කිරිඇල්ල යළිත් වරක් ආණ්ඩුව බේරාගනී


සති අන්තයේ විශේෂ ආගමික කටයුත්තකට ඉන්දියාවට ගිය අගමැති හා බිරිඳ මෛත්‍රී චෙන්නායි සිට තිරුපති කෝවිල දක්වා ගියේ ඉන්දීය රජය සූදානම් කළ විශේෂ හෙළිකොප්ටරයකිනි.


පූජාව නිමකළ අගමැතිවරයා වහාම යළි චෙන්නායි වෙත පැමිණ කොළඹට ළඟාවූයේ එදින රාත්‍රියේ තිබූ සරසවි සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිත ලෙස එක්වීමටය.


එහිදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ඉන්දීය නිළි පූජා උමාශංකර් ට සම්මානය දුන්නේ අගමැති අතිනි.


“මා ආසයි ඔබතුමාට හග් එකක් දෙන්න”, පූජා ඇසුවාය.


“ඔබේ ආසාවට මා බාධා කරන්නේ නැහැ. මා ඒක තවත් ධෛර්යමත් කරනවා”, අගමැති කීවේ සිනාසෙමිනි.


පූජාගෙන් උණුසුම් හාද්දක් ලැබූ අගමැතිවරයා පෙරළා ඇයටද ඊටත් වඩා උණුසුම් හාද්දක් දුන්නේ කාගේත් දැවැන්ත අත්පොළසන් හඩ මධ්‍යයේය. උණුසුම් හාදු හුවමාරුව පසුගිය සතියේ සමාජ ජාලාවල උණුසුම්ම පුවත බවට පත් විය.


බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා පාර්ලිමේන්තු යන විට මැති ඇමැතිවරු විශාල පිරිස අගමැති කාර්යාලය තුළ රැස්ව සිටියහ.


“සාපරාධි කරුණුවලදී අ​ෙන්‍යාන්‍ය සහයෝගිතා පනතට ඡන්දය දෙන්න සියලු දෙනා උනන්දු විය යුතුයි කියා තිබෙද්දී අපේ සමහරුන් ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ නොසිටීම ලොකු වැරැද්දක්. ලක්ෂ්මන් සූක්ෂමව කල් ගත්තේ නැතිනම් පනත පරාද වෙනවා. ආණ්ඩුව බේරා ගැනීම ගැන ස්තූතියි.”, අගමැතිවරයා කිරිඇල්ලට ස්තූති කළේය.


“දින 100 ආණ්ඩුවේදිත් මුදල් පනතක් පරාද වෙන්න යනවිට කිරිඇල්ල ඇමැතිතුමා විපක්ෂයේ වාඩි වෙලා හිටපු දෙමළ සංධාන මන්ත්‍රීලා 03කට අතින් සංඥා කර නැගිට්ටවලා ආණ්ඩුවට ඡන්දය ගෙන එදත් ආණ්ඩුව බේරා ගත්තා. පෙරේදා එතුමා යළිත් ආණ්ඩුව බේරාගත්තා”, සජිත් ප්‍රේමදාස කතා කළේද කිරිඇල්ලට ස්තූති කරමිනි.


“පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පඩි වැඩි කිරීමට විරුද්ධව එජාපය තීන්දු කිරීම වටිනවා. නැතිනම් මිනිස්සු අපේ ඔළුව කාවි”, නවීන් දිසානායක කීවේ සිනා මැදය.


“ඔය ප්‍රශ්නය ගැඹුරින් බලන්න වෙනවා. 2006 දී මහින්ද රාජපක්ෂත් ජෙයරාජ් හරහා පනතක් සම්මත කළා. විනිශ්චයකාරයින්ගේ පඩි වැඩිවෙනවිට මැති-ඇමති පඩිත් වැඩි විය යුතු බව පක්ෂ නායක රැස්වීමේදී මතු වුණාම සියලු පක්ෂවල නායකයෝ ඊට එකඟ වුණා.”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“ඒත් ජනාධිපතිතුමාගේ වැටුප 95,000 ක් වෙද්දි මන්ත්‍රීන්ට ලක්ෂ හතරක් බව එතුමා කිව්වේ මොන පදනමින්ද?” චමින්ද විජේසිරි ප්‍රශ්න කළේය.


“ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්නේ සභානායක ලෙස මටයි. මන්ත්‍රී වැටුප රුපියල් 54,000 යි. වරාය කම්කරුවෙකුත් ලක්ෂයක් විතර ගන්නවා.”


මන්ත්‍රීන්ගේ වැටුප ලක්ෂ ගණන් කියා කියන්නේ දෙන වාහනය, ඉන්ධන, කාර්යාල හා සේවක වැටුප් ඔක්කොම එකතු කරලයි. මන්ත්‍රීන්ට වාහන කාලා, ඉන්ධන බීල, කාර්යාල ඩෙසර්ට් එකට ගන්න බෑහැ. රුපියල් 54,000න් මළගෙවල්-මගුල් ගෙවල්වලටත් දෙන්න වෙනවා. ආසියාවේ අඩුම වැටුප ලංකාවේයි.


“සිංගප්පූරුවේ මන්ත්‍රී කෙනෙකුට රුපියල් කෝටි 10ක් ලැබෙනවා. ඒ නිසා මන්ත්‍රීන්ගේ වැටුප් ගැන යථාර්ථවාදීව හිතන්න ජනමාධ්‍ය ඇතුළු කාටත් වගකීමක් තිබෙනවා.”, ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.


“ගිය සතියේ දොස්තරලා., මේ සතියේ දුම්රිය වර්ජනය කරනවා. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩි බවයි, මිනිස්සු කියන්නේ”, වජිර අබේවර්ධන කීය.


“ගිය පාර O/L විභාගෙට මේ පාර A/L විභාගේ ඉලක්ක කර මේ වර්ජන එන්නේ. වර්ජන කරන අයටයි, අවාසි. ජනතාව කැළඹිලා වර්ජකයන්ට ගැහුවා. බස් දාලා විභාග ළමයි අදින්න පුළුවනි. දුම්රිය පඩි වැඩි කළොත් තව විශාල ආයතන ගණනක පඩි වැඩි කරන්න වෙනවා. රට ගොඩ ගන්නකම් රට ගැන හිතා ක්‍රියාකිරීමේ වගකීම කාටත් තිබෙනවා.”, අගමැති කීය.


“අද දුම්රියට ජනතාව එල්ල කළ පහරදීම හෙට දොස්තරලටයි. දොස්තරලා දැන් දවසක් ඇර, දවසක් වර්ජන කරන්න එනවා”, චමින්ද විජේසිරි කීය.


“මහින්දලා අසාර්ථක විරෝධතාව විහාරමහාදේවි එකේ තිබ්බේ රතුපස්වල තුන් දෙනෙකු වෙඩි තියා මරපු දවසට හරියටම වසර 05 පිරෙන එක සමරන්න කියා ජනතාව කියනවා”, විජයදාස රාජපක්ෂ කීවේ සිනා මැදය.
“අර සංඝ පනත ගෙන ඒමේ අළුත් තත්ත්වය මොකද්ද? ප්‍රශ්න ඇතිවෙන ඒවාට අත ගහන්න නරකයි”, දයා ගමගේ කීය.


“ඒ පනතට අදාළ කෙටුම්පත දැන් මහ නාහිමිවරුන් අත තිබෙන්නේ, උන්වහන්සේලයි, අවසන් තීන්දුව ගන්න ඕනෑ.”, විජයදාස රාජපක්ෂ කීය.


“මල්වත්තේ සහ අස්ගිරි මහ නාහිමිවරුන් මේකට අත්සන් කළාට ඒ සංඝ සභා මේකට කැමති නැහැ. එදා රජවරුන් හදපු නීති ප්‍රමාණවත්ය. මේ පාර්ලිමේන්තුව අලුත් නීති ගේන්න ඕන නැහැ. භික්ෂු විනය ගැන භික්ෂුන්ම බලා ගත යුතුයි කියන තැනයි උන්වහන්සේලා ඉන්නේ ” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිළි කළේය.


“සජිත්ගේ නිවාස පනත ඒකමතිකව සම්මත වුණා. ගෙවල් හදනවාට විරුද්ධ වෙන්න පුලුවන් කාටද?” විජයදාස රාජපක්ෂ කීය.


“වාහන බද්ද ඉහළ දැම්මේ තාවකාලිකවයි. අපේ විදේශ විනිමය ගිය වසරවලට වඩා තුන් ගුණයක් කුඩා කාර්වලට වැය වෙලා. තෙල් මිලත් වැඩි වුණාම හිර වෙනවා. ඒත් කාර් බද්ද පුළුවන් ඉක්මනින් අයින් කරන්න කියා මා මංගලට කිව්වා”, අගමැති කීය.


“ගම්පෙරළියට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමා ඉවත දැම්මා කියන්නේ ඇත්තද?” චමින්ද විජේසිරි ඇසීය.


“නැහැ... නැහැ... පවතින සුළු ගැටළු නිරාකරණය කරන තෙක් කල් තිබ්බා. මේ ගැන නිර්දේශ දෙන්න අමාත්‍යාංශ ලේකම්ලගේ කමිටුව පත් කළා. ඒ කමිටු නිර්දේශ හා මන්ත්‍රීන්ගේ අදහස් මුළින්ම ගලපාගන්න කියලයි කියැවුණේ. මන්ත්‍රීන්ට වාහන දෙනවට වඩා ඉන්ධන දෙන එක හොඳයි කියලත් කියැවුණා.” නවීන් දිසානායක කීය.


“මහනුවර අධිවේගයේ මීරිගම - කුරුණෑගල කොටසේ වැඩ තව ඉක්මන් කරල ලබන වසරේ විවෘත කළාම නුවර යන්න අලුත් පාර බිහි වෙනවා.”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“මහනුවර අධිවේගයේ මැද කොටස හා මාතර - බෙලිඅත්ත දකුණු අධි වේගයේ දිගුව ලබන වසරේ විවෘත කරනවා.”, අගමැති කීය.


“ආණ්ඩුව නව ව්‍යවස්ථාව ගේන්නේ රාජපක්ෂලාට ආපහු රටේ තනතුරු හොබවන්න බැරි වෙන ලෙස බව ජී.එල්. කියා තිබුණා. රට බෙදන ව්‍යවස්ථා ගේන්න හැදූ බවට චෝදනා ලැබු එතුමා නොදැකපු ව්‍යවස්ථාව ගැන හුඹස් බිය රට පුරා පැතිරවීම ගැන ජනතාව පුදුම වෙනවා.” විජයදාස රාජපක්ෂ කීවේ සිනා මැදය.


විපක්ෂ නායක ධුරය පිළිබඳ සංවාදය යළිත් පාර්ලිමේන්තුව උණුසුම් කළේ පෙර සතියේ එය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් භාරදීමත් සමඟය. ඒකාබද්ධ විපක්ෂයේ සිය කණ්ඩායමට මන්ත්‍රීවරුන් 70ක් සිටින බව එම ලිපියේ සඳහන් වුවද එම ඉල්ලීමට අත්සන් තබා තිබුණේ මන්ත්‍රීවරුන් 8 දෙනකු පමණි. මේ පිළිබඳව නීති උපදෙස් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡා කරමින් දීර්ඝ වශයෙන් සළකා බැලීමට කථානායකවරයා දින කිහිපයක් පුරා කටයුතු කළේය.


එහිදී, බොහෝ පාර්ශ්වයන් පෙන්වා දුන්නේ දේශපාලන වශයෙන් උණුසුම් තත්ත්වයක් නිර්මාණය කිරීමට මෙම ඉල්ලීම ඉදිරිපත් කළද අදාළ මන්ත්‍රීවරුන් 8 දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත්වී සිටින බව එම ලිපියේම සඳහන් කර ඇති බවයි.


එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය සහිතව එක්සත් නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම්වරයා විසින් අත්සන් තබන ලද නාමයෝජනා පත්‍රයක් ඉදිරිපත් කර එම පක්ෂයේ ලකුණ යටතේ තරග කර ඔවුන් පාර්ලිමේන්තුවට පත්ව ඇති බවයි. මේ අනුව යම් මන්ත්‍රීවරුන් පිරිසක් විසින් තම පක්ෂයේ අයෙකු විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලා සිටින විටක ඔවුන් නියෝජනය කරන පක්ෂයේ නිල මතය විමසීම යෝග්‍ය බව උපදෙස් ලැබිණි.


පක්ෂ නිල මතය ලැබෙන්නේ කාටද? යන්න ගැන දේශපාලන ලෝකයේ පැවැති අවිනිශ්චිතභාවය පුපුරා ගියේ අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් වූ විටය.


මේ වනවිට සන්ධානයේ නිල මතය මහින්ද අමරවීර මහ ලේකම්වරයා විසින් කථානායකවරයාට යොමුකර අවසන්ය. ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේදී එළිදරව්වනු ඇත.