ජාතික සමගිය වෙනුවෙන් ​කතානායක මහනුවර


ජාතික සමඟිය සඳහා පදනම සකස් කරමින් කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුවේ සර්ව පාර්ශ්වික නියෝජිත පිරිසක් ඉකුත් සතියේ මහනුවරට ගියහ.


කථානායකවරයා ප්‍රමුඛ මෙම සර්ව පාර්ශ්වික නියෝජිත පිරිසගේ මහනුවර ගමන සඳහා සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඩ් බදුර්දීන්, ගයන්ත කරුණාතිලක, ඒ.එච්.එම්. ෆවුසි, මනෝ ගනේෂන්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, සී.බී. රත්නායක, විජිත හේරත්, සෙල්වම් අඩෙක්කලනාදන්, අලිසහිර් මව්ලානා, ඒ. සුමන්තිරන් යන මැති ඇමැතිවරුන් කොළඹින් පිටත්ව ගිය අතර, කල්තියාම මහනුවරට ගොස් සිටි නීතිය හා සාමය, විෂය භාර නව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියද එයට එක්වූහ.


මුලින්ම කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිස මල්වතු මහා නාහිමි හා අස්ගිරි අනුනාහිමියන් බැහැ දැක උද්ගත වූ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. මෙහිදී කථානායකවරයා නාහිමියන් හමුවේ කියා සිටියේ “පාර්ලිමේන්තුවේ කවර මතවාද තිබුණද මහනුවරින් මතු වූ ජාතිවාදී ගිනි පුපුරු නිවා දැමීම මෙන්ම යළි කිසිදා එවැනි දේ සිදුනොවීම සඳහා පියවර ගැනීමට සියලු පක්ෂ නියෝජිතයන් එකසිතින් එක් වූ බවය. මල්වතු නා හිමියන් මෙහිදී වැදගත් ප්‍රකාශයක් කළේය, උන්වහන්සේ පැවසුයේ “රටේ හමුදාවක් තිබෙනවා ඒකේ විවිධ බලකායන් තියෙනවා රටට වෙන වෙන බලකායවල් අවශ්‍ය නැහැ. හාමුදුරුවෝ තමන්ගේ දායක ගම් කිහිපය හදා ගන්නවා නම් රට නිකම්ම හැදෙනවා” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ සී.බී. රත්නායක මහතා පැවසුවේ නායක ස්වාමින් වහන්ස, අපිට විවිධ මතවාද තිබෙනවා නමුත්, මොන මතය ක්‍රියාත්මක කරන්නත් ඉස්සෙල්ලාම රටක් ඕනෑ. තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනෑ, ඒ නිසයි ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් විදියට අපි කථානායකතුමා සමඟ මේ වැඩෙට එකතු වුණේ කියාය. මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ආගමික නායකයන් හා ප්‍රජා නායකයන් සමඟ පැවැති හමුව පැය 02 ආසන්න කාලයක් පුරා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිල නිවසේ දී පැවැති අතර, ඊට මව්ලවිතුමන්ලා මෙන්ම මුස්ලිම් දේශපාලන සහ ප්‍රජා නායකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.