ජනපති සටන කරළියට එයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීමේ රැස්වීම් තුනක් ගිය සතියේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පක්ෂය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ දිස්ත්‍රික් හා ආසන මට්ටමින් සමාලෝචනයට ලක් කිරීම සඳහා පළාත් කිහිපයක පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුද ආසන සංවිධායකවරුද ඊට කැඳවනු ලැබ සිටියහ. ඉකුත් 27 වැනිදා පැවැති එම රැස්වීම් තුනෙන් දකුණු, බස්නාහිර හා සබරගමුව පළාත් රැස්වීමට පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂයේ කැපී පෙනුණ චරිතයක් වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද පැමිණ ජනාධිපතිවරයා අසලින්ම ඉඳගෙන සිටියේය. ජනාධිපතිවරයාට වම්පස යාබද අසුණේ වෙල්ගම සිටි අතර දකුණු පස අසුනේ මහින්ද අමරවීර සන්ධාන මහලේකම්වරයා සිටියේය. දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය, ෂාන් විජයලාල් ද සිල්වා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ රැසක්ද ඊට එක්ව සිටියහ.  


මුලින්ම කතා කළේ පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරය. දැන් මට බැන බැන කට්ටිය ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ කරනවා ඇති. හරියට කළොත් වාසිය තමන්ටයි. පක්ෂයෙ අපට බොරු කළොත් රැවටෙන්නෙ අපි නෙවෙයි. අපි ඡන්දයට තනිව ඉල්ලුවත්, එකතුවෙලා ඉල්ලුවත් සංවිධානය වෙන එකයි වැදගත්. දයාසිරි කීවේය. ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය, දුර්වලතා ආදිය ගැන එකින් එක ආසන මට්ටමින් සාකච්ඡාවට ගැනුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ පක්ෂයේ 68වන සංවත්සරය ලබන මස 2 වැනිදා ඉහළින් සැමරිය යුතු බවය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට සැලසුම් කරගෙන යන බව ජනාධිපතිවරයා කීවේය. නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති අතර දයාසිරි, අමරවීර, දුමින්ද, තිලංග, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක්ද කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර ඇත. මේ අතර ජනාධිපතිවරයා කීවේ පක්ෂ​ෙය් විනය කමිටුද ඉක්මනින් රැස්වී අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බවය.   


ඉන් අනතුරුව ප්‍රශ්න ගැටලු තිබේනම් ඉදිරිපත් කිරීමට අවසථාව වෙන් කෙරිණි. හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරයකු නැගිට, දකුණේ ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපය ගැටලුකාරි බව කීවේ පැහැදිලි කිරීමක්ද කරමිනි. ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුකාරවරුන්ගේ මාරුවක් ළඟදීම කරන බවය. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ශාඛා සංවිධානයක කාන්තාවක් නැගිට්ටාය. ඇය සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකි. තමන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයට අනුයුක්තව සිටින බවත් ආණ්ඩුකාරවරයා හොඳින් වැඩ කරගෙන යන බවත් ඇය කීවේ හම්බන්තොට සංවිධායකවරයාගේ චෝදනාවලට පිළිතුරු දෙමිනි. එයා ඔයා වෙනුවෙන් වැඩ කළාට පක්ෂයට විරුද්ධවයි වැඩ කරන්නෙ. ඔයාට කලින් මම එයා දන්නෙ. පක්ෂයට හානියක් වෙනවා නම් අපි ඒක කියන්න ඕන. ඔයා සුදුහුණු ගාන්නේ නැතිව වාඩි වෙන්න යැයි දයාසිරි ජයසේකර ඇයට කීවේය. 


ආණ්ඩුකාරවරුන් සියලු දෙනා ස්ථාන මාරු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ මේ කරුණු කාරණා සියල්ල සැළකිල්ලට ගනිමිනි. ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා ගිය බදාදා උදේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා අතට භාර දුන්නේ ජනාධිපති නිල නිවසේදීය. ඒ අනුව ඌව ආණ්ඩුකාරධුරය මේ වනවිට පුරප්පාඩු වී පවතී. ඌවට අලුත් ආණ්ඩුකාරවරයකු පත් කිරීමත් සෙසු පළාත් ආණ්ඩුකාරවරුන් මාරුකිරීමත් අද හෙටම සිදුවනු ඇත. 


ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ විජයබා කොල්ලය නව කතාව ඇසුරින් නිර්මාණය කරන ලද ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පවුලේ සාමාජිකයින් සියලු දෙනාද සමග ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ ගියේ එහි අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ආරාධනය පිළිගනිමිනි. සුනිල් ආරියරත්න මහතාත් චිත්‍රපටයේ නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි මහතාත් කලින් සතියක ජනාධිපතිවරයාගේ නිල නිවසටම ගොස් ආරාධනය කර තිබුණේ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරැඹීමට එන ලෙස දන්වමිනි. ආරාධනය පිළිගනිමින් ජනාධිපතිවරයා කීවේ ‘වෙනද වගේම අපි පවුලෙ ඔක්කොම එනවා’ යනුවෙනි. ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියම් සිනමා ශාලාවට පවුලේ අයද සමග ගිය ජනාධිපතිවරයා චිත්‍රපටය අවසන් වනතෙක්ම රැඳී සිටියේය. චිත්‍රපටය නරඹන්නට ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාද පුවත්පත් කතුවරුන්, කලා ශිල්පීන්, ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ. ජනාධිපතිවරයා චිත්‍රපටය අවසන් වන තෙක්ම රැඳී සිට පිටව ගියේ චිත්‍රපටය ගැන මාධ්‍යවලටද ප්‍රකාශයක් ලබාදෙමිනි. 

 

 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්ද මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ බව වාර්තා විය. ඒ ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවන නව සන්ධානය හා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. නව සන්ධානයේ ව්‍යුහය සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර යෝජනාවලියක්ද හුවමාරු වී ඇති නමුත් තවමත් ඒ පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ නැත. මෛත්‍රීත් මහින්දත් හමුවන්නේ ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට බව පැවසේ. 
මේ අතර පොදුජන පෙරමුණේ මංගල සමුළුව ලබන ඉරිදා පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු යොදා හමාරය. ඒ පිළිබඳ ආරාධනා පත්‍රද දැනටමත් යවා ඇත. එදින සමුළුවේ ප්‍රධාන කාරණා දෙකක් සිදු කිරීමට නියමිතය. එකක් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්කර ගැනීමය. එම පක්ෂයේ සභාපති ලේකම් ඇතුළු නිලධාරි මණ්ඩලයක් සිටියද නිල වශයෙන් එහි නායකයෙක් නොසිටියේය. මහින්ද රාජපක්ෂ මහතා එහි නොනිල නායකයා ලෙස තබා ගනිමින් පක්ෂය පිහිටුවනු ලැබුවේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙනි. ලබන ඉරිදා සිදුවන්නේ මහින්ද පොදුජන පෙරමුණේ නායකත්වයට නිල වශයෙන් පත්කර ගැනීමය. ඒ හැරෙන්න නිලධාරි මණ්ඩලයේ වෙනසක් නොවනු ඇත.


දෙවැනි කාරණය පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමය. ඒ සිදුකරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසිනි. පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ බලය පොදුජන පෙරමුණත්, ඒකාබද්ධ විපක්ෂයත් මහින්දට පවරා හමාරය. පොදුජන පෙරමුණත්, ඒකාබද්ධ විපක්ෂයේත් ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ඔවුන් දැනටමත් තීරණය කර හමාරය. එහිදී සිදුවන්නේ එය මහින්ද විසින් නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමය.  


බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා පොදුජන පෙරමුණේ පළමු සමුළුව සංවිධානය කිරීමේ බර කරට ගෙන සිටී. ඔහු පක්ෂයේ ජාතික සංවිධායකවරයාය. වරින්වර සාකච්ඡා කැඳවමින් අවශ්‍ය උපදෙස් ලබාදෙමින්, සංවිධාන කටයුතු වෙනුවෙන් ඔහු දිවා රෑ වෙහෙසෙමින් සිටී. ගිය සතියේ ඔහු මාධ්‍යවේදීන් කිහිප දෙනකු ද බත්තරමුල්ල ප්‍රදේශයේදී හමුවූයේ මේ අතරවාරයේය. එය සම්බන්ධීකරණය කරනු ලැබූවේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා විසිනි. ප්‍රසන්න ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිතයකි. බැසිල් හා මාධ්‍යවේදීන් අතර හමුවට ප්‍රසන්න ද පැමිණ සිටියේය. දැන් ​ඔය හදන්න යන සන්ධානය කුමක්දැයි මාධ්‍යවේදියෝ බැසිල්ගෙන් විමසා සිටියහ. අපි ගිය සතියේ පොදුජන පෙරමුණයි තවත් කුඩා පක්ෂ කිහිපයකුයි අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ඒ එකට වැඩ කරන්නෙ කොහොමද කියලා, එතන පක්ෂ කීපයක් පසුගිය ජනාධිපතිවරණයේදී අපට විරුද්ධව වැඩකරපු පක්ෂ, ඒ අය මේ පාර අපිත් එක්ක එකට වැඩ කරන්න එකඟවෙලා තියෙනවා. ඒ අත්සන් කළේ සන්ධානයක් ගොඩනැගීමේ ගිවිසුමක් නෙවෙයි. එකට වැඩකිරීමේ අවබෝධතා ගිවිසුමක්. ඒ පක්ෂ සියල්ල පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ. ඊළඟට අපි පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර සන්ධානයකට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. ඒක අත්සන් කරන්නෙ සන්ධානයක් විදියටයි. ඒ අතරේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත් සාකච්ඡා කරගෙන යනවා. බැසිල් කීවේ නව සන්ධානය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි.  


ඊළඟට ඔහු පැහැදිලි කළේ‍ ලබන ඉරිදා පැවැත්වෙන පොදුජන පෙරමුණේ පළමු සමුළුව ගැනය. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඉඩකඩ මදි නිසා ආරාධනා කරන පිරිස සීමා කරන්නට සිදුව ඇති බව බැසිල් කීවේය. අපේ පාර්ලිමේන්තු පළාත් සභා ප්‍රාදේශීය සභා නියෝජිතයින් ටික ආවම ශාලාවේ ආසන හාරදහසකට වැඩිය පිරෙනවා. ඒ හන්දා අපට ආරාධනය කරන්න වෙලා තියෙන්නෙ සීමිත පිරිසකට. සහෝදර පක්ෂවලටත් අපි ආරාධනා කරනවා යැයි බැසිල් කියද්දී ප්‍රසන්න රණතුංග කීවේ ආරාධනා පත්‍ර බෙදන එක පටන්ගෙන අැති බවය.  


දැන් එතකොට ඔයාලා මටත් ආරාධනය කරනවා දැයි බැසිල් ප්‍රසන්නගෙන් විමසුවේ හැම දෙනාම හිනස්වමිනි. ඇයි ඔබතුමානෙ පක්ෂය හැදුවේ. ඔබතුමානේ ජාතික සංවිධායක. ඉතින් ආරාධනා කරන්නම ඕනැනෙ ප්‍රසන්න කීවේ බැසිල්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. නෑ ඉතින් ඔයාමනෙ හැමදාම අර බාසගෙ කතාව කියන්නෙ. මටත් එ්කම වෙයිද දන්නෙ නැති නිසයි ඇහුවෙ යැයි බැසිල් කීවේ හයියෙන් හිනාවෙමිනි.  


බාසගෙ කතාව කුමක්දැයි හැමෝටම ප්‍රහේලිකාවකි. ගෙයක් හදනකොට අත්තිවාරම දාන වෙලාවේ ඉඳලා ගේ හදල ඉවර වෙනකම් වැදගත්ම කෙනා බාසුන්නැහැලු. ගෙයි අයිතිකාරයාටවත් වැඩ ඉවරවෙනකම් ඒ ගෙදර සැබෑ අයිතියක් නැහැ. හැමදේම කරන්නෙ බාස්ගෙන් අහලා. හැබැයි ගෙදර පදිංචියට යන වෙලාවට කාටවත් බාස මතක නැහැ. එයාට ආරාධනාත් නැහැ. ආරාධනා කළත්, කුස්සිය පැත්තෙ දොරෙන් තමයි බාස්ට ඇතුළට එන්න වෙන්නෙ. මම කිව්වෙ මටත් එහෙම වෙයිද දන්නෙ නැහැ කියලයි. බැසිල්ගෙ කතාවට හැමෝටම හිනාය.  


සාමය, සංහිඳියාව පිළිබඳව ජාතික සමුළුවක් ගිය සතියේ අඟහරුවාදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරු දෙදෙනා ද කතානායක කරු ජයසූරිය ද සහභාගි වූහ. මෛත්‍රීත් චන්ද්‍රිකාත් අසුන්ගෙන සිටියේ ආසන දෙකකට ඈතිනි. එහෙත් දෙදෙනා වචනයක් හෝ කතා කරන බවක් දකින්නට නොලැබිණි. මහින්ද සිටියේ මෛත්‍රීට වම්පස අසුනට යාබද අසුනේය. ඔවුන් දෙදෙනා නම්, හිනාවෙමින් කතා බහ කරනු දකින්නට ලැබිණි. මෙහි විශේෂත්වය වූයේ නෙළුම්පොකුණ රඟහලෙන් පිටතදී මහින්ද චන්ද්‍රිකා හමුවය. කලක් විරසකව සිටි දෙදෙනා නෙළුම්පොකුණ රඟහල ප්‍රවේශයේදී බොහොම මිත්‍රශීලී ලෙස හිනාවෙමින් කතාබහ කිරීම කාගේත් පුදුමයට හේතුවී තිබිණි.  


නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල්‍යය යේදී ඇත්තේ ලබන මස 17 වැනිදාටය. මංගල උත්සවය කොළඹ ගාලුමුවදොර ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඊට පෙර තවත් උත්සව දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ ලබන මස 12 වැනිදා සහ 14 වැනිදා යන දෙදිනය. පාර්ලිමේන්තු, පළාත් සභා, මැති ඇමැතිවරුන් සහ හිතවතුන් වෙනුවෙන් එම දින දෙකේ වීරකැටිය මැදමුලන නිවසේ සාද දෙකක් සූදානම් කර ඇති බව වාර්තා වේ.   


ඔහු මේ දිනවල වැඩි වේලාවක් ඒ කටයුතු වෙනුවෙන් ද වෙන් කර ඇත. ගිය සතියේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ මංගල්‍යයේ ආරාධනා පත්‍ර මිටියක් ද රැගෙනය. ඩී.වී. චානක නාමල්ගේ මිතුරකු මෙන්ම එකම දිස්ත්‍රික්කයේ තරුණ මන්ත්‍රීවරයෙකු නිසා, පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුනට ආරාධනා පත්‍ර බෙදීම ඔහුට බාරදී තිබිණි. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර බෙදීම නාමල් අතින්ම සිදුවිය. නාමල් ප්‍රසන්න රණතුංගට ආරාධනා පත්‍රය දෙද්දී, ප්‍රසන්න ඇසුවේ මල්ලිලා දෙන්නම බඳිනකම් ඉඳල ඇයි ඔයා බඳින්නෙ කියාය. නැත්තන් බැහැ​ෙන අයියා කලින් බැන්දනම් මනමාලිටත්, වෙන්නෙ එෆ්සීඅයිඩී ගානෙ යන්න නාමල් කීවේය.  


ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ඉකුත් සතියේ චීනයේ සංචාරයක නිරත වූයේ චීන රජයේ ආරාධනයෙනි. එය සූදානම් කර තිබුණේ චීන තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙනි. චීන සංචාරයට ගිය මන්ත්‍රීවරුන් කණ්ඩායමට නායකත්වය දුන්නේ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයාය. බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්දානන්ද, රාධාක්‍රිෂ්ණත්, ශාන්තිනී ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඊට එක්ව සිටියහ. චීනයේ එක් එක් ප්‍රාන්තවල සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් පිරිස රැගෙන ගිය අතර, එක් එක් ප්‍රාන්තවල සංවර්ධන කටයුතු සඳහා චීන රජය ගෙන ඇති උපාය මාර්ග ගැන ද මන්ත්‍රීවරුන්ට අවබෝධයක් ලබාදීම සිදුවිය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 01 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේ 2019 අය වැය යෝජනාව අනුව රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා රු. 2500ක දීමනාව සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අධිකාරි යන ආයතනවල සේවකයින්ට ද ලබා නොදීම ගැන විශේෂ ප්‍රකාශයක් කර රජයේ අවධානය යොමු කිරීමටය.


විපක්ෂ නායකවරයා සභා ගර්භයට යාමට පෙර විපක්ෂනායක කාර්යාලයට ගියේය. එහි සිටි කාර්ය මණ්ඩලය ඒ වන විට කතා බහ කරමින් සිටියේ පුවත්පත් කීපයක පළවී තිබූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ විපක්ෂනායකවරයා සිනාමුසුව සිටින පින්තූරයක් බලමින් “සර් මේ අය කියන්නෙ කවුරු සර්ට විරුද්ධව වැඩ කළත් සර් ඒවා ගණන් ගන්නෙ නැතුව උපේක්ෂාවෙන් ඉන්න විදිය කියල. මේ පින්තූරය දැක්කමත් එහෙමයි හිතෙන්නෙ.” කුමාරසිරි හෙට්ටිගේ කියද්දී ඒවා එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි. පහුගිය කාලෙ යහපාලනයේ කී දෙනෙක් අපිට අපහාස කළාද කරදර කළාද? ඒවා ගණන් ගෙන වැඩ කළා නම් අපට මේ දේශපාලන ගමන එන්න බැහැනේ. අද ඒ අයට මොනවද වෙලා තියෙන්නෙ අපෙන් පළිගත්ත මිසක් රටට කරපු දෙයක් නෑනේ” විපක්ෂ නායකවරයා කීවේ අතීත දේශපාලන අත්දැකීම් ද ගෙනහැර දක්වමිනි.


මේ කතා බහ අතර වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා වෙත පැමිණි විපක්ෂ නායකවරයා සමග සුහද කතාබහකට එක් වූයේය. “සර් රටේ මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ප්‍රශ්න ගොඩක හිර වෙලා. ඒ අතරේ කට්ටියක් ජාතිවාදීව වැඩ කරනවා. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඔබතුමාට මේ වෙලාවෙ ලොකු වගකීමක් තියෙනවා. ඔබතුමා ගැන මිනිස්සුන්ට තියෙන්නේ ලොකු විශ්වාසයක් යැයි ඔහු කියා සිටියේය. “ඉදිරියේදී මං ජනතාවට මගේ ස්ථාවරය කියනව නේ. එතකොට ඔය සැක සංකාවලට ඉඩක් නැති වේවි” විපක්ෂනායකවරයා කියද්දී “සර් තවත් නරකම වැඩක් වේගෙන යනවා. රටේ ආගමික වට පිටාවට හානි කරන සැලැස්මක් තියෙනවා. ඒකෙ වැඩිපුර හාමුදුරුවන් වහන්සේලා ඉලක්ක කරලා තියෙන්නෙ” කුමාරසිරි හෙට්ටිගේ කියද්දී ඒක ඇත්ත සර් මේ බලන්න මේ වීඩියෝව හර්ෂ වි​ජේවර්ධන කීවේ එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙක් හාමුදුරුවන් වහන්සේලාට අපහාස කරන හඬ පටයක් සහිත වීඩියෝවක් පෙන්වමිනි. “මේ කරන්නෙ රටේ ආගමික පදනම විනාශ කරන වැඩක්. මේ ගැන ආගමික නායකයන් එක්ක සාකච්ඡා කරලා මොනව හරි කරන්න ඕනෑ.” යැයි කියමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගැබට යන්නට ගියේය.