දූෂණ මර්දන ලේකම් කාර්යාලය තැපැල් පෙට්ටියක් විතරයි


 

පසුගිය පසළොස්වක පෝදා අනුරාධපුරයට ගිය අගමැති රනිල් රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණය කළ වැලි මළුව බොදු ජනතාවට බාරදී සංඝාවාසයටද මුල්ගල් තැබීය. ඒ අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස මහානාහිමියන් හා සාරානන්ද පිරිවෙනේ ගිරාඹේ ආනන්ද නාහිමියන් බැහැ දැක ආශිර්වාද ගැනීමෙන් අනතුරුවය. උත්සව සභාව ඇමැතූ අගමැතිවරයා උණුසුම් කතාවක් ද කළේය.  

 

 

 ‘තමාගේ විරුද්ධවාදියකුට දළදා මාලිගාවේ පූජාව තැබීමට ඉඩ දුන් නිසා මල්වතු පාර්ශවය කඩා නව නිකායක් හදන බවට නාහිමිට තර්ජනය කළේ කවුද? දළදා මාළිගාවට බෝම්බ ගහනවා කීවේ කවුද? අටමස්ථානාධිපතිට හොරෙන් රුවන්වැලි සෑයට වඩා උස දාගැබක් හදන්න ගියේ කවුද?  


මහසෙන් රජු මහා විහාරයට සතුරුකම් කළෙත් මේ වගෙයි. අන්තිමට මල්වතු නාහිමි හා අටමස්ථානාධිපතිගෙන් බිම වැතිරිලා වැඳ සමාව ඉල්ලා විහාරය මාසයක් අතුගාලා පව් සාම කරගත්තොත් හොඳයි. නැතිනම් සංඝ භේදය ඇති කළ ආනන්තරිය පාපකර්මය කළා වේවි’ අගමැතිවරයා කීවේය.  


 බ්‍රහස්පතින්දා උදේ නීතිය සාමයට අදාළ සාක් කලාපීය ඇමැතිවරුන්ගේ සැසි වාරයේ සමාරම්භක අවස්ථාවට ගෝල්ෆේස් හෝටලයට ගිය අගමැතිවරයා අනතුරුව හිල්ටන් හෝටලයට ආවේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සඳහා පැවැත්වූ වැඩමුළුවට එක් වීමටය. වැඩමුළුව අතරේ අගමැති හා මැති ඇමැතිවරුන් අතර බොහෝ දේ කතා බහට ලක් විය.  


‘දූෂණ මර්දන කාර්යාලය අහෝසි කිරීම ගැන විවිධ විග්‍රහ එළිදකිනවා.’ දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.  


‘මේ කාර්යාලය පටන් ගන්න විට දූෂණ සොයන්න ලොකු වැඩ පිළිවෙලක් රටේ තිබුණේ නැහැ. දැන් මේ කාර්යාලය හා එෆ්.සී.අයි.ඩී. එක හා ජනාධිපති කොමිසමත් ක්‍රියාත්මකයි.   


දූෂණ මර්දන කාර්යාලය තැපැල් පෙට්ටියක් විතරයි. ඒ වෙනුවට බලතල ඇති බරපතළ වංචා කාර්යාලය අරිනවා. මුදල් සම්බන්ධ අපරාධත් ඒකට වැටෙනවා. නීතිපතිගෙත් උපදෙස් මත අලුත් පනතක් ගේනවා. එවිට කෙළින්ම එතනට පැමිණිලි කළාම ඒ අයම විභාග කරාවි.’ අගමැතිවරයා පැහැදිලි කළේය.  


 ‘දඹුලු පන්සලයි, ආණ්ඩුවයි කැත්තට පොල්ල වගේ ක්‍රියා කිරීම හොඳ මදි. හාමුදුරුවරුන් දේශපාලකයෝ ව​ෙග් දිනපතා මාධ්‍යයට කතා කිරීමෙන් ගැටලු වැඩි වෙනවා.‘ විජයදාස රාජපක්ෂ කීය.  


‘යුනෙස්කෝ එකට දෙසැම්බර් එකට කලින් දඹුළු ලෝක උරුමය ගැන වාර්තාව දෙන්න තිබෙනවා. මම යුනෙස්කෝ විධායක සභාවේ ඉන්නවා. තව නිලධාරින් තිදෙනෙකු මේ සඳහා වගකියනවා.  


 දඹුල්ල හා වෙනත් පන්සල් රැසක් විනාශ වෙලා. සමහර පන්සල්වලට දිනකට රුපියල් ලක්ෂ 25 සිට ලක්ෂ 80 දක්වා ආදායම් සංචාරකයන්ගෙන් ලැබෙනවා. මේ සල්ලි ගැන සොයන්නයි දඹුළු විහාරයේ මංගල හාමුදුරුවෝ ලිඛිතව මගෙන් ඉල්ලා තිබෙන නිසා ඇමැති ලෙස මමත් මගේ නිලධාරිනුත් ඒ සඳහා යොමු වුණා.  


 මේ මුදල් සතයක් රජයට ගන්නේ නැහැ. ඒ ඒ විහාරවල දියුණුවට යොදවනවා. දඹුල්ල ලෝක උරුමයක් නිසයි අප අතගහන්නේ. ඒ උරුමය නැතිවෙන තරමටම පන්සල අද විනාශ කරලා. ලෝක උරුමෙන් ඉවත් වෙන්න පන්සලට අවශ්‍යද කියා මහ නාහිමිවරුන් එක්ක කතා කර ඉතිරි වැඩ ටික අප කරනවා.’ අකිල විරාජ් කාරියවසම් කීය.  


‘උතුරේ වැලි ට්‍රක් එකක් නොනවත්වා යාමෙන් ආරක්ෂක අංශ වෙඩි තියල තිබෙන්නේ. එතන ජාතින් අතර ගැටුමක් නැහැ. මධ්‍යම ආණ්ඩුව මේ ​ගැන සොයන්න කඩිනමින් ක්‍රියා කළා.’ අගමැති කීය.  


 ‘අනික 1931 පනතකින් බෞද්ධ නායකයෙකු වන ඩී.බී. ජයතිලකයි පිංපෙට්ටිවලට අදාළ පනත ගෙනැත් තිබෙන්නේ. ශ්‍රී මහා බෝධියේ පිංපෙට්ටි 1950 ඉඳලා සීල් කර තිබෙන්නේ.  


 1960 දී කැලණි පන්සලේ පෙට්ටිවලට මැතිනි සීල් තියල ඒ සල්ලි පංසලට දීලත් නැතිලු. සමහරුන් මේ ඉතිහාසය දන්නේ නැහැ. ආණ්ඩුවට සල්ලි නැති නිසා පිං පෙට්ටි ගන්නවලු. පිංපෙට්ටිවලින් රටක් දුවන්න පුළුවන්ද? ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.  


එජාපයේ 77 ජයග්‍රහණයට හා අගමැති රනිල්ගේ දේශපාලන දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙන් ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළ විශේෂ පාර්ලිමේන්තු සැසිය ලබන 05 වැනිදා පැවැත්වේ. මීට අදාළ උත්සව මාලාව සංවිධානය කරනුයේ රවි කරුණානායක විසිනි. විශේෂ ඡායාරූප ප්‍රදර්ශනය මහරගමදීද, සැණකෙළිය ගෝල්පේස් හිදීද සංවිධානයවීමට නියමිතය.  


 ‘අතුරුදන්වූවන්ගේ පනතට ගෝඨායි, හිටපු හමුදාපතිලයි රාජපක්ෂලයි බයවෙලා. රට වටේ පන්සල් යනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.  


‘ඒක ගේන්නේ අනාගතයට බලපාන ලෙසයි. ව්‍යවස්ථාව අනුවයි, අප කටයුතු කරන්නේ. අද බයවෙලා ඉන්න කවුරුවත් පන්සල් ගානේ යන්න ඕනැ නැහැ’ අගමැතිවරයා කීවේය.  


 ‘නව ව්‍යවස්ථාව ගැනයි ආණ්ඩුවේ අනිත් වැඩ ගැනයි සමහරුන් හිමිවරුන්ට බොරු කියා නොමග යැවීම පාපයක්. රට ගිනි තැබීමක්’ දයා ගමගේ කී දේ සියලු දෙනා අනුමත කළහ. ‘මේ කතාව නවීන් දිසානායකත් කියා තිබුණා.’ දයා තවදුරටත් කීය.  


‘මහින්ද-ගෝඨලා-රාජපක්ෂලා රකින්නේ එජාපය කියා කියද්දී ඒ අයට සමාව දිය යුතු බව මහින්ද අමරවීර කිව්වා. එතකොට මේ අය රකින්​ෙන අප ද? ශ්‍රීලනිපයද?’ රන්ජන් රාමනායක විමසුවේය.  


‘අර ආණ්ඩුවෙන් යන බව කියපු ශ්‍රීලනිප 18 ජනාධිපති හමුවෙලා දැන් රිවස් ගිහින් කියලත් ආරංචියි.’ නවීන් දිසානායක මෙන්ම පී. හැරිසන් කීවේද එකම කතාවකි.  


 ‘නව ව්‍යවස්ථාව ජනමත විමසුමට යනවද කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරාවි. අන්තර් වාර්තාව රට වටේ විවාද කර අවසන් වාර්තාව හදනවා. ඒක ලබන වසර දක්වා යාවි.’ අගමැති කීය.  


 ‘ආණ්ඩුවෙන් ශ්‍රීලනිප කට්ටියක් ගිහින් ආණ්ඩුව වට්ටලා අගමැතිත් වෙනස් කරනවා කියන්නේ? පැරදිලා විපක්ෂයේ සිටිය යුතු අය ආණ්ඩුවට ඇවිත් මාර කතා කියන්නේ.’ රන්ජන් රාමනායක කීවේය.  


 ‘ශ්‍රීලනිපයට මන්ත්‍රීවරුන් 95 යි. ඒකත් දැන් බෙදිලා. එජාපයට 106 යි. වැඩිම මන්ත්‍රීධුර ඇති පක්ෂයට අගමැතිකම හිමි බව ජවිපෙ මුලදීම කිව්වා. ඒ නිසා ආණ්ඩු හා අගමැති වෙනස් කරන කතා මහින්දගේ නඩය ගොතන ගොන් කතා.’ වජිර අබේවර්ධන කීවේය.  
 ‘වෛද්‍ය සභාවේ සභාපතිකම කාලෝ එපා කියනවා. ජී.එම්.ඕ.ඒ. එක එයාම ඉල්ලනවා. කාලෝ 2011 දී පත් කරන විට ජී.එම්.ඕ.ඒ. එක විරුද්ධ වුණා. අද ඕනලු.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.  


‘ජී.එම්.ඕ.ඒ. එකත් කැමැති කෙනෙකු මෙහි සභාපතිකමට පත් කරනවා නම් හොඳ බව මගේ මතයයි.’ අගමැති කීය. එ්ත් ජී.එම්.ඕ.ඒ. එකට රට පාලනය කරන්න දෙන්න බැහැ’ අගමැති කීවේ සිනා මැදය.  


 ‘උමා ඔය දිගටම කරන එක හොඳයි. නැතිනම් වැය කළ මුදල අපරාදේ. මුලින් ජල කාන්දුව වහලා ජනතාවට උපරිම සහන දීම කරන්න තීන්දු කිරීම වටිනවා’ විජයදාස රාජපක්ෂ කීය.  


 ‘කුණු ප්‍රශ්නය චම්පික රණවක සතියකින් විසඳයි. ඒ එක්කම ඩෙංගු උවදුර අවම වේවි.’ අගමැති විශ්වාසය පළ කළේය.  


 

කතානායක ඉල්ලීමෙන් සෝභිත හිමිගේ ඇලපත්ගමට ඉන්දීය ආධාර  

යහපාලනය යන වචනය පුළුල් සමාජ කතිකාවක් බවට පත්කරමින් එමගින් නව රජයක්ද පිහිටුවීමට ක්‍රියා කළ මාදුළුවාවේ සෝභිත හිමියන්​ෙග් සමාජ සත් කාර්යක් වූ අනුරාධපුර ඇලපත්ගම ග්‍රාමය දියුණු කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300 ක මුදලක් ඉකුත්දා ලබා දුන්නේ කතානායක නිල නිවසේදීය. කතානායක කරු ජයසූරිය මහතා මෙම ග්‍රාමයේ ජනතාව සඳහා නව නිවාස 152 ක් අලුතෙන් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයෙන් කළ ඉල්ලීම මෙසේ පළ දැරුවේය.  


 ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට සිකුරාදා පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං මහතා සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල මහත්මිය අත්සන් තැබීම කතානායක නිල නිවසේදී සිදුවූයේ කතානායකවරයා ඇතුළු සෝභිත හිමි ගුණානුස්මරණ පදනමේ සාමාජිකයන්ගේ දෙනෙත් සතුටු කඳුළින් තෙත් කරමිනි.  


 

 

සැමට සෙවණ විරු සුමිතුරු

මෛත්‍රීපාල සිරි​ෙස්න ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවකට ලැබුණු අනුමැතිය මත ක්‍රියාත්මක වන ‘සැමට සෙවණ විරු සුමිතුරු’ ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන ඉකුත් 05 වැනිදා සවස කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ​ෙෆාන්සේකා ද සහභාගි විය. 

 

මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූ නිවසක අයිතිය අහිමි රණවිරු පවුල් 3,650කට නිවාස හිමිකර දීම සඳහා රජය වෙන්කර ඇති මුදල් රුපියල් ලක්ෂ 31,920කි. ජනාධිපතිවරයා සිය කථාවේදී කීවේ සජිත් නිවාස අමාත්‍යවරයා ලෙස කරන කැප කිරීම අතින් ඔහුගේ පියාට නොදෙ​ෙවනි වන බවත් තමන් එය ඉතා අගයන බවත්ය. ‘සජිත් ඔයා ලොකු වැඩක් පටන් අරන් තියෙන්නේ. රුවන්, අනෝමා දෙන්න එක්කත් සාකච්ඡා කරල මේ කරන වැඩේ මට ලොකු ශක්තියක්’ යයි ජනාධිපතිවරයා කියද්දී සජිත් කීවේ සර් ඊළඟ ජනාධිපතිවරණය එන්න කලින් අනිවාර්යයෙන්ම මේ ගෙවල් 3650ම හදලා ඉවර කරනවා’ කියාය.