ජනපති රාජපක්ෂ පවුලේ සමගිය ගැන කතා කරයි


  • පළාත් සභා ඡන්දය තියන සූදානමක්
  • අගමැති මහින්ද බංග්ලාදේශ නිල සංචාරයක
  • පරිසර විනාශයට එරෙහිව විපක්ෂයෙන් වැඩපිළිවෙලක්

 

 

 

පළාත් සභා ඡන්දය පිළිබඳ කතාබහ යළිත් කරළියට පැමිණ තිබේ. දැනගන්නට ඇති පරිදි ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්නට සූද‌ානම් බව ඉන් පැහැදිලිය. පළාත් සභාවල නිල කාලය අවසන්ව අවුරුදු හතරකට ආසන්නය. සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වූයේ 2017 දීය. 
ඉන් පසුව වයඹ, මධ්‍යම, උතුරු පළාත් සභාවල නිල කාලය අවසන් වූ අතර 2019 දී දකුණ, මධ්‍යම සහ ඌව පළාත් සභාවල නිල කාලය අවසන් විය. ඉකුත් යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල්දැමුවේ අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව කියමිනි. මනාප ක්‍රමය අහෝසි කර කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පළාත් සභාවලට හඳුන්වා දුන්න ද සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීම හේතුවෙන් පළාත් සභා ඡන්දය අලුත් හෝ පරණ යන ක්‍රම දෙකෙන් එක ක්‍රමයකටවත් තියන්නට නීතිමය ඉඩක් නැත. පළාත් සභා දැනට ද ක්‍රියාත්මක නමුත් ඒවායේ මහජන නියෝජිතයන් නැත. පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මීට මාස කිහිපයකට පෙර කැබිනට් සංදේශයක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ ද එම සං​දේශය පසුවට කල්දමන්නට සිදුවිය.


පළාත් සභා ඡන්දය පිළිබඳ කතාබහ අලුත් වී ගිය සතියේ යළිත් කරළියට පැමිණියේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදයේ නියෝජිතයන් හමුවීමත් සමගය. පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්නය. උතුරුමැද හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් ද සංසදයේ ඉදිරි පෙළ සාමාජිකයෙකි. ඔවුන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා මෙම සංසදයේ නියෝජිතයන් ඉකුත් සතියේ ජනාධිපති කාර්යාලයේ දී හමුවිය. ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති මෙන්ම පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්, ඇමැතිවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ. මන්ත්‍රී ජයන්ත කැටගොඩ, කංචන ජයරත්න ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. පළාත් සභා මන්ත්‍රී සංසදයේ ඉල්ලීම වූයේ අතුරුදන් කර ඇති පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි කියාය. පළාත් සභා ක්‍රියාත්මක වුවද මහජන නියෝජිතයන් පමණක් ඒවායේ නොමැති වීම ගැටලුවක් බව ඔවුහු කියා සිටියහ. ජනාධිපතිවරයා සිය කතාවේ දී කීවේ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන බවය. ඒ සඳහා ඇති බාධා ගැන ද ඔහු කීවේය. තමා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද හමු වී මේ ගැන සාකච්ඡා කළ බව ජනාධිපතිවරයා කියා සිටියේය. ඡන්දය පැවැත්වීමට බාධාවක් වී ඇත්​තේ පාර්ලිමේන්තුවේ සම්මත කළ සංශෝධන පනත බව කී ජනාධිපතිවරයා ඒ බාධකය ඉවත් කළ යුතුව ඇති බව කීවේය. ජනාධිපතිවරයා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාට උපදෙස් දුන්නේ එම බාධකය ඉවත්කර ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසය.


රාජපක්ෂවරුන්ගේ සමගිය ගැන ජනපති කියයි


රාජපක්ෂවරුන් මේ රටේ දේශපාලනය කරන්නේ දශක ගණනාවක සිටය. අද රට කරවන්නේ ද රාජපක්ෂ දෙසොහොයුරෝය. ඔවුන් අතර ඇති සමගිය, බැඳීම කෙතරම් ද යන්න රටට අමුතුවෙන් කිවයුතු නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන්නේ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙනි. මේ අතර රාජපක්ෂවරුන් අතර අර්බුද හදන්නට ආණ්ඩුවේම සමහරුන් උත්සාහ කරන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. මේ කතා සියල්ලටම ජනාධිපතිවරයා ගිය සතියේ උත්තර දුන්නේය. රාජපක්ෂවරුන් අතර බේද ඇතිකරන්නට කිසිවකුටත් නොහැකි බව ජනාධිපතිවරයා දැඩිව කීවේය. ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගැන මෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ගැන ද ඉහළින්ම වර්ණනා කළේය. මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ පමණක් නොව ආසියාවේම ශ්‍රේෂ්ඨ නායකයකු බව ඔහු කීවේය. එතුමා පක්ෂයට නායකත්වය දෙන විට එය රට ඉදිරියට ගෙනයාමට තමන්ට විශාල සහායක් බව ද ජනාධිපතිවරයා කීවේ රැස්ව සිටි පිරිසේ අත්පොළසන් මැදය.


මහින්ද ගැන මෙන්ම බැසිල් ගැන ද ගෝඨාභය ජනාධිපතිවරයා ඉහළින් කතා කළේය. තමාගේ ජයග්‍රහණයේ දී ප්‍රධානතම සාධකය වූයේ මහින්ද රාජපක්ෂ කියන චරිතය බව කී ජනාධිපතිවරයා පක්ෂයක් හද‌ා රජයක් බිහිකරන්නට වාතාවරණය සකස් කළේ බැසිල් රාජපක්ෂ බව කීවේය. එය අවිවාදයෙන් පිළිගත යුතු යැයි කී ජනාධිපතිවරයා කීවේ එවැනි නායකයන් දෙදෙනෙකු සමග රජයක් ඉදිරියට ගෙනයාම ඉතාම පහසු බවය. රජය ඉදිරියට ගෙනයාමේ දී ඒ නායකයන් දෙදෙනාගේම සහාය අත්‍යවශ්‍ය බවත් එය ඒ ආකාරයෙන්ම සිදුවන බවත් ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.


මහින්ද, මෛත්‍රී, රනිල් මුහුණට මුහුණ හමුවෙති.


වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපන් දිනය නිමිත්තෙන් ‘ප්‍රඥා බන්දු’ නමින් ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීමේ උත්සවය ගිය අඟහරුවාදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහාචාර්ය ජී.එල්. පීරිස්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වජිර අබේවර්ධන ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැසක් ඊට එක්ව සිටියහ. මුලින්ම අාවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු උත්සවය පටන්ගන්නා තෙක් ආරාධිත අමුත්තන්ගේ කාමරයේ රැඳී සිටියේය. ටික වෙලාවකින් වජිර අබේවර්ධන ද පැමිණ රනිල් සමග කතාබහ කරමින් සිටියේය. අනතුරුව පැමිණියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ඔහු කල්වේලා ඇතිවම පැමිණ උත්සවශාලාවේ අසුන්ගෙන සිටියේය. ඔහු ආරාධිත අමුත්තන්ගේ කාමරයට නොගොස් කෙළින්ම උත්සව ශාලාවට පැමිණ අසුන් ගෙන සිටියේ ආරාධිත අමුත්තන්ගේ කාමරයේ රනිල් රැඳී සිටි නිසා බවටද ආරංචි පැතිර ගියේය.


උත්සවය ආරම්භ කිරීමට විනාඩි කිහිපයකට පෙර අගමැතිවරයා පැමිණියේය. බන්දුල ඔහු කෙළින්ම ආරාධිත අමුත්තන්ගේ කාමරයට කැඳවා ගෙන ගියේ එහි උපන්දින කේක් එකක් සහ තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබූ බැවිනි. අගමැතිවරයා කාමරයේ රැඳී සිටියදී බන්දුල ශාලාවට පැමිණ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාද තේ පැන් සංග්‍රහයට කාමරයට කැඳවාගෙන ගියේය. පිරිසගේ ආශිර්වාදය මැද බන්දුල සිය බිරියඳ සමග එක්ව උපන්දින කේක් කපා එහි සිටි පිරිසටද සංග්‍රහ කළේය.


බන්දුලගේ උත්සවය ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල බන්දුල විසින් ආරම්භ කරනු ලැබුවේ තාක්ෂණවේදය විෂය හදාරන උසස් පෙළ සිසුන් වෙනුවෙනි. අරමුදලට බන්දුල සිය හිතවතුන්ගේද සහාය ඇතිව රුපියල් කෝටියක් පරිත්‍යාග කළේ අරමුදලට පදනම දමමිනි. ඔහු එම මුදල පරිත්‍යාග කරමින් ලිපි ලේඛනද අගමැතිවරයාට හා අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්ට පිරිනැමීය.


පක්ෂ නායක හමුව


ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හමුවක් ගිය අඟහරුවාදා හැන්දෑවේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවය අතරවාරයේ අගමැති මහින්දත් හිටපු ජනපති මෛත්‍රීත්, විමල්, උදය, ජනක, වාසු ඇතුළු පිරිසක් කලින්ම පිටත්ව ගියේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට නියමිතව තිබූ බැවිනි. බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ඩිව් ගුණසේකර, ටිරාන් අලස්, අතාවුල්ලා, ඩග්ලස් දේවානන්ද ඇතුළු පිරිසක් පක්ෂ නායක රැස්වීමට එක්ව සිටියහ. පක්ෂ නායක රැස්වීමේ අවධානය යොමු වූ ප්‍රධාන මාතෘකාව වූයේ වසර ගණනාවක් තිස්සේ කල්යමින් තිබෙන පළාත් සභා ඡන්දයයි. පළාත් සභා ක්‍රමය අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවත් ඒ නිසා ඡන්දය තියන්නට සිදුවන බවත් ජනාධිපතිවරයා කීවේය. පළාත් සභා මන්ත්‍රී සංසදයේ නියෝජිතයන්ගේ හමුවේදී ඉදිරිපත් වූ අදහස් ද ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරනු ලැබුවේ පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතු බව කියමිණි. පක්ෂ නායකයන් සියලු දෙනාම වාගේ කියා සිටියේ මැතිවරණය පැවැත්විය යුතු බවය. ඊට ඇති බාධා ගැනද කතාබහට ලක්විය. ඊළඟ ගැටලුව වූයේ පළාත් සභා ඡන්දය පවත්වන්නේ නම් ඒ පැරණි ක්‍රමයටද අලුත් ක්‍රමයටද යන්නය. ඒ සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී විවිධ අදහස් ඉදිරිපත් විය. සමහරු කීවේ පැරැණි ක්‍රමයට තැබීම පහසු බවය. එසේ වුවහොත් අලුත් පනත අහෝසි කර පැරැණි පනත බලාත්මක කිරීම සඳහා පනතට සංශෝධනයක් ගෙන ඒම ප්‍රමාණවත් බව සමහරුන්ගේ අදහස විය. ඒ අතර තවත් පිරිසක් කීවේ අලුත් ක්‍රමය යටතේ කොට්ඨාස මට්ටමින් සියයට 50 ක්ද ඉතිරි සියයට 50 අනුපාත ක්‍රමයෙන්ද තෝරා ගැනීමෙන් පළාත් සභාවල පාලනය පිළිබඳ ගැටලු මතුවන බවය. ඒ නිසා අලුත් ක්‍රමය යටතේ ඡන්දය පවත්වන්නේ නම් සියයට 70 ක් කොට්ඨාස ක්‍රමය යටතේද ඉතිරි සියයට 30 අනුපාත ක්‍රමය යටතේද තෝරාපත් කර ගැනීම වැදගත් බව ඔවුන්ගේ අදහස විය. කෙසේ වෙතත් ඡන්දය පවත්වන ක්‍රමය කුමක්ද යන්න අවසන් තීරණයකට එළැඹීමට නොහැකිවිය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා ඉවත් කර ඡන්දය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා සහ රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද එහිදී පත්කරනු ලැබීය.


පක්ෂ නායක රැස්වීමේ අවධානය යොමු වූ ඊළඟ කරුණ වූයේ මැයි දිනය පැවැත්වීමය. දිනේෂ් ගුණවර්ධන අදහස ඉදිරිපත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස මෙවර මැයි දිනය සැමරීම වැදගත් බවය.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය බ්‍රහස්පතින්දා උදේ බංගලාදේශය බලා පිටත්ව ගියේ දෙදින නිල සංචාරයක් සඳහාය. ඒ එරට අගමැතිනි සික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවය. බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැලකෙන ශෙයික් මුජිබර් රහ්මාන්ගේ ජන්ම ශත සංවත්සරය හා එරට නිදහස ස්වර්ණ ජයන්තියට අගමැති මහින්ද සහභාගි විය. මේ සංචාරයට ආචාර්ය ජී.එල්. පීරිස්, දයාසිරි ජයසේකර, අජිත් නිවාඩ් කබ්රාල්, තාරක බාලසූරිය ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එක්වූහ. අගමැතිවරයා කොවිඩ් පැතිරයාමෙන් පසුව විදේශ සංචාරයකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය විය. සිය දෙදින නිල සංචාරය නිමවා අගමැතිවරයා ඇතුළු පිරිස ඊයේ (20) දිවයිනට පැමිණීමට නියමිතව සිටියහ.
ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ ප්‍රධානත්වයෙන් බටහිර රටවල් කිහිපයක සහයෝගයෙන් විසින් ජිනිවා මානව හිමිකම් කොමිසමට ගෙන එනු ලබන මානව හිමිකම් යෝජනාව හෙට (22) ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට ​චෝදනා කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ. එම යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයද දැඩි උත්සාහයක නිරතව සිටී.


සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය


සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය පසුගිය සතියේ දී පැවැත්වු​ණේ හයිඩ් පිටියේ දීය. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවති සම්මේලනයට පාක්ෂිකයින් කැඳවීමත් සීමා කර තිබුණේය. ආසන සංවිධායකයින්ට සීමිත පාක්ෂිකයින් පිරිසක් පමණක් රැගෙන ඒමට අවස්ථාව ලබාදී තිබුණේය. එහෙත් පැමිණි සියලු දෙනාගේම අනන්‍යතාවයන් හා සම්බන්ධ කරගත හැකි දුරකතන අංක කල් ඇතිව ලබාදිය යුතුව තිබුණි.


සතියකින් පැළ ලක්ෂයක්


පක්ෂ සම්මේලනය පැවැත්වීමට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි. සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ දී එය පැවැත්වු​ණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.


පරිසරයට සිදුකර තිබෙන විනාශය ගැන එහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. රූපවාහිනී වැඩසටහනක් ඔස්සේ අදහස් දැක්වූ තරුණිය ගැන මන්ත්‍රීවරු අදහස් දක්වන්නට වූහ.


‘‘මේ ළමයා කිසිම බයක් නැතිව සිංහරාජය මායිමේ කැලේ කපන හැටි ගැන කතා කරනවා. විපක්ෂයක් විදියට අපි නගන හඬට මේ ජනතාවගේ හඬ ශක්තියක්’’ රෝහිණී කවිරත්න කීවාය.


‘‘ආණ්ඩුව මැදිහත්වෙලා කරන පරිසර විනාශය නවත්වන්න අපි කරගෙන යන වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න ඕනැ’’ සජිත් පැහැදිලි කළේය.


‘‘ඔය පරිසර විනාශය වෙන තැන්වලට සර් ගිහින් බලන එක හොඳයි’’ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කීය.
‘‘සර් ජංගම සේවයේ දී ගමට ගිහින් පැළ හිටවනවා. සමහරු ගස් කපනවා’’


එහෙම කීවේ ගයන්ත කරුණාතිලක ය.


‘‘සෑම මන්ත්‍රීවරයෙක්ම තමන්ගේ ආසනය තුළ රුක් රෝපණ සතියක් ක්‍රියාත්මක කරන්න. අපිට රට පුරාම ගස් ලක්ෂයක් සිටුවන වැඩක් ක්‍රියාත්මක කරන්න පුළුවන්’’ සජිත් උපදෙස් දුන්නේය.


මේ අතර පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පක්ෂයට ඇතුළත් කරගැනීම සඳහා වන කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ද ලබාගත්තේය.


‘‘චම්පික රණවක මැතිතුමාට අපි අනාගතයේ පක්ෂයේ විශාල වගකීමක් පවරනවා.’’ සජිත් පැහැදිලි කළේය.
සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුමේ වැඩ කටයුතු රැසක් උර මතට ගෙන තිබුණේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී ද වන ඔහු පසුගිය සති කිහිපය පුරාම දිවා රෑ නොබලා සංවත්සරය වෙනුවෙන් වෙහෙසු​ණේය. ඒ පිළිබඳව පක්ෂයේ සියලු‍ දෙනා කැපවූහ.


සජිත් මැදියම් රැය ඉක්ම ගිය විට පවා හරින්, ෆොන්සේකා, තිස්ස, රංජිත්, එරාන් ඇතුළු බොහෝ දෙනා සමඟ තත්ත්වය සාකච්ඡා කළේය.


‘‘වැදගත්ම දේ තමයි මිනිස්සුන්ගේ ආරක්ෂාව. ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් හදන්න. එන හැමෝටම අත් සෝදන්න අවස්ථාව හදන්න.’’ සජිත් නිතරම කීවේය.


සම්මේලනය පැවති දිනයේ උදෑසන එකොළහට පමණ සජිත් සංවත්සර භූමියට පැමිණයේය. ඒ සංවත්සර සූදානම ගැන සොයා බැලීමටය. ඒ වන විටත් හරින්, අජිත් පී. පෙරේරා, ඉරාන්, මුජිබර්, මරික්කාර් මනූෂ ඇතුළු පිරිසක් එම ස්ථානයේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටියහ.


සංවත්සරය සවස දෙක හමාරට ආරම්භ කිරීමට කටයුතු කර තිබුණ ද දෙක වෙනවිට සියලු‍ ආසන පිරී තිබිණි. එන සියලු‍ දෙනාටම කුඩා අත් සේදුම් බෝතලයක් ලබා දෙන්නට සංවිධායකයින් කටයුතු කර තිබිණි.
උත්සව භූමියට සජිත් එනවිට සියලු‍ දෙනා ප්‍රීතිඝෝෂා නැගූහ. සජිත් මුලින්ම ගියේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් අසලටය. උන්වහන්සේලාගේ ආශිර්වාදය ගෙන හෙතෙම ප්‍රධාන වේදිකාවට පැමිණ ජනතාවට ආචාර කළේය. සජිත් අසුන්ගත් අසුනෙහි එක් පසෙකින් සිටියේ සරත් ෆොන්සේකාය. රාජිත සේනාරත්න තවත් පසෙක විය. පාඨලී චම්පික රණවක ඒ අසලම විය.


අද ගොවියා අනාථ වෙලා. ධීවර ජනතාව අනාථ වෙලා. කර්මාන්ත ක්ෂේත්‍රය අඩාළ වෙලා. වැඩ බිමේ කම්කරුවාට රැකියා අහිමි වෙලා. අපි ජනතාව එක්රොක් කරමින් වීදි බහිනවා. ජනතාවට සමගි ජන බලවේගය නායකත්වය දෙනවා.’’ සජිත් කීවේය.


සම්මේලනය අවසන්වීමෙන් පසුව තවත් කණ්ඩායමක් එතැනට පැමිණයේය. ඒ රැස්වීම් භූමිය පිරිසිදු කිරීමේ කණ්ඩායමයි. පක්ෂයේ ස්වේච්ඡා කණ්ඩායමක් වූ එම කණ්ඩායම පිටිය පුරා තිබූ කැළි කසළ ඉවත් කළේය. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පසුගිය දිනවල සිටියේ තරමක අසනීප ගතියෙනි. මේ නිසා ඔහුගේ දුක සැප සොයා බැලීමට ද සජිත් වේලාව වෙන් කිරීමට අමතක කර තිබුණේ නැත.


සත්කාරය රට වටේම


මේ අතර පාර්ලිමේන්තු සැසිවාර නොපැවැත්වීම නිසා විපක්ෂ නායක ජංගම සේවා කිහිපයක්ම පසුගිය සතියේ පැවැත්විණ.


‘‘මට අවුරුදු හැට පහක් වයස. මගේ පුතා කුඩු බොන්න පුරුදු වෙලා. අපිට මේ අපේ ප්‍රශ්න සජිත් මහත්තයා එක්ක කතා කරන්න පුළුවන්. කුඩු අල්ලනවා කියලා බොරුවට ටී.වී. එකේ පෙන්වනවා. ඒත් අනික් පැත්තෙන් කුඩු එවනවා’’ රටටම ප්‍රශ්නයක් වී තිබෙන මත්ද්‍රව්‍ය ගැටලුව ගැන මාළිගාවත්තේ කාන්තාවක් සජිත්ගේ අවධානය යොමු කළාය.


‘‘සර් අපේ ගෙවල් කඩන්න යනවා. අපිට අලුත් ගෙවල් දෙනවා කියනවා. හුණ්ඩු ගෙවල් තමයි දෙන්නේ. අපිට සාධාරණ ඉඩක් තියෙන ගෙයක් දෙන්න’’ කාන්තාවක් ඉල්ලුවාය.


‘‘මම ඔයාලගේ ෆ්ලැට් එකට එනවා. මම මගේ නීති කණ්ඩායමත් එක්ක එන්නේ. අපි මේකට නීතිමය පියවර ගනිමු’’ සජිත් සහතිකයක් දුන්නේය.


ගිනිගත් නිවාස බලන්න යයි


ග්‍රෑන්ඩ්පාස් කජිමාවත්ත ප්‍රදේශයේ ඇතිවූ ගින්නෙන් විනාශ වූ නිවාසවල පුද්ගලයින් හමුවීමට සජිත් ගියේ ගින්න ගැන තොරතුරු ලැබුණ වහාමය. ඒ වන විටත් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් එහි පැමිණ තිබුණේ නැත.


‘‘සර් අපි හරිම අසරණ වෙලා ඉන්නේ දැන්. අපේ ගෙවල්වල තිබුණ දේවල් නැතිවෙලා’’ ජනතාව දුක කියන්නට වූහ.


‘‘හරි මම දවස් කිහිපයකින් අායිමත් එනවා’’ සජිත් පොරොන්දු විය.
පොරොන්දු වූ පරිදිම ඔහු ගින්නෙන් විනාශ වූ නිවාසවල නිවැසියන් තාවකාලිකව රඳවා සිටි මෝදර උයන ප්‍රජා ශාලාවට ගියේය. ඒ පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ආහාර හා තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් රැගෙනය.


භාග්‍යා දැරිය රකින්න එජාප නියෝජ්‍ය නායකත් එක්වෙයි

එක්සත් ජාතික පක්ෂ ලක්වනිතා මව්වරුන්ගේ සංවිධානය මගින් ‘භාග්‍යයාට අතනොතබනු’ යනුවෙන් සකස් කරන ලද ප්‍රකාශයට පළමුවෙන්ම අත්සන් තැබුවේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාය.
සිංහරාජය ආසන්නයේ සිදු වූ බව කියන වන විනාශයක් සම්බන්ධයෙන් භාග්‍යා දැරිය රූපවාහිනී මාධ්‍යයකට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට ඇයට දැඩි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවී ඇත.
මෙම දැරිය ආරක්ෂා කර ගැනීම සඳහා අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමට සුනේත්‍රා රණසිංහ හා ශාන්තිනී කෝංගහගේ යන මහත්මීන් ඉදිරිපත් වී සිටි අතර එම ප්‍රකාශයට ප්‍රථමයෙන් අත්සන් තැබුවේ රුවන් විජයවර්ධන මහතාය.


‘මුලාව පරදමු - එක් වී ජයගමු’ යන තේමාව මත පවත්වන ලද දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩ සටහන ගිය සතියේදී අවසන් වූ නිසා ආසන මට්ටමින් එම වැඩපිළිවෙළ පැවැත්වීමට ගිය සතියේදී රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්වුණි.


මෙයට අමතරව බියගම එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සිරිකොතට පැමිණ රුවන් විජයවර්ධන මහතා හමුවූහ. බියගම හෝ මීරිගම ආසන සංවිධායක තනතුර ලබා ගන්නා ලෙස එහිදී ඔවුහු ඉල්ලා සිටියහ. මීරිගම රුවන් විජයවර්ධන මහතාගේ මව් පාර්ශ්වයෙන් ලැබෙන උරුමයක් ලෙසටත්, බියගම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු උරුමයක් ලෙසටත් සලකා එම ආසන දෙකෙන් එකකට පැමිණෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.


ගිය සතියේ බස්නාහිර පළාතෙන් පිටව නොගිය රුවන් විජයවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡා ගණනාවකටම සහභාගි විය.

 

 

- ගජබා -