තනතුරු වෙනස් කරදෙන්න අගමැතිට ඉල්ලීම්


 

ආණ්ඩුව

දින දෙකක වැස්සකින් පසුව රටේ දිස්ත්‍රික් රැසක් ක්‍ෂණික හා දැඩි ගංවතුර ව්‍යසනයකට ලක්වන විට ජනපති මෛත්‍රී සිටියේ ඕස්ටේ්‍රලියාවේය. ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන සිටියේ මෙක්සිකෝවේය. දෙදෙනාම කළින් යොදාගත් නිල සංචාරවල නිරත වෙමින් සිටියහ. අගමැතිවරයා ද පසුදා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ඇමෙරිකාවට යාමට නියමිතව සිටියේය.


හදිසි තත්ත්වය තුළ අගමැතිවරයා තම ගමන පැය 48කින් කල් දැම්මේ ඒ වනවිට ජනපති ශ්‍රී ලංකාවට පැමිණෙන හෙයිනි. ගංවතුරෙන් අනාථ වූ ජනතාව බේරා ගැනීමේ හා ඔවුන්ට අවශ්‍ය ආහාර, නවාතැන් හා වෛද්‍ය පහසුකම් සැපයීමේ මූලික යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ අගමැතිවරයා හමුදාව පොලිසිය හා රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නේ චක්‍රලේඛ නොසලකා ජනතාවට උපරිම පහසුකම් දීම කළ යුතු බවය. ඒ අතරේ දැඩි නියඟයකින් පසුව මෙවැනි මහ වැසි වැටීම හා විශේෂයෙන් කුකුලේ ගඟ ප්‍රදේශයට අධික වැසි වැටෙන අතරේ කාලගුණ විද්‍යා බලධාරීන් අවශ්‍ය අනතුරු ඇඟවීම් නොකිරීම ගැන අගමැතිවරයා යම් පහරක්ද එල්ල කළේය.


තම වෛද්‍ය පරීක්‍ෂණ සඳහා සති දෙකක් කල් ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූ තැන අගමැතිවරයා පසුගිය ඉරිදා හිමිදිරියේ ඇමරිකාව බලා පිටත් විය.


තම පියාගේ අභාවය තුළ ඒ කටයුතු නිමකළ ඇමැති මලික් අඟහරුවාදා ඇමෙරිකාවට ගියේ අගමැතිවරයාගේ පරීක්‍ෂණවලට සහාය වීමටය. විදෙස්ගත වුවද අගමැතිවරයා දිනපතා ජනාධිපති සමග ද කතා කරමින් ජනතාවට පහසුකම් සැපයීම ගැන විවිධ තීන්දු ගත්තේය. එමෙන්ම ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, මංගල සමරවීර, දයා ගමගේ, සාගල රත්නායක, වජිර අබේවර්ධන, විජයදාස රාජපක්‍ෂ හා දුනේෂ් ගන්කන්ද ඇතුළු මැති ඇමැතිවරුන්ට ද කතා කරමින් උපදෙස් දුන්නේය.


අගමැතිවරයා රට තුළ නැති පසුබිමක මේ සතියේ එජාප මෙහෙයුම් මධ්‍යස්ථානය වූයේ ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ පාර්ලිමේන්තු සභානායක කාර්යාලයයි. කිරිඇල්ල බ්‍රහස්පතින්දා එහි යන විට මැති ඇමැතිවරු රැසක් ද පැමිණ සිටියහ.


අගමැතිතුමා අද උදෙන්ම මට කතා කළා. සැහැල්ලුවෙන් වෛද්‍ය පරීක්‍ෂණයට ඉන්න කියා දොස්තරලා කිව්වත් ගංවතුර ප්‍රශ්නය නිසා හිත සැහැල්ලු කරගන්න අමාරුයි කියලයි, එතුමා කිව්වේ ලක්‍ෂ්මන් කිරිඇල්ල කීය.


මේ සමහර වෛද්‍ය පරීක්‍ෂණවලට මාස 11 කට හා මාස 03කට කළින් එපොයින්මන්ට් අරන් තිබෙන්නේ. ඒ වෛද්‍යවරුන් ලොව පුරා යන අය නිසා වෙලාවට ඉන්න ඕනෑ කියලයි අගමැතිතුමා මට කිව්වේ දයා ගමගේ ද එළි කළේ අගමැතිතුමාගෙන් ලැබුණු ඇමතුමක තොරතුරකටය.


ඇමරිකාවේ නිව්යෝක්වල එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය අරලියගහ මන්දිරය බවට පත් කරගෙන අගමැතිතුමාගේ උපදෙස් මත මෙහෙයුම් කරනවා කියලත් ආරංචියි. විජයදාස රාජපක්‍ෂ කිව්වේද අගමැතිතුමාගෙන්ම ලැබුණු තොරතුරක් මතය.


“ලොකු නියඟයකින් පස්සේ ලොකු වැස්සක් ඒ වී කියා අපේ නෝනා මට දින කීපයකට කලින් කිව්වා. කාලගුණ දෙපාර්තමේන්තුවට ඒ තත්ත්වය නොතේරීම අභාග්‍යයක්. සමහරුන් ඔවුන්ගේ අනාවැකි ගණන් ගන්නේ නැහැ. ඒකත් වරදක්” ලක්‍ෂ්මන් කිරිඇල්ල කීය.
“ආපදා ඇමැතිතුමා අගමැතිතුමාට අනවශ්‍ය ප්‍රහාරයක් එල්ල කළා. කුකුළේ ගඟ ප්‍රදේශයට මීටර් 100ක් වහින කොට කාලගුණය අනතුරු ඇඟවීම කළා නම් මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලයි අගමැතිතුමා කිව්වේ” වජිර අබේවර්ධන කීය.


“මා හැම රටකම විදේශ ඇමැතිවරුන්ට කතා කළා. ලංකාවේ ඉන්න තානාපතිවරුන් හමුවෙලා උදව් ඉල්ලුවා. ඉතිහාසයේ කවදාවත්ම නැති තරමේ විදේශ ආධාර ලැබුණෙ ඒකයි” රවී කරුණානායක කී විට සියලු දෙනාම ඔහුට ස්තුති කළහ.


දින 02කින් පාරවල් තැනීම හා නාය ගිය පාරවල් ශුද්ධ කරන්න පටන් ගත්තා. කැඩුණු පාරවල් නිරීක්‍ෂණය කරන්න දයා ගමගේ තමන්ගේ හෙලිකොප්ටරය දුන්නා. පාසල් ළමයින්ට නිල ඇඳුම්, පොත්, සපත්තු දෙනවා. හානි වූ නිවාසයකට හා කුඩා ව්‍යාපාරවලට ලක්‍ෂ 25 බැගින් දෙනවා. අපේ රජය මුළු රටම රක්‍ෂණය කරපු නිසයි ජනතාවට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ” ලක්‍ෂ්මන් කිරිඇල්ල විග්‍රහ කළේය.


“මියගිය කෙනකුට ලක්‍ෂය නම් මදියි” විජයදාස රාජපක්‍ෂ කීය. රු. 15,000/-යි කලින් ගෙව්වේ. එජාපයයි ඒක ලක්‍ෂය කළේ ජීවිතයකට මිලක් නියම කරන්න බැහැ” දයා ගමගේ කීය.


“පිටරටින් අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් ඕනෑවටත් වඩා ආවා. ඊළඟට ජනතාව යළි පදිංචි කරවන්න නිවාස හා යටිතල ඇතුළු දේවල් වලට මුදලුයි, දැන් ඕනෑ. මා විදේශ රටවලට ඒ අවශ්‍යතාවය පෙන්වා දුන්නා. මුදල් ආධාර ලැබුණාම මාස 02ක් තුළ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමට ගේන්න අපට පුළුවනි” රවී කරුණානායක කී දේ සියලු දෙනා අනුමත කළහ.


අගමැතිවරයා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා විදෙස් ගතව තිබිය දී වෙනස් කළ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගැන ද එහි දී කතා බහ කෙරිණි.


“ජනාධිපතිතුමායි, අගමැතිතුමායි කතා කර ඒ වෙනස්කම් ඔක්කොම කළේ. තමන්ගේ තනතුරු වෙනස් කර දෙන්න කියා අපේ තුන් දෙනෙකු අගමැතිතුමාගෙන් ඉල්ලලත් තිබුණා” ලක්‍ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.

 

කතානායක


පසුගිය සිකුරාදා දහවල් වනවිට රටේ ප්‍රදේශ ගණනාවක ජනතාවට මහත් විපත් ගෙන දුන් ගංවතුර හා නායයෑම් පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ද සැලවිය.


උද්ගතව ඇති තත්ත්වය හමුවේ වහාම අදාළ ප්‍රදේශවලට ගොස් මුදාගැනීම් සහ සහන මෙහෙයුම් වෙනුවෙන් දායක වීමට ඒ ඒ ප්‍රදේශවල ජනතා නියෝජිතයන්ට අවශ්‍ය වූ බැවින් පක්‍ෂ නායක රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කලින් කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය. පසුව යෙදුණු දින කිහිපය තුළ යොදා ගත් කටයුතු ගණනාවක් අවලංගු කළ කතානායකවරයාට අපහසුම කටයුත්ත වූයේ මාදුළුවාවේ සෝභිත හිමි වෙනුවෙන් 29 දිනට යොදා තිබූ අනුරාධපුර විලච්චිය සෝභිත හිමි සමරු ගම්මානයේ ජන්ම සංවත්සර උත්සවය අවලංගු කිරීමය.


“කමක් නැහැ. මේ වෙලාවේ සෝභිත හිමියන් වැඩහිටියා නම් කරන්නේත් හැම දෙයක්ම අවලංගු කරලා අසරණ ජනතාව වෙත යන එකයි. ඒ අනුව කටයුතු කිරීම උන්වහන්සේට කරන සැබෑ ගෞරවයක්” යැයි කී කතානායකවරයා එම උත්සවය ද කල් දමන ලෙස සංවිධායකයන්ට උපදෙස් දුන්නේය.


ජනපති, අගමැති අදාළ ඇමැතිවරු සහ කාලගුණ ව්‍යසනය බලපා ඇති ප්‍රදේශවල මැති ඇමැතිවරුන්ට සහ ප්‍රාදේශීය නායකයන්ට දිගින් දිගටම කතා කළ කතානායකවරයා පවතින තත්ත්වය කළමනාකරණය කිරීමෙහිලා සහායවීමට යුහුසුළු විය.


කළුතර, බදුරලිය, බුලත්සිංහල ප්‍රදේශ වෙත ගිය හෙතෙම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අදාළ රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා ප්‍රාදේශීය නායකයන් සමග ඉදිරි සහන සේවා පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කළේය.

 

ඇමැති රුවන් ආපදා සහන සේවයේ


පසුගිය දින කීපයේදී රටේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑ ගංවතුර හා නායයෑම් ආපදා නිසා පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතුවලට සහභාගි වීම නිසා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අතිශය කාර්යබහුල විය. රුවන් නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයට ද ගංවතුර නිසා හානි සිදුවී තිබූ නමුත් රුවන් සිය සේවය තම ආසනයේ ජනතාවට පමණක් සීමා නොකර ආපදාවලින් බැට කෑ සෙසු පළාත්වල ජනතාව සඳහා ද සහන සැලසීමට ඉදිරිපත් වීම කාගේත් පැසසුමට ලක්වූ දෙයක් විය.


ගංවතුර සහ නායයෑම් නිසා කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිමහත් පීඩාවලට ලක්වූ අතර ඔවුන් වෙනුවෙන් පාලිත තෙවරප්පෙරුම හා අජිත් පී. පෙරේරා යන නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සිදු කරමින් සිටි විශිෂ්ඨ මෙහෙවරට අත්වැලක් වීම සඳහා ඇමැති රුවන් ද ඔවුන්ගේ බල ප්‍රදේශවලට ගොස් අවශ්‍ය ආධාර හා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම නිසා පාලිතත් අජිතුත් රුවන්ට ස්තුති කළහ. තමන්ගේ යාළු හිතමිත්‍රාදීන්ගෙන් ලැබී තිබුණු වියළි ආහාර ද්‍රව්‍ය පැට වූ ලොරි රථ දෙකක් ද ඇමැති රුවන් කළුතර දිසාවේ පීඩාවට පත්ව සිටි ජනතාව වෙනුවෙන් ලබාදීම විශේෂ සිද්ධියක් විය.


අනතුරුව රුවන් ඇමැති ගයන්ත කරුණාතිලක සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුරින් යටවී තිබූ ප්‍රදේශවල තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගිය අතර එහිදී ද විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදුකළේය. මේ ගංවතුර ආපදාව නිසා රුවන්ගේ බියගම ආසනයේ ජනතාව ද පීඩාවට පත්ව සිටි අතර ඔවුන් වෙනුවෙන් ආහාර පිසීමේ කටයුතු රුවන්ගේ ගෙදරදී සිදුවූ අතර කීප විටකදීම ගංවතුර තර්ජනයට ලක්වූ ප්‍රදේශවලට ගිය රුවන් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු සිදුවන ආකාරය ගැන ද සොයා බැලුවේය. මේ අතර මේ ආපදා නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටට පැමිණි චීන, ඉන්දියා, පාකිස්ථාන ආධාර නෞකාවල පැමිණි නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණගැසී ඔවුන්ට ස්තුතිය පළකිරීමට ද රුවන් අමතක නොකළේය.

 

අලුත් විදේශ සබඳතා


විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා එම අමාත්‍ය ධුරයට පත්වූ පසු තීරණය කළේ ඉදිරියේදී විදේශ සබඳතා වඩාත් හොඳින් පවත්වාගෙන යෑම සඳහා ලංකාවේ සිටින සියලුම රටවල් නියෝජනය කරන තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් මුණගැසීමටය. ඒ අනුව පසුගිය දිනෙක විදේශ අමාත්‍යාංශයේදී ඊට අදාළ සාකච්ඡාවක් පැවැත්වුණු අතර රටවල් 135 ක පමණ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු එම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී රවි ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තමන් මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා උපකාර කළ පරිදි ඉදිරියේදී විදේශ සබඳතා හැසිරවීමේදී ද එම සහාය ලබාදෙන ලෙසය. විශේෂයෙන්ම තමන් ඉදිරියේදී ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික පැත්තකට ලංකාවේ විදේශ සබඳතා ගෙනයෑමට අපේක්ෂා කරන බව ද ඇමැති රවී ඔවුන්ට පැහැදිලි කර සිටියේය. විදේශ කටයුතු ඇමැති ලෙස දිවුරුම් දුන් පසු රවි ලබන සතියේ සිට රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් මුණගැසීම සඳහා එම රටවල් බලා පිටත්වීමට නියමිතය.

 

ඇමැති වුණාට මමත් රාජ්‍ය සේවකයෙක්


දිවයිනට බලපෑ ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වය නිසා විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කෙරෙහි පසුගිය සතියේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබූ අතර ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සම්බන්ධ කරගනිමින් ආපදා තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා පසුගිය දිනෙක විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වීය.


ගිය බදාදා අමාත්‍යාංශයේ වැඩ රාජකාරී හමාර කර ගෙදර යෑමට පිටත්වූ අකිල අඩි දෙකක් පමණ උසකින් යුතු ලිපිගොනු මිටියක් සේවකයකු අතට දුන්නේ එය සිය වාහනයට දමන ලෙස පවසමිනි. එය දුටු අමාත්‍යාංශ නිලධාරීන් කීපදෙනකු අකිලගෙන් ඇහුවේ “ඇයි සර් මෙච්චර ෆයිල් ගොඩක්” කියාය. “පේනවනෙ මමත් රාජ්‍ය සේවකයෙක් වගේ. ඇමැති කෙනෙක් වුණාට අමාත්‍යාංශයේ ෆයිල්, චක්‍රලේඛ, කැබිනට් පත්‍රිකාව මේ හැමදේම මම කියවනවා” අකිලගේ පිළිතුර විය.


පසුගිය සතියේ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යවේදී හමුවක් පැවැත්විණි. අමාත්‍යවරයා එම හමුවට පැමිණෙන විටත් මාධ්‍යවේදීන් පැමිණ සිටි අතර ඇතැම් මාධ්‍යවේදීන් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා මූණට මුණ ගැසුණු ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂයකි. මාධ්‍යවේදීන් අතරට වහ වහා පැමිණි අමාත්‍යවරයා එක් එක් මාධ්‍යවේදියා පෞද්ගලිකව හඳුනාගන්නා අතරතුර මෙතෙක් කලක් කිසි දින දැක නොතිබූ පෑනේ මිතුරන් වූ මාධ්‍ය සගයන් හඳුනා ගන්නා ගමන් ඉතා සංවේදීව මෙන්ම ලෙන්ගතුව සඳහන් කළේ “මල්ලි මාව හරියට දන්නෙත් නැතුව මෙච්චර කල් ඔය ගොල්ල මට කරපු උදව් මට හොඳට මතක තියෙනවා. මාව මොනරාගල මිනිස්සු කොහොමත් දන්නවා. නමුත් රටේ මිනිස්සු අතරට මාව අරන් ගියෙත්, අරගෙන යන්නෙත් ඔයාලා. මගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවී මට කරන උදව්වලට ගොඩක් ස්තුතියි. මෙහෙම හරි අපි මුණගැහිලා විවේක පාඩුවේ කතාබහ කරන්න හම්බවෙච්ච එක හරි වටිනවා” යනුවෙනි.

 

ජානිපෙ


කළුතර දිස්ත්‍රික්කයේ නාය යාමෙන් ජීවිත හානි හා දේපළ හානි විශාල වශයෙන් සිදුව ඇති කිසිවෙකුගේ පිළිසරණක් නොලැබුණු ගම්මානවල දිවි ගලවාගත් ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඒවා ලබා දීමට විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරු විශේෂ පරිශ්‍රමයක් දැරූහ. බුලත්සිංහල, යටම්පිටිය, නාගහදොළ එවැනි ගම්මානයකි. එහි නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 30 කට අධික විය. “ගම මළ ගමක්” වුවද පසුගිය සඳුදා සවස් වන තෙක් විපතට පත් ගම්වාසීන්ගේ පිහිටට සිටියේ ගමේ පන්සලේ හාමුදුරුවන් පමණි. ගමනෙහි දුෂ්කරතා විඳ දරා ගනිමින් විමල් හා ජයන්ත ඇතුළු ජානිපෙ සහන සේවා කණ්ඩායම එම ගම්මානය වෙත ළඟා වන විට සඳුදා රාත්‍රිය ද උදා වී තිබිණි.


 “ඔබතුමා පාර්ලිමේන්තුවේ අපි ගැන කතා කරනවා. අපි ඒ බව දන්නවා. ආණ්ඩුවෙන් කිසිම වගකිවයුත්තෙක් මේ පැත්ත පළාතේ නොආපු තත්ත්වයක් ඇතුළේ ඔබතුමාගේ පැමිණීම අපට ලොකු ශක්තියක්. මේ වනතෙක් අපට පන්සලේ හාමුදුරුවන්ගේ පිහිට පමණයි තිබුණේ.” තමන්ගේ දුක සැප බලන්න ආපු විමල්ට නාගහදොළ ගමේ ජනතාව කීවේ එහෙම කතාවකි.