්ද‌ා රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකයා ඇතුළු නව නිලධාරි මණ්ඩලය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී රැස්වූහ.


එහිදී රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තු කොවිඩ් පොකුර ගැන කතා කළේය. කොවිඩ් එන්නත ගේන්න රජයට මුලදී සැලැස්මක් තිබුණේ නැහැ. හැම තැනටම කතා කරල බැරි වුණ තැනදී දැන් හදන්නෙ චීන එන්නතවත් ගෙන්න ගන්න. මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

 

 

-ගජබා-