තවත් එතෙර සරසවියක් කැබිනට් රැස්වීම උණුසුම් කරයි


 

පසුගිය සතියේ සිකුරාදා පස්වරුවේ අගමැති රනිල් ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සිව් දින නිල චාරිකාවක් සඳහා ඕස්ටේ්‍රලියාවට පිටත්වූයේ ශ්‍රී ලංකන් ගුවන් යානයකිනි. මුලින් සිංගප්පූරුවට ගිය පිරිස එතැන් සිට මෙල්බර්න් බලා පිටත්වූහ. 1957 දී හිටපු අගමැති සර් ජෝන් කොතලාවලගෙන් පසු ශ්‍රී ලංකා අගමැතිවරයකුට ඕස්ටේ්‍රලියාවෙන් නිල ඇරයුමක් ලැබුණේ අගමැති රනිල්ටය. 
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අර්ජුන රණතුංග, විජිත් විජිතමුණි සොයිසා, දයාසිරි ජයසේකර, හර්ෂ ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරුද නිලධාරිහුද චාරිකාවට එක්වූහ.


මෙල්බර්න්හි පිහිටි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය හමුවීම අගමැතිගේ පළමු නිල කාර්යය විය. මහාචාර්ය වික්‍රමසිංහ මෙන්ම ආණ්ඩුකාරවරියගේ ස්වාමි පුරුෂයාද මෙම හමුවට එක්වූහ. සමරු පොතේ විශේෂ සටහනක් තැබීමටද අගමැතිවරයා පියවර ගත්තේය. අගමැතිවරයා අනතුරුව ගියේ මෙල්බර්න්හි ඩීකිං විශ්වවිද්‍යාලයටය. එදින ලාංකික සිසු සිසුවියන් 28 ක් ඇතුළු තුන්සියයකට උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය සංවිධානය වී තිබුණි. එහිදී දිගුකාලීන දේශපාලන කැපවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ උපහාරයක් ලෙස අගමැති රනිල්ට ද ගෞරව උපාධියක් පිරිනැමීම විශේෂත්වයක් විය.


මෙම උපාධිය පෞද්ගලික හෝ රාජකාරි කටයුතුවලදී භාවිතා නොකරන ලෙස ලේකම් සමන් ඒකනායකට අගමැතිවරයා දැනුම් දුන්නේ උත්සවය නිමාවත් සමඟය.


අගමැතිවරයා පසුදා ඕස්ටේ්‍රලියානු අගනුවර වන කැන්බරා වෙත ගිය අතර එරට අගමැති මැල්කම් ටර්න්බුල් විසින් උණුසුම්ව පිළිගෙන නිල මැදුරු පරිශ්‍රයේදී එරට ත්‍රිවිධ හමුදා ආචාරයක් හා වෙඩි මුර දහනමයකින් සමන්විත පිළිගැනීමක්ද සංවිධානය කර තිබුණි. එරට සෙනෙට් සභාවේ සභාපති හා කතානායකද එම අවස්ථාවට එක්වූහ. අනතුරුව සභාව ඇමතූ අගමැතිවරු දෙදෙනා දෙරටේ වසර හැත්තෑවක මිත්‍රත්වය හා අන්‍යොන්‍ය සහයෝගිතාව ගැන අනුස්මරණය කළහ. දෙරට අතර ක්‍රීඩා ආර්ථික හා අධ්‍යාපන සහයෝගිතාවට අදාළ ගිවිසුම් දෙකකට එහිදී අත්සන් තැබුණි.


අගමැතිවරු දෙපළ විශේෂ මාධ්‍ය හමුවකටද එක්වූහ. ලාංකික සිසුන්ට ඕස්ටේ්‍රලියාවේ වැඩි අධ්‍යාපන අවස්ථාවන් ලබාදීම හා ලංකාවේ අධ්‍යාපන හා ආර්ථික දියුණුවට සහාය ලබාදීමට ඕස්ටේ්‍රලියාව ප්‍රතිඥා දුන්නේය. යුද්ධය හෝ ආර්ථික හේතු මත සංක්‍රමණිකයින් ලෙස ඕස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයින් යළිත් ශ්‍රී ලංකාවට භාර ගැනීමට සූදානම් බව අගමැති රනිල් එහිදී කීවේය. එම කරුණු මතුවූයේ එරට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසය.


පිරිස අනතුරුව කැන්බරාහි ඕවල් පිටියට ගියේ ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියානු අගමැති පිළ අතර පැවැත්වෙන විස්සයි විස්ස පුහුණු ක්‍රිකට් තරගය නැරඹීමටය. තරගයට පෙර ඩොනල්ඞ් බ්‍රැඞ්මන් ක්‍රීඩාගාරයේදි එරට අගමැති සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයටද අගමැති රනිල් ප්‍රමුඛ දූත පිරිසත් ක්‍රිකට් කණ්ඩායම් දෙකත් එක්වූහ. තරගය ඇරැඹීමට පෙර දෙරට වෙනුවෙන් කාසියේ වාසිය උරගා බැලුවේ අගමැතිවරුන් දෙදෙනාය. ඕස්ටේ්‍රලියානු අගමැති කාසිය උඩ විසි කළ විට අගමැති රනිල් හෙඞ් ඉල්ලූ අතර ඔහු එය ජයග්‍රහණය කළේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින්ම පන්දු යවනවා දැයි පහර දෙනවා දැයි විස්තර විචාරකයා අගමැති රනිල්ගෙන් විමසුවේය.


“එය තීන්දු කරන්නේ අගමැති නෙමෙයි. අපේ ක්‍රිකට් නායකයායි” යැයි කී රනිල් උපුල් තරංගට ඊට පිළිතුරු දීමට ඇරයුම් කළේය.
අපි මුලින්ම පන්දු යවනවා තරංග කීවේය.


ලොව ප්‍රමුඛතම වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග වසර කීපයකට පසු මෙම තරගයට එක්වූ අතර අගමැති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස විශේෂයෙන් ඔහුට සුභ පැතූ අතර පළමු කඩුළු දෙක දවාගනිමින් ශ්‍රී ලංකාවට ශක්තිමත් ආරම්භයක් ලබාදීමට මාලිංග කටයුතු කිරීම කාගේත් සතුට හේතුවිය. තරගය නැරැඹීමට විසිපන්දහසකට අධික පිරිසක් පැමිණ සිටි අතර ඕස්ටේ්‍රලියානු අගමැති පිල පරදවා ශ්‍රී ලංකාව කඩුළු පහක විශිෂ්ට ජයක් ලැබීම අගමැති රනිල් ඇතුළු දූත පිරිසටත් රැස්ව සිටි දහස් සංඛ්‍යාත ලාංකිකයින්ටත් ආශ්වාදජනක විය.


“ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව මොහොතකට හෝ ප්‍රතිවාදීන් වන්නේ ක්‍රිකට්වලදී විතරයි. ලංකාව ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් පිලක්. අද ලැබූ ඒ විශිෂ්ට ජයග්‍රහණය ගැනත් මම සුභ පතනවා.” ඕස්ටේ්‍රලියානු අගමැතිවරයා තරග නිමාවෙන් පසුව අගමැති රනිල්ට කීවේය.


පසුදා ඕස්ටේ්‍රලියානු විදේශ ඇමැතිවරිය හා ආගමන හා දේශ සීමා ආරක්ෂක ඇමැති ඇතුළු ප්‍රමුඛ පෙළේ ඇමැතිවරු සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා නිමකළ අගමැති රනිල් එරට විපක්ෂ නායක සමගද විශේෂ සාකච්ඡාවකට එක්විය.


“ඕස්ටේ්‍රලියානු රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්න ඕනෑම ශුභවාදී තීන්දුවකට විපක්ෂයේ සහාය ලබාදෙනවා” ඕස්ටේ්‍රලියානු විපක්ෂ නායකයා සහතික විය.


ඕස්ටේ්‍රලියාවේ සිටින අගමැතිවරයාට ලංකාවේ සිටින ඇමැතිවරුන්ගෙන් දුරකථන ඇමතුම් ලැබුණේය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සයිටම් ගැටලුවේ තත්ත්වය ගැන විස්තර කළේය.


“මම රජයේ වෛද්‍ය විද්‍යාල අටේ පීඨාධිපතිවරුන් හමුවුණා. උසාවි තීන්දුව ආවේ සයිටම් විභාගයෙන් වෛද්‍ය උපාධිය දෙන්න වෛද්‍ය සභාවට නියෝග කරලයි. ඒත් පීඨාධිපතිවරු කියන්නේ වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයකට මේ ළමයින්ට මුහුණ දෙන්න පසුබිම හැදීම වැදගත් බවයි. මම සයිටම් එකටත් ඒ යෝජනාව දැම්මා. අපේ ළමයි දක්ෂ නිසා ඕනම විභාගයකට සූදානම් බව ඒ අය කියනවා. මම පීඨාධිපතිවරුන්ට කිව්වේ වෛද්‍ය සභාවේ කැමැත්ත මේකට ගන්න කියලයි. සයිටම් හා ඒ ළමයි අඩියක් දෙකක් පසුපසට ගිහින් ප්‍රශ්නයට මුහුණ දෙන්න සූදානම්. ඒ නිසා අනික් අයත් මැදට එන්න ඕනෑ කියලා මම කිව්වා. ඒත් වෛද්‍ය සභාව හා දොස්තර සංගමය සීමාව ඉක්මවා කටයුතු කරනවා. උසාවි තීන්දුව නොතකා අපහාස කළාය කියලා චෝදනාවට ලක්වෙන්න පුළුවන්. ළමයි බඳවා ගන්න එක නතර කරන්න කියලා මම යෝජනා කළාම සයිටම් එක එකඟ වුණා. සයිටම් හරහා ආණ්ඩු පෙරළන්න සමහරු දඟලනවා” කිරිඇල්ල කීවේය.


“මහින්ද සයිටම් බිහි කරනකොට නිහඬව හිටපු දොස්තරලා හා වෛද්‍ය සංගමය දැන් ඒ දරුවා මරලා දාන්න කියලා අපිට කියනවා කියලා ඩොක්ටර් රාජිත හොඳ කතාවක් කරලා තිබුණා” කිරි ඇල්ල යළිත් කීවේය.


සහල් ප්‍රශ්නය ගැන පී. හැරිසන් ඇමැතිවරයා අගමැතිවරයා දැනුවත් කළේය.


“රටින් හාල් ආවා. බෙදා හැරීමටත් පටන් ගත්තා. රජයේ වී මෝල් 450කට අපි වී නිකුත් කළා. ඒ වී හාල් කරලා වෙළඳපොළට දාලා හාල් මිල අඩු කරලා පෙන්වන්න. එතකොට අනික් වී තොගත් නිකුත් කරන බව මම කිව්වා. රටින් ආපු හාල් අපේ හාල් වෙළෙඳපොළට ගියාම ඉක්මනින් හාල් මිල බහීවි හැරිසන් අගමැතිට පැහැදිලි කළේය.

රජරට ජනතා විශ්වාසයන්ට අනුව අනුරාධපුර විලච්චිය ඇලපත්ගම ගමේ ජීවත්වන ජනතාව විජය රජුගේ යක්ෂ ගෝත්‍රික බිසව වූ කුවේණියගේ පරපුරට අයත් වෙති. ලක්බිම මුල් උරුමකරුවන්ගෙන් පැවත එන එහි මිනිසුන්ගේ අතීත අභිමානය උදුරාගත්තේ යුද සමයේ ත්‍රස්ත තර්ජන, වන අලි උවදුර මෙන්ම භවභෝග වියළා දැමූ නියඟය විසිනි.


ඇලපත්ගම වැසියන් යුද තර්ජනයෙන් ගම හැරදා යාම වැළකුණේ කොළඹ සිට වැඩම කළ මාදුළුවාවේ සෝභිත නාහිමි ඔවුනට පිහිට වූ නිසාය.


නාහිමියෝ ඇලපත්ගම ජන ජීවිතයට අලුත් බලාපොරොත්තු ගෙන ආ මහා සෙවණක් වුවද උන්වහන්සේ අපවත්වීමෙන් පසු හිමියන් පැතූ පරිදි ඇලපත්ගම ගම්මානය ගොඩනැංවීම ඇරැඹූ කතානායක කරු ජයසූරිය මහතා එහි ප්‍රගතිය පිරික්සීමට සති අන්තයේ අනුරාධපුර විලච්චියට ගියේය. උන්වහන්සේ වෙනුවෙන් යුතුකම් ඉටුකරමින් සිය ගම්මානය නංවාලීමට කතානායකවරයා ගන්නා වෙහෙස ගැන ගැමියන් කතා කළේ කඳුළු පිරි දෙනෙතිනි.


සියවස් ගණනාවක් පුරා සිංහල සේනාවට අංගම් සටන්කරුවන් සැපයූ දිගු ඉතිහාසයක් හිමි ඇලපත්ගම ජනතාව නගා සිටුවීමේ සෝභිත හිමියන්ගේ පැතුම යථාර්ථයක් බවට පත් කිරීම මෙන්ම උන්වහන්සේ පැතූ මනුෂ්‍යත්වය පිරුණු සමාජය වෙනුවෙන් පෙනී සිටීමද තම යුතුකමක් බව කතානායකවරයා මෙහිදී පැවැසීය.


ඉන් අනතුරුව කරු ජයසූරිය මහතා පිටත්ව ගියේ ශ්‍රී ලංකා පිළිකා සරණ සංගමය විසින් මිහින්තලේ කුරුන්දන්කුලමේ ඉදිකර පවත්වා ගෙන යන පිළිකා සරණ සත්කාර පියස දෙවැනි අදියර විවෘත කිරීමේ උත්සවය සඳහාය. පිළිකා රෝගයෙන් අසරණ වූ රෝගීන් රැක බලා ගනිමින් ඔවුනට අවශ්‍ය ආහාරපාන ඖෂධ සහ හෙද සත්කාරයන් මුළුමනින්ම නොමිලේ සපයන මෙම මධ්‍යස්ථානය ආරම්භ කළේ තරුණ වෛද්‍යවරයකු වූ සමාධි රාජපක්ෂ මහතාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසය.
පිළිකා රෝගයෙන් මියගිය තම දියණිය වෙනුවෙන් තමන් ඇතුළු පවුලේ සාමාජිකයෝද පිළිකා සරණ සංගමය සමග එක්ව පිහිටුවා ඇති පිළිකා සරණභාරය තුළින් කටයුතු රැසක් මේ වනවිටත් අරඹා ඇති බවද මෙහිදී කතානායකවරයා සඳහන් කළේය. 011-2363211 අංකය ඔස්සේ අරඹා ඇති පිළිකා සරණ උපකාරක ඇමතුම් සේවයට මේ වනවිටත් සැලකිය යුතු ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බවද හෙතෙම අනාවරණය කළේය.


එදින සන්ධ්‍යාවෙහි අනුරාධපුර ආයුර්වේද මහ රෝහලට ගොස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ සුවදුක් විමසීමට ද කතානායකවරයා අමතක නොකළේය. කලක් භේදභින්නව දිගින් දිගටම පරාජය වූ එජාපයට වැළඳී තිබූ දිවි දොස දුරු කර පක්ෂය සමගි කරවා ජයග්‍රහණයට මඟ පෙන්වූයේ ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝය.


පසුගියදා දැඩි ලෙස ගිලන් වුවද ක්‍රමයෙන් සුවය ලබමින් සිටින අනුනාහිමියන් සමඟ හෝරාවක් පමණ ගත කළ කරු ජයසූරිය මහතා උන්වහන්සේගෙන් සමු ගත්තේ “මම ළඟදීම ඔබ වහන්සේ බලන්න ආයෙත් එනවා. එතකොට සම්පූර්ණ සුවය ලබලා තියෙන්න කියලා පතනවා” යැයි ආශිර්වාද කරමිනි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඇරයුමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් සඳුදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත විය. “ජාත්‍යන්තර වරායවල්, ගුවන් තොටුපොළවල් හැදුවට රෝහල්වල අඩුපාඩු නම් තවමත් එහෙමමයි” සජිත් කීවේය. දිස්ත්‍රික්කයේ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී රෝග නිර්ණය පහසු කර ගැනීම සඳහා එම්.ආර්. අයි. ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන ලෙස සජිත් කළ ඉල්ලීමට වහා ප්‍රතිචාර දක්වමින් රාජිත කීවේ “රුපියල් ලක්ෂ 3,000ක් වටිනා අලුත්ම එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රයක් මම හම්බන්තොටට දෙන්නම්” කියාය. දිස්ත්‍රික්කයේ රෝහල්වල ප්‍රතිකාර කටයුතු මෙන්ම රෝග නිවාරණ කටයුතු ඉහළ නැංවීම සඳහා අරමුදලක් ස්ථාපනය කර එය නිරතුරුව අධීක්ෂණය කිරීමට සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපනය කෙරිණි. මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර අමාත්‍යවරුන් දෙපොළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා ප්‍රධානීන් සමඟ හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී විශේෂ රැස්වීමකටද සහභාගි වූහ.

වසර 2010 දී වියට්නාමයේ පැවැති 14 වැනි කනිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 3,000 බාධක දිවීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය එනම්, රිදී පදක්කම දිනා ගත් ඩබ්ලියු.පී.ඊ.එල්. නිලක්ෂි ක්‍රීඩිකාව වෙනුවෙන් තිස්සමහාරාම, දෙබරවැව, රෝහණ පුර අංක 255/1 ස්ථානයේ ඉදිකළ නව නිවස සජිත් අතින් විවෘත කෙරුණේද ඉකුත් සති අන්තයේදීය. දෙබරවැව ජාතික පාසලට වසර 80ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සව මාලාවට සමගාමීව මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණේ නිලක්ෂි ක්‍රීඩිකාවද දෙබරවැව ජාතික පාසලේ ආදි සිසුවියක වීම හේතුවෙනි. මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු නිමකර ගැනීම සඳහා සජිත් සිය “ජන සුවය” පදනමින් රුපියල් 500,000/=ක් පරිත්‍යාග කර තිබූ අතර වෙනත් දානපතියන් විසින් ලබාදුන් මුදල් හා ද්‍රව්‍යමය ආධාරද ඇය වෙත යොමු කර දීමටද කටයුතු කර තිබිණි. නිලක්ෂි පාසල් මට්ටමින්, අන්තර් පාඨශාලා, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් දිනාගත් පදක්කම් රාශියක් පරීක්ෂා කර බලමින් සිටි සජිත් කීවේ “මේව මෙහෙම දාලා තියන්න එපා. ඔක්කොම ලස්සනට, පිළිවෙළට තියන්න පුළුවන් විදියේ සේප්පුවක් හදවන්න. මම ඒකට යන වියදම දෙන්නම්” කියාය.

දෙබරවැව පශ්චිමාරාම රජමහා විහාරයේ වාර්ෂික රුහුණු නවම් මහ පෙරහර මහෝත්සවය මේ වසරේද උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබන අතර සජිත් ඊට ප්‍රමුඛ දායකත්වය ලබා දුන්නේය. 12,13 සහ 14 තෙදින සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා 17 වැනි දින පෙරහර මහෝත්සවය සංවිධානය කර තිබිණි. විවිධ පරිත්‍යාගශීලි හිතවතුන්ද ඊට සම්බන්ධ කර ගනිමින් පෙරහර මහෝත්සවයේ සංවිධාන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 9 කට නොඅඩු මුදලක් ලබාදීමට සජිත් කටයුතු කළේය. දෙබරවැව මැණික් රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 16 ක පමණ වියදමින් ඉදිකළ වාහල්කඩ විවෘත වුණේ 14 වැනිදා රාත්‍රියේය. ඊට ජනාධිපති අරමුදලෙන් ලබා දුන් රුපියල් ලක්ෂ 5ට අමතරව විවිධ පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහයෙන් හිඟ මුදල් ප්‍රමාණය සොයා ගැනීමට සජිත් ඉතා වෙහෙසකර උත්සාහයක නිරතවූ අතර අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකිවී තිබිණි. “අපි මෙච්චර කරන කොටයි, ආණ්ඩුව බුද්ධාගමට සලකන්නෙ නෑ කියලා සමහරු ජනතාව නොමඟ යවන්න හදන්නේ” සජිත් කීවේය.

දමිළ සාහිත්‍ය, සංස්කෘතිය පෝෂණය කිරීම සඳහා දායක වූ බුද්ධිමතුන් ඇගයීමේ ‘කම්බන්’ නමැති උත්සවය පසුගියදාක වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණන් ශාලාවේදී පැවැත්වුණු අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාය. විපක්ෂනායක ආර්. සම්බන්ධන්, ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන්, මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දමිළ දේශපාලනඥයන් රැසක්ම සහභාගි වී සිටි මේ උත්සවයට දමිළ සාහිත්‍යවේදියෝ සහ බුද්ධිමත්තු විශාල පිරිසක්ද එක්ව සිටියහ. උත්සව සභාව අමතමින් ඇමැති රුවන් කීවේ ජාතික සමගිය ඇතිකර රට ඉදිරියට ගෙනයාම යුගයේ කාර්යභාරය වී තිබෙන බවය. ජනවර්ග අනුව බෙදුනු කිසිම රටක් ඉදිරියට ගියේ නෑ. ජාතික සමගිය තිබුණු රටවල් තමයි හැමදාම දියුණුවෙන් ඉදිරියට ගියේ. ඒ නිසා අපිත් අපේ රටේ ජාතික සමගිය ගොඩනගා ඉදිරියට යෑම කළ යුතුයි. රුවන්ගේ මේ අදහස්වලට උත්සව සභාවෙන් උණුසුම් ආචාරයක් හිමිවීම ද විශේෂත්වයකි. 


බියගම ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සෙවිලි තහඩු බෙදාදීමේ උත්සවයක් ඉකුත්දා පැවැත්වුණේ රාජ්‍ය ඇමැති රුවන්ගේ ප්‍රධානත්වයෙනි. 


රණවිරුවන්ගේ තවත් ඉල්ලීමක් ඉටුකිරීමක් වශයෙන් අවුරුදු දොළහකට අඩු කාලයක් ත්‍රිවිධ හමුදාවේ සේවය කර ආබාධ වූ රණවිරුවන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය තීරණය කර තිබූ අතර එහි සමාරම්භක උත්සවය පහුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීය. එම අවස්ථාවට ඇමැති රුවන්ද එක්ව සිටියේය.

ඉබ්බන්කටුව, දඹුල්ල හා සීගිරිය යන පුරාවිද්‍යා ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා එම ස්ථානවලට ගියේ ගිය බදාදාය. එහිදි අකිලගේ විශේෂ අවධානයට යොමු වූයේ රංගිරි දඹුලු විහාරයේ බිතුසිතුවම් කෙරෙහිය. ඒවා වසර ගණනාවක් තිස්සේ සංරක්ෂණය කර නොමැති බවට ඇමැතිවරයාට එහිදී දැනගන්නට ලැබුණු අතර එවෙලේම නිලධාරීන්ට උපදෙස් දෙමින් කීවේ විදේශ විශේෂඥයන්ගේද සහාය ලබා ගනිමින් මේ බිතුසිතුවම් සංරක්ෂණය කිරීම සඳහා පියවර ගන්නා ලෙසය. ඉරිදා දින අකිල රුවන්වැලිසෑ පුදබිමට ගියේ එදින එහි පැවැත්වීමට නියමිතව තිබූ වැලි පූජාවට සහභාගි වීම සඳහාය. එම අවස්ථාවට චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිනියද එක්ව සිටි අතර පල්ලේගම හේමරතන හිමියන් අකිලට කීවේ අවුරුදු ගණනකට පසුව පැවැත්වෙන වැලි පූජාවට සහභාගි වීමට ලැබීම ඔබලත් භාග්‍යයක් කියාය. 


ගිය බදාදා අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ සමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඇමැති අකිලගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී පිළිගැනීමේ කතාව කළේ අධ්‍යාපන රාජ්‍ය ඇමැති පී. රාධක්‍රිෂ්ණන් මහතාය. රාධා සිය කතාව අරඹමින් කීවේ අගමැතිතුමාගෙන් සහ අධ්‍යාපන ඇමැතිතුමාගෙන් අවසරයි කියාය. එවෙලේ කවුරුත් පුදුමයෙන් මෙන් වටපිට බැලුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ උත්සවයට පැමිණ නොසිටියදී රාධා අගමැතිතුමාගේ නම සඳහන් කළේ ඇයිද යන්න සිතාගත නොහැකි වූයෙනි. අගමැතිවරයා ඒ වනවිට සිය ඔස්ටේ්‍රලියානු සංචාරයෙහි නිරතව සිටි බැවින් අගමැති තනතුරේ වැඩ බැලීමේ වගකීම බාර කර තිබුණේ අකිලටය. රාධාගේ මේ අවසර කතාව අතරතුර අකිල කීවේ අයියෝ මම අගමැතිගෙ වැඩබලන ඇමැති විතරයිනේ කියාය. එවිට රාධා කීවේ ඔබතුමා අපිට අගමැතිතුමෙක් වගේ තමයි කියාය. 


කොළඹ ආනන්ද, නාලන්ද හා ඩී.එස්. සේනානායක යන විදුහල්වල ඉගෙනුම ලබන සිසුන් අතර පසුගියදා ඇති වූ ගැටුම්කාරි තත්ත්වය පිළිබඳ තොරතුරු ආරංචි වූ වහාම එම පාසල්වල හා කොළඹ ප්‍රදේශයේ තවත් ජනප්‍රිය පාසල් කීපයක විදුහල්පතිවරුන් අමාත්‍යාංශයට කැඳවූ අකිල ඇති වූ ගැටුම්කාරී තත්ත්වය ගැන අදාළ විදුහල් තුනේ විදුහල්පතිවරුන්ගෙන් කරුණු විමසා සිටි අතර ඉදිරි දිනවල පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී මේ ආකාරයේ ගැටුම් ඇතිවීම වැළැක්වීමට අදාළ සියලු පියවර අනුගමනය කරන ලෙසටද විදුහල්පතිවරුන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සඳුදා ගලේවෙල ප්‍රදේශයට ගියේ මොරගහකන්ද ව්‍යාපෘතියේ වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙනි. මොරගහකන්ද ව්‍යාපෘතිය ජනපති මෛත්‍රීගේ දිගුකාලීන සිහිනයක ප්‍රතිඵලයකි. එහි ජලය උතුරු මැදටත්, උතුරට හා නැගෙනහිරටත් ගෙන යාම ඔහුගේ අපේක්ෂාවය. වයඹ ඇළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අරමුණ මොරගහකන්ද ජලාශයේ අතිරික්ත ජලය වයඹ ඇළ ඔස්සේ වයඹ පළාතට රැගෙන යාමය. එමගින් වයඹ පළාතේ කුඩා හා මධ්‍යම පරිමාණ වැව් 300 ක් හා ප්‍රධාන වැව් 8 ක් ජලයෙන් පුරවා ගොවිබිම් අස්වැද්දීම මෙම ව්‍යාපෘතියේ අරමුණය. ජනාධිපතිවරයා ගලේවෙලට ගියේ වයඹ ඇළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙනි. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක, මහවැලි නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න ඇතුළු දේශපාලනඥයෝ පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති මෛත්‍රි ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රිලනිප මැති ඇමැතිවරුන් අඟහරුවාදා රාත්‍රියේ කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි සිය නිල නිවසට කැඳවීය. එහි අරමුණ වූයේ පක්ෂයේ හා ආණ්ඩුවේ ඉදිරි කටයුතු මෙන්ම ආර්ථික තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කිරීමය. ජනාධිපතිවරයා කීවේ ජනතාව තමා වෙත පවරා ඇති වගකීම ඉටුකිරීමට තමා බැඳී සිටින බවය. ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.


 මේ සති අන්තයේ මීගමුවේ හෝටලයක පැවැත්වෙන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ වැඩමුළුවද මේ හමුවේ මාතෘකාවක් බවට පත්ව තිබුණේ එම වැඩමුළුවේ දේශනයකට එජාප මන්ත්‍රීවරයකු වන ජයම්පති වික්‍රමරත්න ගෙන්වීමට කර ඇති යෝජනාවක් හේතුවෙනි. එම වැඩමුළුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කරන්නට ජයම්පති වික්‍රමරත්නට ආරාධනය කර ඇති බව මැති ඇමැතිවරු කිහිප දෙනෙක් එහිදී කියා සිටියහ. ජනාධිපතිවරයාද ඒ බවක් කලින් දැනගෙන නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට හාත්පසින්ම වෙනස් අදහස් දරන මන්ත්‍රීවරයකු පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ජයම්පති වික්‍රමරත්න ලවා ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට දේශන පැවැත්වීම ගැන මැති ඇමැතිවරු විරෝධය පළ කරන්නට වූහ. එම මැති ඇමැතිවරුන් කියා තිබුණේ යූඑන්පී මන්ත්‍රීවරයකු ගෙන්වා දේශන පැවැත්වීම සුදුසු නොවන බවය. ඒ අනුව ජයම්පති වික්‍රමරත්න එම වැඩමුළුවට නොගෙන්වන්නට තීරණය විය.


 මීගමුවේදී ඊයේ (18) පැවැත්වීමට සූදානම් කර තිබූ වැඩමුළුවට සහභාගි වන මැති ඇමැතිවරුන්ට සිකුරාදා හවස් වන විට මීගමුවට එන්නැයි දන්වා තිබූ බවද වාර්තා විය.


ආණ්ඩු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති-ඇමැතිවරුන්ගේ හමුවේදී සහල් මිල පාලනය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.


එදින දහවල් වී මෝල් හිමියන් කැඳවා මේ ප්‍රශ්නය සාකච්ඡා කරනු ලබන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. දේශීය සම්බා කිලෝවක් රුපියල් 95.00කටත් නාඩු කිලෝවක් රුපියල් 85.00කටත් ලබාදීමට වී මෝල් හිමියන් යෝජනා කළ අවස්ථාවේ සම්බා කිලෝවක් රුපියල් 90.00කටත් දේශීය නාඩු කිලෝවක් රුපියල් 80.00කටත් දෙන ලෙසට තමන් ඉල්ලා සිටි බවද ජනාධිපතිවරයා කීවේය.


මෙහිදී ලක්ෂ්මන් වසන්ත පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ රුපියල් 80.00කට නාඩු කිලෝවක් හා රුපියල් 90.00කට සම්බා කිලෝවක් දීම අපහසු බවය.


“ඔයා මෝල් කාරයෙක් නිසානේ එහෙම කියන්නෙ. මම බලන්නෙ ජනතාවගෙ පැත්තෙන්. ඒකයි මම ඔය ගානට දෙන්න කිව්වේ” යනුවෙන් ජනාධිපතිවරයා උත්තර දී ඇත.


මේ සතියේ පිටරටින් හාල් එනකොට හාල් මිල තවත් අඩුවනු ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.


සර් පිටරට හාල් ටිකක් ඇලෙනවා වැඩි යැයි ලක්ෂ්මන් වසන්ත මහතා ප්‍රකාශ කරද්දී අනුර යාපා ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “ඒක හොඳයි නේ, පොල් සම්බෝල ටිකක් එකක් හොඳට කන්න පුළුවන් නේ” යනුවෙනි.


ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද ශ්‍රීලනිප මැති ඇමැතිවරු මෙහිදී සාකච්ඡා කර ඇති අතර ෆෙඩරල් ව්‍යවස්ථාවකට ශ්‍රීලනිප එකඟ නැති බවද ප්‍රකාශකර තිබේ.


පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ හා මැයි දිනය ගැනද එහිදී සාකච්ඡා වී ඇති අතර ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මැයි දිනය ගියවර ගාල්ලේ පැවැත්වූ ආකාරයට ඉහළින්ම පැවැත්විය යුතු බවය. ශ්‍රීලනිප මැයි රැලිය පැවැත්විය යුතු ස්ථානය ගැන මැති ඇමැතිවරු යෝජනා කර ඇතත් ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹී නොමැත.


සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා උදේ පැවැත්වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඕස්ටේ්‍රලියානු සංචාරයක නිරතව සිටි නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙවර කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. මෙවර කැබිනට් රැස්වීම තරමක් උණුසුම් වූයේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකාවක් හේතුවෙනි. ඉන්දියාවේ ආයෝජනයක් ලෙස මනිපායි විශ්ව විද්‍යාල ශාඛාවක් කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්නට ඇමැති කිරිඇල්ල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි. කිරිඇල්ලගේ කැබිනට් පත්‍රිකාවට විරෝධය පළකළේ චම්පික රණවක ඇමැතිවරයාය. චම්පික කිරිඇල්ලගේ යෝජනාවට එකහෙළා විරුද්ධ විය. දැන් මේ සයිටම් ප්‍රශ්නය පිදුරු වගේ ගිනිගන්නා වෙලාවක්. මේ  රටේ පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන්  සංවාදයක් ඇතිවෙලා තියෙනවා. සයිටම් එක ලංකාවේ කෙනෙකුගෙ. එහෙම තියෙද්දි ඉන්දීය ආයෝජනයක් විදියට විශ්ව විද්‍යාල ගේන්න හදනවා. මේ දාන්න යන්නේ ඉන්දියාවේ කෙනෙකුගේ විශ්ව විද්‍යාලයක්. රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් නොගෙන තිබියදී මේ වගේ දෙයක් කරන්න යාම ඇවිළෙන ප්‍රශ්නයක් බවට පත්වෙයි.” චම්පික කීවේය. චම්පිකගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව කිරිඇල්ල කරුණු පැහැදිලි කළේය. ඔහු කීවේ මෙය සෘජු ආයෝජනයක් බැවින් මෙය අවශ්‍යම යැයි කියාය. මේ වාදය යද්දී ජනපති මෛත්‍රි කීවේ “අපි මේක තවත් සාකච්ඡා කරලම කරමු” කියාය.


 රටේ කතාබහට ලක්ව තිබෙන හාල් ප්‍රශ්නයද කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. ජනාධිපතිවරයාද කීවේ සතොස මගින් සහල් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කළ යුතු බවය. ඒ හරහා හාල් මිල අඩුකළ යුතු බව ජනාධිපතිවරයා කීවේය. අනතුරුව රටේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡාවට ලක්විය. කලින් සතියේ පැවැති රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුවේදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ආර්ථිකය ගැන පුළුල් විග්‍රහයක් කර තිබිණි. චම්පික රණවක කීවේ මහ බැංකු අධිපතිවරයා එම දැනුවත් කිරීම කැබිනට් මණ්ඩලය තුළද සිදුකිරීම වැදගත් බවය. මහ බැංකු අධිපතිවරයා කියන තරම්ම ආර්ථිකය පිළිබඳ චිත්‍රය කළු නැති බව රවි කරුණානායක කීවේය. “චිත්‍රය කළු වුවත් මොකද අපි ඒකට මුහුණ දෙන්න එපැයි.” යැයි ජනාධිපතිවරයා කීවේය. මේ අතර තවත් ඇමැතිවරයකු කීවේ ආර්ථිකය කඩා වැටී ඇති බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාර ගෙනයන බවය. විදේශ සංචිත විශාල ලෙස අඩුවී ඇති බවට මාධ්‍ය ප්‍රචාරය කරන බවද එම ඇමැතිවරයා කීවේය. ඒකට උත්තර දුන්නේ සරත් අමුණුගමය. විදේශ සංචිත වියදම් කළේ රුපියල බැලන්ස් කරගන්න යැයි ජනාධිපතිවරයා කීවේය. විධිමත්  සාකච්ඡාවක් කර සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගත යුතු බව ජනපති කීවේය. ජනාධිපතිවරයා යෝජනා කළේ එහෙම නම් අපි මහ බැංකු අධිපති ඉදිරි සති කීපයේ කැබිනට් මණ්ඩලයට ගෙන්වා පැහැදිලි කරමු කියාය.


 වැලි හා මැටි ප්‍රශ්නයද මෙවර කැබිනට් රැස්වීමේදී මතුවිය. සරත් ෆොන්සේකා කීවේ අධිවේගී මාර්ගය ගොඩකරන්න ගත් වැලිත් විකුණාගෙන කනවා කියාය. අනුර යාපා ද කීවේ දැදුරු ඔයේ හා මාඔයේ වැලි ගොඩ දැමීමෙන් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවය. ඔහු කීවේ වැලි ප්‍රශ්නයට විසඳුමක් ලෙස මුහුදු වැලි ප්‍රචලිත කරන වැඩපිළිවෙළකට යා යුතු බවය.


 ශ්‍රිලනිප ඇතැම් මැති ඇමැතිවරුන් එජාපයේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපයන් ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට පටන්ගෙන තිබේ. ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති පක්ෂයේ නිල මාධ්‍ය හමුවේදී එජාපයට දැඩි විවේචනයක් එල්ල කළේය. ඔහු කීවේ ජනාධිපතිවරයාට රටේම ලැබුණ වරම, එක් දිස්ත්‍රික්කයක ඡන්දෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු ක්‍රියාත්මක කරන්නට යන බවය. මේ අතර බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රියද මාධ්‍ය හමුවකදී කීවේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ආණ්ඩුවේ කසළ ශෝධකයින් නොවන බව එජාප මැති ඇමැතිවරුන් දැනගත යුතු බවය.

මිනුවන්ගොඩ රණතුංගලා අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුමද ගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් කළේය. මේ ගැටුම කරළියට ආවේ මිනුවන්ගොඩ සතිපොළක් විවෘත කිරීමත් සමගය. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග හා හිටපු මන්ත්‍රී රුවන් රණතුංග අයිය මලෝය. එහෙත් දෙන්නා දේශපාලන වශයෙන් පිල් දෙකකට බෙදීම නිසා දෙදෙනා අතර විරසකයක් හටගෙන තිබේ. මිනුවන්ගොඩ අලුතින් ඉදිකළ සතිපොළ විවෘත කරන්නට නියමිතව තිබුණේ ඉකුත් 11 වැනිදා මහ ඇමැති ඉසුර දේවප්‍රියගේ ප්‍රධානත්වයෙනි. සමරු ඵලකයේ නම් සඳහන් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් එය කල් දමන්නට සිදුවිය. මේ ගැටුම ගැන ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායකට පැමිණිලි කළේ රුවන් රණතුංගය. ඔහු දුමින්දට කියා තිබුණේ මහ ඇමැතිවරයා ප්‍රසන්නගේ පැත්තට අදින බවකි. අනතුරුව දුමින්ද ඉසුරට කතා කළේය. ඔහු ඉසුරට කියා තිබුණේ සතිපොළ විවෘත කිරීම කල්දමන ලෙසය. ඒ අනුව පොළ විවෘත කිරීම කල් දමන්නට ඉසුර ඉකුත් 10 වැනිදා හවස් වරුවේ තීරණයක් ගත්තේය.
එහෙත් පසුවදා උදේ ප්‍රසන්නගේ ආධාරකරුවන්ද සමග ගොස් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතිපොළ විවෘත කළේ පොල්තෙල් පහන්ද දල්වා අනතුරුව පීත්ත පටියක්ද කපමිනි. ටික වේලාවකින් ප්‍රසන්න රණතුංගද පැමිණ පොළ භූමිය නිරීක්ෂණය කළේය.


ප්‍රසන්න - රුවන් ගැටුම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද දැන ගන්නට ලැබිණි. මහින්ද සිටියේ තංගල්ලේය. ප්‍රසන්නට දුරකථනයෙන් කතා කළ මහින්ද “මොකද්ද මේ ගැටුම” කියා විමසීය. ප්‍රසන්න සිද්ධිය විස්තර කළේය. මහින්ද කීවේ “මල්ලි එක්ක ප්‍රශ්න ඇති කර ගන්න එපා” කියාය. “මට මල්ලි එක්ක ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නය තියෙන්නෙ මේ ආණ්ඩුව එක්ක” යැයි ප්‍රසන්න කීවේය.


ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සඳුදා රැස්වූවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේය. මුලසුන ගත්තේ මහින්දය. දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරු කල්වේලා ඇතිවම පැමිණ සිටියහ. ප්‍රසන්න රණතුංග ගියේ තරමක් ප්‍රමාද වෙලාය. ප්‍රසන්න දුටු දිනේෂ් කීවේ “ප්‍රසන්නත් දැන් මාර චණ්ඩියෙක් වෙලා වගෙයි” කියාය. “නෑ නෑ ඒක චණ්ඩි වැඩක් නෙවෙයි” යැයි කියමින් ප්‍රසන්න සිද්ධිය විස්තර කළේය. මේවා මහින්ද මහත්තයගෙ කාලේ සල්ලි වෙන්කරල හදපුවා. ඉතින් ඒවා විවෘත කරන්න ඕන එයාලට ඕන විදියට නෙමෙයි. අපට ඕන විදියටයි. ප්‍රසන්න කීවේය.


නුගේගොඩ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැලියෙන් අනතුරුව මීළඟ රැලිය ගාල්ලේ පැවැත්වීම ගැන සාකච්ඡා විය. දෙවැනි රැලියේ සංවිධාන කටයුතු ගැන ඩලස් හා මහින්දානන්ද පක්ෂ නායකයින්ට පැහැදිලි කළහ. දෙවැනි රැලිය ලබන 25 වැනිදා හබරාදුවේදී පවත්වන්නට තීරණය විය. 


මාර්තු අටවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලොකු වැඩක් කළ යුතු යැයි පවිත්‍රා යෝජනා කළාය. පවිත්‍රා කීවේ කාන්තාවන් කුස්සියේ යුද්ධයට මුහුණ දී සිටින බවය. හාල් පොල් මිල වැඩිවීම නිසා ජීවන වියදම විශාල ලෙස වැඩිවී ඇති බව ඩලස් කියද්දී බන්දුල ඒ පිළිබඳ ආර්ථික විද්‍යාත්මක විග්‍රහයක් කළේය. පවිත්‍රා යෝජනා කළේ ජීවන වියදම ඉහළයාම නිසා ජාත්‍යන්තර කාන්තා දිනයේදී ආණ්ඩුවට එරෙහිව රට පුරා කාන්තාවන්ගේ උද්ඝෝෂණයක් කළ යුතු බවය. අපි රට පුරා උද්ඝෝෂණ තියන්නෙ නැතිව සේරම කොළඹට ගෙනත් කොළඹ ලොකු උද්ඝෝෂණයක් කරමු යැයි මහින්ද කීවේය.

2007 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ පාලනය යටතේදී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම 2017 වසරේදී අහෝසි වීමට නියමිතය. ඒ වසර 10ක් සම්පූර්ණ වීමෙන් අනතුරුවය. මෙම ගිවිසුම මගින් ඉන්දියානු සාගර ප්‍රදේශයට පැමිණෙන ඇමරිකානු නෞකා සහ යුද භටයින් සඳහා ආහාර, නවාතැන් ඇතුළු යුද පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබිණි. කෙසේ වෙතත් මෙම ගිවිසුම නැවත අලුත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු සකස් කරමින් ඇති බව ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ට වාර්තා විය. මේ සම්බන්ධයෙන් ජවිපෙ පක්ෂ නායකයින් අතර කතා බහක් ඇතිවිය. “මේ ආරක්ෂක ගිවිසුම කාටත් හොරෙන් තමයි අත්සන් කළේ. ගිවිසුම ලැබුණට පස්සේ අපිත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. ඒත් ගිවිසුම ගැන රාජපක්ෂ ආණ්ඩුව ගත්ත පියවර ඒ විදියටම කරගෙන ගියා. බටහිර ගැති ආණ්ඩුවක් කියලා ඒ ආණ්ඩුවට කියපු මේ ආණ්ඩුවේ අය දැන් ගිවිසුම අලුත් කරන්න යනවා” විජිත හේරත් කීවේය. “ඒ ආණ්ඩුවේ හිටපු අයමනේ දැන් මේ ආණ්ඩුවෙත් ඉන්නේ. ඒ නිසා ක්‍රියාමාර්ගවල වෙනසක් නැහැ. කොහොම වුණත් මේ ගිවිසුම ගැන නැවතත් රටේ සංවාදයක් හදන්න ඕනෑ” බිමල් රත්නායක කීවේය.

මේ අතර ජවිපෙ නායකයින් සයිටම් ගැටලුව පිළිබඳව ද අවධානය යොමු කළේ පසුගියදා පැවැති පක්ෂ නායකයින්ගේ හමුවකදීය. “ආණ්ඩුව දැන් බොරු කමිටු දාලා සයිටම් ප්‍රශ්නය වෙන පැත්තකට ගෙනියන්න හදනවා. අනෙක් එක තමයි ආණ්ඩුව එක එක දේවල් කරලා මේ ප්‍රශ්නයට කාලේ ගන්න හදනවා. ජනාධිපතිට ඍජුව උත්තරයක් දෙන්න බැරිව ඉන්නවා” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. “ආණ්ඩුව උද්දාමයෙන් තමයි නඩු තීන්දුව ගැන කතා කරන්නේ. අනෙක් හැම දෙයක්ම නීති කඩාග