තුන්වැනි සංවත්සරයට ජනපති දුන් තෑග්ග


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව හරියටම වසර තුන පිරුණේ ගිය සඳුදාටය. එදින ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වූයේ පදවි ප්‍රාප්තියේ තෙවසරද සමරමිනි. අගමැතිවරයාගේද සහභාගිත්වයෙන් රාජගිරිය ගුවන් පාලම විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය විවෘත කරන්නට පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා සමග රාජිත අමරවීර දයා ගමගේ ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද හෙලිකොප්ටරයෙන් මොරගහකන්දට ගියහ. ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ අගමැතිවරයා, මහ ඇමැති සරත් ඒකනායක ඇතුළු පිරිස විසිනි. මොරගහකන්ද ජනපති මෛත්‍රීගේ සිහිනයක් සැබෑවීමකි. එය එසේ මෙසේ සිහිනයක් නොව ඔහුගේ ලොකුම සිහිනයකි. මොරගහකන්ද වැඩ පටන් ගෙන ඉදි කිරීම් කටයුතු යද්දී ජනාධිපතිවරයා නිල වශයෙන් නොව විවේක තිබෙන හැමවිටම එහි ගොස් සොයා බැලුවේය. එය අවසන් වනතෙක් ඔහු සිටියේ නොඉවසිල්ලෙනි. මොරගහකන්ද ඉදිකරන්නට කළ කැපවීම ගැනද ජනාධිපතිවරයා කොළඹ සිට යන ගමන් මැති ඇමැතින්ට පැහැදිලි කළේය. එහි විදුලිබලාගාරය මෙරට සිටි කීර්තිමත් ඉංජිනේරුවකුවූ ආචාර්ය කුලසිංහයන් නමින් නම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයද බොහෝ දෙනාගේ ඇගයීමට ලක්විය.  


ජනාධිපතිවරයාට අගමැතිවරයා ඇතුළු උත්සවයට සහභාගි වූ මැති ඇමැතිවරුන්ට දිවා ආහාරය සූදානම් කර තිබුණේ ජලාශය අසල පිහිටි බංගලාවකය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකම මේසයක අසුන් ගත් අතර චීන තානාපතිනියද එහි ආවාය. මඳ වේලාවකින් අගමැතිවරයා පිටත්ව ගියේ දවල් කෑමට මහනුවර මලික් සමරවික්‍රමගේ ගෙදරට යන බව කියමිනි. මලික් අපිට කෑමට ආරාධනා නැද්ද? ඒක යූඑන්පී කෑම මේසයක්දැයි ජනාධිපතිවරයා මලික්ගෙන් ඇසුවේ අනෙක් මැති ඇමැතිවරුන්ද හිනස්සමිනි. “නෑ සර්, අගමැතිතුමා නුවර එන නිසා මම කෑම ටික්ක ලෑස්ති කළා” යැයි මලික් කීවේය.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගිය බදාදා ඡන්ද සටන ඇරැඹු​ෙව් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති මංගල ජන රැළියෙනි. ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායකගේ මූලිකත්වයෙන් එහි සංවිධාන කටයුතු සිදුවිය. උදේවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා සවස සල්ගාදු ක්‍රීඩාංගණයේ රැළියට සහභාගිවිය. විශාල පිරිසක් මංගල රැළියට පැමිණ සිටීම ජනාධිපතිවරයාගේද සතුටට හේතු විය.  


පාර්ලිමේන්තුවේ එදින ඇතිවූ ගුටිකෙළිය ගැන ජනාධිපතිවරයාට දැන ගන්නට ලැබුණේ අනුරාධපුරයේ සිටියදීය. මංගල රැළියේදී ජනාධිපතිවරයා එයටද උත්තර දුන්නේ වදින පැත්තකට වදින්නත් එක්කය. ඒ සඳහා ජනාධිපතිවරයා පරණ කතාවක්ද සිහිපත් කළේය.

“අද උදේ පාර්ලිමේන්තුව රැස්වුණා. පාර්ලිමේන්තුවේ දෙපැත්තෙ ඉන්න අය දෙගොල්ලන්ටම හොරා කියන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි හැමෝම අද උදේ ඉඳල ඉන්නෙ අනුරාධපුරෙයි. දෙපැත්තෙම අය හොරා කියාගෙන හොරා කවුද නැත්තෙ කවුද කියල හොයා ගන්න බැරිව පාර්ලිමේන්තුවේ විශාල කලබලයක්වුණා. ඔබ දන්නවා ඉස්සර කොළඹ කොටුවේ පික්පොකට් ගහන මිනිස්සු අදට වඩා හිටියා. පික් පොකට්කාරයා කාගෙ හරි පොකට් එකට ගහල දුවනකොට පොකට්එකේ අයිතිකාරයාත් හොරා පස්සෙ ඔන්න හොරා කියලා දුවනවා. එතකොට ඇත්ත හොරාත් කරන්නෙ ඔන්න හොරා කිය කියා දුවන එකයි. මේ කතාවයි අද දේශපාලනයේ සිදුවෙලා තියෙන්නෙත්. අද දේශපාලනයෙ සිදුවෙලා තියෙන සිද්ධිත් එක්ක හොරා කවුද, හොරකම් නොකරන කෙනා කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා” යැයි ජනාධිපතිවරයා කීවේය.   


පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය ගිය සතියේ පුංචි බොරැල්ලේදී විවෘත වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. එය පිහිටුවා ඇත්තේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ පුංචි බොරැල්ලේ දේශපාලන කාර්යාලයේය. ‘නිදහස් මාධ්‍ය කේන්ද්‍රය’ නමින් විවෘත කෙරුණු මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙබ් අඩවියද ජනපති අතින් විවෘත විය.  


මෙවර අපොස උසස් පෙළ විභාගයේ පළමු ස්ථාන තුනක් මාතරට හිමිවිය. දෙකක් මාතර සුජාතාවටය. එකක් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයටය. එම සිසුන් තිදෙනා සහ දිස්ත්‍රික්කයේ මුල්තැනට ආ සිසුන් පිරිසක් ගිය බදාදා උදේ ජනාධිපති නිල නිවසට කැඳවාගෙන ආවේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයා විසිනි. ‘මේ ජයග්‍රහණ කොළඹින් පිටව ගිය එක ගැන සතුටුයි. මොනවද මගෙන් ඔයාලට කෙරෙන්න ඕනෑ’ යැයි ජනාධිපතිවරයා විමසුවේ දරු දැරියන්ට තෑගි බෝගද පිරිනමමිනි. සුජාතා විදුහලේ විදුහල්පතිනිය කීවේ දිස්ත්‍රික්කයේ එක්තරා එජාප මන්ත්‍රීවරයකු තමාට හිරිහැර වන ලෙස කටයුතු කරන බවය. ‘ඕව ගණන් ගන්න එපා. මට කොච්චර අපහාස කළාද? මම ගණන් ගත්තෙ නෑ. මම මේක හොයල බලන්නම්’ ජනාධිපතිවරයා කීවේය.