කුවේටයේ ශ්‍රමිකයන් වෙනුවෙන් සජිත්ගෙන් මෙහෙයුමක්


සීෂෙල්ස් දිවයිනේ පුරවැසියන් පිරිසක් හදිසියේම ලංකාවට රැගෙන ඒම ගැන සමගි ජනබලවේගයේ නායකයෝ සාකච්ඡා කළහ.
‘අපේ රටේ ජනතාව මැදපෙරදිග දුක් විඳිනවා.ඒ අය ගැන ආණ්ඩුවට කිසිම ගානක් නෑ. නමුත් සීෂෙල්ස් වලින් ඒ රටේ අය ගේනවා.”‍


මහලේකම් රංජිත් කීවේය.


“මේක ඇතුළේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ගොඩක් අය කියනවා”
එහෙම කීවේ හරින් ය.


මේ අතර මැදපෙරදිග සහ කුවේටයේ වෙසෙන අපේ රටේ ශ්‍රමිකයින් විශාල පිරිසක් කොරෝනා හේතුවෙන් ව්‍යසනයක සිටින බව සජිත්ට දැනගන්නට ලැබිණි.
ඔහු වහාම ඒ පිළිබඳව සොයා බැලීය.


අදාළ අංශවලට කතා කළ සජිත් කඩිනමින් තොරතුරු සොයා ගත්තේය. ඔහු වහාම කළේ කුවේට් තානාපති සමග සම්බන්ධීකරණය ගොඩනගා ගැනීමය. එහි ප්‍රතිඵලයක් ලෙස කුවේට් තානාපතිවරයා සජිත් හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියේය. දැඩි කාර්ය බහුලත්වය තුළ පවා සජිත් කුවේට් තානාපති හමුවීමට වෙලාව දුන්නේය. ඒ අනුව දෙපාර්ශවය අතර විශේෂ හමුවක් ඉකුත් 27 වැනිදා සිදුවිය.


මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් පත්ව සිටින අසරණ තත්ත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සජිත් කුවේට් තානාපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.


මේ හමුවෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ සජිත් කියා සිටියේ ආණ්ඩුව නොපමාව කුවේටයේ සිටින අපේ ජනතාව වෙනුවෙන් මැදිහත් වියයුතු බවය.
මේ ව්‍යසනය හේතුවෙන් ඉන්දියාව, පිලිපීනය, ඊජිප්තුව වැනි රටවල් කුවේටයේ වෙසෙන තම ශ්‍රමිකයින් සුරක්ෂිත කිරීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ බලධාරීන් අලස සහ මන්දගාමී ලෙස කටයුතු කරන බව සජිත් කීය.


‘එදා මැතිවරණය වෙලාවේ රට විරුවන් සේ හැදින්වූ අපේ විදෙස් ශ්‍රමිකයින් අද ආණ්ඩුව විසින්ම බෝම්බකරුවන් සේ හදුන්වනවා. මේ ඔප්පු වෙන්නේ ආණ්ඩුවේ කළගුණ නොදත් අමානුෂික ස්වරූපය’ යැයි සජිත් කීය.


මේ හමුවීමෙන් පසු සජිත්ට බොහෝ ඇමතුම් ගලා එන්නට විය.
ඒ අතරින් කුරුණෑගල ප්‍රදේශයෙන් එක්තරා ඇමතුමක් සජිත්ට ආවේය.


‘මට සජිත් ප්‍රේමදාස මහත්තයාට කතා කරන්න ඕනැ.’
දුරකතනයේ එහා කෙළවරින් ආවේ ගැහැනු කටහඬකි.


‘ඔව් කතා කරනවා’
සජිත් කීවේය.


‘සර් මම ඒ ලෙවෙල් කරන ළමයෙක්. මගෙ අම්මා කුවේට් වල ඉන්නේ. එයා අවුරුදු පහක් එහේ. මගේ තාත්තාට අංශබාගේ. අම්මා අන්තිමට කතා කළේ ගිය මාසේ 12 වෙනිදා. එයාලා එහේ අසරණ වෙලා ඉන්නේ. කවුරුත් එයාලා ගැන බලන්නේ නෑ. එහෙම වෙලාවක සර් මැදිහත් වෙච්ච එකට අනේකවාරයක් පිං’
දැරිය කියාගෙන ගියේ හැඬූ කඳුළිනි.


‘එහෙ ගොඩාක් අය අසරණ වෙලා ඉන්නවා. අපි කරන්න පුලු‍වන් හැමදේම කරනවා. බයවෙන්න එපා’ සජිත් උත්තර දුන්නේය.
සතියකට දෙදිනක් සමගි ජනබලවේගයේ මාධ්‍ය මෙහෙයුම් කමිටුව රැස් වී එදිනෙදා කටයුතු පිළිබඳව සාකච්ඡා කරයි.
‘අපේ අය යූ.එන්.පී එකට යනවා කියලා දිගටම නිවුස් ප්ලාන්ට් කරනවා. මේක අසෝබන වැඩක්.’
තිස්ස අත්තනායක කීවේය.


‘මේවා බොරු කියලා රටම දන්නවා. අනික අපි කවුරුවත් පක්ෂය දාලා ආවේ නෑ. හැමෝම කළේ කෘත්‍යාධිකාරිය අනුමත කරපු වැඩේ’
මහලේකම් රංජිත් කීවේය.


‘මේ සංවිධානාත්මක වැඩක්. ඔය වැඩේ පිටිපස්සෙන් ඉන්නෙත් ආණ්ඩුව තමයි. පොහොට්ටුවයි පොහොට්ටුවට යන්න ඉන්න අයයි කරන වැඩක්.’
එහෙම කීවේ නලින් බණ්ඩාර ය.


ඒ අනුව මාධ්‍ය කමිටුව තීන්දු කළේ මේ සංවිධානාත්මක ව්‍යාජ පුවත් පිළිබඳව දැනුවත් කොට නිවේදනයක් නිකුත් කිරීමට ය.
‘‘බංකොලොත් කල්ලියක ප්‍රචාර වලට නොරැවටෙමු.’’ යන හිසින් යුතුව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් නිවේදනය නිකුත් කළේය.
මේ අතර සමගි ජනබලවේගය සමග සම්බන්ධ පිරිස් එජාපයෙන් නෙරපන බවට නිවේදනයක් නිකුත් වී තිබීම ගැනද සාකච්ඡාවට ගැණින.

 

-ගජබා-