ගෝඨාභය පත්කළ කැබ්නට්ටුව අවසන්වරට රැස්වෙයි


  • ජනතාව ජනපතිගෙන් ඉල්ලූ එකම ඉල්ලීම
  • ප්‍රශ්න ඇසූ තරුණ පිරිසට එජාප නායකයා කීදේ
  • බන්දුලගේ බිඳුණු සිහිනය

 

ලබන සතියේ බද‌ාද‌ා (05) පැවැත්වෙන මහ මැතිවරණයෙ ඡන්ද විමසීමට මේ වන විට සියලු කටයුතු සූද‌ානම් වෙමින් පවතී. ඡන්දයට තවත් ඇත්තේ හරියටම දින 10 ක් පමණී. ඒ නිසාම ඡන්ද පොර පිටිය ද ගිනියම් වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් අනෙක් දේශපාලන පක්ෂ නායකයනුත් රටපුරා යමින් ඡන්ද සටන මුවහත් කරන්නේ ඡන්ද ප්‍රචාරයට තවත් ඉතිරිව ඇත්තේ සතියක පමණ කාලයක් බැවිනි.
ජනාධිපතිවරයා ඉකුත් සතියේ අම්පාර, නුවරඑළිය, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල සංචාරය කළේ පොදුජන පෙරමුණේ මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකිරීම වෙනුවෙනි. අම්පාරේ අපේක්ෂකයන්ගේ ජනහමුවලට යන අතරේ දැරියක ජනාධිපතිවරයාට ආමන්ත්‍රණය කළේ ‘ජනාධිපති මාමේ’ යනුවෙනි. මුවගට සිනාවක් නගා ගත් ජනාධිපතිවරයා කීවේ ‘නෑ දුවේ මට සීයා කියල කියන්න.’ යනුවෙනි. මේ ජනහමුවලට යන අතරේ ඇතැම් තැන්වලදී මහවැසි ඇදහැළුණේ අනපේක්ෂිතවය. ජනාධිපතිවරයා කළේ තනිවම කුඩය ඉහළා ගෙන ජනතාව අතරට යාමය. ජනාධිපතිවරයා අනතුරුව රත්නපුරයටත්, නුවරඑළියටත් ගියේ මහවැසි ද නොතකමිනි. ඉන්පසුව ජනාධිපතිවරයා නුවරඑළියට ගිය අතර එහිදී ජනාධිපතිවරයා සමග අමුත්තෙක් ද පැමිණියේය. ඒ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය. මුරලිගේ සහෝදරයා ද මෙවර මහ මැතිවරණයට නුවරඑළියෙන් පොහොට්ටුව ලකුණින් තරග කරන අපේක්ෂකයෙකි. හිටපු ඇමැතිවරුන් වන සී.බී. රත්නායකත්, එස්.බී. දිසානායකත්, ජීවන් තොණ්ඩමනුත් නුවරඑළියෙන් තරග කරන පොහොට්ටුවේ අපේක්ෂකයෝ වෙති. ජනාධිපතිවරයා ඔවුන් තිදෙනාගේ ද පොහොට්ටුවේ සෙසු අපේක්ෂකයන්ගේ ද ජනහමුවලට ගියේ ඒ සියලු දෙනාට ද ජනාධිපතිවරයාගේ සහාය පළකරමිනි. ජනාධිපතිවරයා රත්නපුරේදී සෑම ආසනයකටම ගොස් ජනතාව හමුවූයේ ඔවුන්ගේ ගැටලු ගැන ද විමසමිනි. වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු අපේක්ෂකයෝ සියලු දෙනාම ඊට සහභාගි වූහ.


මේ අතර ජනාධිපතිවරයා බද‌ාද‌ා කැබිනට් රැස්වීමෙන් අනතුරුව ගම්පහ බලා පිටත්ව ගියේ පොහොට්ටුවෙන් තරග කරන ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ට සහාය පළකරමිනි. ජනාධිපතිවරයා මුලින්ම ගියේ බියගමටය. ගම්පහ කුඩු ජාවාරමත් පාතාලයත් නැති කරන්නැයි බියගම ජනහමුවට පැමිණි ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ මත්කුඩුවලින් පාතාලයෙන් තොර රටක් දරුවන්ට අවශ්‍ය බව කියමිනි. ජනාධිපතිවරයා ද කීවේ මත් උවදුරින්. පාතාලයෙන් තොර රටක් තමා ගොඩනගන බවය. මේ රැස්වීමට ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග ද පැමිණ සිටියේය. ජනාධිපතිවරයා ගම්පහ අනෙක් රැස්වීම්වලට ද ගියේ ප්‍රසන්න ද සිය වාහනයේ නංවා ගනිමිනි. මේ අතර ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්ද‌ා දකුණට ගියේය. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකරමිනි. ගාල්ලේ රමේෂ් පතිරණ, ෂාන් විජයලාල්, ගීතා කුමාරසිංහ ඇතුළු අපේක්ෂකයන් සියලු දෙනාගේම ජනහමුවලට ගිය ජනාධිපතිවරයාට ලැබුණේ ඉහළම පිළිගැනීමකි. කුඩා දරුවෙකු තමා විසින් එකතු කරන ලද මුදල් සහිත කැටයක් ජනාධිපතිවරයා අතට පත් කළේ කොවිඩ් අරමුදලට බැර කරන්නැයි ඉල්ලමිනි. ජනාධිපතිවරයා එය බාර ගත්තේ දරුවාගේ එම සත්ක්‍රියාව ඉහළින්ම අගය කරමිනි.


අවසන් කැබිනට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම ගිය බද‌ාද‌ා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව පත්කළ 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ අවසන් රැස්වීම එය විය. ඡන්දයට සිය ගම්බිම් බලා ගොස් සිටි නිසා කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ ද ඇමැතිවරුන් ටික දෙනෙකි.


කළුතර හා හෝමාගම රෝහල් ශික්ෂණ රෝහල් බවට පත්කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි විසිනි. ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ අලුතින් ඇරඹීමට යන වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය හා සායනික කටයුතු වෙනුවෙනි. හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් කරන්නැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ද පවිත්‍රාගෙන් දිගින් දිගටම ඉල්ලීමක් ද කළේය. කලින් සතියේ ඔහු පවිත්‍රාට ආදරණීය මැණිකේ’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ලිපියක් ද ලියුවේ ඒ වෙනුවෙනි. පවිත්‍රා සිය කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ගමන් බන්දුලගේ ලිපිය ඒ ගැන ද සිහිපත් කළාය. ඒ අනුව යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සිය සතිය පුරාම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගියේ පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දක්වමිනි. මොනරාගල, මහනුවර, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකටම ගිය අගමැතිවරයා ඒ සෑම රැස්වීමක්ම අමතන්නට ද අමතක නොකළේය.


දැරියන් දෙදෙනකුට මහින්දගෙන් පරිගණක


මොනරාගල පැවැති පොහොට්ටු ජනරැලි මාලාවට ගිය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා එදින අවසන් රැලිය ලෙස සහභාගි වූයේ මැදගම ජනරැලියටය. එය සංවිධානය කළේ ශෂීන්ද්‍ර රාජපක්ෂය. මහින්ද එම රැලියට යන අතරේ වාහනය ළඟට දුවගෙන ආ දැරියන් දෙදෙනකු අගමැතිවරයා අතට ලිපියක් බාර දුන්නේ අහිංසක ඉල්ලීමක් කරමිනි. එම දැරියන් දෙදෙනා අසල්වැසි නිවෙස් දෙකක පාසල් සිසුවියන් දෙදෙනෙකි. එක්කෙනෙක් මොනරාගල යශෝධරා බාලිකා විද්‍යාලයේ ද අනෙක් දැරිය මැදගම ජාතික පාසලේ ද 11 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබති. දෙදෙනාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර මේ දිනවල අන්තර්ජාලයේ සිදුවන ඉගැන්වීම් කටයුතුවලට සහභාගි වීමට පරිගණකයක් නොමැතිවීම ඔවුන් දෙදෙනාටම ඇති බරපතළ ගැටලුවකි. ඔවුන් දෙදෙනා අගමැතිවරයාගේ වාහනය අසලට දුවවිත් පේළි පහ හයකින් යුත් අතින් ලියූ ලිපිය අගමැතිවරයා අතට දුන්නේ තම අහිංසක ඉල්ලීමට අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයකිනි. ලිපිය අතට ගත් මහින්ද ඔවුන් ඉදිරියේම ලිපිය කියවීය.


‘හරි දුවේ මම මේක කරලා දෙන්නම්. දැන් ඔයාලා ගෙදරට යන්න’ මහින්ද කීවේ ඔවුන්ගේ ඉල්ලීම ඉටුකර දෙන බවට සහතික වෙමිනි. මහින්ද, මේ වැඩේ කර දෙන්නැයි ශෂීන්ද්‍ර රාජපක්ෂට පැවරීය. ශෂීන්ද්‍ර ලැප්ටොප් පරිගණක දෙකක් ගෙන්වා මොනරාගල නගරයේ පිහිටි සිය නිවෙසට දැරියන් දෙදෙනාටම පසුදින උදේ එන්නැයි දැනුම් දුන්නේය. එම දැරියන් දෙදෙනා පැමිණියේ සිය මවුපියන් ද සමගිනි. එම අවස්ථවේ අගමැතිවරයා ද ශෂීන්ද්‍රගේ නිවසේ සිටි අතර ලැප්ටොප් පරිගණක දෙක මහින්දගේ අතින්ම දැරියන් දෙදෙනාට පරිත්‍යාග කළේය. ඔය දරුවෝ හොඳින් ඉගෙන ගෙන රටට වැඩද‌ායි දරුවෝ වෙන්න.’ යැයි කියමින් මහින්ද ඔවුන්ට ආශිර්වාද කළේ සතුටින් පිනාගිය ඔවුන් දෙදෙනාගේ අනාගතයට සුබ පතමිනි.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් සඳුද‌ා මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයනට සහාය පළකිරීමේ ජනහමුවලට සහභාගි වීමට සූද‌ානමින් සිටියද හදිසියේම එය අවලංගු කරන්නට සිදු වූයේ මහවැසි හේතුවෙනි. එදින උදේ වරුවේ සූද‌ානම් කර තිබූ රැස්වීම්වලට විශාල වශයෙන් සෙනග ද පැමිණ සිටි නමුත් අගමැතිවරයාට ඊට සහභාගි වීමට නොහැකි විය. එදින දහවල් වනතුරුත් මාතලේට යාමේ අදහසින් අගමැතිවරයා සිටිය ද අවසාන මොහොතේ එය අවලංගු කිරීමට සිදු වූයේ හෙලිකොප්ටරයෙන් හෝ වාහනයෙන් යාමට නොහැකි තරමට වැසි ඇදහැලීම හේතුවෙනි. අගමැතිවරයා සහභාගි වීමට නියමිතව සිටි පළමු රැස්වීම වූයේ දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාගේ නිවසේ පැවැති ජනහමුවයි. එය සංවිධානය කරනු ලැබුවේ ජනකත් මෙවර පොහොට්ටුවෙන් මාතලේට තරග කරන ජනකගේ පුත් ප්‍රමිත බණ්ඩාරත් විසිනි. ජනහමුවට විශාල පිරිසක් ද රැස්ව සිටි අතර අගමැතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔවුහු බලා සිටියහ. වැස්ස නිසා රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයා ජනකටත් ප්‍රමිතටත් දුරකථනයෙන් කතා කරමින් දැනුම් දුන්නේය.


බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද මේ දිනවල අධික ලෙස කාර්ය බහුලව වී සිටින්නේ පොහොට්ටුවේ ඡන්ද සටන හේතුවෙනි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් රට පුරා යමින් මැතිවරණ සටනට එක්ව සිටිය ද පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය සැලසුම් කරන්නේ බැසිල්ය. ඒ ඒ දිස්ත්‍රික්කවලින් පොහොට්ටුවට කලින් මැතිවරණවල දී ලැබුණු ඡන්ද ප්‍රමාණයන් එය වැඩිකර ගතයුතු ප්‍රමාණයන් ආදිය ගණන් හිලව් හදමින් පොහොට්ටුවේ මැතිවරණ සැලැසුම්වල නිර්මාපකයා බැසිල් රාජපක්ෂය. ඔහු ගිය සතියේ ද දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන ආයතන නියෝජිතයන් නෙළුම් මාවත කාර්යාලයට කැඳවා සාකච්ඡා කළේ එක් එක් දිස්ත්‍රික්කවල ඉලක්කය ද සඳහන් කරමිනි.


බන්දුලගේ සිහිනයට මැකෝ හරස් වෙයි


උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන කලින් සහභාගි වූ ‘‘සිහිනයකි රෑ’’ සංගීතමය වැඩ සටහන මුදල් අයකර පෙන්වන්නට ජාතික රූපවාහිනිය සූද‌ානම් වූයේ බන්දුලගේ ඉල්ලීමකට අනුවය. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 11 ක පමණ මුදලක් ද බන්දුලගෙන් අයකර ගැනීමට රූපවාහිනී සංස්ථාව සැලසුම් කර තිබිණි. රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් ද යවමින් අවසර ඉල්ලා සිටියේ වැඩසටහන ප්‍රචාරය කිරීම සඳහාය. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය රූපවාහිනියේ සභාපතිවරයාගේ ලිපියට හැරෙන තැපෑලෙන් පිළිතුරක් එව්වේ එම වැඩසටහන ප්‍රචාරයට අවසර දිය නොහැකි බව පවසමිනි. ඔහු සිය ලිපියෙන් දැක්වූයේ රූපවාහිනියේ ගුවන් කාලය අපේක්ෂකයනට මුදල් අයකර ලබා දීම ගැටලුවක් නොවන නමුත් කලින් පටිගත කළ වැඩසටහනක සංරක්ෂණ අයිතිය රාජ්‍ය දේපලක් වන බැවින් එය අපේක්ෂකයකුගේ ප්‍රචාරක දැන්වීමක් ලෙස යොද‌ා ගැනීම සඳහා ඉඩදිය නොහැකි බවය.


තරුණ සිසුන්ගේ ප්‍රශ්නාවලියකට එජාප නායකයා පිළිතුරු දෙයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී පිටකෝට්ටේ රසල්ස් උත්සව ශාලාවේ උසස් පෙළ පන්තිවල පාසල් සසුන් පිරිසක් හමු විය. මෙම හමුවේදී විශේෂත්වයක් තිබුණි. එනම් පෙර සූද‌ානමක් නොමැතිව තරුණ පිරිසට එක්සත් ජාතික පක්ෂ නායකයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දීමයි. සාමාන්‍යයෙන් ප්‍රශ්න උත්තර අවස්ථාවකදී විපක්ෂනායකවරයා ලෙස මුහුණදෙන ස්වරූපය මෙන් නොව බොහොම සිනාවෙන් හා උද්​​ෙ‌යා්ගයෙන් යුතුව රනිල් වික්‍රමසිංහ මහතා තරුණ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.
වෙනත් රැස්වීමකට සහභාගිවීමට අවශ්‍ය නිසා විනාඩි 15 ක කාලයක් තුළ ඉවත්ව යෑමට සූද‌ානමින් සිටියත් සාකච්ඡා වාරය බෙහෙවින් උද්‌යෝගිමත්වීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා පැයකට වැඩි කාලයක් එහි ගත කළේය.


කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු ඇමැති රවී කරුණානායක මහතා මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.


මෙහිදී කොළඹ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ හද‌ාරන ශිෂ්‍යයෙක් ප්‍රශ්නයක් විමසා සිටියේය. ‘පාස්කු ප්‍රහාරය හා බැඳුම්කර වංචා මේ රටේ ආර්ථිකයට විශාල පහරක් එල්ල කළා. මේවා සිදුවුණේ එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී ඇයි පක්ෂයෙන් මේවා ගැන කතා නොකරන්නේ’ යනුවෙන් ඔහු විමසීය.


රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය.


‘මේ සිද්ධි ගැන පරීක්ෂණ පැවැත්වෙනවා. ඒවාට ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු, තීරණ ගැනීමට අප සහාය දැක්විය යුතුයි. එබැවින් අනවශ්‍ය ලෙසින් කතාබහ කිරීමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය තැන්වල කතා කරනවා.’ රනිල් පිළිතුරු දුන්නේය.


තවත් ශිෂ්‍යයෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. ‘අපි ඉගෙනගෙන පිටරට යන්න උත්සාහ කරනවා. පිටරට ගියාම නැවත එන්නෙත් නැහැ. එහෙම එන්නේ නැත්තෙ රට ගැන ආදරයක් නැතුව නෙවෙයි. අපි ර​ටේ රඳවා ගැනීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් නැති නිසයි. එක්සත් ජාතික පක්ෂයට මේ ගැටලුවට විසඳුමක් තියෙනව ද? යැයි ඔහු විමසා සිටියේය.


රනිල් එයට පිළිතුරු දුන්නේය. ‘අලුත් ආර්ථික ක්‍රමයක් රටට අවශ්‍යයි. අපේ පක්ෂය සූද‌ානම් වන්නේ ඒ සඳහායි. නවීන තාක්ෂණයට යොමුවිය යුතුයි. නව නිපැයුම්වලට මූලික ස්ථානයක් ලබා දිය යුතුයි. අපේ නිෂ්පාදනවලට හොඳ මිලක් ඇති කළ යුතුයි. අපනයනය වැඩි කළ යුතුයි.’ යනුවෙන් කීය.


මේ අවස්ථාවේදී තරුණ කණ්ඩායම් ප්‍රශ්න ගණනාවක් විමසා සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ලටම සිනාමුසු මුහුණින් පිළිතුරු දුන් අතර පෞද්ගලික මට්ටමින් ද තරුණ පිරිස සමඟ කතාබහකර නික්ම ගියේය.


පක්ෂයේ අපේක්ෂකයන් වන සුදත් ජයසුන්දර සහ ඕෂල හේරත් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


පක්ෂයේ ලක්වනිතා ව්‍යාපාර සාමාජිකාවෝ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. සුනේත්‍රා රණසිංහ, ශාන්තිනී කෝන්ගහගේ යන මහත්මීහු ඇතුළුව කාන්තා නියෝජිතයෝ විශාල පිරිසක් ඒ අවස්ථාවට සහභාගිවී සිටියහ.


පළාත් පාලන මැතිවරණවලදී සියයට 25 ක කාන්තා නියෝජනයක් ලබා දීමට ගත් තීන්දුව ගැන මෙහිදී කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා ර​ටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තා සහයෝගිතාව යොදා ගැනීම පිළිබඳව ද කතා කළේය.


අද ඇතැම් කාන්තාවන් මුව ආවරණ මසා අලෙවි කිරීමේ ව්‍යාපාර පවත්වා ගෙන යන බව ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා පවුලේ ආර්ථිකය තදින්ම බලපාන්නේ කාන්තාවට බව ද පෙන්වා දුන්නේය.


2001 දී සෘන 1.6 ක කඩා වැටුණු ආර්ථිකය බාර ගත් එජාපය සියයට 7 ක වර්ධනයක් ලබා ගත්තා. දැනුත් රටේ ආර්ථිකය සෘණවෙලා. ආණ්ඩුව ඒක හංගනවා. ඡන්දයෙන් පසු මේ ආණ්ඩුවේ නොහැකියාව හා සෘණ ආර්ථිකයේ ආදීනව ජනතාවට දැනේවි.’ එජාප නායකයා සඳහන් කළේය.


සමගි ජන බලවේගයට ගිය එජාපයේ සියයක් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව උසාවි පිහිට පැතුව ද දිස්ත්‍රික් හා අභියාචනාධිකරණවලදී ද ඔවුන් පරාජයට පත් වූවේ ගාස්තුවට ද යටත් වීමෙන්ය. එජාපය එය ජයග්‍රහණයක් ලෙස සලකයි.


‘මේ ආණ්ඩුවට දැන් ණය දෙන්න කෙනෙකු නැහැ. අප බාරදෙන කොට ඩොලර් බිලියන 7.5 ක විතර විදේශ සංචිතයක් තිබුණා. දැන් ඒක මාස 7 ට බිලියන 4.5 ට හින්දවලා.
ඇමෙරිකාව ඉතිහාසයේ මුල්වරට අපේ විදෙස් සංචිත ඇපයට තියාගෙනයි ණය දෙන්න හදන්නේ. ඒක නිවස උගසට තියා ගිනි පොළී කාරයකුගෙන් ණයක් ගන්නවා වගේ භයානක වැඩක් වෙනවා. ජනතාව මේවා තේරුම් ගන්න ඕනෑ.’ එජාප නායකයා රටේ ආර්ථික ව්‍යාකූලතාව විස්තර කළේය.


මේ දිනවල රට තුළ සිදුවන ඇතැම් සිදුවීම් පිළිබඳව ද එජාප නායකයා තම සගයන් සමග සාකච්ඡා කළේය. ඉන් එක් සිදුවීමක් වූයේ කුරුණැගල රාජ සභා මණ්ඩපය කඩා දැමීමය.
‘අපේ සම්පත් හා පෞරාණික ස්ථාන රකින්න ආ පිරිසක් පුරාවිද්‍යාවටත් අභියෝග කරලා බුවනෙකබා රාජ සභාව කඩා බිඳ දමා තිබෙනවා. මේ සිද්ධිය පිටුපස නගරාධිපති පමණක් නොව බලවතුන් ඉන්න බව දැනගන්න තියෙනවා. වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීමයි.’ එජාප නායකයා එහිදී කීවේය.


‘කුලියාපිටියේ ෆෝක්ස්වැගන් කම්හල වෙනුවට ඔටෝ මොබයිල් වාහන එකලස් කිරීමේ කම්හල ආවා. එහි වැඩ අවසන්. මේ බව රටට එළිදරව් කරන්න පමා වෙන්නේ ඇයි?’ පාක්ෂිකයෝ පිරිසක් එජාප නායකයාගෙන් විමසූහ.


‘ඕක බලපාන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයටයි. අපි මේ කම්හල හැදූ බව එහෙ මිනිස්සු දන්නවා.’ එජාප නායකයා කීවේය.


රුවන් සමග සෙල්ෆි ගන්න පොර කෑ ඡන්දද‌ායකයෝ


මේ අතර හිටපු රාජ්‍ය ඇමැති ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතිය පුරාම දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදුණේය. ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ සමීක්ෂණ වාර්තා කීපයක් ද ගිය සතියේදී ප්‍රකාශයට පත්වී තිබුණි. ඒවායින් අනාවරණය කර තිබුණේ රුවන් විජයවර්ධන මහතා ඉහළම ජයග්‍රහණය ලබන බවයි.
කැලණිය හෝටලයක ගම්පහ දිස්ත්‍රික් ලක්වනිතා සංවිධානයේ ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් පැවැති අවස්ථාවේදී මේ බව අනාවරණය විය. මීට​ පෙර සමාජයේ විවිධ කොටස්වලට රැස්වීමේ අවස්ථා නොතිබුණ අතර මේ පළමු අවස්ථාව බවට මෙහිදී කාන්තාවක් අදහස් දැක්වූවාය. රැස්වීම අවසානයේ එහි සිටි කාන්තාවෝ රුවන් විජයවර්ධන මහතා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට ද ඉදිරිපත් වූහ.


මීරිගම පිරිස්යාල පිහිටි සේනානායක මුදලින්දාරාම විහාරයට හා බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරස්ථානයට ගොස් එහි විහාරාධිපති වහන්සේලා බැහැදුටු රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද ලබා ගත්තේය. සේනානායක මුදලින්ද‌ාරාමයේ විහාරාධිපති කටුගස්තොට සාරද ස්වාමීන්වහන්සේ රුවන් විජයවර්ධන මහතාට ආශිර්වාද කරමින් පිරිසුදු නායකත්වයට සුදුසුකම් ලබා සිටින ඔහු රටේ වගකීම් බාරගෙන වැඩ කළ යුතු බව ප්‍රකාශ කළහ.

දේශපාලනයෙන් හරිහම්බ කර නොගත් රුවන් විජයවර්ධන පිරිසුදු දේශපාලනයේ යෙදුණු පුද්ගලයෙක් බව ද කීවේය.


ගෝඨාභය රජමහා විහාරයේදී හාපිටිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක කඩිගමුවේ ප්‍රේමනන්ද හිමියන් බැහැදුටු රුවන් විජයවර්ධන මහතා උන්වහන්සේගෙන් ද ආශිර්වාදය ලැබුවේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා පසුගිය සතියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි විය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කේ.කේ. පියද‌ාස, හා එස්. කේසවමුර්ති යන අපේක්ෂකයන් වෙනුවෙන් හැටන් නගරයේදී මෙම රැස්වීම පැවැත්වුණි.


මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ගණනාවකට ද ඒ මහතා සහභාගි විය.


සජිත්ට උපන් දින කේක්


පසුගිය සතියේදී මාතලේ රැස්වීම්වලට සහභාගී වූ සජිත්ට අපූරු අත්දැකීමකට මුහුණදීමට සිදුවිය. ඒ දේශපාලන කතා කීම මදකට පසෙකින් තබා උපන් දින කේක් ගෙඩියක් කැපීමටය.
වසන්ත අලුවිහාරේගේ උපන්දිනය යෙදී තිබුණේ මාතලේ රැස්වීම පැවති දිනයේදීමය. ඒ වෙනුවෙන් කෙටි උපන්දින සාදයක් සංවිධානය වී තිබුණේ මැතිවරණ වේදිකාවේදීමය. වසන්තගේ පවුලේ අය විසින් රැගෙන ආ කේක් ගෙඩිය ඔහු කැපුවේ සජිත්ගේ හා මාතලේ දිස්ත්‍රික්කයේ අනෙක් අපේක්ෂකයින්ගේ සුබපැතුම් මැදය. ඔහු කේක් ගෙඩිය කපා පළමු කේක් කෑල්ල කැව්වේ සජිත්ටය. ඉන් පසුව පවුලේ අයට කේක් කවා ඔහු තමන්ගේ වැඩිමල් සොයුරු රංජිත් අලුවිහාරේට කේක් කෑල්ලක් කැව්වේය. එතැනින් නොනැවතුන ඔහු අනෙක් අපේක්ෂකයින්ටද කේක් කෑල්ල බැගින් කැව්වේය.


‘‘බලන්න අපේ මැතිවරණ වේදිකාව කොතරම් ආදර්ශවත් වේදිකාවක්ද කියලා. පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවේ මනාප ප්‍රශ්නවලට හූ කියා ගනිද්දී අපේ අපේක්ෂකයෝ කේක් කවා ගන්නවා.’’ සජිත් කීවේ තමන්ගේ අපේක්ෂකයින් අතර තිබෙන සහෝදරත්වය ගැන සිහිපත් කරමින්ය.


පසුගිය සතියේ දී සජිත් බදුල්ලට ගියේ හරීන් සමගය. හරීන් බදුල්ලෙන් ඡන්දය ඉල්ලුවේ නැතත් දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතුවලට සක්‍රීය සහාය ලබාදෙන්නේය.


‘‘හරීන් මේපාර බදුල්ලෙන් ඡන්දෙ ඉල්ලන්නේ නැතිව ජාතික ලැයිස්තුවට ඇවිත් රටේම ඡන්ද ව්‍යාපාරය​ මෙහෙයවන්න නායකත්වය දෙන්නේ මගේ ඉල්ලීමකට’’ හරින් ගැන සජිත් කීවේය.
සිංදු කියන්න ගිය හරින්ට මනුෂගෙන් අත් පළඳනා


හරීන් මේ දිනවල රට පුරාම මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටී. පසුගිය සතියේදී හරීන් ගාල්ලට ගියේ තමන් එවකට නියෝජනය කළ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා පමණක් නොව සමීපතම දේශපාලන හිතවතෙක් වන මනුෂ නානායක්කාරගේ රැස්වීම් මාලාවකට සහභාගි වීමටය. තරුණ හමුවට පැමිණි හරීන් පිළිගත්තේ මනුෂගේ නම සඳහන් අත් පළඳනාවක් පළඳවමිනි.


‘‘මම අද ගාල්ලේ රැස්වීම් ඉවර කරලා කොළඹ යන්න ඕනෑ. ස්වර්ණවාහිනියේ සංගීත වැඩ සටහනකට සහභාගී වෙන්න.’’ හරීන් මනුෂට කීවේය.


‘‘මම ෆේස්බුක් එකේ දාලා තියෙනවා දැක්කා. දෙපැත්තෙන්ම දේශපාලනඥයෝනේ එන්නේ. මනුෂ කීවේ තමන්​ දේශපාලනයට පැමිණීමට පෙර ස්වර්ණවාහිනියේ පුවත් කී ආකාරය ගැන හරීන්ට සිහිපත් කරමිනි.


‘‘ඕව්. ඔව්. ගීතාත් එනවා. හොඳ සෙල්ලම් තියේවි ඉතිං ඒකේ’’ හරීන් කීවේ සිනාසෙමින්ය.

 

-ගජබා-