ජනපතිගේ හදිසි සෝදිසිය


 

 

  • ආර්ථිකය ගොඩගන්න අලුත් කාර්යාංශයක්

 

කොළඹ දේශපාලන කරළියේ පසුගිය සතියේ දකින්නට ලැබුණේ තරමක නිහැඬියාවකි. නත්තල් නිවාඩුවත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැති ගංවතුරත් ඊට තදින්ම බලපා තිබිණි. නත්තල් නිවාඩුව ගත කරන්නට මැති ඇමැතිවරුන් ගම්බිම් බලා ගොස් සිටි අතර තවත් සමහරුන් සිටියේ විදේශගත වෙලාය. මේ නිසා කොළඹ දේශපාලන පොරපිටිය ගිය සතියේ නිවාඩු ස්වරූපයක් ගෙන තිබිණි.  


 ඇමැතිවරුන් වැඩි දෙනකු කොළඹ නොසිටි නිසා ගිය සතියේ කැබිනට් රැස්වීම ද නොපැවැත්විණි. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ සතියේ බද‌ාද‌ා හැන්දෑවේය. එහෙත් ගිය බද‌ාද‌ා නත්තල් දිනය වූ නිසා එදින නිවාඩු දිනයකි. බද‌ාද‌ා නිවාඩු දිනයක් නම් කලින් දින කැබිනට් රැස්වීම කැඳවන්නට ජනාධිපතිවරයා පියවර ගනී. එහෙත් ගිය අඟහරුවාද‌ා කැබිනට් රැස්වීම නොපැවැත්වුණේ ඇමැතිවරුන්ට ද නත්තල් නිවාඩුව ගත කරන්නට ඉඩකඩ දිය යුතු බැවිනි.  


 කැබිනට් ඇමැතිවරුන්ගේ විෂය පථය මීට ටික දිනකට පෙර ජනාධිපතිවරයා විසින් ගැසට් කරනු ලැබීය. එහෙත් රාජ්‍ය ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් මේ සතිඅන්තය වනවිටත් ගැසට් කර නොතිබිණි. ඇතැම් කැබිනට් අමාත්‍යාංශවලට රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ සිටිති. රාජ්‍ය ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවලට වෙනම ලේකම්වරුන් ද පත්කර ඇති නමුත් ඔවුන්ට විෂය පථයන් ගැසට් නොකිරීම ඇතැම් තැන්වල ගැටලුකාරී තත්ත්වයන්ට ද හේතු වී තිබූ බව වාර්තා විය. ඇතැම් කැබිනට් ඇමැතිවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට වෙනම කාර්ය භාරයන් පවරා ඇති නමුත් සමහරුන් එවැනි විෂය පථයන් වෙන්කර දී නැති බවට ද ගිය සතියේ වාර්තා විය. එළිපිට ඒ ගැන කතාබහ නොකළ ද අමාත්‍යාංශවල අභ්‍යන්තර ගැටලු නිර්මාණය වී තිබූ බව ද වාර්තා විය.  


මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැතිවරුන්ට වෙනම විෂය පථයන් බාර දෙන්නට තීරණය කර ඇති බව ද දැනගන්නට ලැබිණි. ඒ අනුව එක් එක් රාජ්‍ය ඇමැතිවරයාට පැවරෙන විෂය පථයන් ඇතුළත් ලේඛනයක් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් ගිය සතියේදී සකස් කරන ලද බවට ද ආරංචි පැතිර ගියේය. ඒ ලැයිස්තුව කැබිනට් ඇමැතිවරුන්ට ද යවා ඔවුන්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව පැවැසේ.  


 ආණ්ඩුව ප්‍රසිද්ධියේ නොකීව ද මහාභාණ්ඩාගාරය මූල්‍ය අර්බුදයක සිටින බව ආණ්ඩුවෙන් වරින් වර නිකුත් වන චක්‍රලේඛ ආදියෙන් පැහැදිලිය. මහාභාණ්ඩාගාරයේ චක්‍රලේඛ නිකුත් කරමින් දිගින් දිගටම කියා සිටින්නේ අමාත්‍යාංශවල, රාජ්‍ය දෙපාර්තමේන්තුවල, සංස්ථා මණ්ඩලවල වියදම් පාලනය කරන ලෙසය. අත්‍යවශ්‍ය වියදම් හැර අනෙකුත් සියලු අනවශ්‍ය වියදම් කපා හරින ලෙස මහා භාණ්ඩාගාරය ඔවුන්ට දැනුම් දී ඇත. එය රජයේ වියදම් කළමනාකරණයට වෙන් වූ අරපිරිමැස්මට ද ඉතා වැදගත් වූවකි. ගිය සතියේ චක්‍රලේඛ දෙකක්ම මහාභාණ්ඩාගාරයෙන් නිකුත් වූයේ රාජ්‍ය ආයතනවල වියදම් සීමා කරන ලෙස උපදෙස් දෙමිනි. රාජ්‍ය ආයතනවල ජල බිල්, ලයිට් බිල්, දුරකතන බිල් අඩුකර ගන්නා ලෙසත් දේශීය හා විදේශීය සංචාර සීමාකරන ලෙසත් මහා භාණ්ඩාගාරය දන්වා තිබුණේ චක්‍රලේඛ දෙකක් නිකුත් කරමිනි. මේ අතර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඉකුත් 19 වැනිද‌ා පිටු 4 කින් යුත් විශේෂ චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවා තිබිණි. එමගින් දැනුම්දී තිබුණේ විදේශ අමාත්‍යාංශය හැරුණු කොට වෙනත් කිසිදු අමාත්‍යාංශයක් හෝ ආයතනයක් පළාත් සභාවක් විදේශ රාජ්‍යයන් සමඟ හෝ ඔවුන්ගේ නියෝජිතයන් සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමෙන් වළකින ලෙසය.  
 ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ජාතික ආර්ථික සභාව මේ වනවිට අහෝසි වී හමාරය. එය අහෝසි කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ජාතික ආර්ථික සභාව වෙනුවට අලුතින් ස්ථාපිත කරන්නට යන ආයතනය වන්නේ ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයකි. එය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවනු ලබන ආයතනයකි. මීට අද‌ාළ කැබිනට් සංදේශයක් ද ජනාධිපතිවරයා විසින් ඉකුත්ද‌ා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකරනු ලැබීය. එහි ව්‍යූහය කුමක් ද යන්න කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර ඉදිරියේදී තීරණය කරනු ඇත.  


 රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා එම අායතනවලට හදිසියේ යන්නට තීරණය කළේ මෙයට සතියකට දෙකකට පමණ ඉහතදීය. ඒ අනුව ජනාධිපතිවරයා කලින් සතියේ නාරාහේන්පිට පිහිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගියේය. එමෙන්ම ගිය සතියේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ද ගොස් සහල් මිල ගණන් සොයා බැලීය. ගිය බ්‍රහස්පතින්ද‌ා ජනාධිපතිවරයා මෝටර්රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට හදිසියේ ගියේය. ඒ එහි තත්ත්වය සොයා බැලීමේ අපේක්ෂාවෙනි. එහෙත් මෝටර්රථ ලියාපදිංචි කිරීමේ වේරහැර කාර්යාලයේ ක්‍රියාපටිපාටිය ගැන ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවීය. ජනාධිපතිවරයා යනවිටත් එහි විශාල පිරිසක් රස්තියාදුවෙමින් සිටියේ සිය සේවා කටයුතු ප්‍රමාද වීම හේතුවෙනි. ඔවුන්ගේ අපහසුතාව ජනාධිපතිවරයා ද තේරුම් ගත්තේය. මිනිස්සු රස්තියාදු නොකර ඔවුන්ට සේවා සපයන වැඩපිළිවෙළක් මසක් ඇතුළතදී සකස් කරන්නැයි ජනාධිපතිවරයා එහි සිටි නිලධාරීන්ට උපදෙස් දෙමින් කීවේ පැමිණ සිටි ජනතාවගෙන් ද ඉදිරිපත් වූ යෝජනා අදහස් සැලකිල්ලට ගනිමිනි. ජනාධිපතිවරයා කීවේ එම ආයතනවල සේවය ජනතාව රස්තියාදු නොවන ලෙස, කඩිනමින් සිදුවිය යුතු බවකි.  


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සතියේ අනුරාධපුරයේ හා පොළොන්නරුවට ද ගියේ ගංවතුරින් හා මහවැසි හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම වෙනුවෙනි. මුලින්ම අනුරාධපුරයට ගිය ජනාධිපතිවරයා අවතැන්වූවන් සිටින කඳවුරු කීපයකට ද ගියේ එස්.එම්. චන්ද්‍රසේන හා දුමින්ද දිසානායක යන ඇමැතිවරුන් දෙදෙනා ද සමගිනි. මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් අනුරාධපුර ජනාධිපති මන්දිරයට කැඳවූ ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ පීඩාවට පත්වූවන්ට චක්‍රලේඛවලට හිර නොවී සහන සලසන ලෙස දන්වමිනි. ඇතැම් රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ අණපනත්වල හිර වී සිය රාජකාරි කරන අයුරු ජනාධිපතිවරයා ද හොඳින් දන්නා බැවින් මේ උපදෙස් ලබා දී තිබිණි.