ජීවන වියදම අඩුකරන්න: හවුල්කාර පක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලයි


  • පක්ෂනායක රැස්වීමකට අගමැතිගෙන්  උපදෙස්
  • විශ්‍රාමික හමුදා ප්‍රධානියෙක් සජිත්ට එක්වෙයි
  • ඩොලර​යත් එක්කතරඟ කරන්න පුළුවන් සම්බාවලට විතරයි
  • කැබිනට් රැස්වීමේ  මත ගැටුම්

 

​දේශපාලන කරළිය ගිනියම් වෙමින් අලුත් අලුත් මාතෘකා කතාබහට ලක්වෙමින් තිබේ. පරිසර විනාශය ජිනීවා මානව හිමිකම් ආදිය සම්බන්ධ කතාබහ යටපත්වී ගිය සතිය වනවිට අලුතින් මාතෘකා ගණනාවක් කරළියට ආවේය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ පිළිකා කාරක පොල්තෙල් සහ පළාත් සභා ඡන්දය ආදී මාතෘකාය. ආණ්ඩුව පැත්තේ දරණ ස්ථාවරය නම් පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමය. එය තව දුරටත් වාද නොකර පැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහසය. 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සති කිහිපයකට ඉහතදී පැවැති ආණ්ඩුවේ පක්ෂනායක රැස්වීමේදීද තීරණය වූයේ අතුරුදන් කර ඇති පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමටය. එහෙත් ඡන්දය තියන්නේ කුමන ක්‍රමයකටද යන්න ඒ වනවිටත් ස්ථිර නිගමනයක ආණ්ඩුව සිටියේ නැත. එහෙත් ගිය සතිය වනවිට ආණ්ඩුව තීරණය කළේ පළාත් සභා ඡන්දය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමටය. ඒ 2017 දී සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනතින් යෝජිත 50ට 50 යන ප්‍රතිශතයට නොවේ. කොට්ඨාස ක්‍රමයට සියයට 70ක්ද අනුපාත ක්‍රමයට සියයට 30ක්ද තෝරාපත් කරගත යුතුය යන්න අලුත් ඡන්ද ක්‍රමයට ගෙන එන සංශෝධන යෝජනාවකි.


කැබිනට් රැස්වීම


මේ කතාබහ අතර කැබිනට් මණ්ඩලය ගිය සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එදින සාකච්ඡාවට ගැනුණු කැබිනට් පත්‍රිකා අතර ප්‍රධාන තැනක් ගත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවය. එය ඉදිරිපත් කරනු ලැබුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා විසිනි. ඔහුගේ කැබිනට් පත්‍රිකාව සමග අලුතින් ඉදිරිපත් කරන්නට යන පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතද විය. ජනක මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ කලින් සතියේය. එහෙත් ඇමැතිවරුන් එය අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව කීම නිසා ජනාධිපතිවරයා එය සාකච්ඡාවට ගැනීම සතියකින් කල් තැබීය.


මෙවර කැබිනට් රැස්වීමේදී පළාත් සභා මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත සාකච්ඡාවට ගැනුණි. එය සාකච්ඡාවට ගැනීමට පෙර ජනක තෙන්නකෝන් ඇමැතිවරයා යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කරමින් පත්‍රිකාවක් සියලුම ඇමැතිවරුන් අතට පත් කළේය. ඔහු එය දෙමින් කීවේ මේ පනත ගැන විස්තර මේකෙ තියෙනවා. ඔබතුමාලට වෙනත් ගැටලු තිබේනම් මට ඒ ගැන පැහැදිලි කරන්නත් පුළුවන් යනුවෙනි. ඔහු සිය පත්‍රිකාවෙන් කාරණා තුනක් යෝජනා කර තිබිණි. ඉන් පළමුවැන්න නව පළාත් සභා මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමය. දෙවැන්න එසේ නොවන්නේ නම් පැරැණි මනාප ක්‍රමයට ඡන්දය පැවැත්වීමය. තුන්වැන්න 2017 දී සම්මත කරන ලද පළාත් සභා ඡන්ද විමසීම් පනත අවලංගු කිරීමය. ඒ සමඟම යෝජනා කර තිබුණේ කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ ඡන්දය පවත්වන්නේ නම් 50ට 50 වෙනුවට 70යි 30 ප්‍රතිශතයට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගත යුතු බවය.


දිනේෂ් - ජනක මත ගැටුමක


පළාත් සභා මැතිවරණය සඳහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට මුලින්ම විරෝධය පළකළේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාය. ඔහු කීවේ මෙය මනාප සටනටත් වඩා තවත් අර්බුදයක් බවය. ‘මේක චන්ද්‍රිකා නෝනගෙ යෝජනාවක්ද කියලත් මට හිතෙනවා.’ දිනේෂ් කීවේය. දිනේෂ්ගේ අදහසට ජනක තෙන්නකෝන් ඇමැතිවරයා දැඩි විරෝධය පළකළේය. ‘මේක චන්ද්‍රිකා නෝනගේ පනතක්වත් යෝජනාවක්වත් නෙවෙයි. මේක ආණ්ඩුවේ අදහසක් විතරයි. ඔබතුමා ඒකට කැමැතිද අකමැති ද කියන එක වෙනම කතාවක්. නමුත් ඔය නගපු චෝදනාව ඔබතුමා ඉල්ලා අස්කරගන්න’ ජනක කීවේය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනෙකුද අදහස් දක්වමින් කියා සිටියේ එකම ආසනයට එකම පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බවය. එය නැති ප්‍රශ්නයක් ඇතිකිරීමක් බව ඔවුහු කියා සිටියහ.


පනත් කෙටුම්පතේ සෙසු කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් නැති බවත් එහෙත් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ අදහසට එකඟවිය නොහැකි බවත් ඔවුහු කීහ.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම ගැටලුවක් වූයේ ආසනයකට අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට කැබිනට්ටුවේ පිරිසකගෙන් විරෝධයක් එල්ලවීම හේතුවෙනි. පනත් කෙටුම්පතේ සෙසු කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් නොවූ බැවින් එක් ආසනයකට අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාව හැරෙන්නට සෙසු කාරණාවලට කැබිනට්ටුවේ එකඟතාව පළවිය. එකඟ නොවූ කාරණය සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කර අවසන් විසඳුමකට යාහැකි බව ජනාධිපතිවරයා කීවේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙවර කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේ ඔන්ලයින් ඔස්සේයි. පක්ෂ නායක රැස්වීමක් කැඳවා මේ ගැන සාකච්ඡා කිරීමට කටයුතු සූද‌ානම් කිරීමේ වගකීම ජනාධිපතිවරයා දිනේෂ්ට පැවරීය.


මේ අතර ඉකුත් සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවය. පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති කංචන ජයරත්න, හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් ඇතුළු පළාත් සභාව නියෝජනය කළ පිරිසක් ඊට එක්ව සිටියහ. ඔවුන් කියා සිටියේ පළාත් සභා ඡන්දය නොපැවැත්වීම මගින් පළාත් සභාවල හිටපු මන්ත්‍රීලාට දැඩි අසාධාරණයක් සිදුකර ඇති බවය. ඔවුන් උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන ඇමැතිවරුන්ට ද කීවේ කැබිනට් එකට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අනුමත කිරීමට කල් ඉල්ලන්නේ නැතිව, එය කඩිනමින් අනුමත කිරීමට පියවර ගන්නා ලෙසය.


ශ්‍රීලනිපය අලුත් ගමනක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව නිලධාරි මණ්ඩලය සඳහා ගිය සතියේ දෙදින වැඩමුළුවක් මාතලේදී පැවැත්වූයේ පක්ෂයට අලුත් ජවයක් එක්කර අලුත් ගමනක් යෑම වෙනුවෙනි.
ශ්‍රීලනිප දෙදින වැඩමුළුව පැවැත්වූවේ මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේය. ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ගැන දයාසිරි ජයසේකරත්, ප්‍රචාරක වැඩපිළිවෙල ගැන ශාන්ත බණ්ඩාරත්, ජිනීවා ප්‍රශ්නය ගැන ආචාර්ය සුරේන් රාඝවනුත් පැහැදිලි කළහ. වැඩමුළුව රාත්‍රී 8.00 පමණ වනතෙක් පැවැත්වූ අතර, අනතුරුව පිරිස සඳහා සංගීතයද සමග ප්‍රියසාදයක් සූදානම් කර තිබිණි. සංගීත කණ්ඩායම සමග එක්වෙමින් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සින්දු කීපයක්ම ගායනා කළේ පිරිසගේ අත්පොළසන් මැද ය.


දඹුල්ලේ කම්කරු කාර්යාලය විවෘත කිරීමට නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ඉකුත් සති අන්තයේ දඹුල්ලට ගියේය. ඔහුට උදේ කෑම සූදානම් කර තිබුණේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාගේ දඹුල්ලේ නිවසේය. නිමල් සහ ජනක දැන් පක්ෂ දෙකක සිටියත් කලක් සිටියේ එකම පක්ෂයේය. දැන් දෙදෙනාම කැබිනට් ඇමැතිවරුය. නිමල් වෙනුවෙන් ජනක සිය නිවසේ උදේ කෑම සූදානම් කර තිබුණේ ඒ මිත්‍රත්වය සමගය. පසුව ජනක, නිමල් හා ජනකගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාත් පැමිණ කම්කරු කාර්යාලය විවෘත කළහ.


මේ අතර, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා ගිය සතියේ අනුරාධපුරයට ගියේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන වෙනස්කම් හා ජිනීවා ප්‍රශ්නය ගැන මහා සංඝරත්නය බැහැදැක දැනුවත් කිරීමටය. අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් සහ මිරිසවැටිය රජමහා විහාරාධිපති ඊතලවැටුණවැවේ ඥානතිලක නාහිමියන් බැහැදුටු ඇමැතිවරයා ලංකාවේම පාසල් සියල්ල විවෘත කිරීමට පියවර ගැනීම ගැන නාහිමිවරුන් දැනුවත් කළේය. එහිදී උන්වහන්සේලා කියා සිටියේ මාස ගණනාවක් වසා තිබූ පාසල් නැවත විවෘත කර අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට ගෙන ඇති පියවර අගය කරන බවය.


ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නායකයෝ ගිය සතියේදී කොළඹදී අවස්ථා දෙකකදී රැස්වූහ. මින් එක හමුවක් පැවැත්වුණේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේය. දෙවැනි හමුව පැවැත්වුණේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේය. එම හමුවීම්වලට උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ටිරාන් අලස්, අතාවුල්ලා, වීරසුමන වීරසිංහ යන අයද අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ. එහිදී සාකච්ඡාවට ලක්වූයේ ප්‍රධාන කාරණා දෙකකි. එකක් ජීවන බරය. දෙවැන්න පළාත් සභා ඡන්දයේදී එක් ආසනයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාවය. ජීවන බර සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේදී පක්ෂ නායකයන් සියලු‍ දෙනාම කියා සිටියේ ජනතාව ඉතා අසීරුවෙන් ජීවත්වන බැවින් ඔවුන්ට සහන පැකේජයක් වහා හඳුන්වාදීමට රජය පියවර ගත යුතු බවය. දෙවැනිව කතා කළේ අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැනය. එහිදී පක්ෂ නායකයන් සියලු‍ දෙනාම කීවේ එම යෝජනාවට තමන් විරුද්ධ බවය.


සජිත් අතින් එම්.ඩී.එච්.
පිළිරුව විවෘත වෙයි


විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේදී කඩුවෙල ආසනයට ගියේ කීර්තිමත් දේශපාලනඥයෙක් වූ එම්.ඩී.එච්. ජයවර්ධනගේ එකසිය හය වැන ජන්ම දිනය සැමරීමටය. කඩුවෙල මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතු සමගින් වෙනත් තැනක ස්ථාපිත කරන්නට යෙදුණු එම්.ඩී.එච්. ජයවර්ධනගේ පිළිරුවක්ද ඔහු නිරාවරණය කළේය.


අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ දයාබර මෑණියන් වූ එච්.ඒ. චාලට් නෝනාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද ඔහු එක්විය.


ජනතාවාදී බුද්ධි මණ්ඩපයක්


සමගි ජනබලවේගය සමග විවිධ කණ්ඩායම් මේ වන විට එක්වෙමින් තිබෙන්නේ විවිධ වගකීම් ඔවුන්ට ලබාදෙමින්ය. විශේෂයෙන්ම විද්වතුන් දිගින් දිගටම පක්ෂය සමග එක්වෙමින් සිටී. වෘත්තීයවේදීන් එක් කරගනිමින් වෘත්තීයවේදී සංසද හා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහාගීත්වයෙන් යුත් ජනතාවාදී බුද්ධි මණ්ඩපය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. දශක ගණනාවක් පුරා විදේශීය හා රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඇති රංජිත් උයන්ගොඩ සජිත් වෘත්තීයවේදී උපදේශක මණ්ඩලයට පත්කර තිබේ.


මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරාද පසුගිය සතියේදී සජිත් හමුවූයේ වෘත්තීයවේදී උපදේශක මණ්ඩලයට එක්වෙමිනි.


මේ අතර ‘ජනතාවාදී බුද්ධි මණ්ඩපය රට පුරා දේශන මාලාවක් පවත්වාගෙන යයි. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ගමින් ගමට ගොස් මේ දේශන පවත්වති. එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා සහ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මේ දේශනමාලාව සමග රට පුරා ගමන් කරයි. මෙහි ප‍්‍රගතිය ගැන සොයා බැලීම සඳහා සජිත් ඔවුන් දෙදෙනා කැඳවා තිබුණේය.


“ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ සම්මන්ත‍්‍රණවල ඡායාරූප මම දැක්කා. මේවායේ ප‍්‍රගතිය කොහොමද” සජිත් ඇසුවේය.


“ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු උනන්දුවෙන් මේකට සහභාගී වෙනවා. ආර්ථිකය ගැන, දේශපාලනය ගැන සමාන්‍ය ජනතාවට තේරෙන විදියට මේ දේවල් කියලා දෙනවා. ජනතාවත් ලොකු උනන්දුවකින් මේවාට සහභාගී වෙනවා” මනුෂ කීවේය.


“ජනතාව දැනුවත් කිරීම තමයි අපි කළ යුතු වන්නේ. ආණ්ඩුවේ බොරු වෙනුවට ඇත්ත අපි ජනතාව අතරට අරගෙන යන්න ඕන” සජිත් වැඩපිළිවෙළ අගය කළේය.
“සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දක්වන අදහස් මාධ්‍යයත් උනන්දුවෙන් අරගන්නවා. මේ වැඩසටහනේ කරපු කතා දැක්කට පස්සේ සමහර මාධ්‍ය ආයතන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට වැඩසටහන්වලට එන්න කියලා කතා කරනවා” මරික්කාර් කීවේය.


“ඒක හොඳ දෙයක්. දේශපාලනඥයින්ගේ අදහස්වලට අමතරව විද්වතුන්ගේ අදහස්වලටත් ඉඩක් ලබාදෙන්න වැඩපිළිවෙළක් හදන්න” සජිත් උපදෙස් දුන්නේය.
විපක්ෂනායක ජංගම සේවා පසුගිය සතියේදීත් අඛණ්ඩව පැවැත්විණි. විස පොල්තෙල් ගෙන්වීම ගැනත්, පොල්තෙල් බදු වංචාව ගැනත් සජිත් ඒවායේදී අවධානය යොමු කළේය.
“ගිය අවුරුද්ද කොරෝනා එක්ක සැමරුවා. මේපාර අවුරුද්ද වස පොල් තෙල් එක්ක සමරනවා. දැන් වස පොල් තෙල් හොර පාරෙන් එළියට යවලා. මේවා එළියට යවන්න කොච්චර අල්ලස් මුදලක් ගත්තාද කියලා සොයා බලන්න ඕන” සජිත් කීවේ කාකදූපතේදී පැවති ජංගම සේවයට එක්වෙමිනි.


“ඔය අල්ලපු පොල්තෙල්වලට මොකද වෙලා තියෙන්නේ කියලා සර් දන්නවාද” මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා සජිත්ගෙන් ඇසුවේය.
“ඔව් ඔව්. පොලීසිය අල්ලපු පොල්තෙල් ටික අායිමත් රේගුවටම දීලානේ” සජිත් කීවේ හොරාගේ අම්මාගෙන් පේන අසන ආකාරය සිහිපත් කරමිනි.
ඩොලරයේ මිල ඉහළයාම ගැන සජිත් අවධානය යොමු කළේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.


“දැන් ඩොලරයත් එක්ක තරග කරන්න පුලු‍වන් එකම එකයි තියෙන්නේ. ඒ සම්බා විතරයි” හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා කී කතාව සමහරුන්ට තේරුණේ නැත.
“නෑ.. නෑ.. මම කිව්වේ ඩොලර් එක දැන් දෙසීයත් පැනලා. පුදුම වේගයකින් ඩොලරයේ මිල ඉහළ යනවා. ඩොලරයේ අගය ඉහළ යනවා වගේ අගයකින් ඉහළ යන්නේ සම්බා හාල් මිල තමයි” හරින් පැහැදිලි කළේය.


“අවුරුද්දට රුපියල් දාහක බඩු මල්ලක් සතොසෙන් දෙනවා කියලා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියලා තියෙනවා. බඩු මල්ලක් කන එක තියා මිනිස්සුන්ට අවුරුද්දට කිරිබතක්වත් කන්න බැරි තත්වයක් තමයි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ” ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේය.


“ලංකාවේ ධීවරයා ආරක්ෂා කරගන්නවා කියපු ආණ්ඩුව ඉන්දියාවේ ධීවරයින්ට අපේ මුහුද ලියලා දෙන්න හදනවා” දිලිප් වෙදආරච්චි මන්ත‍්‍රීවරයා කීවේ ලංකාවේ ධීවරයින් ආරක්ෂා කරගත යුතු බව අවධාරණය කරමින්ය.


විපක්ෂනායක ජංගම සේවයක් ඇතුළු හමුවීම් කිහිපයක් අවසන් කර විපක්ෂනායක කාර්යාලයට පැමිණි සජිත් හමුවීමට රට පුරා සිටින ගුරුවරුන් කණ්ඩායමක් පැමිණ සිටියහ.
රාත‍්‍රී හතට පමණ ආරම්භ වූ මේ හමුව අවසන් වූයේ රාත‍්‍රී එකොළහට පමණය.


“අපිත් එක්ක රට වටේ ගුරුවරු එකතුවෙලා ඉන්නවා. ඔබතුමා එක්ක වැඩ කරන්න කැමැත්තෙන් මේ අය ඉන්නේ” ගුරු නියෝජිතයෙක් කීවේය.


“මේ අය අතරේ ගියපාර ජනතා විමුක්ති පෙරමුණට සහාය දුන් අය ඉන්නවා. පොදුජන පෙරමුණත් එක්ක හිටපු අය ඉන්නවා. ඒ අය ඔබතුමා එක්ක ඉන්නේ. ගියපාර අපේ ඉස්කෝලවල ගුරුවරු විස්සක් හිටියානම් එයින් පහළොවක්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දේ දුන්නේ. ඒත් දැන් ඒ අය එපා වෙලා. අපිට වඩා වැඩියෙන් ඔබතුමා ගැන හොඳ කියන්නේ ඒ අය තමයි” තවත් ගුරුවරයෙක් කීය.


“අපිට ඕන වුණේ විනාඩි දහයකට හරි ඔබතුමා හමුවෙන්න. පැය හතර හමාරක් ඔබතුමා අපි එක්ක හිටියා. මම ඡන්දය දුන්නෙත් ඔබතුමාට නෙවේ. ඒ විතරක් නෙවේ ඒ දවස්වල ඔබතුමාට ඡන්දය දෙන්න හිටපු ගුරුවරු පවා මම අපේ පැත්තට ගත්තා. ඒත් මේ ටික කාලෙට අපිට ඇත්ත තේරුණා. අපි හිස් චරිතයක් පුම්බලා තියෙන්නේ. අද රටම ඉවරයි. ඔබතුමා පුදුමාකාර ශ්‍රේෂ්ඨ නායකයෙක්. අපිට දුන්න ගෞරවය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ”‍ගුරුවරයෙක් කීවේය.


“ළමුන්ගේ ආත්මය ගොඩ දමන දෙවිවරු තමයි ගුරුවරු කියන්නේ. ඒ අය වෙනුවෙන් අපි අපේ වැඩ කොටස ඉටු කරනවා” සජිත් ඔවුන්ට සහතිකයක් දුන්නේය.


ඩයනාගෙන් සජිත්ට 
සැර පිළිතුරක්


මේ අතර සමගි ජන බලවේගය පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව දන්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙත යැවූ ලිපියට පිළිතුරක් යවා ඇති ඩයනා ගමගේ මහත්මිය තමාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට විපක්ෂ නායකවරයාට බලයක් නොමැති බව දන්වා තිබේ. ඇය එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගයට ලබාදුන්නේ තමාගේ නමින් ඇති පක්ෂය බවය. කිසිම ලාභ ප්‍රයෝජනයකින් තොරව තමා එම පක්ෂය සමගි ජන බලවේගයට ලබාදුන් බවත් තවමත් එහි සභාපතිවරයා වන්නේ සේනක සිල්වා මහතා බවත් ඇය සඳහන් කර ඇත. තමාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට උත්සාහ ගතහොත් අධිකරණයට ගොස් ප්‍රශ්නය බේරා ගන්නා බව ද ඇය දන්වා තිබේ.


පරිසරය රකින්න 
රුවන් පෙරට එයි


රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා වන වැඩ පිළිවෙළ රාශියක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී පැවැත්විණ.


මෙම වැඩපිළිවෙළේ එක් අවස්ථාවක් වූයේ ‘පරිසරය ආරක්ෂා කරමු’ යන තේමාව යටතේ පැවැති චිත්‍ර ප්‍රදර්ශනයයි. මෙම චිත්‍ර තරගයට පාසල් දරුවෝ සහ තරුණ පිරිස සහභාගිවී සිටියහ. එහිදී හොඳම චිත්‍ර සඳහා වටිනා ත්‍යාග පිරිනැමීම රුවන් විජයවර්ධන මහතා අතින් සිදු කෙරුණි.


මීට අමතරව පක්ෂයේ ක්‍රියාකාරීන් අවස්ථා ගණනාවකදී හමුවූ රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ ඒ ප්‍රදේශවල පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳවද සාකච්ඡා කළේය.


මේ දිනවල ඉමහත් සාකච්ඡාවට හේතුවී තිබෙන විෂ කාරක සහිත පොල් තෙල් පාවිච්චිය රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් වී ඇති බව ලක්වනිතා ව්‍යාපාරයේ සභාපතිනි ශාන්තිනි කෝංගහගේ මහත්මිය සමග සාකච්ඡා කළ රුවන් විජයවර්ධන මහතා ජනතාවට පිරිසුදු සෞඛ්‍ය සම්පන්න පොල්තෙල් මිලදී ගැනීමට හැකි ස්ථාන හඳුනා ගැනීම සඳහා වැඩපිළිවෙළක් යෝජනා කරන ලෙස උපදෙස් දුන්නේය.


ඒ අනුව පිරිසුදු පොල්තෙල් මිලදී ගැනීමට හැකි ස්ථාන ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා වෙළෙඳ ඇමැතිවරයාට හා පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසටද රුවන් විජයවර්ධන මහතා උපදෙස් දුන්නේය.


මේ අතර පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ 72 වැනි උපන් දිනය වෙනුවෙන් ලේ බැංකුවේදී ලේ පරිත්‍යාග කිරීමේ අවස්ථාවක් ලැබී තිබුණු අතර පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ලේ පරිත්‍යාග කරන පක්ෂයේ සාමාජිකයන් හමුවී කතා බස් කළේය.

 

- ගජබා -