ජාතික නිදහස් උළෙලේදී ජනපතිගෙන් ‘‘වාග් බෝම්බයක්’’


ගෙවී ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ ප්‍රධාන මාතෘකා දෙකකි. එකක් පාතාල නායක මධුෂ් ඇතුළු කණ්ඩායමක් ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමය. දෙවැන්න එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආණ්ඩු යෝජනාවය. මධුෂ් ඇතුළු කණ්ඩායම රටේම කතාබහට ලක්වූයේ ඔහු අල්ලා ගත නොහැකිව, ඩුබායිවලට පැනගොස් සිටි අයකු බැවිනි.


එජාපයේ ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට එන්නටත් පෙර පහරදී රටේම විරෝධයක් මතු කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ගාලු මුවදොර පැවැති 71 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලේ දී ජනාධිපතිවරයා ජාතිය අමතමින් කීවේ, පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයකු එකතු කර ගනිමින් පිහිටුවන්නට යන ජාතික ආණ්ඩුවට තමා දැඩි ලෙස විරෝධය පළ කරන බවය. එමෙන්ම එක මන්ත්‍රීවරයකු අල්ලා ගෙන ඇමැතිවරුන් ගණන 45ක් කරන්නට යාම කොතරම් සදාචාරාත්මකදැයි ජනාධිපතිවරයා විමසා සිටියේ එජාපය ද නිරුත්තර කරමිනි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේ පැවැති 71 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට මෙවර විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වූයේ මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොල් මහතාය. ජනපති මෛත්‍රී කළ ආරාධනයක් පිළිගනිමින් මාලදිවයින් ජනාධිපතිවරයා පැමිණ සිටියේ සිය බිරිඳ ද සමගය. තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ජනපති මෛත්‍රීත්, අගමැති රනිලුත් විපක්ෂ නායක මහින්දත් වෙන වෙනම හමුවී සාකච්ඡාවල ද නිරත විය.


මෙවර නිදහස් උළෙලට මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූයේ හිටපු ජනාධිපතිවරයා වශයෙනි. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද සහභාගි වූ පළමු නිදහස් දින උළෙලද මෙය විය. ඔහු පසුගිය වසර හතරේම නිදහස් දින උළෙලට සහභාගි නොවීය. පසුගිය අවුරුදු හතරේම නිදහස් දින උළෙලට සහභාගි වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය මෙවර උත්සවයට නොපැමිණියාය.


නිදහස් දින උළෙලට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි විය. ජාතික දින උළෙලේ ප්‍රමුඛතා ධුරාවලිය අනුව ජනාධිපතිවරයා පිළිගනු ලැබූවේ අගමැතිවරයා විසිනි. එහෙත් දෙන්නට දෙන්නා වචනයක් හෝ කතා නොකිරීම එහි සිටි සියලු දෙනාගේම අවධානයට ලක්වූ මාතෘකාවක් විය.


ජනාධිපතිවරයා ජාතිය අමතමින්, එජාපයට ද හීන් සීරුවේ ටොක්කක් අනින්නටද අමතක නොකළේය. පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම හා දූෂණය මර්දනය කරන්නට නොහැකිවීම ගැන ජනාධිපතිවරයා කතා කළේ එජාපය දෙසට ද ඇඟිල්ල දිගු කරමිනි.


සතියේ කැබිනට් රැස්වීම මෙවර පැවැත්වුණේ අඟහරුවාදා හැන්දෑවේය. වෙනදා අඟහරුවාදා උදේ කැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි රැස්වන නමුත් මෙවර එය හවස පවත්වන්නට සිදුවූයේ නිදහස් දින උළෙලට සහභාගි වූ මාලදිවයින් ජනාධිපතිවරයා සහ ජනාපති මෛත්‍රී අතර නිල හමුව එදින උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වූ බැවිනි.
කැබිනට් රැස්වීම ආරම්භයේදීම මංගල සමරවීර මුදල් ඇමැතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කර, විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු එම ධුරයට පත්කිරීමට කලින් සතියේ ඉදිරිපත් කළ කැබිනට් සංදේශය ඉවත් කර ගන්නා බවය. චාල්ස් මහත්මිය ඉවත් කර, විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කිරීමට මුදල් ඇමැතිවරයා ගත් තීන්දුව හේතුවෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද යොමු වූ අතර, රේගුවේ දෛනික ආදායම ද විශාල ලෙස පහත වැටුණි. වෘත්තීය සමිතිවලින් එල්ල වූ බලපෑම හමුවේ මංගලට සිය ස්ථාවරය වෙනස් නොකර සිටින්නට නොහැකි තත්ත්වයක් ද ඇති විය. මංගල මේ යෝජනාව කලින් සතියේ ගෙන ආ අවස්ථාවේ ද මුලින්ම විරුද්ධ වූයේ ජනපති මෛත්‍රීය. මෙවැනි අර්බුදයක් එන බව ජනාධිපතිවරයා කලින් සතියේම කියා තිබිණි. ජනාධිපතිවරයා කීවා සේම රේගු වෘත්තීය සමිති සටනට බැස්සේ මංගල සමරවීර ඇමැතිවරයාට සිය තීරණය වෙනස් කරන්නට උපරිම ලෙස බලපෑම් කරමිනි.


‘‘ගිය අවුරුද්දෙ රුපියල් බිලියන 1061ක ඉලක්කයක් රේගුවට අපි දුන්නා. නමුත් ලැබුණේ බිලියන 921යි. එයින් අපේ අයවැය පියවීමටත් බලපෑම් එල්ල වුණා. අධ්‍යක්ෂ ජනරාල්වරිය අයින් කරල වෙන කෙනෙක් පත් කරන්න තීරණය කළේ ඒකයි. මංගල කීවේය. අධ්‍යක්ෂ ජනරාල්වරිය පසුගිය දවස්වල කියපු දේවල් කරන්න අපි මාස තුනක් එතුමියට කල්දෙනවා. ඒ නිසා මම ගිය සතියේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගන්නවා’’ කියමින් මංගල සිය යෝජනාව ඉවත් කර ගත්තේය.


පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට එකම දිනකදී පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා කලින් සතියේ ඉදිරිපත් කර තිබූ අතර, ඒ පිළිබඳ සිය නිර්දේශය ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වජිර අබේවර්ධන කියා තිබිණි. එහෙත් ඔහු කලින් සතියේ කී පරිදි නිර්දේශ රැගෙනවිත් නොතිබිණි. සිය නිර්දේශ ඉදිරිපත් කරන්නට තවත් සතියක කාලයක් අවශ්‍ය බව වජිර අබේවර්ධන කීවේය. දැන් ඔබතුමාට සති දෙකක්ම කල් දුන්නා. ලබන සතියේ නම්, නිර්දේශ අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නට ඕනෑ යැයි ජනාධිපතිවරයා කීවේ වජිර දෙස බලමිනි.


ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට පැමිණ තිබුණේ ලිපියක් ද රැගෙනය. එය අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියකි. අගමැතිවරයා යටතේ ඇති නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිධුරය රිෂාද් බද්යුදින්ගේ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති ධුරයටම පැවරීමට එමගින් ඉල්ලා තිබුණි. ‘‘ආණ්ඩුව පිහිටුවන්න කලින් කිව්වේ විද්‍යාත්මක පදනම මත අමාත්‍යාංශ බෙදනවා කියලයි. කලින් මහාමාර්ග අමාත්‍යාංශයට උසස් අධ්‍යාපනයත් දාලා තිබුණා. ඊට පස්සේ ජල සම්පාදනයට උසස් අධ්‍යාපනය එකතු කරල. හරියට නම් උසස් අධ්‍යාපනය තියෙන්න ඕන එක්කො අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක. දැන් නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු අමාත්‍යාංශය වෙළෙඳ අමාත්‍යාංශයට දෙන්න කියනවා. මොකක්ද මේකෙ තිබෙන විද්‍යාත්මක පදනම. හරියට නම් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය තියෙන්න ඕන එක්කො අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක. නැත්නම් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට. එක එක්කෙනාගෙ බල ව්‍යාපෘති වෙනුවෙන් මේ විදියට අමාත්‍යාංශ වෙන් කරන්න මම ලෑස්ති නැහැ’’ යැයි ජනාධිපතිවරයා කේන්තියෙන් කීවේ එම ලිපිය ද පෙන්වමිනි. රිෂාද් බද්යුදින් කීවේ ‘‘ජනාධිපතිතුමනි මට මීට පෙර ආයතන 34 ක් තිබුණා. ඒක මේ පාර 26 ට අඩුවෙලා. ඒක නිසයි මේ ඉල්ලීම් කළේ’’ කියාය. එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.   


අරුවක්කාලු කසළ අංගනයට ලබන මාර්තු 15 වැනිදා සිට කසළ බාර ගන්නා බව චම්පික රණවක අමැතිවරයා කීවේය. ඔහු කීවේ ඕන කෙනෙකුට වාහනවලින් ඇවිත් එතනට කුණු කසළ බාරදිය හැකි බවය. එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉදිකර ඇති කසළ අංගනයක් බව ඔහු කීවේ ඒ ගැන පැහැදිලි කිරීමක් ද කරමිනි. මීතොටමුල්ල කසළ කන්ද ද නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් යොදවා නාගරික උද්‍යානයක් කිරීමේ කටයුතු අප්‍රේල් මාසයේ අරඹන බව චම්පික කීවේය. චම්පිකගේ පැහැදිලි කිරීමෙන් පසුව රිෂාඩ් බද්යුදින් හා රවුෆ් හකීම් යන දෙදෙනාත් කීවේ අරුවක්කාලු කසළ අංගනයට පුත්තලමේ ජනතාවගේ වි​රෝධතා තිබෙන බවය. මේක තියෙන්නෙ පුත්තලමේ ඉඳලා කි.මී. 35 ක් එහායින්. කරුණා කරලා මේ වැඩේ කඩාකප්පල් කරන්න හදන්න එපා යැයි චම්පික කියා සිටියේය. අනතුරුව කතා කළේ ජනපති මෛත්‍රීය. ඔහු කතා කළේ චම්පිකගේ උත්සාහය අගය කරමිනි. කොළඹ කුණු ගොඩගැහිල. කවුරුවත් අතගහන්නේ නැති වෙලාවක චම්පික ඇමැතිතුමා තමයි ඒකට මැදිහත් වෙලා විසඳුවේ. ඒ නිසා කවුරුවත් මේ වැඩේට අනවශ්‍ය විදිහට අතදාලා කඩාකප්පල් කරන්න එපා යැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.   


මේ අතර රවි කරුණානායක ඇමැතිවරයා නොක්කාඩුවක් කීවේ පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් ද ඉදිරිපත් කරමිනි. මම විදුලිය මිලදී ගන්න යනවා කියලා පත්තරවල පළවෙලා. මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාට ඒක තාම කැබිනට් එකට ඇවිල්ලත් නෑ. තවම මුදල් අමාත්‍යාංශයෙ නිර්දේශ දීලත් නැහැ. ඒ වුණාට පත්තරවල ගිහිල්ලා රවි කීවේය.