ජනපති හෙළිකරන ​ඡන්ද කල්දමන වෑයම


දේශපාලන කරළියේ අලුතින්ම කතාබහට ලක්ව ඇති ආන්දෝලනාත්මක මාතෘකාව ජනාධිපතිවරණයයි. සාමාන්‍යයෙන් නම් දැනට පවත්වන්නට නියමිතව ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. සබරගමුව, උතුරුමැද, නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය අහෝසි වී වසරකුත් මාස හතරක් ගතවී හමාරය. මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා තුනේ ද නිල කාලය අවසන් වී මාස ගණනාවක් ගතවී ඇත. දකුණු පළාත් සභාවේ ද නිල කාලය අප්‍රේල් මාසයේදී අවසන් වෙයි. ඒ අනුව බලන කල මුලින්ම පැවැත්විය යුතු මැතිවරණය බවට පත්ව ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. එහෙත් වැඩි දෙනා කතාබහ කරන්නට පටන්ගෙන ඇත්තේ ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයින් ගැනය.
මේ අතර දැනට කල් දමා ඇති පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද දැඩි බලපෑමක් කරමින් සිටී. ජනාධිපතිවරයා කියන්නේ මේ වෙලාවේ ජනාධිපතිවරණයක් ගැන කියමින් සමහරු කරන්න හදන්නේ පළාත් සභා මැතිවරණය කල් දැමීම බවය. ජනාධිපතිවරයා ගිය සති අන්තයේ උෟව පළාතේ ශ්‍රීලනිප ආසන සංවිධායකයින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණේ පක්ෂයෙ ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරන්නටය. එහිදී ද ජනාධිපතිවරයා කියා තිබුණේ ඉක්මනින්ම ලබාගත යුතු මැතිවරණය පළාත් සභා ඡන්දය බවය. ඊට කලින් සතියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද ජනාධිපතිවරයා කීවේ පළාත් සභා ඡන්දය පවත්වන ලෙස ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවය. එහිදී ජනාධිපතිවරයාගේ චෝදනාව එල්ල වී තිබුණේ එජාපයටය.


අඟහරුවාද‌ා දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට යාමට තිබූ නිසාත් එදින රජයේ නිවාඩු දිනයක් වූ නිසාත් මෙවර කැබිනට් රැස්වීම සඳුද‌ා දිනයේ පැවැත්විණි. මෙවර කැබිනට් රැස්වීම ද සීමා වී තිබුණේ විනාඩි 20 කට පමණය. රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල කඩිනමින් පත් කරන්නැයි ජනපති මෛත්‍රි ඇමැතිවරුන්ට කියා තිබුණේ ඇමැතිවරුන් දිවුරුම් දී සති තුනක් ගතවී තිබියදීත් සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම හේතුවෙනි. සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරී​ෙමන් එම ආයතනවල කටයුතු අඩපණ වී ඇති බව ජනාධිපතිවරයා කීවේය. එබැවින් ඉක්මනින්ම සභාපතිවරුන් පත්කරන්නැයි කී ජනාධිපතිවරයා දැනුම් දුන්නේ සභාපතිවරුන් පත්කිරීම නිර්දේශ කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ අනුමැතිය ඒ සඳහා ලබාගත යුතු බවය.


ඒ සමඟම ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබු​ෙණ් ජාතික උරුමයක් බවට පත්කර ඇති ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කර ගැනීමේ පසුබිම සකස් කිරීම වෙනුවෙනි. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ජනාධිපතිවරයා විසින් ඉකුත්ද‌ා ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මාතලේ අලුවිහාරේ පැවැති උත්සවයකදී අදහස් දක්වමිනි. ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කිරීම ජනපති මෛත්‍රිගේ අදහසය. එය පාර්ලිමේන්තුවේ යෝජනාවක් ලෙස සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බැවින් අද‌ාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.


සේනා දළඹුවා ලංකාවේ කෘෂිකර්මාන්තයට ඇතිකර තිබෙන බලපෑම ඉතා විශාලය. මෙය රටේ අස්වැන්න විනාශ වීමට ප්‍රබල ලෙස බලපා තිබේ. ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රමුඛ ඇමැතිවරුනට කීවේ සේනා දළඹු මර්දනයට වහාම වැඩපිළි​වෙළක් සකස් කළ යුතු බවය. නැතිනම් රටේ ආහාර නිෂ්පාදනයට එය ප්‍රබල බලපෑමක් කරන බව ඔහු කීය.


රවි කරුණානායක ඇමැතිවරයා ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ විදුලිය මෙ.වොට් 100 ක හදිසියේ මිලදී ගැනීමට අවසර ඉල්ලමිනි. ටෙන්ඩර් කැඳවා දින 10 කින් මිලදී ගැනීමට හැකිවන සේ කටයුතු කිරීමට අනුමැතිය ඉල්ලා යෝජනාව ඉදිරිපත් කළ ද එය එදින අනුමත නොවීය.


පෙළ ගැසෙමින් තිබෙන දේශපාලන කරුණු කාරණා අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයත් ඡන්දයකට සූදානම් වන බව පැහැදිලිය. ඒ පළාත් සභා ඡන්දයකටද නැතිනම් ජනාධිපතිවරණයකටද යන්න හරියට පැහැදිළි නැත. එසේ වුවද කුමක් හෝ ඡන්දයකට පක්ෂ තුනම සූදානම් වන බව නම් පෙනෙන්නට තිබේ. ජනපති මෛත්‍රීද ආසනකට අතගසා තිබේ. ගිය සති අන්තයේ ඌව පළාතේ ආසන සංවිධායකයින් කොළඹට ගෙන්වා දැනුවත් කළේ එහි එක් පියවරක් වශයෙනි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ගිය සතියේ බත්තරමුල්ල ජයන්තිපුර, බෝධිරාජ මාවතේදි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කළේය. හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පිරිසක් එහි එක් එක් සංවිධාන කටයුතු භාරව පත්කර ඇති බවද වාර්තා විය. මෙහෙයුම් කාර්යාලය ගිය සතියෙ විවෘත වූයේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මහාචාර්ය ජී. එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයෝ පිරිසක්ද ඊට එක්ව සිටියහ.   


සිවු දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය අඟහරුවාදා පිලිපීනය බලා පිටත්ව ගියේ එරට ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතාගෙන් ලැබුණු විශේෂ ආරාධනයක් පිළිගනිමිනි. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට එජාපයෙන් සහභාගි වූයේ විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන පමණි. ශ්‍රීලනිපයෙන්, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද එම සංචාරයට එක්ව සිටියහ. ජනපති මෛත්‍රීට පිලිපීන රජයෙන් ඉහළ පිළිගැනීමක් හා ගෞරවයක් ලැබුණි. දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතා වර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබිණි. අඟහරුවාදා දිවයිනෙන් පිටත්ව ගිය ජනපති මෛත්‍රී එරට ජනාධිපතිවරයා හමුවූයේ බදාදා දිනයේය. ඒ පිලිපීන ජනාධිපති නිල නිවසේදීය. එදින රාත්‍රියේ පිලිපීන ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලැබූ විශේෂ භෝජන සංග්‍රහයටද සිය නියෝජිත පිරිස සමඟ සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුදින මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානය වෙතද ගියේය. ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ඩොලර් ණය සහ ප්‍රධානයක් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එකඟතාව පළ කළේ ජනපති මෛත්‍රී සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙනි. 


රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හෙබවූ ආණ්ඩුවේ 2015ත් 2018ත් අතර රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන දූෂණ වංචා පිළිබඳව සෙවිමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනපති මෛත්‍රී පසුගිය කාලය පුරා දිගින් දිගටම කීවේය. ඒ අනුව ගිය සති​ෙය් එම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ මාස තුනක් ඇතුළත අතුරු වාර්තාවක්ද මාස 6 ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවද දෙන ලෙස නියම කරමිනි. 


මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පසුගියකාලයේ සිදුවූ බව කියන දූෂණ වංචා ගැන සෙවීමටද ජනාධිපති කොමිසමක් පත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවූ බව කිවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් සඳහන් කළේ මෙම කොමිසම පත් කරන බවට ජනාධිපතිවරයා තම සංගමයට පොරොන්දුවූ බවකි. ඉන් දින දෙකකට පමණ පසුව මාධ්‍ය හමුවක් කැඳවමින් රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා සිටියේ ජනාධිපති කොමිසමක් පත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් දී නොමැති බවය. තමා ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් කතා කළ බවත් එවැනි කොමිසමක් දමන බවක් තමා ප්‍රකාශ නොකළ බව ජනාධිපතිවරයා එහිදී කියා සිටි බවත් රාජිත කීවේය. ගිය සඳුදා හවස රාගම රෝහලේ පැවැති උත්සවයකට සහභාගිවී එන අතරේ රාජිත ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන තිබිණි. රාජිත එහිදී මේ ගැන ජනාධිපතිවරයාගෙන් විමසා සිටි බවද වාර්තා විය.