චීන පගා සහ ගාල්ලේ ක්‍රිකට්


කුරුණෑගල ඇතුලු රට පුරා නව සංවර්ධන ව්‍යාපෘති අරඹමින් හා නිම කළ ඒවා විවෘත කරමින් අගමැතිවරයා ගිය සතිය තුළ කොළඹින් පිට සංචාර කළ අතර බදාදා සිට කොළඹ රැදුණේ පාර්ලිමේන්තුවට ද එක් වීමටය.
බ්‍රහස්පතින්දා උදයේම අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ රාජකාරී ඉටු කිරීම සඳහාය. සුපුරුදු පරිදි මැති-ඇමතිවරුන් හා නිලධාරීහු රැසක්ද ඒ වන විට එහි පැමිණ සිටියහ.


“නිව්යෝර්ක් ටයිම්ස් එකේ පළවූ කෝටි 112ක අල්ලස විදෙස් බැංකු හරහා චෙක් පත් මගින් පහුගිය ජනාධිපතිවරණයට වියදම් කරන්න චීන සමාගම රාජපක්ෂලාට දුන් පගාව ගැන විවාදය අද නිසා එයාල බයවෙලා ඇති”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“අද චීන පගාව ගැන විතරක් නොවෙයි, එයාලගේ තව හොඳ හොඳ සෙල්ලම් පාර්ලිමේන්තුවේ දී එළි කරන්න අපේ අය සූදානම්”, චමින්ද විජේසිරි කීවේය.


“චීනෙන් මෙයාලට විතරක් නොවෙයි එයාලගේ නෝනලටත් පගා දී එයාල සනසලා නේද?” දයා ගමගේ ඇසුවේ සිනා සෙමිනි.


“ජනාධිපතිවරණ අන්තිම කාලෙ තවත් රුපියල් මිලියන 1350ක චෙක් පත් රැසක් රාජපක්ෂලාට සමීප නිලධාරීන් මාරු කර තිබෙනවා. ඒ පරීක්ෂණයට යන ලකුණුත් තිබුණා. ඒත් පරීක්ෂණ දිගටම යන බව අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී කියපු එක හොඳයි.”, නවීන් දිසානායක කීය.


“දූෂණවලට අදාළ පරීක්ෂණ අප නතර කරන්නේ හෝ ඒවාට අප ඇඟිලි ගහන්නෙත් නැහැ. පොලීසිය ඒ චෙක් පත් ගැන මට දීපු වාර්තාවයි, මා පාර්ලිමේන්තුවේදී එළි කළේ”, අගමැතිවරයා තම මතය එළි දැක්වීය.
“බැසිල්ගේ නෝනගේ පදනමට චීනයේ සී.අයි.සී.ටී. සමාගම ලක්ෂ 194ක් දුන් බව ඒ සමාගම පිළි ගත්තා. මහින්දට දීපු සමාගමත් ඒ චෝදනාව ප්‍රතික්ෂේප නොකළා කියන්නේ වක්‍රව පිළිගත්තා කියන එකයි”, චමින්ද විජේසිරි කීය.


“එක්තරා හාමුදුරු නමක් තමන්ට ඩොලර් 38,000ක් චීනෙන් ලැබුණු බව පිළිගත්තා. පගා නැති නිසා මිසක් රට වෙනුවෙන්ද මේ බොහෝ හාමුදුරුවරුත් කෑගහන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්”, පී. හැරිසන් කීවේ එවැන්නකි.


“පළමු මහාධිකරණයේ මුල්ම නඩුව මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට විරුද්ධවලු. කොළඹ හයිට් හෝටලය හදන්න වෙන් කළ රුපියල් කෝටි 1800 න් කෝටි 400 ක් අරන් ගිහින් හම්බන්තොට පැත්තේ වෙන හෝටලයක් හදලා. ඒ නඩුවයි, මුලින් අහනවා කියන්නේ” නවීන් දිසානායක කීවේය.


“මත්තල බලන්න එදා එජාප ජනතා නියෝජිතයන් ගියාම රාජපක්ෂලා පිස්තෝල, කඩු, පොලු, ගල් දී මැරයෝ එවා අපට මරණ තර්ජන කළා. එකෙක් මගේ අතින් ඇදලා ගහන්නත් හැදුවා. ඒ තරම් හිරිකිත රටක් එදා තිබුණේ”, අජිත් පී. පෙරේරා කීවේ අතීතය මතක් කරමිනි.


“ඒත් ඊයේ පෙරේදා ඒකාබද්දෙ මන්ත්‍රීවරුන් මත්තල බලන්න ගියා. කූඹියෙකු කන්නවත් අප ඉඩ දුන්නෙ නැති නිසා ඔවුන්ට විශාල ලජ්ජාවක් ඇති.


ෂැංග්‍රිලා හෝටලේ හදන්න කොළඹ හදවතේ අක්කර 20ක ඉඩම සින්නක්කර විකුණන විට ගොළු වෙලා හිටපු අය පාඩු පිට පාඩු ලබන මත්තල කෙටි කලකට බදු දීමට විරුද්ධ වීම විහිළුවක්”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
“මත්තල මාසෙක ආදායම ලක්ෂ 65 යි. වියදම ලක්ෂ 2900 යි. ඉන්දියාවට බදු දුන්නම ඩොලර් දශ ලක්ෂ 325ක් ලංකාවට ලැබෙනවා. පාඩුවක් වුණොත් ඒ සියල්ලත් ඉන්දියානු සමාගම දරනවා. මේවා අශෝක් අබේසිංහ මා එක්ක හිටපු රූපවාහිනී විවාදයකදී එළි කළාම ඒකාබද්දේ අයට කට උත්තර නැති වුණා”, දයා ගමගේ පැවසීය.


”රාජපක්ෂ යුගයේ නෝරච්චෝලේ බලාගාරයත් මේ වගේම චීනයට බදු දෙන්න සාකච්ඡා කළ හැටි 2013 නොවැම්බර් පත්තරවල ගියා”, නවීන් දිසානායක එළි කළේය.


”පොහොට්ටුවේ ඇතුළ දැන් පිපිරිලා. ගෝඨාට අපේක්ෂකත්වය නොදෙන්න වැඩ කරපු පොහොට්ටුවේ අයම ගෝඨා අපේක්ෂකයා කියා මහින්දගෙ නමින් බොරු නිවේදනය දාලලු. ඒ අයම ඒක දැන් නැහැ කියනවා.
“අජිත් ප්‍රසන්න කියන හමුදාවෙ හිටපු කෙනා ගෝඨාගේ කෙනායි. ගෝඨාට ඇතුළෙන්ම වදින විට අජිත් ප්‍රසන්නගේ ගෘප් එක කැඩිලා ස්වාධීන වුණා.


“අනික බුම්මගෙන හිටපු ගෝඨා දැන් හැම එකටම හිනා වේගෙන ඉන්නෙත් ව්‍යාජ බව ඕනෑ කෙනෙකුට තේරේනවා.”, චමින්ද විජේසිරි කීවේ සිනා සෙමිනි.


“ගාල්ල ක්‍රිකට් ස්ටේඩියම් එකේ ප්‍රශ්නය අප හරියට පාලනය කර ගන්න ඕනෑ. ඒක ලංකාවට වාසනාවන්ත පිට්ටනියක්”, නවීන් දිසානායක කීවේ අගමැතිටය.


“මා ගාල්ලේ ගිහින් කතා කළේ කොටුව ඇතුළේ ප්‍රශ්න ගැනයි. ගාල්ලට ක්‍රිකට් ඇතුලු සියලු ක්‍රීඩාවලට අලුත් සංකීර්ණය හදා මහින්ද-රිච්මන්ඞ් වගේ පාසල්වලට වත්මන් ගාලු පිටිය දීම ගැනයි, එදා කතා වුණේ. මේ සංකීර්ණය ගෝඨාගේ කාළේ කරන්න හදපු දෙයක්නේ?” අගමැති කීය.


“පැවිලියන් එක උසට හදපු නිසා කොටුපවුර වැහුණා. ඒක වෙනස් කරන්නේ නැති නම් කොටු පවුරට ඇති ලෝක උරුම ගෞරවය නැතිවේවි කියා යුනෙස්කෝව අනතුරු අගවනවා.


“1998 ඉදලා ටෙස්ට් ගැහැව්වේ ඔය පැවිලියන් එක තිබිල නොවෙයි. පැවිලියන් එකට මහින්දගේ නම දැම්මේ ගෝඨලා තමයි, ඒක කඩල ගාල්ලට වෙනම ක්‍රීඩා සංකීර්ණය යෝජනා කර තිබෙන්නේ. එයාලගේ ඇතුළේ ප්‍රශ්නයක් නේ, ඕඩු දුවලා තිබෙන්නේ. පිට්ටනියයි කොටු පවුරයි දෙකම රකින්නයි, අප බලන්නේ. ඒත් ගාල්ලට වෙනම ක්‍රීඩා සංකීර්ණයකුත් ඕනෑ”, වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලකගේද පොදු මතය එය විය.


“රාජපක්ෂ පවුල විපක්ෂයට වැටිලත් මේ පවුලේ ප්‍රශ්න අපටයි, විසඳන්න වෙලා තිබෙන්නේ.”, දයා ගමගේ කීවේ සිනා සෙමිනි.


“ශ්‍රීලනිප 16 දෙනා ආණ්ඩුව ඇතුළේ ඉදන් ආණ්ඩුවට ගහලා පළාත් පාලන ඡන්දවලින් පැරදුණාම ඒකාබද්දෙට පනින්න ගිහින් නන්නත්තාර වෙලා ඉන්නේ. කට්ටියක් ආපහු ශ්‍රිලනිපයට එනවලු. ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත අනාථ වෙලා නිසා දේශපාලනයෙන් සමුගන්නවා කියලත් ආරංචියි.” ගයන්ත කරුණාතිලක කීවේය.


“ ගිය ඉරිදා ජාතික පත්තරවල චම්පික රණවකගේ වැදගත් සාකච්ඡාව පළවෙලා තිබුණා. ගිය පළාත් පාලනවලදී ඡන්ද ලක්ෂ 125 ක් පාවිච්චි වූ බවත්, ඉන් 49 ක් පොහොට්ටුවට ලැබෙද්දී අනිත් ලක්ෂ 75 ම 2015 යහ පාලන කඳවුරට ලැබිලා නිසා ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ජය සිහිනයක් බවත් චම්පික කදිමට විග්‍රහ කර තිබුණා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීදේ අගමැතිවරයා ඇතුලු සියලු දෙනා අනුමත කළහ.
“පත්තර ඉන්ටර්වීව්එකේ චම්පික අපේ ආර්ථිකය ගැනත් කියා ලස්සන හින්ට් එකකුත් ගහලා තිබුණා. ලංකාව අත්හදා බැලූ සංවෘත හා විවෘත ආර්ථිකවලට නොව වෘත්තීයවේදීත්වය මත පදනම් වූ නවෝත්පාදක ආර්ථික ක්‍රමයෙන් රට ආර්ථික ලෙස ගොඩ නගන ක්‍රමය එයා කියා තිබුණා.


ළඟදි දියුණු වූ රටවල් ගොඩ ගියේ ඒ ක්‍රමය හරහා බවත්, ඒ ක්‍රමය දූෂිත පවුල්වාදීන්ට හෝ ආදි ශිෂ්‍ය සංගම්වල ගජ මිතුරන්ට හෝ ක්‍රියාත්මක කරන්න අමාරු නිසා ෆේස් බුක් හදපු සකර්බර්ග්ලා වගේ දක්ෂ තරුණ පරපුරට රටේ වගකීම්වලින් සාධාරණ ප්‍රමාණය බාරදිය යුතු බවත් කියා තිබුණා. ඒ මතයට හුග දෙනෙකු එකඟයි.” නවීන් දිසානායක කී විට අගමැතිවරයාද එකඟත්වය පළකළේ “එජාපය විතරයි, අනාගතය දැක ඒක ක්‍රමානුකූලව කරන්න හදන්නේ”, යයි කියමිනි.