ජනපති ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හමුවෙයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. මහින්දට අමතරව, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහාචාර්ය ජී.ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ සහ බැසිල් රාජපක්ෂ යන අය ද ඊට සහභාගි වූහ. ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයන් අතර එම හමුව පැවැත්වුනේ ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය.


ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුව රාත්‍රී 7.45ට පමණ ආරම්භ විය. සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන පැහැදිලි කළේ ගත වූ සතිය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ගත් ක්‍රියාමාර්ග ගැන ද පැහැදිලි කරමිනි. ‘‘මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් සමග සම්බන්ධ ප්‍රශ්නයක්. අයි.එස්.අයි.එස්. සංවිධානයත් සමග සම්බන්ධවෙලා කරපු ප්‍රහාරයක්. අපි මේ වනවිට ආරක්ෂක ලේකම් ඉවත් කරලා අලුතින් දක්ෂ නිලධාරියක පත්කරල තියෙනවා. පොලිස්පති අනිවාර්්‍යය නිවාඩු යවලා වැඩබලන පොලිස්පතිවරයකු පත් කළා. ආරක්ෂක අංශ මේ වනවිට පුළුල් ප්‍රතිසංවිධානයකට ලක් කරමිනුයි ඉන්නෙ’’ යැයි ජනාධිපතිවරයා කීවේ ආරක්ෂක අංශය තුළ ගනු ලැබූ ක්‍රියාමාර්ග ගැන ද පැහැදිලි කරමිනි.


ඒ සමගම ජනාධිපතිවරයා කීවේ මේ සිද්ධියට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය. අවි ආයුධ වගේම, මේකට සම්බන්ධ සෑහෙන පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ අනුව සතුටුදායක තත්ත්වයක් ඇති වී තිබෙනවා’’ යැයි ජනාධිපතිවරයා කීවේය.


ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව කතා කළේ මහාචාර්ය ජී.ඇල්. පීරිස්ය. ඔහු මතු කළේ තුර්කි ත්‍රස්ත කණ්ඩායමක 50 දෙනකු මෙරටට පැමිණ ඇති බවට ලැබුණ තොරතුරු ගැනය. ‘‘මට තුර්කි තානාපතිතුමා හමුවුණා. එහිදී මම මේ ගැන ඇසුවම එතුමා කිව්වේ අපි මේ තොරතුරු ගැන ආරක්ෂක අමාත්‍යාංශයට අවස්ථා තුනක දී දැනුම් දී ඇති බවයි. නමුත් ආරක්ෂක අමාත්‍යාංශය කිසිම පියවරක් ගත්තෙ නැහැ කිව්වා. මුස්ලිම් ඇමැතිවරුන්ගේ විරෝධය නිසා මේ ගැන පියවරක් නොගත් බව එතුමා කිව්වා’’යැයි ජී.ඇල්. කීවේ තුර්කි ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුවක් ද ජනාධිපතිවරයාට බාර දෙමිනි.


විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසා සිටියේ ඇමෙරිකාවේ එෆ්බීඅයි නිලධාරින්ගේ පැමිණීම ගැනය. එෆ්බීඅයි එකේ නිලධාරින් 40ක් ලංකාවට ඇවිත් ඉන්නවලු. ජනාධිපතිතුමනි ඇයි මෙතරම් පිරිසක් ගෙන්වා තිබෙන්නෙ යැයි විමල් විමසා සිටියේය. එහෙත් ජනාධිපතිවරයා කීවේ එෆ්බීඅයි එකේ එතරම් නිලධාරින් පිරිසක් මෙරටට පැමිණ නැති බවය. අපි කවුරුවත් මේ රටට ගෙන්නුවෙ නැහැ. මේක ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්තවාදයක්. ඒනිසා හැම රටක්ම මේ වෙලාවෙ උනන්දු වෙනවා මේ ප්‍රහාරය ගැන තොරතුරු දැන ගන්න. ඒනිසා ඔවුන් තමයි බුද්ධි අංශ නිලධාරින් එවල තියෙන්නෙ. ඒත් ඔය කියන 40ක් නම් ඇවිත් නැහැ. එෆ්බීඅයි එකේ 8 දෙනයි ඇවිත් ඉන්නෙ අනෙක් අය ඇමෙරිකාවේ වෙනත් ආයතනවල නිලධාරින් යැයි ජනාධිපතිවරයා පැහැදිලි කරමින් කීවේය.  


අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කතා කළේය. ඔහු විමසා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගෙන එන්නට යන ප්‍රතිත්‍රස්ත පනත ගැනය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරල ත්‍රස්ත විරෝධී කියලා ත්‍රස්ත මිත්‍ර පනතක් ආණ්ඩුව ගේන්න යනවා යැයි ගම්මන්පිල කීවේ පනතින් සිදුවන දේවල් ගැන ද විග්‍රහ කරමිනි. මාත් ඔය පනතට මුල ඉඳලම විරුද්ධයි. ඔය පනත මුලින් ගේන්න හැදුව වෙලාවේ මම මේකට විරුද්ධ වුණා. ඒ වෙලාවේ ඔවුන් කීවේ අඩුම තරමින් මේක කැබිනට් එකේදිවත් අනුමත කරල තිබුණොත් මාර්තු මාසෙ මානව හිමිකම් කවුන්සිලයේ දී සහනයක් ලැබෙනවා කියලයි. ඒ වෙලාවෙ මම කිව්වෙ එහෙම නම් මේකට සංශෝධන කිහිපයක් කරල ගේන්න කියලයි. නමුත් ඒ කියපු කිසිම සංශෝධනයක් නැතිවයි මේක ගෙනල්ල තියෙන්නෙ. ඒනිසා මේකට පාර්ලිමේන්තුවේදී විරුද්ධ විය යුතුයි යැයි ජනාධිපතිවරයා පැහැදිලි කළේය.   


මේ කතාබහ යන අතරේ ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයෙ නායකයින්ට අලුත් රහසක් හෙළි කළේය. ඒ වනවිට ඔවුන් කිසිවකුත් ඒ ගැන දැන සිටියේ නැත. අද සවස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලියුම් ගොඩක් අරගෙන තුන් දෙනෙක් ඇවිල්ල තියෙනවා. මෙච්චර ලියුම් ගොඩක් මොකද කියලා සැක හිතිලා තැපැල් හුවමාරුවේ නිලධාරියෙක් ලිපියක් කඩල බලලා. බලනකොට ඒක මට බැණලා. සියලුම පන්සල්වලට යවන කැලෑ පත්තරයක්. එවෙලේම කොටුව පොලිසියට දැනුම්දීලා පොලිසියෙන් ඇවිත් ලිපි ටිකත් එක්ක තුන් දෙනාම අත්අඩංගුවට අරගෙන. බලනකොට ලියුම් 800ක් විතර තිබිලා. තුන්දෙනාම කිරිඇල්ලගේ මාධ්‍ය ඒකකයේ වැඩ කරන අය ජනාධිපතිවරයා හෙළි කළේ මේ වෙලාවේ ත්‍රස්තවාදය මර්දනය කරන එක නෙවෙයි සමහරුන්ට තියෙන්නෙ මඩ මට ගහන එකයි කියමිනි. මේ පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂයේ පක්ෂ නායකයෝ ද කියා සිටියහ. සාකච්ඡාව පැයක් පමණ ඇදී ගිය අතර නැවත හමුවීමේ එකඟතාව ඇති පිරිස පිටත්ව ගියහ.  


රට තුළ ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මෙවර වෙනදා මෙන් මැයි දින නොපැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, සුළුවට මැයි දින සැමරුම් පමණක් පැවැත්වූ අතර ශ්‍රීලනිපය වෘත්තිය සමිති මට්ටමින් මැයි දින සැමරුමක් පැවැත්විය. එය ද පවත්වන්නට තීරණය වූයේ හදිසියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු ජනතාව වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කරපු පක්ෂයක්. ඒනිසා මැයි දිනය අමතක කරන්න බෑ. ඒ හින්දා මැයි දිනය සුළුවෙන් හෝ සමරන්න ඕන ශ්‍රීලනිපයෙ නායකයෝ තීරණය කළහ. ඒ අනුව ඉකුත් සඳුදා රාත්‍රියේ ශ්‍රීලනිප මූලස්ථානය පක්ෂයේ මැයි දින කමිටු සාමාජිකයින්ට අඟහරුවාදා උදේ 9.30ට පදනම් ආයතනයේ සාකච්ඡාවකට එන්නැයි හදිසියේම දැනුම් දී තිබිණි. පදනම් ආයතනයේ පැවැති මැයි දින කමිටු රැස්වීම උදේ 9.30ට පමණ ආරම්භ වූයේ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි. පක්ෂයේ මහලේකම් ලෙස දයාසිරි ජයසේකරත්, කමිටු සාමාජිකයින් ලෙස මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරු ද ෂාන් විජයලාල් ද සිල්වා දකුණේ හිටපු මහ ඇමැතිවරයා ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා ලෙස්ලි දේවේන්ද්‍ර ඇතුළු වෘත්තීය සමිති නායකයෝ කිහිප දෙනෙක් ද ඊට සහභාගි වූහ.  


“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට මොන තත්ත්වයක් යටතේවත් අපට මැයි දිනය අමතක කරන්න බෑ. ඒනිසා අපි වෘත්තීය සමිති එකමුතුව ලෙස සුළුවෙන් හෝ මැයි දින සැමරුමක් කරමු” නිමල් යෝජනා කළේය. ඒ අනුව, මැයි දින සැමරුම පදනම් ආයතනයේ දී සුළුවෙන් පවත්වන්නට තීරණය විය. පිටින් සෙනඟ නොගෙනත්, වෘත්තීය සමිති මට්ටමින් පිරිසක් පමණක් ගෙන්වීමට ද තීරණය වූ අතර සංවිධාන කටයුතු ද වෘත්තීය සමිති නායකයින්ට පැවරිණි. වේදිකාවේ කටයුතු සංවිධානය කිරීම තිලංග භාරගත් අතර පදනම් ආයතනය ඉදිරිපස සැරසිලි කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායකට පැවරිණි. එහිදී තීරණය වූයේ සන්ධානයේ සහෝදර පක්ෂවලට ද ආරාධනය කිරීමටය. ඒ අනුව ශ්‍රීලනිප මැයි දින සැමරුම පැය 24ක් තුළ සංවිධානය කෙරිණි.  


මැයි පළමු වැනිදා ශ්‍රීලනිප මැයි දින සැමරුම පදනම් ආයතනයේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා හැරුණු විට ප්‍රධාන වේදිකාව වෙන්වූයේ වෘත්තීය සමිති නායකයන්ට පමණි. දේශපාලන කතා ද නොතිබූ අතර මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැයි දින ඉතිහාසය හා ශ්‍රීලනිපය ගැන කෙටි දෙසුමක් කළේය. දේශපාලන කතා කිසිවක් නොවූ අතර ජනාධිපතිවරයා පමණක් කතා කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිකොට පිරිස පහනක් දල්වමින් මැයි දින සැමරුම ආරම්භ කෙරිණි.