ජනපතිගේ තවත් සිහිනයක් සැබෑවෙයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ සිය දේශපාලන ජීවිතයේ තිබූ තවත් සිහිනයක් සැබෑ කර ගත්තේය. ඒ මොරගකන්ද කළුගඟ ජලාශයේ මංගල දියවර නිකුත් කරමිනි.


මොරගහකන්ද මෛත්‍රිගේ ජීවිතයේ තිබූ ලොකුම සිහිනයකි. ඔහු පවසන අන්දමට ඔහු පසුගිය ආණ්ඩුවෙන් ඉවත්වීමට මූල බීජය දැමෙන්නේ පැවැති ආණ්ඩුව මොරගහකන්ද ව්‍යාපාරයට දැක්වූ කුඩම්මාගේ සැලකිලි හේතුවෙනි. රජරට, උතුර, නැගෙනහිර පමණක් නොව මොරගහකන්දෙන් වයඹට ද ජලය සැපයීම මෛත්‍රීට සිහිනයක් වී තිබිණි. ඔහු ජනාධිපති ධුරයට පත්වී මහවැලි ඇමැති ධුරය තමා යටතට ගත්තේ ද මොරගහකන්ද ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමේ ඉලක්කය සහ බලාපොරොත්තුව ඇතිවය. ඒ අනුව මොරගහකන්ද ජලාශය නිම කරමින් මීට පෙර එහි දියවර මංගල්‍යය පැවැත්වූ මෛත්‍රි ගිය සතියේ එහි කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යයට එක්විය.


කළුගඟ ජලාශයට ජලය මුදා හැරීමට අමතරව මොරගහකන්ද ජලාශයේ විදුලි ජනනය ජාතික විදුලි පද්ධතියට එක් කිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ද එදින ජනාධිපතිවරයා අතින් සිදුවූයේ මැති ඇමැතිවරුන් රැසකගේ ද සහභාගිත්වයෙනි. මහින්ද අමරවීර, සරත් ඒකනායක, වීරකුමාර දිසානායක, රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද ඊට එක්ව සිටියහ.


ඇතැම් මාධ්‍යවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ අනතුරු ඇඟවීමක් ද කරමිනි. දුන්නු නිදහස පාවිච්චි කරලා අපට ගහල අපිව දුර්වල කරලා කඳුළු සලන්න ලැහැස්ති ​ෙවන්න එපා යැයි ජනාධිපතිවරයා කීවේය.


මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම ගැන ගිය සතියේ ද දේශපාලන කරළියේ මාතෘකාවක් වී තිබිණි. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක සිටින නමුත් එජාපයේ සමහරුන් සිටින්නේ ඊ​ට වෙනස් මතයකය. එහි ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශවලින් ද පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ජනාධිපතිවරයා ගිය සතියේ පොළොන්නරුවේ පැවැති උත්සවයක දී තදින්ම කියා සිටියේ කවුරු විරුද්ධ වුණත් කොතරම් බලපෑම් එල්ල වුණත් කුඩු ජාවාරම්කාරයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවය. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට පෞද්ගලික මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණ ද ආණ්ඩුවේම ඇතැම් මුද්‍රිත මාධ්‍ය ඒ ගැන වචනයක් හෝ නොලියන්නට වගබලාගෙන තිබුණේ ඇයිද යන්න සමහරුන්ට මතුවූ දැඩි ප්‍රහේළිකාවකි.

 

සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. උතුරේ නිවාස ඉදිකිරීමේ ප්‍රශ්නයක් මතුවූයේ ස්වාමිනාදන් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙනි. ඉන්දියා ආධාර යටතේ උතුරේ නිවාස 40,000ක් ඉදිකිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ස්වාමිනාදන් ඉදිරිපත් කර තිබිණි. ඔහු මීට පෙර අවස්ථාවක දී උතුරේ නිවාස 40,000ක් චීන ආධාර යටතේ ඉදිකරන්නට ද පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

 

 

මේ යෝජනාවට මනෝ ගනේෂන් ඇමැතිවරයා විරුද්ධ වූ අතර මංගල සමරවීර ඇමැතිවරයා ද කීවේ මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්විය හැකි බවය. ආණ්ඩුව බොහෝ දේවල් කතා කර කර ඉන්නවා මිස තීන්දු නොගන්නා බව චම්පික රණවක කීවේය.


උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීම ආණ්ඩුව දී ඇති පොරොන්දුවකි. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණද පසුගිය කාලය පුරා පැවැත්වූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමිනි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මෙවර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ සම්මුඛ පරීක්ෂණවලදී වැඩිම ලකුණු ලබාගත් උපාධිධාරින් 4000කට පළමු අදියර යටතේ රැකියා ලබාදීමටය. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවිය.
ගම්පෙරළිය ද ආණ්ඩුවේ ප්‍රමුඛ ව්‍යාපෘතියකි. එය ගම් මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා එක් එක් අමාත්‍යංශවලට පසුපෙළ මන්ත්‍රීවරුන් පත් කිරීමට ද තීරණය වූයේ කැබිනට් පත්‍රිකාවකට ද අනුමැතිය ලබාදෙමිනි.


මාස ගණනාවක් තිස්සේ කල්යමින් තිබෙන පළාත් සභා ඡන්ද පවත්වන බවට කතාබහ නැවත කරළියට පැමිණ ඇතත් ඡන්ද පැවැත්වෙන දින වකවානු ගැන ජනතාවට තබා ආණ්ඩුවටවත් විශ්වාස නැත. හැමෝම අහන්නේ පළාත් සභා ඡන්දය පවත්වන්නේ කවදාද කියාය. ඊළඟ ප්‍රශ්නය වන්නේ අලුත් ක්‍රමයටද පරණ ක්‍රමයට ද කියාය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියන්නේ ආණ්ඩුව අවශ්‍ය වටපිටාව හදා දෙන්නේ නම් ඕනෑම ක්‍රමයකට ඡන්දය පැවැත්වීමට තමන් සූදානම් බවය.


පළාත් සභා ඡන්දය ගැන තීරණයක් ගන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් ගිය බ්‍රහස්පතින්දා උදේ පාර්ලිමේන්තුවේදී රැස්වූයේ මේ අතරවාරයේය. ලක්ෂ්මන් කිරිඇල්ල, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල, චම්පික රණවක, රාවුෆ් හකීම්, අනුර දිසානායක, මනෝගනේෂන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ ඊට සහභාගිවී සිටියහ. එහිදීද ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිවූයේ අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වීම සඳහා ගිය වසරේ සම්මත කරගත් පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත ​අහෝසි කරන්නැයි කුඩා පක්ෂ ඉදිරිපත් කළ තර්ක විතර්ක හේතුවෙනි. රාවුෆ් හකීම් මනෝ ගනේෂන් දෙදෙනාම කියා සිටියේ පැරැණි ක්‍රමයටම පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවය. ඒ සඳහා ගිය වසරේ සම්මත කරගත් පනත අහෝසි කරන්නැයි ඔවුහු දෙදෙනාම ඉල්ලා සිටියහ. එහෙත් නිමල් සිරිපාල කියා සිටියේ දැන් එම පනත අහෝසි කළ නොහැකි බවය. පළාත් සභා ඡන්දය අලුත් ක්‍රමයට පැවැත්විය යුතුය යන්න ශ්‍රීලනිපයේ ස්ථාවරය යැයි නිමල් කීවේ හකීම්ගේ සහ මනෝ ගනේෂන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. දිනේෂ් ගුණවර්ධන කීවේ ඡන්දය පවත්වන්නේ කුමන ක්‍රමයටද යන්න ආණ්ඩුව පැහැදිලි තීරණයක් ගත යුතු බවය. දිනේෂ් කීවේ ඡන්දය ඉක්මනින්ම පැවැත්විය යුතු බවය. අවසාන තීන්දුවකට ඒමට නොහැකි වූ නිසා ලබන බදාදා යළි රැස්වී තීන්දුවක් ගැනීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.