ජනපති තේරීම් කාරක සභාව පතුරු ගහයි


සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය අඟහරුවාදා පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීය. කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කරන්නැයි ඉල්ලා ගිය සතියේ පැවැති උපවාසය මෙවර කැබිනට් රැස්වීමේදීද මාතෘකාවක් විය. විෂය භාර ඇමැති වජිර අබේවර්ධන කීවේ මෙය 89 ඉඳලා එන අවුරුදු 30ක් පැරැණි ප්‍රශ්නයක් බවය. ඔහු ඒ ගැන පැහැදිලි කරද්දි ජනාධිපතිවරයා කීවේ මේ සම්බන්ධයෙන් විසඳුමක් හැකි ඉක්මනින් දෙන ලෙසය. ඒ අනුව වජිර කීවේ මාසයක් ඇතුළත ප්‍රශ්නය විසඳන බවය.


මේ අතර කාලයක් තිස්සෙ ඇදී ගිය ටැබ් ප්‍රශ්නයටද මෙවර විසඳුම් ලැබිණි. රජයේ පාසල්වල අපොස උසස් පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම ආණ්ඩුව එන්නටත් පෙර එජාපය දුන් පොරොන්දුවකි. එම පොරොන්දුව ඉටුකරන්නට ආණ්ඩුව වරින් වර උත්සාහ කළද ජනපති මෛත්‍රීගෙන් ඊට අනුබලයක් නොලැබිණි. ජනාධිපතිවරයා ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදීද ඊට අදාළ යෝජනාව සතියකින් කල් දැමුවේ ඊට වඩා අවශ්‍යතා තිබෙන බව කියමිනි. අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ ටැබ් පරිගණක දීමේ යෝජනාව මෙවර කැබිනට් රැස්වීමේදීද සාකච්ඡා විය. ඒ අනුව එම යෝජනාවට මෙවර අනුමැතිය ලැබිණි.


සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම ශ්‍රී ලංකාවත් ඇමෙරිකාවත් අතර අත්සන් කරන්න යෝජනාවී ඇති ගිවිසුමකි. ජනපති මෛත්‍රී එම යෝජනාවට කල්තියාම විරුද්ධව සිටියේය. මෙවර කැබිනට් රැස්වීමේදීද ජනාධිපතිවරයා කියා තිබුණේ එම ගිවිසුම සම්බන්ධයෙන් එහි සෑම වගන්තියක්ම අධ්‍යයනය කිරීමකින් තොරව තීන්දුවක් නොගන්නා ලෙසය. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාවේ සාකච්ඡාවට ලක්වූ කරුණු ද ඉදිරිපත් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමැතිවරයාද අදහස් දැක්වූයේ එමගින් ලංකාවට ලැබෙන වාසිය ගැනද සඳහන් කරමිනි. ඔහු කීවේ මේ හරහා ලංකාවට ඩොලර් මිලියන 400ක පමණ ප්‍රදානයක් ලැබෙන බවය. ගිය ආණ්ඩුවත් මේක ගන්න උත්සාහ කළා. හැබැයි ගන්න බැරිවුණා. අපට මේක ගන්න හැකිවුණේ යහපාලන ප්‍රතිපත්ති නිසා යැයි මංගල කීවේය.


අලුතින් ගෙන ඒමට යන ඉඩම් පනතකටද ජනාධිපතිවරයා විරෝධය පළ කළේය. එම පනත සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළ නිර්දේශ කෙටුම්පතට ඇතුළත් නොකිරීම ගැන ජනාධිපතිවරයා දොස් කීවේය. ඒ අතර අගමැතිවරයාද අදහස් දක්වන්නට විය. ඔහු කීවේ මෙම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සැළකිල්ලට ගත හැකි බවය.
රජයේ සේවකයින්ගේ කාර්යාල ඇඳුම ගැන තවත් චක්‍රලේඛයක් රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා ඉදිරිපත් කර තිබිණි. ඒ මීට පෙර ඉදිරිපත් කර තිබූ චක්‍රලේඛයක් යළි සංශෝධනය කරමිනි. රජයේ කාර්යාලවල සේවය කරන කාන්තාවන්ට සාරිය, ඔසරියට අමතරව කලිසම ආදී සංවර ඕනෑම ඇඳුමක් ඇඳිය හැකි ලෙස එම චක්‍රලේඛය සකස් කර තිබිණි.


මේ අතර මනෝ ගනේෂන් හා දිගම්බරම් යන ඇමැතිවරුන් දෙදෙනා ආණ්ඩුවට දෝෂාරෝපණයක් එල්ල කළේ වතු කම්කරුවන්ට අප්‍රේල් මාසයේ සිට රජයෙන් දෙන බව කී රුපියල් 50 වැටුප් වැඩිවීම මෙතෙක් ලබාදී නැතැයි කියමිනි. අප්‍රේල් මාසයේ අපිට එය ගෙවන බව කීවත් මෙතෙක් එය වතු කම්කරුවන්ට ලැබී නැතැයි ඔවුහු සඳහන් කළහ. ඔවුන් දෙදෙනාම කීවේ මෙම පොරොන්වූ මුදල හැකි ඉක්මනින් නොගෙවන්නේ නම් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට වුවද සිදුවන බවය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඉකුත් බදාදා රාත්‍රියේ විශේෂ පිරිත් දේශනයක් පැවැත්වුණේ පක්ෂ මූලස්ථානයේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය නවීකරණය කිරීම නිමිති කර ගනිමිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මහලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා එම පිරිත් පින්කමට සහභාගිවන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ලිපියක් යවමින් ආරාධනා කර තිබිණි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද ශ්‍රීලනිප මූලස්ථානයට රාත්‍රි 8.30ට පමණ පැමිණියේය. ඒවනවිටත් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන්ද වෙල්ගමට ලැබුණේ ඉහළ පිළිගැනීමකි.


‘‘මම ශ්‍රී ලංකා එක අතාරින්නෙ නැහැ. මම කොල්ල කාලෙ ඉඳලම හිටියේ ශ්‍රී ලංකා එකේ. මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නෙත් නැහැ. වෙන පක්ෂයකට යන්නෙත් නැහැ. මම යනවා නම් යන්නෙ ගෙදර’’ යැයි වෙල්ගම එහි සිටි අයට කීවේය. අනතුරුව ජනපති මෛත්‍රීද පැමිණියේය. ජනාධිපතිවරයා කලින් පැමිණීමට සූදානමින් සිටියද පක්ෂයෙ මධ්‍යම කාරක සභාව රැස්වූ නිසා ජනාධිපතිවරයා එනවිට රාත්‍රි 9.45 පමණ වී තිබිණි. ජනාධිපතිවරයා පිරිත් ඇසුවේ වෙල්ගමත්, අමරවීරත් දෙදෙනාම ළඟින් වාඩිකර ගනිමිනි. මහ පිරිත අවසන් වී පක්ෂ මූලස්ථානයේ ඉහළ මහලේ පිහිටි කාමරයකට පිරිස තේ බොන්නට ගිය අතර එහිදීද ජනාධිපතිවරයා ළඟම අසුනේම වාඩි කරවා ගත්තේ වෙල්ගම මන්ත්‍රීවරයාය. ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානයේ පැය දෙකක් පමණ තිස්සේ රැඳී සිටියේය. එහෙත් වෙල්ගම පැය තුන හමාරක් තිස්සේ පක්ෂ මූලස්ථානයට වී සිටියේ එතනට ආ පාක්ෂිකයන් සමඟද කතා බහ කරමිනි.


අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මේ වන විට රටතුළ මහත් ආන්දෝලනයට තුඩු දී ඇති මාතෘකාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් මෙම තේරීම් කාරක සභාවට සහභාගි වීම වර්ජනය කළේ එය එජාප ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියක් බව කියමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් මුල සිටම දැක්වූයේ දැඩි විරෝධයකි.   


ජනපති මෛත්‍රි සුපුරුදු පරිදි මාසිකව පැවැත්වෙන පුවත්පත් කතුවරුන්ගේ හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව ගිය බදාදා ජනාධිපති මන්දිරයේදී කැඳවා තිබුණේ මේ අතරවාරයේය. එහිදී මාධ්‍ය ප්‍රධානියකු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයාද කැඳවා ඇති බැවින් ඊට සහභාගි වන්නේද කියාය. තේරීම් කාරක සභාවට මාව කැඳවලත් නැහැ. මම යන්නෙත් නැහැ. තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා කැඳවන්න පුළුවන්කමකුත් නැහැ. ඒක නිකං විහිළු කතාවක්. ඔය මාධ්‍යවලට දීපු වැරදි තොරතුරක් ජනාධිපතිවරයා කීවේය.   


ඒ සමගම ජනාධිපතිවරයා තේරීම් කාරක සභාව ගැන දැඩි විරෝධයක් පළ කළේය. “ඔය තේරීම් කාරක සභාව කියන්නෙ තනිකරම දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය හවසට අරලියගහ මන්දිරයේ ප්‍රැක්ටිස් කරනවා. පහුවදා උදේට පාර්ලිමේන්තුවේ පෙන්වනවා. මේක අරලියගහ මන්දිරයේ පිටපත ලියලා අධ්‍යක්ෂණය කරලා හවසට පුහුණුවීම් කරල පහුවදා පාර්ලිමේන්තුවට ගිහින් කැමරා දාගෙන පෙන්වන දේශපාලන නාට්‍යයක්” යැයි ජනාධිපතිවරයා කීවේ තේරීම් කාරක සභාවේ ක්‍රියාකලාපය ගැන දීර්ඝ විස්තරයක් ද කරමිනි.   


මේ දිනවල තිබෙන අනෙක් ප්‍රශ්නය ජනාධිපතිවරණයට ජනාධිපතිවරයා යළි තරග කරන්නේද යන කාරණයයි. ඒ ප්‍රශ්නය ද මාධ්‍ය ප්‍රධානියෙකු ඇසූවිට ජනාධිපතිවරයාද උත්තර දුන්නේ ඔව් නෑ බෑ තරගයක ප්‍රශ්නයකට පිළිතුරු දෙන අන්දමිනි. “මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 52 යි. මේ අවුරුදු 52 තුළ දේශපාලනයේ එක් එක් සන්ධිස්ථාන තිබුණා. හැරවුම්ලක්ෂ තිබුණා. ඉදිරියට ජනාධිපතිවරණයේදි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ගන්නා තීන්දු අනුව තමයි කටයුතු කරන්නෙ. කිසිම දේශපාලන පක්ෂයක් අපේක්ෂකයින් නම්කර නැති නිසා ශ්‍රීලනිපයටත් එහෙම හදිසියක් නැහැ” ජනපති මෛත්‍රී කීවේය.   


මේ අතර ජනාධිපතිවරයා 19 වන සංශෝධනය ගැන කීවේ එය සම්මත කිරීමට දරන ලද උත්සාහය ගැනද විග්‍රහ කරමිනි. “19 වන සංශෝධනයෙන් රටට සිදුවුණේ විනාශයක්. 18 වන සංශෝධනය රාජාණ්ඩු ක්‍රමයක්. 19 වන සංශෝධනයෙන් වූයේ රට අස්ථාවර වීමක්. ඩ්‍රයිවර්ලා දෙන්නෙකුට වාහනයක් ගෙනියන්න බැහැ කියලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියලා තිබුණා. මෙතනදි වාහනය ගෙනියන්න ලයිසන් එකක් දුන්න එක ඩ්‍රයිවර් කෙනකුට ජනතාව හැට දෙලක්ෂ පනස් දහසකගේ ඡන්දයෙන්. නමුත් පාර්ලිමේන්තුවේ ලයිසන් එකක් අරගෙන ඉස්සරහ සීට් එකේ වාඩි වුණා තව කෙනෙක්. ඒකෙන් තමයි ඩ්‍රයිවර්ලා දෙන්නෙක් වුණේ. හැට දෙලක්ෂ පනස් දහසක ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ඩ්‍රයිවර්ට වාහනය ගෙනියන්න දෙන්න ඕන. හැට දෙලක්ෂ පනස් දහසක ඡන්දයෙන් පත්වු ඩ්‍රයිවර් ගියර් දාලා වාහනේ ඉස්සරහට ගන්න හදනකොට පාර්ලිමේන්තුවේ ලයිසන් එකෙන් ආපු ඩ්‍රයිවර් ඇවිත් ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා ගියර් දානවා. හිටපු ගමන් ස්ටියරින් වීල් එකේ පැත්තකින් අල්ලලා කරකවනවා. එතකොට වාහනේ හැප්පෙනවා. පාරෙන් පනිනවා” යැයි කී ජනාධිපතිවරයා 19 වහාම අහෝසි කළයුතු බව කීවේය.   


මේ අතර ජනාධිපතිවරයා කීවේ 19 ව්‍යවස්ථා සංශෝධනය හැදුවේ කවදාවත් ව්‍යවස්ථාවක් හදල නැති බක පණ්ඩියො ටිකක් බවය. ඔවුන් මක බාස්ලා ලෙස හැඳින් වූ ජනාධිපතිවරයා මේ 19 හැදුවේ ජයම්පති  වික්‍රමරත්න, සුමන්තිරන්, පාක්‍යසෝති සහ රට කන එන්ජී​ඕ කාරයින් පිරිසක් බවය. ජනමත විචාරණයක් පවත්වන්නට යන බවට ගිය ආරංචිය ගැනද ජනාධිපතිවරයා කීවේ එවැනි කිසිදු අදහසක් නැති බවය.   


ඊළඟට කතාබහට ලක්වූ මාතෘකාව වූයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැනය. ජනාධිපතිවරයා කීවේ මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින් 4 දෙනෙකු එල්ලා මැරීමට තම අත්සන් යොදා දිනයද තීරණය කර බන්ධනාගාරයට යවා ඇති බවය.   


මේ අතර ජනාධිපතිවරයා කීවේ තමාට මාධ්‍යයට විරුද්ධවද පැමිණිල්ලක් කිරීමට ඇති බවය. තමාගේ විදේශ සංචාර පිළිබඳ සමහර වැරදි ප්‍රවෘත්ති පළකරන බව කී ජනාධිපතිවරයා ළඟදී ගිය ටජිකිස්ථාන සංචාරයට 50 දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගෙන ගිය බවට මාධ්‍ය වාර්තා පළවූ බව කීවේය. මම ඒ සංචාරයට ගෙනිච්චේ තුන්දෙනයි. ඊට පෙර ගිය අයවත් එක්කරගෙන ගියේ දහයකට අඩු ගණනක්. මම දන්නවා මේක හදලා දීපු තැන. මේක හදල දුන්නේ මල්ගහක නමක් කියවෙන තැනකින් යැයි ජනාධිපතිවරයා කීවේ හැමෝම හිනස්සවමිනි.