ජනපති ගෝඨාභයත් ඡන්ද සටනට බසී


  • රවිත් සමග සමගි ජන බලවේගයෙන් කතා කළේ කවුද?
  • ඉහළ ගිය විදුලි බිල කැබිනට්ටුවත් රත්කරයි
  • ප්‍රසන්න, අමරවීර දයාසිරි හැප්පෙති
  • එජාප නායක රනිල් අභයාරාමයට යයි

ලබන මස 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂවල ප්‍රචාරක ව්‍යාපෘතිය ඉකුත් සතිය වනතෙක්ම පැවතුණේ ඉබි ගමනේය. එහෙත් පසුගිය සතියේ සිට ඡන්ද ව්‍යාපාරය නව ජවයකින් ඉදිරියට යමින් තිබෙන්නේ දේශපාලන පක්ෂ නායකයන්ද ඡන්ද සටනට බැස සිටින බැවිනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය සති අන්තයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ගෙන්ගෙට යමින් ඡන්ද ව්‍යාපාරයේ යෙදුණේය.


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ගිය සතියේ එජාප ඡන්ද ව්‍යපෘතිය ආරම්භ කළේ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමිනි. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම් සති ගණනාවක් තිස්සේ ඡන්ද ව්‍යාපාරයට අවතීර්ණවී සිටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ව්‍යාපාරයට අවතීර්ණ වූයේ පෙරේදාය. (03) ය. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ට සහාය පළ කරමින් ජනාධිපතිවරයා එදින ජනහමු ගණනාවකට සහභභාගි විය. සංඛ්‍යාත්මකව ගත්විට ජනහමු 12කි. දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කරන අපේෂකයන් 12 දෙනාගේම ජනහමුවලට ජනාධිපතිවරයා සහභාගි විය. එහි විශේෂත්වය වන්නේ පොදුජන පෙරමුණේ අයගේ පමණක් නොව පොදුජන පෙරමුණෙන් තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේෂකයන්ගේ ජනහමුවලට ද ජනාධිපතිවරයා සහභාගි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායකත් මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායකත් අනුරාධපුරයෙන් තරග කරන්නේ පොහොට්ටුවෙනි. ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාගේම ජනහමුවලට සහභාගිවූ අතර රැස්වීම් ආරම්භ වූයේ අනුරාධපුරයේ එස්.එම්. චන්ද්‍රසේනගේ ජනහමුවෙනි. අගමැති මහින්දද ගිය සති අන්තයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ හා ශ්‍රීලනිපයේ අපේක්ෂකයන්ගේ ගෙවල්වලටම ගොස් රැස්වීම් ඇමතුවේ මේ ආකාරයටය.


ජනාධිපතිවරයා පොහොට්ටුවේ සෑම අපේක්‍ෂකයකුගේම ජනහමුවකට බැගින් සහභාගි වීමට තීරණය කර හමාරය. ඒ අනුව, පොහොට්ටුවෙන් තරග කරන සියලු අපේක්‍ෂකයන්ගේ එක ජනහමුවකට බැගින් ජනාධිපතිවරයා සහභාගීවනු ඇත. එක දිස්ත්‍රික්කයකට යන ජනාධිපතිවරයා එදින දවස පුරාම එම දිස්ත්‍රික්කයේ ගත කරමින්, අපේක්‍ෂකයන් සියලු දෙනාගේම එක ජනහමුවකට බැගින් සහභාගී වේ. අනුරාධපුරයෙන් පෙරේදා ඇරඹි එම වැඩසටහන ඡන්දය තෙක් දිගටම ක්‍රියාත්මක වේ. ජනාධිපතිවරයා එක් එක් දිස්ත්‍රික්ක වෙනුවෙන් මේ වනවිටත් දින වෙන්කර ඇති අතර, එම ජනහමු සැලැස්ම සකස් කර ඇත්තේ, බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයා විසිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොළොන්නරුවේ ගත කරන දිනයේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනහමුවකටද සහභාගී වෙයි.


ගෝඨාභය - මහින්ද, බන්දුලගේ චිත්‍රපටය නරඹන්න යති


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය බිරිඳ අයෝමා රාජපක්‍ෂ මහත්මියද සමග ගිය ඉරිදා රාත්‍රියේ චිත්‍රපටයක් බලන්නට වන් ගෝල්ෆේස් පී.වී.ආර්. සිනමා ශාලාවට ගියේය. ජනාධිපතිවරයා පමණක් නොව අගමැති මහින්ද ද ඊට එක්විය. ඒ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ආරාධනයෙනි. බන්දුලගේ සම නිෂ්පාදනයක්වන ‘‘ද නිව්ස් පේපර්’’ චිත්‍රපටය එදින වන් ගෝල්ෆේස් සිනමා ශාලාවේ විශේෂ දර්ශනයක් ලෙස ප්‍රදර්ශනය වූයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙනි. කෝවිඩ් ප්‍රශ්නය නිසා මේ වෙලාවේ චිත්‍රපටි ශාලාවලට චිත්‍රපටි දාන්න කවුරුවත් කැමැති නෑ. මම මේ චිත්‍රපටය දැම්මෙ කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕන නිසයි’’ බන්දුල ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් කීවේය. චිත්‍රපටය හොඳ බව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කීවෝය. අවසානයේ ජනාධිපතිවරයා අගමැතිවරයා සහ බන්දුලත් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේ, චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙදෙනා වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ද සමගිනි.


කැබිනට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සුපුරුදු පරිදි පැවැත්විණි. එහිදී කැබිනට් පත්‍රිකා ගැන කතාබහ කරන අතරේ අවශේෂ කාරණා කිහිපයක්ද සාකච්ඡාවට ගැනුණි. කොරෝනා වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස පැනවුණු ඇඳිරිනීතිය සමයේ විදුලි බිල්පතේ ගාස්තු ඉහළයාම සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දිගින් දිගටම මැසිවිලි නගමින් සිටිති. මේ ගැන පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයටත් අමාත්‍යාංශයටත් පමණක් නොව ඇමැති මහින්ද අමරවීරටද පැමිණිලි කර තිබුණේ ඒ තරමටම ලොකු අර්බුදයක් ඇතිව තිබූ බැවිනි. රුපියල් 5000 මාසික බිල්පත් එන සමහර තැන්වල බිල රුපියල් තිස් හතළිස් දහස දක්වා ඉහළ ගොස් ඇති බවටද වාර්තා විය. මේ හේතුවෙන්, මහින්ද අමරවීරද ලොකු ගැටලුවකට මුහුණ දී සිටියේය. ඔහු කැබිනට් රැස්වීමේදී මේ ගැන පැහැදිලි කළේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක්ද ඒ සඳහා අපේක්‍ෂාවෙනි. ජනාධිපතිවරයා කීවේ තමන්ටද ඒ ගැන වාර්තා වී ඇති බවය. ​

‘‘මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙන්න දෙන්නත් බෑ. අපි මාර්තු, අප්‍රේල් මාස දෙකේ විදුලි බිලට සහනයක් දෙන්න බලමු’’ යැයි කී ජනාධිපතිවරයා මහින්ද අමරවීරට කීවේ ඒ ගැන අධ්‍යයනයට කමිටුවක් පත්කර, සහන සැලසීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන ලෙසය. ඒ අනුව මහින්ද අමරවීර පසුවදාම කමිටුවක් පත්කර, සඳුදා වනවිට වාර්තාවක් දෙන්නැයි දැනුම් දුන්නේය.


මැතිවරණ සමයේ චිත්‍රපට ප්‍රදර්ශනයේදී අපේක්‍ෂකයන්ට වාසි සැලසෙන ආකාරයෙන් ඒවා ප්‍රදර්ශනය නොකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තහනමක් පනවා තිබේ. මේ ප්‍රශ්නය ජනමාධ්‍ය ඇමැති බන්දුලටත් අදාළ නිසා ඔහු මේ ගැන කැබිනට් රැස්වීමේදී මතු කළේය. ‘‘කවුරුවත් චිත්‍රපට දාන්නෙ නැති නිසා අපි ද නිව්ස් පේපර් චිත්‍රපටය පෙන්නන්න ගත්තා. ඒකෙ සම නිෂ්පාදක මම. දැන් මැතිවරණ කොමිසම කියනවා අපේක්‍ෂකයන්ගේ නම් පෙන්වන්න එපා කියලා. මේක හරි අසාධාරණයි’’ බන්දුල කැබිනට්ටුවේදී කීවේය. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් කීවේ තමන්ද මේ චිත්‍රපටය නැරඹූ බවය. බන්දුල වෙනුවෙන් විමල් වීරවංශ ඇමැතිවරයාද කරුණු දැක්වීය. ඔහු කීවේ මෙතන අපේක්‍ෂකයන් පිම්බීමක් සිදු නොවන බවය.
මැතිවරණයට දින ළංවෙත්ම අපේක්‍ෂකයන් අතර මනාප තරගයද දිනෙන් දින වැඩිවෙමින් තිබේ. පක්‍ෂ අතර තරගයටත් වඩා වැඩිපුර දකින්නට ඇත්තේ පක්‍ෂයේම අපේක්‍ෂකයන් අතර මනාප තරගයකි. එයින්ද වැඩිපුර දක්නට ඇත්තේ පොහොට්ටුවේම අපේක්‍ෂකයන් අතරය. හැම දිස්ත්‍රික්කයකම එය සාමාන්‍ය පරිදි දකින්නට ලැබුණද සමහර දිස්ත්‍රික්කවල පොහොට්ටුවේ අපේක්‍ෂකයන් අතරම මනාප සටන උග්‍රව තිබේ. ඒ පොහොට්ටුව යටතේ තරග කරන පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතරය. සමහර පොහොට්ටුවේ අපේක්‍ෂකයන් කියාගෙන යන්නෙ ශ්‍රීලනිපයේ අයට ඡන්දය දෙන්න එපා යනුවෙනි. මේ නිසා පොහොට්ටුවේ හා ශ්‍රීලනිපය අපේක්‍ෂකයන් අතර මනාප සටන එළිපිටම දකින්නට ලැබේ.
ප්‍රසන්න රණතුංග පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික්ක කණ්ඩායම් නායකයාය. ඔහු දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට එරෙහිව මත පළකරනු පසුගිය කාලය පුරාම දකින්නට තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඔහුගෙන් එල්ල වන්නේ ප්‍රබල විවේචනයකි. ප්‍රසන්නගේ චෝදනාවලට ශ්‍රීලනිපයේ මහින්ද අමරවීරත්, දයාසිරි ජයසේකරත් ගිය සතියේ තැන් කීපයකදී උත්තර දුන්නේය. දයාසිරි කියා තිබුණේ ප්‍රසන්න එජාපයේ ඩීල් එකක් කරන බවය. ශ්‍රීලනිපයට දොස් කීමෙන් සිදුවන්නේ ජනාධිපතිවරයාට තුනෙන් දෙකේ බලයකින් ආණ්ඩුවක් පිහිටුවීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමක් බව අමරවීර කීවේය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් ගිය අඟහරුවාදා දහවල් රැස්වූයේ ජී.එල්. පීරිස් හිටපු ඇමැතිවරයාගේ නිවසේය. මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට බැසිල් රාජපක්‍ෂ, ඩිව් ගුණසේකර, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.


සමගි ජන බලවේග අපේක්ෂකයන් එජාපය සමග රහස් කතා


කොරෝනා හේතුවෙන් සාම්ප්‍රද‌ායිකව ජනරැලි පැවැත්වීමේ සීමා කිරීම් සිදුව තිබෙන හෙයින් නව තාක්ෂණය හරහා දුරස්ථකරණයක් ද සමගින් තම මැතිවරණ මෙහෙයුම ජනතාව අතරට ගෙන යාමේ එජාප ක්‍රමවේදය පසුගියද‌ා සිරිකොතේදී පැවැත්වූවේ ඩිජිටල් ක්‍රමය හරහාය. රට පුරා රැලි සියයකට ආසන්න සංඛ්‍යාවක් ඒ හරහා පැවැත්වීමට එජාප නායකයාගේ උපදෙස් පරිදි කටයුතු සිදු කෙරිණි.


‘මේකේ අඩුපාඩු බලලා ඒවත් හද‌ාගෙන මේ ක්‍රමය ඉදිරියටම ගෙන යනවා. ඒ වගේම සාමාන්‍ය ක්‍රමවේදයටත් අපි අනුගත වෙනවා. එහි දෙවැනි අදියර ලෙස මැද කොළඹ ඉලක්ක කොට මීළග මෙහෙයුම සූද‌ානම්.’ එජාප නායකයාගේ ස්ථාවරය එය විය.


එම්.සී.සී. ගිවිසුමට අද‌ාළ ප්‍රාථමික ගිවිසුම් දෙකක් පසුගිය රජය අත්සන් කළ බවත් දෙවරකදී ඩොලර් මිලියන 10 ක ප්‍රධානයක් ලබාගෙන ඇති බවටත් පසුගිය සතියේ චෝදනා ස්වරූපයෙන් එල්ල වූවේ ඒ ගැන විමර්ශනය කළ ජනපති කමිටු වාර්තාව හරහාය. එජාපය ඊට අද‌ාළව නිවේදනයක් නිකුත් කළ අතර එහිදී එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේපකොට තිබිණි.


‘ඉරලා ද‌ානවා කියපු එම්.සී.සී. ගිවිසුම කරනවා ද නැද්ද කියලා රටට සහතික වෙන එකයි දැන් ආණ්ඩුවට තියෙන්නේ.’ එජාප නායකයාගේ ස්ථාවරය පසුගියද‌ා එළිදුටුවේය.


සමගි ජන බලවේගයට අයත් ප්‍රබලයන් ඇතුළු කිහිප දෙනෙක් එජාප නායකයා සමඟ රහසේ ගනුදෙනු කිරීම පිළිබඳව ද වාර්තා වෙමින් තිබේ. ඉන් එක් අයෙක් රවි කරුණානායක සමග සාකච්ඡා කළ බවට ද වාර්තා පළවිය. ‘රවිත් එක්ක කව්රු කතා කළා ද මම දන්නේ නැහැ. හැබැයි මාත් එක්කත් කිහිප දෙනෙක් කතා කරනවා.’ ඒ ගැන විමසූ අයට එජාප නායකයා කීවේ එවැන්නකි.


යුරෝපා සංගමය තම රටවලට පැමිණීමට කොරෝනා මර්දනය කළ රටවල් 14 කට පසුගියද‌ා ඉඩකඩ විවර කළේය. එහෙත් කොරෝනා මර්දනය ඉහළින් කළ බවට ආණ්ඩුව උදම් අනද්දී ශ්‍රී ලංකාවට එම අවස්ථාව උද‌‌ාවී නැතැයි විවිධ පිරිස් එජාප නායකයාට කීහ.


‘ඉඩදෙන රටවල් ගැන යුරෝපා සංගමය තීන්දු කරලා තියෙද්දී ලංකාව බලහත්කාරයෙන් ඒ අවස්ථාව ඉල්ලන්න ගිහින් වැඩේ අවුල් කර ගත්තා. අනික කොරෝනා මර්දනය කරන්න මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැඩි කැපකිරීමක් කරද්දී සියලු ගෞරවය ජනපතිටයි කියලා මහින්ද කීම ගැන විශාල පිරිසක් කනගාටුව පළ කරනවා. ඒ වගේම කොරෝනා දෙවෙනි රැල්ලක් ආවොත් මොකද කරන්නේ කියලා ආණ්ඩුවට දැන් සිහියක් නැහැ. ඒත් දෙවැනි රැල්ල මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ගැන අපට හොඳ දැක්මක් තියෙනවා. කොරෝනා මඩින්න ලැබුණු මිලියන 430 ට මොකද වුණේ කියලා ආණ්ඩුව රටට කියලත් නෑ.’ එජාප නායකයා කීවේය.


එල්ටීටීඊය ට උපාය මාර්ගිකව ආර්. ප්‍රේමදාස යුගයේ අවි හා වෙනත් පහසුකම් ලබාදීම පිළිබඳව ජයවික්‍රම පෙරේරා කළ හෙළිදරව්ව දෙබරයට ගල් ගැසීමක් විය.


‘තම පියා කළ දේ ගැන පුතා මොකක්ද කියන්නේ කියලා රටට හෙළි කළ යුතුයි.’ එජාප ස්ථාවරය එය වෙයි.
‘2015 දී අපි ජනතාවට විශාල ලෙස සහන දුන්නා. ඒත් මේ ආණ්ඩුව කළේ අපි දීපු සහනත් කපලා, බඩු මිලත් වැඩි කරලා, ඉන්ධනවලිනුත් ගසාකමින් ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමයි. අපි ආණ්ඩුව බාර දෙනකොට රටේ සංචිත ඩොලර් බිලියන 8 කට වඩා තිබුණා. ඒත් දැන් ඒක 5 ට බැහැලා. මේ වසරේ තව ඩොලර් බිලියනයක් ණය ගෙවන්නත් තියෙනවා. රටට ආද‌ායම් නෑ. රුපියල් කෝටි 600 ක් ව්‍යාපාරික හිතවතුන්ට බදු සහන දීලා මේ ආණ්ඩුව නැතිකර ගත්තා. ජනතාවට නුදුරේදීම පාන් කෑල්ලටත් මරා ගන්න තත්ත්වයක් ඇති වෙයි ද දන්නේ නැහැ.’ එජාප නායකයා සිරිකොතදී පසුගියද‌ා කළ ආර්ථික විග්‍රහය එවැන්නකි.


පක්ෂයට ලැබෙන ඡන්ද ගොඩ අඩු කිරීමටත් පක්ෂයේ ඡන්දද‌ායකයන් කළකිරීමටත් අනෙකුත් ඇතැම් පක්ෂ ගෙන යන වැඩපිළිවෙළ ඉකුත් සතියේ එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡාවට භාජනය වූ ප්‍රධාන මාතෘකාව වී තිබුණි. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ හිටපු ඇමැතිවරු ගණනාවක් මේ තත්ත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කළහ.


එහිදී හිටපු ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම මැතිවරණ ව්‍යාපාරය දේශපාලන පක්ෂ සමග කරනු ලබන සටනක් නොව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා දෙන සටනක් විය යුතු බවයි. බොරු බේගල් ඇදබාමින් රැවටිලි කරන පක්ෂයක් නොව එජාපය යනු කියන දේ කරන පක්ෂයක් බවට ජනතාව අවබෝධයෙන් සිටින බව ද රවි පෙන්වා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී රජයේ සේවක වැටුප් වැඩි කිරීම, ජීවන වියදම පහළ බැසීමට පියවර ගැනීම නිවාස ඉදිකිරීම වැනි ජනතාවට සහන සලසන තීන්දු තීරණ ගනු ලැබූ අයුරු ඔහු පෙන්වා දුන්නේය.


රුපියල් 20,000 ක් ජනතාවට ලබාදෙන බවට බොරු කයිවාරු ගැසීම එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අපේක්ෂකයකු නොකළ යුත්තක් බව රවි පෙන්වා දුන්නේය.


මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ අදහස අනුමත කරමින් කියා සිටියේ ජනතාවට ඒත්තු ගැන්විය යුත්තේ බොරු පොරොන්දු නොව කළ හැකි දේ ක්‍රියාත්මක කිරීමට අද‌ාළ කරුණු බවය.


එක්සත් ජාතික පක්ෂය හැරගිය පිරිස් දැන් යළි පක්ෂයට එක්වන බව මෙහිදී පෙන්වා දී ඇති රවි කරුණානායක මහතාට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ වෘත්තීයවේදීන් හා තරුණ කණ්ඩායම් ශක්තිමත් කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ සාර්ථක එකක් බවයි.


එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ සහාය දීමට සූද‌ානමක් ඇති බවට ඇතැම් විරුද්ධවාදීන් ගෙන යන බොරු ප්‍රචාරයක් පිළිබඳවය. රජයට සහාය දැක්වීමට නම් මේ දේශපාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නොවන අතර පක්ෂයට අවශ්‍ය වන්නේ ඉදිරි කාලය තුළ ශක්තිමත් රජයක් පිහිටුවීම බව ද මහලේකම්වරයා කීවේය.


ආගමික ස්ථානවලට ගොස් එහි පූජකතුමන් හා භික්ෂූන් වහන්සේ හමුවීමේ වැඩපිළිවෙළ ගිය සතියේදී ක්‍රියාත්මක කළ රනිල් වික්‍රමසිංහ මහතා නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණගැසී සාකච්ඡා කළේය. එහි විශේෂත්වය වූයේ අභයාරාමය මහින්ද රාජපක්ෂ හිතවාදී විහාරස්ථානයක් වශයෙන් පවතිද්දී රනිල් වික්‍රමසිංහ මහතා එහිගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීමය. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හිටපු ඇමැති දයා ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.


මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ රනිල් වික්‍රමසිංහ මහතා සුහදව කතාබස් කළ අතර ආනන්ද හිමියෝ රනිල් වික්‍රමසිංහ මහතාට ආශීර්වාද කළහ.


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා හිටපු කතානායක කරු ජයසූරිය මහතා හමු විය. මෙම හමුව පැවැත්වුණේ කොළඹ මලලසේකර මාවතේ පිහිටි කරු ජයසූරිය මහතාගේ නිවසේදීය. කරු ජයසූරිය මහතා කලක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ නිසා ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. එක්සත් ජාතික පක්ෂයේ සමගිය වෙනුවෙන් සෑම විටම කැපවන බව ප්‍රකාශ කළ කරු ජයසූරිය මහතා රුවන් වැනි තරුණයෙක් ගම්පහ ජනතාවට සම්පතක් වන බව ද ප්‍රකාශ කළේය.


ගම්පහ දිස්ත්‍රික්කයේ හිතවතුන්ට හැම විටම ප්‍රකාශ කරන්නේ රුවන් විජයවර්ධන යනු විශ්වාසය තැබිය හැකි අවංක පුද්ගලයෙක් බව යැයි ද කරු ජයසූරිය මහතා මෙහිදී කීවේය.


රුවන් විජයවර්ධන වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී ආශීර්වාද බෝධි පූජා පිංකමක් පැවැත්විණි. පිංකමට පෙර ඔහු කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් බැහැදුටු අතර එහිදී නාහිමියන් දේශනා කර සිටියේ සිංහල බෞද්ධ ජනතාවට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයට ද ඉදිරිපෙළ නායකත්වය ලබා දීමට රුවන් සූද‌ානම් විය යුතු බවය.


මෙරට ජනතාවට ඩී.එස්. සේනානායක හා ඩඩ්ලි සේනානායක පරම්පරාව ගැන දැඩි ප්‍රසාදයක් පවතින අතර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නිහඬ මෙහෙවරක් ඉටුකළ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ මුණුපුරකු ලෙසත්, සේනානායක පරපුරේ ලේ උරුමය ඇති තරුණ නායකයකු ලෙසත් රුවන් විජයවර්ධන ගැන දැඩි විශ්වාසයක් තිබෙන බව ද උන්වහන්සේ කීහ.


සජිත් හරින් සමග කාදිනල්තුමන් බැහැදකියි


සජිත් ප්‍රේමදාස හිටපු ඇමැතිවරයා ලංකාවේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට ගොස් මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වන්නේ දිවා රෑ නොබලමිනි. රැස්වීම්වලට සහභාගී වන අතරවාරයේදී ජාතික මැතිවරණ ව්‍යාපාරය ගැනත් අවධානය යොමු කරන ඔහුට පසුගිය සතියේදී තවත් විශේෂ කටයුත්තක් යෙදී තිබුණේය. ඒ කාදිනල්තුමන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයට මුහුණදීමටය. කාදිනල් තුමන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයා කළ ප්‍රකාශය ගැන අවධානය යොමු කළ ඔහු කාදිනල්තුමන්ට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ හරීන් සමග ගොස් කාදිනල් තුමන් හමු වීමටය. කවදත් සජිත් සමග හොඳ සම්බන්ධයක් තිබුණ නිසාම කාදිනල්තුමා කීවේ පැමිණ හමුවන ලෙසය.


ඉන්පසුව සජිත් හරීන්ට දුරකථන ඇමතුමක් ගෙන තමා සමග කාදිනල්තුමන් බැහැදැකීමට එන ලෙස දැනුම් දුන් විට හරීන් තමරක් විමතියට පත් විය.


උදෑසන හතයි තිහ වන විටම ඔවුන් දෙදෙනා කාදිනල්තුමා හමුවට ගියෝය. කාදිනල් තුමා ඔවුන් පිළිගත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දේවස්ථාන යළි ගොඩනැංවීමට සජිත් දැක්වූ දායකත්වයත් සිහිපත් කරමින්ය.
මම තනියම නොමෙයි ආවේ. තවත් කෙනෙක් එක්කගෙනයි. සජිත් හරීන් කාදිනල් තුමා අසලට කැඳවාගෙන ගියේය.


හරීන් කියන්නේ දක්ෂ තරුණ දේශපාලඥයෙක්. දැක්මක් තියෙන අයෙක්. අත්වැරැද්දක් වුණාම කතා කරලා ඒ වරද හදා ගන්න අවශ්‍යයි. සජිත් කාදිනල්තුමාට කීවේය.


ඒ දවස්වල වුණ දේ ගැන අපි කණගාටු වෙනවා. මේවා නැවත නොවීමට වග බලාගත යුතුයි. කාදිනල් තුමා කීවේ සුහදත්වයේ දෑත් දිගු කරමින්ය.


කාදිනල්තුමනි, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ සමහර සිදුවීම් නිසා මගේ තාත්තා නැති වුණා. දරුවන්ට ඉස්කෝලේ යන්නත් බැරි වුණා. මට පුදුම වේදනාවක් අත්වුණේ. හරීන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇති වූ තත්ත්වයන් ගැන කාදිනල්තුමන් දැනුම්වත් කළේ සංවේදී වෙමිනි.


ඔබ පසුගිය දවසේ කියපු දේ මම බැලුවා. මම ඒකට සමාව දෙනවා. ඔබට හොඳ අනාගතයක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. හොඳ නායකයෙකුත් ලැබිලා තිබෙනවා. කාදිනල්තුමන් කීවේය.


සජිත් පසුගිය සතියේ සිටියේ උතුරේ මැතිවණ ප්‍රචාරක වැඩසටහන්වලට සහභාගී වෙමිනි. පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට සහය ලබා දුන් උතුරේ බොහෝ දෙනා සජිත්ගේ සහායට පැමිණ සිටියහ. ඔහු කොළඹින් පිට සිටියත් සැම දිනකම රාත්‍රියේ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, හරින් ප්‍රනාන්දු ඇතුළු මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරමින් ප්‍රගතිය ගැන සෙවීමට අමතක කළේ නැත.


පාඨලී චම්පික රණවක මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවේ ආරාධිතයා වශයෙන් සහභාගී වූයේද සජිත්ය. චම්පික රක්ෂිත බන්ධනාගාරගතව සිටි දිනවලදී සැමදා උදෑසන ගොස් ඔහුගේ සුව දුක් විමසූ ආකාරය ගැන චම්පික කීවේ අනෙක් අයද සංවේදී කරවමිනි.


මම හිරේ හිටපු දවස්වල හැමදාම උදේ ඇවිත් මගේ සුව දුක් විමසලා ගියා. ළඟ ඥාතියෙක්වත් මේ විදියට කරන්නේ නෑ. චම්පික කියන විට රාජිත සිරගතව සිටින විටදීත් සජිත් මේ ආකාරයෙන්ම ඔහු තනි නොකළ ආකාරය සිහිපත් කළේ ළඟ සිටි අයෙකි.

 

 

-ගජබා-