ජනාධිපති මෛත්‍රීගෙන්​ දේශපාලන බෝම්බයක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් බදාදා දේශපාලන බෝම්බයක් අතහැරියේ දේශපාලන පොරපිටියම කැලඹිල්ලට පත් කරමිනි. දේශපාලනය ගැන උනන්දුවන බොහෝ දෙනා කීවේ ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදය එමගින් පෙන්නුම් කරන බවය. ජනාධිපතිවරයා සිය ප්‍රකාශය කළේද සුවිශේෂ තැනකදීය. ඒ අපවත් වී වදාළ මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ 72 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකදීයි. ජනාධිපතිවරයා ඊට සහභාගි වූයේ ද අනාරාධිතව වීම විශේෂත්වයකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා වන්නටත් පෙර, සෝභිත හිමියන් සමග පැවැත්වූවේ සමීප සම්බන්ධයකි. ජනාධිපතිවරයා අනාරාධිතව වුවද ඊට සහභාගි වී තිබුණේ උන්වහන්සේට කරන ගෞරවයක් වශයෙනි.


ජනාධිපතිවරයාට සිය ආන්දෝලනාත්මක කතාව කරන්නට පදනම ද සකසා තිබුණේ උත්සවයේදී භික්ෂූන් වහන්සේ නමක් කළ අනුශාසනාවකි. ජනාධිපතිවරයා එයද පදනම් කර ගනිමින් සිය කතාව විනාඩි 42ක් තිස්සේ කළේ රැස්ව සිටි පිරිසේ ද ඇස් උඩ ඉන්දවමිනි. ඒ තරමටම ජනාධිපතිවරයාගේ කතාව ආන්දෝලනාත්මක වී තිබිණි. පොදු අපේක්ෂකයකු දමා, ආණ්ඩුවක් ගෙනත්, මහ බැංකුව කඩනු ඇතැයි සෝභිත හිමියන් අපේක්ෂා නොකළ බව කී ජනාධිපතිවරයා ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු ගෙන ආ දින 100 වැඩපිළිවෙළ බොරුම වැඩක් බව කීවේ උදාහරණ ද එකින් එක ගෙනහැර දක්වමිනි.


2015 තිබුණ වාතාවරණය අනුව කවුරු දැම්මත් දිනන බවට සමහරුන් කරන ප්‍රකාශවලට ද ජනපති මෛත්‍රී උත්තර දුන්නේ කට උත්තර නැති වෙන්නමය. ‘‘දාන්න මිනිහෙක් නැති නිසා තමයි මම දාගත්තේ’’ යැයි ජනාධිපතිවරයා කීවේය. ජනපති මෛත්‍රීගේ එම ප්‍රකාශයෙන් ඇති වූ දේශපාලන කැළඹිම තවමත් හමාර වී නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවත්, සමස්ත ලංකා කාරක සභාවත් අද (03) සවස 5.00ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී රැස්වන්නේ, මේ දේශපාලන කැළඹීමත් සමග වීම ද විශේෂත්වයකි.


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ගිය සති අන්තයේ මාතර ගියේ උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති ‘‘හෘද සාක්ෂියේ නිදහස’’ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණයට සහභාගි වීමටය. ඊට කලින් දිනයේ එම කණ්ඩායම චන්දිම වීරක්කොඩිගේ උපන් දින සාදයට එක්ව සිටියෝය. එය පැවැත්වුණේ චන්දිමගේ කොළඹ පිහිටි නිවසේය. ලක්ෂ්මන් යාපා ඊට සහභාගි නොවූයේ ඔහු මාතර රැස්වීමේ සංවිධාන කටයුතු සොයා බලන්නට ගොස් තිබූ බැවිනි. අනුර යාපා විදේශගතව සිටි නිසා ඊට සහභාගි නොවීය.


උපන් දින සාදය අවසන් වී 16 දෙනාගේ කණ්ඩායමේ කොටසක් රාත්‍රියේම මාතර බලා පිටත්ව ගිය අතර, තවත් පිරිසක් මාතර ගියේ පසුවදා උදේ පාන්දරය. උදේ කෑමටත් එක්ක සියලු දෙනා එකට එකතු වුණේ මාතර තානායමේය. ටී.බී. ඒකනායක එදින මාතරට නොපැමිණියේ සඳුදා එෆ්.සී.අයිඩීයට කැඳවා තිබූ බැවිනි. එහිදී පිරිස සාකච්ඡා කළේ සඳුදා ටී.බී.ට සහාය දක්වමින් ඔහු සමග 16 දෙනාගේ කණ්ඩායම ද එතනට යායුතු බවය.
තානායමෙන් උදේ කෑම ගෙන පිරිස කෙළින්ම මාතර බෝධිය අසලට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අනතුරුව පිරිස ඇවිදගෙනම උයන්වත්ත ක්‍රීඩාංගණයට ගියේ සම්මන්ත්‍රණයට සහභාගි වීම වෙනුවෙනි. සම්මන්ත්‍රණයට විශාල පිරිසක් පැමිණ සිටි අතර එය සංවිධානය කර තිබුණේ ලක්ෂ්මන් යාපා විසිනි. පිරිසට දවල් ආහාර සූදානම් කර තිබුණේ‍ මාතර නගරයේ හෝටලයකය.


සඳුදා උදේ ටී.බී. ඒකනායක සමග එෆ්.සී.අයි.ඩියට ගිය 16 දෙනාගේ කණ්ඩායම හැන්දෑවේ ගාල්ල බලා පිටත්ව ගියේ ඩිලාන් පෙරේරාගේ ආරාධනයකට අනුවය. ඩිලාන්ගේ පියා වන දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාගේ උපන් දිනයත්, ඔහුගේ නීතිඥ දිවියට වසර 62ක් පිරීමත් වෙනුවෙන් සාදයක් සූදානම් කර තිබුණේ ආණ්ඩුකාර නිල නිවසේය. 16 දෙනාගේ කණ්ඩායමෙන් සුසිල්, ලක්ෂ්මන් යාපා, ලක්ෂ්මන් පෙරේරා, සාරානාත්, චන්දිම, ටී.බී. ඒකනායක, අනුරාධ ජයරත්න, ආණ්ඩුවෙන් ලසන්ත අලගියවන්න, මනුෂ, මලිත් ජයතිලක, ඒකාබද්ධ විපක්ෂයෙන් චමල් රාජපක්ෂ, මුතුහෙට්ටිගම, මහින්දානන්ද සහ සී.බී. රත්නායකත් මහ ඇමැතිවරුන් ගෙන්, ෂාන් විජයලාල් සිල්වා, චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වී සිටියහ. චමල් ජනාධිපති අපේක්ෂකයා බව කියමින් ඩිලාන් කැම්පේන් එකක් ද කළේ මේ අතර වාරයේය. රෑ වෙද්දී සාදය රස ගන්වමින් සී.බී. රත්නායකත් මහින්දානන්දත් ගී ගයන්නට ඉදිරිපත් වූයේ මැති ඇමැතිවරුන්ගේ ඉල්ලීමකට අනුවය.


ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ තවත් මාතෘකාවක් වූයේ අර්ජුන ඇලෝසියස්ගෙන් සල්ලි ගත් 118 දෙනා කවුද යන්නය. එම පිරිස කවුරුන්ද යන ලෙස හෙළි කරන්නැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව සිවිල් සංවිධාන ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම ඉල්ලීම කර තිබුණේ ජනාධිපති කාර්යාලයට ලිපියක් ද බාර දෙමිනි. ඔහු කියා තිබුණේ තමාට මෙය ලිඛිතව ඉල්ලන්නැයි ජනාධිපතිවරයාගෙන් ද අවසර ලැබුණ බවකි.


අර්ජුන ඇලේසියස්ගෙන් මුදල් ලැබුණ බවට දයාසිරි ජයසේකරට ද ගිය සතියේ චෝදනා එල්ල විය. ඔහු මාධ්‍ය හමුවක් ද කැඳවමින් කීවේ තමාගේ ඡන්ද වැඩවලට ඇලෝසියස්ගේ සමාගමෙන් ලක්ෂ 10ක චෙක්පතක් ලැබුණ බවය. මේ අතර දයාසිරි ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම ගිය බදාදා ජනාධිපති ලේකම්වරයා හමුවී ඉල්ලීමක් කර තිබුණේ ඇලෝසියස්ගෙන් මුදල් ගත් අනෙක් 118 දෙනා හෙළි කරන ලෙසය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එහි ඇමුණුම් වශයෙන් ඉදිරිපත් වූ ලිපිගොනු රැසක් තවමත් ඇත්තේ රහසිගතවය. දයාසිරි, සුසිල්, තිලංග, ලක්ෂ්මන් යාපා, ඩිලාන් ඇතුළු පිරිස ගොස් ඉල්ලා සිටියේ එළියට දමා නැති එම තොරතුරු ද හෙළිදරව් කරන ලෙසය. ජනාධිපති ලේකම්වරයා කියා තිබුණේ තමන්ට ලැබුණ වාර්තාවල දයාසිරිගේ නමක් සඳහන් නොවූ බවය. ඔහු දයාසිරි ද කැඳවාගෙන ගොස් කබඩ් එකක් පෙන්වා එහි තොරතුරු ඇත්දැයි බලන ලෙස දන්වා තිබිණි. එහෙත් එම තොරතුරු එහි නොවිය. පසුව ජනාධිපති ලේකම්වරයා කියා තිබුණේ කොමිසමට ඉදිරිපත් වූ තොරතුරුවලින් සංවේදී තොරතුරු සියල්ල ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා ඇති බවය. ලොරි බට්ටෙක් තරම් ලිපි ගොනු එහි ඇතැයි ද පවසා ඇති ලේකම්වරයා දැනුම් දී ඇත්තේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් අවශ්‍ය තොරතුරු ඉල්ලුම් කරන ලෙසය.