ඡන්ද දිනය කල්යයිද? එජාපයේ සාකච්ඡා


කොරෝනා අර්බුදය නිමවා රට යථා තත්ත්වයට පත් කිරීම ලෝකයේ බොහෝ රටවල් ආරම්භ කරද්දි ලංකාවද එහි පළමු පියවර මේ වන විට ආරම්භ කර ඇත.


කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද රැකියා ස්ථාන ආරම්භ කිරීම හේතුවෙන් ජනතාව කොළඹට ඇදී එන්න වූහ. නිරෝධායන නීතිය යටතේ ඇඳිරි නීතිය පැවැතියද ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පවතින ජනතා හැඟීම මේ වන විට පහව යමින් පවතී.


මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද සමහරුන් තුළ පවතින්නේ දැඩි කුකුසකි. මේ වන විට මැතිවරණ කොමිසම ජුනි 20 ට නියම කර තිබෙන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් තිබේ. අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක් මනාප අංක නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසම තීන්දුවක් ගෙන තිබෙන අවස්ථාවක අපේක්ෂකයෝ ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.
සියළු කරුණු - කාරණා හමුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හා නිලධාරින් ද සුපුරුදු පරිදි ඉකුත් බදාදා රනිල් වික්‍රමසිංහ නායකයා හමුවීමට ගියේ පවතින කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීමටය.
”‍ආණ්ඩුව ඇඳිරි නීතිය තිබෙද්දීම කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල කාර්යාල, කඩ සාප්පු විවෘත කරන්න අවසර දීලා. අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය අයින් කරලා ජන ජීවිතය යථාවත් කරන්න හදනවා. මේක අර්බුදයක ආරම්භය වෙන්න පුළුවන් නේද?”‍ නවීන් දිසානායක සාකච්ඡාව ආරම්භ කළේය.


”‍රැකියාවට එන්න කිව්වාට නිසි ප්‍රවාහන පහසුකම් නැහැ. මිනිස්සු පාරවල් ගානේ රස්තියාදු වෙනවා. බස්වල බාගයක් ගෙන යන නිසා බස් නවත්වන්නේත් නැහැ.”‍ අකිල විරාජ් කාරිවසම් ද ඌනපූරණය කළේය.
”‍ඔව් මෙතන ගැටළු ගණනාවක් තිබෙනවා. සෞඛ්‍ය අංශ අනතුර පහවෙලා කියා තාම උත්තරය දීල නැහැ. ඇඳිරි නීතිය දාලා තිබෙන්නේ නිරෝධායන පනත යටතේයි. අලු‍ත් නීති හැදෙන්න ඕනෑ. එහෙම නැතුව මෙහෙම කරන එකෙන් ඇඳිරි නීතියෙන් ඇති වැඩක් නැති වෙනවා.
කොරෝනා වලින් පස්සේ හැදෙන්නේ අලු‍ත් වටපිටාවයි. ඒ වට පිටාවට ගැලපෙන පරිදි අලු‍ත් නීති හැදෙන්න ඕනෑ. එහෙම කළොත් ජන ජීවිත යථාවත් කරන්න පුළුවන් වෙයි.”‍ එජාප නායක පැහැදිළි කළේය.
”‍මහ මැතිවරණය ජුනි 20 පවත්වන්න තමයි රට නැවත ආරම්භ කරනවා කියා අලු‍ත් වචන දාගෙන ආණ්ඩුව මේ කැස කන්නේ.”‍ වජිර අබේවර්ධන කීවේය.


‘‘ඡන්දය ජුනි මාසයේදී තියන්න අමාරු වෙයි. ආරංචියේ හැටියට ආණ්ඩුව සූදානම් වෙන්නේ අගෝස්තු මාසයේදි ඡන්දය තියන්නයි. සෞඛ්‍ය අංශ හරි පිළිතුර දෙනතුරු මැතිවරණ කොමිසමට තීන්දුව ගන්න බැහැ.”‍ එජාප නායක රනිල් කී දේ සැවොම අනුමත කළහ.


”‍මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන් ගෙන්වා පැවැත්වූ සාකච්ඡාවේදී පක්ෂයේ මතය මා පැහැදිළිව කිව්වා. පක්ෂ ලේකම්වරුන් හැමෝම එකම මතයේ ඉන්නේ. ඔවුන් හැමෝම කියන්නේ සෞඛ්‍ය අංශයෙන් කැන්වසින් යන්න පුළුවන් කියනකම් මැතිවරණය තියන්න එපා කියලයි. කොවිඩ් 19 පරික්ෂණ තවමත් අවම මට්ටමක තිබෙන්නේ. කොහොම වුනත් අවුරුද්දක් දෙකක් කල් දාන්න කියා අප කියන්නේ නැහැ. වසංගතය ඉවර වෙනතුරු ඉන්න කියායි අප කියන්නේ කියා මැතිවරණ කොමිසමට මා දැනුම් දුන්නා.
පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් කිව්වෙත් සෞඛ්‍ය අංශවල තීන්දුව අනුව කටයුතු කරන්න කියලයි.”‍ එජාප මහලේකම්වරයා දීර්ඝව කරුණු පැහැදිළි කළේය.


”‍ජුනි 20 මැතිවරණය තියන්න එපා, කල් දාන්න කියා නීතිඥවරයෙකුත් සජිත් පාර්ශවයත් උසාවි ගිහිල්ලා. ඒකේ වාසියක් තිබෙනවාද?”‍ කේ.කේ. පියදාස විමසා සිටියේය.
”‍සිවිල් සංවිධාන තමයි මුළින්ම නඩු යනවා කිව්වේ. ඒ අනුව නීතිඥ මහතෙකු උසාවි ගියා. හැබැයි දැන් මේකට දේශපාලන පක්ෂ සම්බන්ධ වෙච්ච නිසා මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් වගේ අතර මැදි පාර්ශ්ව ගණනාවක් දැන් ඊට එරෙහිව අතර මැදි පාර්ශ්ව ලෙස සම්බන්ධ වෙලා ඉන්නවා.
සිවිල් සංවිධානවලට මේකට සම්බන්ධ වෙන්න දී දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිසමත් එක්කයි, ගණුදෙනු කරන්න තිබුණේ.”‍, නවීන් දිසානායක කීවේය.


”‍ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත්, අපත් ඡන්දය තියන්න එපා කියා උසාවි නොයන්න මුල ඉඳලම තීරණය කරගෙන හිටියා.”‍ පක්ෂ නීති නිලධාරියෙක් නවින්ගේ කතාවට අලගු තැබීය.
”‍රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැටුප හෝ කොටසක් හෝ පරිත්‍යාග කරන්න කීම හිඟන්නගේ පාත්තරයට හෙනහුරා වැටුනා වගේ වැඩක් නේද? ජනාධිපතිවරයාට ඡන්දය දුන්න අයත් මේ නිසා දැඩි අපහසුතාවයට පත් වෙලා. රාජ්‍ය සේවකයා කියන්නේ ඉතාම අමාරුවන් ජීවත් වෙන කොටසයි. ආණ්ඩුව මෙහෙම කරන්නේ මොකද?”‍ චම්පිකා ප්‍රේමදාස විමසා සිටියේය.


”‍ආණ්ඩුවට සල්ලි නැහැ. නීතිය අනුව ආණ්ඩුවට සේවකයාගේ කැමැත්තෙන් තොරව වැටුප් කප්පාදු කරන්න බැහැ. ඒ වගේම වැටුප් නොගෙවා ඉන්නත් බැහැ.


ආණ්ඩුව උත්සාහ කළේ රාජ්‍ය සේකයන්ගෙන් කොටසක් හරි වැඩේට කැමැති කර ගන්නයි. එහෙම වුනොත් මැයි මාසේ වැටුප් ගෙවීමේ අර්බුදයෙන් යන්තම් ගොඩ යන්න පුළුවනි. ලොකු ආර්ථික අර්බුදයකට තමයි දැන් රට ගමන් කරන්නේ.
කොහොම වුනත් ජනාධිපති ලේකම් ආර්ථික අර්බුදය තිබෙන බවට ප්‍රකාශ කිරීමත් වැරදියි. මොකද එහෙම වුනහම ආයෝජකයන් අධෛර්යමත් වෙනවා.


කොටස් වෙළෙද පොළ වසා නොදමා පවත්වගෙන යන්න තිබුණා. දැන් මෙයාලා බලෙන් අල්ල ගෙනයි ඉන්නේ. කොටස් මිල අඩුවූවිට කළු මුදලාලිලා මැදිහත් වෙනවා. ඒක අවදානම්. නිසි සැළසුමක් නැති වුනොත් මහ මැතිවරණයෙන් පසු අර්බුදය තවත් වැඩිවේවි. ආණ්ඩුව දැන් ණය ගන්න අයි.එම්.එෆ් එකත් එක්කත් සාකච්ඡා පටන් ගත්තා”‍ නායක දීර්ඝ විස්තරයක් කළේය.


”‍විදේශ ආධාර තාම ලැබුණේ නැහැ කියා ආණ්ඩුවම කියනවා. නමුත් තානාපති කාර්යාල කියන්නේ සමහර මුදල් දුන්නා කියලයි. මෙහෙම වෙන්නේ කොහොමද?”‍ කේ.කේ. පියදාස යළි හඬ අවදි කළේය.
”‍ලෝක සෞඛ්‍ය සංවිධානය මුදල් දුන්නා. ලෝක බැංකුවෙන් මුදල් දුන්නා. හැබැයි මේවා ලැබෙන්න තවත් කළ යුතු වැඩ තිබෙනවා. ඒ මුදල් එනතුරු මෙහි මුදල් වියදම් කරන්න ඕනෑ. සුනාමියේදි කළෙත් ඒකමයි. අධාර එනකම් රටේ මුදල් වලින් අවශ්‍ය කටයුතු කළා. නමුත් අද එහෙම කරන්න බැහැ. මොකද, රට ඇතුලේ මුදල් නැහැ.”‍ නවින් දිසානායක පැහැදිළි කළේය.


”‍හමුදා නිලධාරින් ලේකම්වරුන් ලෙස පත් කරන්න යනවා. මේක පරිපාලන සේවයට ලොකු ගැටළුවක්. අපේ කාලේ සිවිල් සේවයට පිටින් කිහිපදෙනෙකු දැම්මා කියා කෑ ගහපු අය දැන් නිහඬයි. හමුදා පාලනයකට ද යන්නේ කියා ලොකු බියක් ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව අතර දැන් මතු වෙලා.”‍ වජිර අබේවර්ධන කීවේය.
”‍සෞඛ්‍ය ලේකම්කමට හිටපු කෙනා සුදුසු නැතිනම් සිවිල් සේවයේම අත්දැකීම් තිබෙන ජ්‍යෙෂ්ඨ කෙනෙකු දාන්න තිබුණා. පරිපාලන සේවයේ කෙනෙකු ඉන්න ඕනෑ තැනකට හමුදා නිලධාරියෙකු දාපු එක හොඳ දෙයක් නොවෙයි. මේ නිලධාරියාගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සුදුසුකම් ගැන අපට ගැටළුවක් නැහැ. හැබැයි ඔහු වැඩ කරන්න යන්නේ හමුදා නිලධාරියෙකු ලෙසයි. එය ගැටළුවක්. එජාප නායකයා පැවසීය.
”‍සජිත් පාර්ශ්වයේත් ගැටුම් වැඩි වෙලා. නායකතුමා එක්කත් ආයේ කට්ටිය කතා කරනවා කියා ආරංචියි.”‍ චම්පිකා ප්‍රේමදාස කීය.


නායකයා ඊට සිනහවෙන් පිළිතුරු දෙද්දී වජිර කියා සිටියේ එහේ අය මෙහේ එන්න කතා කරද්දි මෙහේ අය ආණ්ඩුවට යන්න කතා කරන බවය.


”‍කොළඹ හතෙහි ප්‍රධාන රෙස්ටුරන්ට් එකක ඉහළ ආරක්ෂක ප්‍රධානියෙකුයි මැති ඇමතිවරුන් පිරිසකුයි ඇඳිරි නීති පාස් දාගෙන ඇවිත් උත්සවයක් තියලා. සෞඛ්‍ය අංශ උත්සව, ප්‍රිය සම්භාෂණ තියන්න එපා කියා තිබෙද්දි මෙහෙම කරන එක හොඳ දෙයක් නොවෙයි. මේවා ඉහළ පාලකයන්ට දැනුම් දෙන්න ඕනෑ”‍ පක්ෂ ක්‍රියාකාරියකු එහිදී එජාප නායකයාගේ අවධානයට ලක් කළේය.