ජනාධිපතිධුරය අහෝසි කිරීමේ වුවමනාව කාගේද?


මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමයි මගෙන් ඇහුවේ

 

පසුගිය සතිය පුරාවටත් එජාපය තුළ සන්ධාන තැනීමේ හා අපේක්ෂක නම් කිරීමට අදාළ සාකච්ඡා මෙන්ම විවිධ පාර්ශ්ව අතරේ රාත්‍රී භෝජන සංග්‍රහ තරගය ද සිදුවිය.


නියෝජ්‍ය නායක සජිත් පිළිගැනීම සඳහා මාතරදී ඇමැති මංගල සංවිධානය කර තිබූ රැලියට වර්ෂාව මැදද අතිවිශාල ජනතාවක් එක් වූ අතර එජාප මැති-ඇමැතිවරු විශාල පිරිසක්ද ඔවුන් අතර වූහ.


ආණ්ඩුවට වසර හතරක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල් එදින රාත්‍රියේ සූදානම් කර තිබූ භෝජන සංග්‍රහයටද ඉහළ ප්‍රතිචාර ලැබිණ. එජාපෙ මැති-ඇමතිවරුන් 90 කට ආසන්න සංඛ්‍යාවක් ඊටද එක් වූ අතර එදින දහවල් මාතර රැලියට එක් වූ ජනතා නියෝජිතයින් බහුතරයද ඒ අතර සිටීම විශේෂත්වයකි.


“මේ දවස්වල ඔයගොල්ලන්ට රෑ කෑම බීම හැම තැනින්ම ලැබෙනව නේද? ඒත් මා දෙන්නේ ඩිනර් විතරයි. දේශපාලන සාකච්ඡා මෙතන නැහැ.” අරලියගහ භෝජන සංග්‍රහය ආරම්භයේදීම අගමැතිවරයා කීවේ උස් හඬින් සිනාසෙමිනි.


ඉන් පසු දිනවලද ඇමැති මංගල, රවී, සරත් ෆොන්සේකා වැනි අයද විවිධ රාත්‍රි භෝජන සංග්‍රහ පැවැත්වූ බවටත් එහිදී ජනපති අපේක්ෂක හා නව සන්ධානය ගැනත් විවිධ කෝණයෙන් කතා බහ කෙරුණු බවටද ආරංචි පළවිය.


බ්‍රහස්පතින්දා සුපුරුදු ලෙස අගමැතිවරයා ගෙවී ගිය සතියට අදාළ සිදුවීම් ගැන මැති ඇමතිවරුන් හා කතාබහ කළේ අරලියගහ මැදුරේදීය.


“ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලත් නැතුව මූහුද හත් ගව්වක් තියා අපේක්ෂක නම් කර පොහොට්ටුව හොඳටම නාලයි, ඉන්නේ. අප තව ටිකක් පරක්කු වුණාට කමක් නැහැ. ඒත් මේවා ඉක්මනින් විසඳා ගන්න ඕනෑ.”, සභානායක ලක්ෂමන් කිරිඇල්ල කීවේ අගමැති රනිල්ටය.


“ඔව්. ඒ වැඩපිළිවෙළ වේගයෙන් වෙනවා. සන්ධාන ව්‍යවස්ථාව ගැන ලැබුණු සංශෝධනවලට අදාළ ප්‍රශ්න විසඳලා ඉවරයි. සන්ධානයේ ප්‍රධානත්වය එජාපයටයි. දැන් තිබෙන්නෙ සන්ධාන ලේකම් හා අපේක්ෂක කාගේත් එකඟත්වයෙන් පත්කර ගැනීමයි.” අගමැතිවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.


“සන්ධානෙ ලේකම්කමත් එජාපයටද?” නවීන් දිසානායක ප්‍රශ්න කළේද අගමැතිගෙනි.


“ලේකම්කම තීන්දු කරන්නේ අපියි. ලේකම් එජාපයෙන් වගේම වෙනත් පක්ෂයකින් වෙන්නත් බැරි නැහැ. මේක අප තනියම කර බැහැ. අනිත් පක්ෂත් සතුටු වෙන විදියට තීන්දු ගන්න වෙනවා.”, අගමැති කීය.


“දැන් අපේ අපේක්ෂක තේරීමයි, ඔහුගේ ජනපතිවරණ ප්‍රතිපත්ති හදන එකයි කොහොමද වෙන්නේ?” චමින්ද විජේසිරි විමසීය.


“අපේක්ෂකගේ ප්‍රතිපත්ති සැකසීමට ඇමැති රාජිතගේ නායකත්වයෙන් කමිටුව දැම්මා. ඒකට එජාප අය වගේම අනිත් පක්ෂවල සාමාජිකයිනුත් ඇතුළත්”, අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කරුණු පැහැදිලි කළේය.


“දැන් අපේ අපේක්ෂක කවුද කියලයි, හැමෝම අහන්නේ. මිනිස්සු අතරින් අපේක්ෂකයෙකු මතුවෙලා ඉන්නවා”, හේෂා විතානගේ කීවේ එවැන්නකි.


“සන්ධානය හදා ඒ පදනම මත අපේක්ෂක තේරීම නිසි වේලාවට කළ යුතුයි. අපේක්ෂකත්වය තාම “ඕපන්” කරලයි, තිබෙන්නේ කියන එකයි මට තේරෙන්නේ.” දිනේෂ් වීරක්කොඩි කීය.


“රනිල්-සජිත්-කරූ හා සුළු ජාතික පක්ෂ භේදය නැතුව එකමුතු වුණාම අපේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බැහැ. ඒ නිසා සියලු දෙනා සමගි කිරීම වගේම සියලු පාර්ශ්ව නම්‍යශීලී වීමත් අත්‍යවශ්‍යයි”, ලක්ෂමන් කිරිඇල්ලගේ අදහස සියලු දෙනා අනුමත කළහ.


“ජනාධිපතිවරණයට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එජාපෙ උත්සාහ කරන්නේ ගෝඨට බයවෙලා කියා සමහර මාධ්‍යවල යනවා. මේ කතාව මොකක්ද?” මහාචාර්ය ආශු මාරසිංහ විමසීය.


“සම්පූර්ණ බොරුවක්, ඔය පැතිරෙන්නේ. මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියා ජනාධිපතිතුමා මගෙන් අැහුවා. කැබිනට් එක ඉවරවෙලා ජනාධිපති කාර්යාල කාමරයේදී තමයි, මේ ගැන මුලින්ම අැහුවේ. රවීත් මේකට මැදිහත් වුණා. ඇත්ත කතාව රවී දන්නවා.’


‘ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ගෙදරටත් එන්න කියා මේ ගැන කතා කළා. මා කිව්වේ ඡන්දය අත ළඟ තිබෙද්දි මේක දැන් කරන්න පුළුවන්ද කියලයි. මහින්දලත් කැමති නම් සාකච්ඡා ඉදිරියට ගෙන යන්න මගෙන් බාධාවක් නැහැයි කියන එක විතරයි මා කිව්වේ. ඊට පස්සේ පක්ෂ නායකයින්ගේ හමුව තියා මේක පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන් කියලත් මගේ අදහස් කිව්වා විතරයි” අගමැතිවරයා පැහැදිලි කළේය.


“හැම කුණු ගොඩක්ම බේරුවල බොක්කට වගේ හැම දේශපාලන කුණු කන්දක්ම එජාපය පිට පටවලා අනිත් අය ඇඟ බේර ගන්නා පහත් දේශපාලන හා මාධ්‍ය සංස්කෘතියක් දැන් රටේ තිබෙන්නේ.” නවීන් දිසානායක කී දේ සියලු දෙනා අනුමත කළහ.


“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විවිධ පාර්ශවවලට සහන දුන්නා අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් රටේ අත්‍යවශ්‍ය ආහාර ගෙන්නන ප්‍රධානම ආනයනකරුවන්ට දුන් සහන ක්‍රියාත්මක කරන්න රාජ්‍ය හා පෞද්ගලික බැංකු අදි මදි කරනවා. ඒ මිනිස්සු හිරවුණොත් රටේ අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ඇතිවෙන්නත් බැරි නැහැ.” අගමැතිවරයා හමුවීමට පැමිණ සිටි රෝහිත බෝගොල්ලාගම කීවේ එවැන්නකි.


“මගේ මැදිහත් වීමෙන් ආණ්ඩුව ආහාර ආනයනකරුවන්ට සහන දෙන්න ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තහම මහ බැංකු අධිපති සහ රටේ සියලු බැංකු ඊට ප්‍රතිචාර දැක්විය යුතුමයි. මගේ උපදේශකයෙකු හැටියට දිනේෂ් වීරක්කොඩි මැදිහත් වෙලා ප්‍රශ්නය නිරාකරණය කරාවි.”, අගමැතිවරයා බෝගොල්ලාගමට පිළිතුරු දුන්නේය.


“ගෝඨා හමුදා ඇඳුමට උඩින් සුදු රෙදි පෙරොවාගෙන ආවට එයාගේ කෙරුවාව ආරම්භයේදීම පෙන්නුම් කළා. කියන දේ අහගෙන යනවා මිසක් ප්‍රශ්න අහන්න කඩේ යන මාධ්‍යවලටත් තහනම දැම්මා.


“තරුණ සමුළුවෙන් මාධ්‍යකාරයො එලවල දැම්මා. ඔබට සතුටුයිද දැන් කියා ඒ මාධ්‍යකරුවන්ගෙන් අහන්න කියා අප මහින්ද රාජපක්ෂට කියනවා”, ගයන්ත කරුණාතිලක කීවේ කාගේත් සිනා මැදය.


“පොහොට්ටු තරුණ සමුළුවට ආපු තරුණයන්ට ටෙලිෆෝන් එක හෝ කරේ තිබුණ බෑග් එකවත් ගෙනයන්න දී නැහැ. ඒ මදිවට තිර පිටපත ලියා ගෝඨගෙන් ප්‍රශ්න අහපු තුන් දෙනාගෙන් එක්කෙනෙකු පාර්ලිමේන්තුවේ මයික් කඩා රාජ්‍ය දේපළ හානි කරපු කෙනායි.


“ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලීසියේ ප්‍රධානියා ලංකාවට ඇවිත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉතා කෙටි කලකදී මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙන් මුළිනුපුටා දමන්න ක්‍රියා කිරීම ගැන ආරක්ෂක අංශ ප්‍රමුඛව ජනාධිපති-අගමැති හා ආණ්ඩුවට ප්‍රශංසා කිරීම රටක් වශයෙන් අප ලැබූ විශාල ජයග්‍රහණයයි.” ඇමැති නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.


“ඊයේ පන්නලදී පොඩි බෝම්බයක් දෙකක් හම්බු වෙලා. පොහොට්ටුවාදී අය මේක මාර විදියට උලුප්පලා පෙන්නනවා. ඒ වගේම පොහොට්ටු අපේක්ෂකයට ලකුණු දමා ගන්න මෙවැනි සැලසුම්ගත කුමන්ත්‍රණ දියත් වීමට ඇති ඉඩ කඩ ගැන බුද්ධි අංශ සැක පළකර තිබීම ගැන අප ආණ්ඩුව හැටියට දැඩි අවධානය යොමු කරන්න ඕනෑ’. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“ඇමැති රවීගේ ගෙදර අගමැතිතුමයි, ඇමතිවරුන් කට්ටියකුයි තානාපතිවරුයි හමු වුණා කියන්නේ ඇත්තද?”, දිනේෂ් වීරක්කොඩි විමසීය.


”ආ ඔව්. ඒක සාමාන්‍ය හමුවක්. තානාපති කාර්යාලවල පාටිවලට අපට ආරාධනා කරනවා වගේ රවීගේ ගෙදර පාටියට තානාපතිලටත් ආරාධනා කර තිබුණා. මමයි-රාජිතත් ගියා. තවත් කට්ටිය හිටියා. ඉන්දියාව-ඕස්ට්‍රේලියාව කැනඩාව ස්කැන්ඩිනේවියානු රටවල් ඇතුළු තානාපතිවරුන් හුඟ දෙනෙකුත් ඇවිත් හිටියා. ඒක සාමාන්‍ය සුහද හමුවක්”, අගමැතිවරයා පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි.


සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බව කියන මන්ත්‍රීවරු තිස්තුන් දෙනෙක් ඉකුත් බදාදා මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී හමුවී ඉදිරි පියවර සාකච්ඡා කළහ. තවත් සමහරුන් මෙම රැස්වීමට පැමිණිමට සිටියද ඔවුන් සිටියේ දුරබැහැරය. එහි පැමිණි මන්ත්‍රීවරයකු තම සගයකුට කීවේ රැස්වීමට නොපැමිණෙන්නැයි සමහරුන්ට ඉහළින් බලපෑම් පැමිණ ඇති බවය.


එහිදී පිරිස තීන්දු කළේ‍ එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්නැයි පක්ෂ නායකයන්ට මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් භාරදිය යුතු බවය. මෙම ලිපියට මන්ත්‍රීවරුන් 60කගේ අත්සන් ලබාගත හැකි බව එහිදී කියැවිණ. දැනට එජාපයේ සිටින මන්ත්‍රීවරුන් ගණන 75කි.


මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, චන්ද්‍රානි බණ්‍ඩාර, රවි සමරවීර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා ඇතුළු 33 දෙනෙක් ​රැස්ව සිටියහ.


“සුළු ජාතික පක්ෂවල සහාය සම්පූර්ණයෙන්ම අපට ගන්න පුළුවන්...” මංගල සමරවීර ඇමැතිවරයා කීවේය.


ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතා අගමැති කිරීමට සූදානම් වන්නේදැයි මෙහිදී මන්ත්‍රීවරයෙක් විමසීය. එහිදී සජිත් කීවේ ජනාධිපතිවරයා සමඟ මේ මොහොතේ ආණ්ඩුවක් පිහිටුවීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවය. ලිපියට අත්සන් තැබීම ඒ මොහොතේ සිටම සිදුවූ අතර සිකුරාදා උදෑසන වනවිට අත්සන් 30ක් ලැබී තිබූ බව සජිත්ට හිතවාදී මන්ත්‍රීවරු කියති.


ලුණුගම්වෙහෙර, කුඩා ගම්මාන 5, “ශ්‍රී පුෂ්පාරාම” විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් සසුනට පූජා කිරීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඇරයුමින් ශ්‍රී අමරපුර මහා නිකායේ සංඝනායක කොටුගොඩ ධම්මාවාස හිමියන් ද වැඩම කර සිටීම කාගේත් ප්‍රබෝධයට හේතු විය. පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව මුල් වටයේ රට පුරා චෛත්‍ය 1,125ක් ඉදිකරනු ලබන අතර ඉන් චෛත්‍ය 5ක්ම ඉදිවන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ය. මහ නාහිමියන් සජිත්ගේ කනට ළංවී පැවැසුවේ ‘සතුටුයි. අපි විශේෂයෙන් ම ආවේ ඔබතුමාට කරන උපහාරයක් හැටියටයි’ කියාය. අනතුරුව උන්වහන්සේ රහසින් කීවේ සජිත් අපේක්ෂා නොකළ පුවතකි. ‘අපි, අමරපුර සංඝ සභාව ඔබතුමාට ගෞරව නාමයක් පිරිනමන්නට තීරණය කළා’ යි උන්වහන්සේ පවසද්දී සජිත් කීවේ ‘නායක හාමුදුරුවනේ, ඒක මට ලොකු ගෞරවයක්’ කියාය. එදිනම ඊළඟට යෙදී තිබුණේ රුපියල් ලක්ෂ 323ක වියදමින් ඉදි කළ ලුණුගම්වෙහෙර, දකුණු ඇළ. ‘යුවරජ මහානාග පාලම’ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවයි. එහිදී හමුවූ පුද්ගලයන් බොහෝ දෙනකු කීවේ පෙර රජ දරුවන්ගේ නමින් නව පාලම් නම් කිරීම යහපත් දෙයක් බවයි. වලස්මුල්ල, කිරම ඔය හරහා ‘මහරජ වළගම්බාහු පාලම’ සහ තිස්සමහාරාම, කිරිඳි ඔය හරහා ‘මහරජ ගාමණී අභය පාලම’ ද විවෘත වූයේ ඒ සමගම ය. ‘රටට ජාතියට සේවය කළ අපේ හෙළ රජ පරපුරට උපහාරයක් හැටියටයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. කෝ පහුගිය කාලේ හිටපු ඇත්තෝ මේ වගේ දෙයක් වත් කළා ද?’ සජිත් ඇසුවේය. 260 වැනි සහ 261 වැනි උදා ගම්මාන වන ‘සහස්පත්ගම’ සහ ‘සිතුපියගම’ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවවලට පසුව යෙදී තිබුණේ රුපියල් ලක්ෂ 456ක වියදමින් ඉදිකළ කරමැටිය මහජන පොළ විවෘත කිරීමයි. එහි ගිය සජිත්ට ප්‍රදේශයේ ජනතාව කීවේ අපූරු කතාවකි. ‘මෙහේ පොහොට්ටුවේ දේශපාලන බලවතා ඊයේ කැත වැඩක් කරන්ඩයි හැදුවේ. එයා ඊයේ ඇවිත් මේ අලුත හදපු පොළ බලහත්කාරයෙන් විවෘත කරන්න බැලුවා. අපි නොහිටින්ඩ එයා මේක ඊයේ විවෘත කරනවා. අපි රෑ එළිවෙන කල් මුර දාගෙනයි හිටියේ.’ ඊට පසුවදා බෙලිඅත්තේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍යංශ ජංගම සේවාවෙන් 1,600 දෙනකුට පමණ ප්‍රතිලාභ අත්කර දිය හැකි විය. මෙහිදී හමුවූ වියපත් මාතාවක් කීවේ ‘අනේ පුතේ අවුරුදු පහළොවක් තිස්සේ ගෙයක් හදන්න බලාන උන්නා. අද තමයි, ගෙයක් හදන්ඩ උදව්වක් ලැබුණේ. බොහෝම ස්තුතියි’ කියයා. 262 වන සහ 263 වන උදා ගම්මාන වන දෙහිඅත්තකණ්ඩියේ ‘වැවසරගම’ සහ ‘සේනානිගම’ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව බලා යමින් සිටි සජිත්ගේ මෝටර් රථය ඉස්සර කර කඩිනමින් ඉදිරියට ඇදී ගියේ නවීන ගිලන් රථයකි. ඉතා අපහසුවෙන් සංඥා කර එම ගිලන් රථය නවතාගෙන ‘කොහේද මේ කඩා බිඳගෙන දුවන්නේ? කාට හරි කරදරයක්වත් ද?’ කියා රියැදුරාගෙන් අසද්දී ඔවුන් කීවේ ‘අපි මේ ආවේ ඔබතුමාව ආරක්ෂා කරන්නයි’ කියාය. ඇතිවූ කෝපය මැඩ ගනිමින් සජිත් කීවේ ‘මේවා අරන් දුන්නේ ප්‍රභූ ආරක්ෂාවට නෙවෙයි. කරුණාකරලා ඒක මතක තියාගෙන වහාම තමන් අයත් රෝහලට වාර්තා කරලා දුප්පත්, අහිංසක රෝගීන් වෙනුවෙන් වැඩ කරන්න’ කියාය.   


23 වනිදා මංගල සමරවීර ඇමැතිවරයා සංවිධානය කළ ‘සජිත් එනවා’ මාතර මහ රැළිය පැවැති සනත් ජයසූරිය ක්‍රීඩාංගණය කලින් දා සිට පැය 15 කට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති අනෝරා වැස්සෙන් මඩ වගුරක් වී තිබුණේය. කොළඹ සිට පැමිණි මාධ්‍යවේදී කණ්ඩායම් සියලු බලාපොරොත්තු අතහැර ආපසු යාමට සූදානම් වෙද්දී දහවල් වැස්ස නැවතුණේය. මඩ ගොහොරක්ව තිබූ පිටිය සවස 3 වෙද්දී අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගියේය. වේදිකාවේ හිඳ සිටිය දී මංගල ඇසුවේ ‘සජිත් මේක නම් මහ පුදුම එකතු වීමක් නේද?’ කියාය. සජිත් කීවේ ‘ඇමැතිතුමා අතගහපු වැඩක් ඉතිං අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවනේ’ කියාය.  


2018 ඔක්තෝබර් 26 දින සිදුවූ ආකාරයෙන්ම නව අගමැතිවරයකු දිවුරුම් දීමේ සූදානමක් පවතින බවට පැතිර ගිය පුවත පසුගිය සතියේ දේශපාලන කෙළිබිම උණුසුම් කළ අලුත් මාතෘකාවක් බවට පත්විය. මුලින්ම සමාජ මාධ්‍යයන්හි උපත ලබා ප්‍රධාන පෙළේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙතද ඉගිලී ගිය මෙම පුවත සමඟ කියැවුණේ එවන් තත්ත්වයක් යළි ඇති වුවහොත් කතානායකවරයා සිය ධුරයට සමුදී ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවය.


මේ පිළිබඳව කෙරුණු විමසීම්වල අතොරක් නොවූ තැන කරු ජයසූරිය මහතා කීවේ “කිසි ලෙසකත් එවන් තත්ත්වයක් හමුවේ පසුබැස යාමට තමා සූදානම් නොමැති බවයි. ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ඕනෑම ක්‍රියාදාමයක් හමුවේ ඉඳුරාම ඊට එරෙහිව සටන් කරනු මිස වගකීමෙන් මිදී පලායාම කිසිලෙසකින්වත් සිය පිළිවෙත නොවන බව ඔහු අවධාරණය කළේය.


වහාම සිය මාධ්‍ය අංශය ලවා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම කියා සිටියේ ‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පසුගිය වසරේ තමාගත් ක්‍රියා මාර්ග අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද පූර්ණ ලෙස අනුමත කළ බවත් එම ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසකින් තොරව පිහිටා අඛණ්ඩව මව්බිමේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින” බවත්ය.