ජනාධිපති අලුත් වැඩකට අතගසයි


 

ජනාධිපතිවරයා ගිය සතියේ අලුත් වැඩකට අත ගැසුවේය. ඒ ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන අලුත් මුහුණුවරකින් ආරම්භ කරමිනි. එහි ආරම්භක උළෙල පැවැත්වූයේ කැකිරාව ප‍්‍රදේශයේය. ජාතික වප් මඟුල් උළෙලින් ආරම්භ වූ එම වැඩ සටහන රට පුරා ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අරමුණය. මේ යටතේ වගා නොකරන ඉඩම් වහාම වගාවට යොදා ගැනීම රජයේ ඉලක්කය වී ඇත. ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන් හා රජයේ නිලධාරින්ද කැඳවා ගිය සතියේ ඔවුනට උපදෙස් දුන්නේ මේ වැඩ සටහන කරට ගෙන හොඳින් කරන ලෙසය.   


මේ අතර ජනාධිපතිවරයා ගිය සති අන්තයේ අනුරාධපුරයට ගියේ විශේෂ ආගමික උත්සවයක් වෙනුවෙනි. එය පැවැත්වූයේ රුවන්වැලි සෑය අභියසය. අටපිරිකර දෙදාහක් රුවන්වැලි සෑයට පූජා කිරීමේ එම ඓතිහාසික පින්කම සංවිධානය කරන්නට මූලික වී තිබුණේ මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායකය. එය ජනාධිපතිවරයා වෙනුවෙන් කර තිබූ බාරයක් ඔප්පු කිරීමකි. සරත් ඒකනායකද අටපිරිකර රැගෙන කල්වේලා ඇතිවම අනුරාධපුරයට පැමිණ සිටියේය. ජනාධිපතිවරයා එද්දි දුමින්ද දිසානායක, හිටපු මහ ඇමැති පේෂල ජයරත්න යන ඇමැතිවරුද, තිස්ස කරලියද්ද හිටපු ඇමැතිවරයාද පැමිණ සිටියහ. ඔවුන් සමඟද කතාබහ කරමින් රුවන්වැලි සෑය අසලට ගිය ජනාධිපතිවරයා පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් වන්දනා මාන කළේය. රුවන්වැලි සෑයෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේද වැඳ පුදා ගත්තේය.   


මේ අතර ජනාධිපතිවරයා ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් හා මහ ඇමැතිවරුන් සතියකට වරක් හමුවන්නට තීරණය කර ඇත. ඉකුත් සතියේ ජනාධිපතිවරයා ඔවුන් හමුවූයේ ගාල්ලේදීය. මේ සතියේ බ‍්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයා ඔවුන් හමුවූයේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේය. රාත්‍රී 7.00ට පමණ ඇරැඹි සාකච්ඡාව රාත්‍රී 9.00ද පසුවනතුරු පැවැත්විණි. ජනාධිපතිවරයා මැති ඇමැතින්ට එක් පණිවිඩයක්ද දුන්නේය. ඒ එතන කතා බහ කරන කිසි දෙයක් එළියට ගොස් මාධ්‍යයට නොකියන්නැයි කියාය.