කවදා ඒදැයි නොදන්න පළාත් සභා ඡන්දය


අලුත් අවුරුදු නිවාඩුව සති අන්තයට යෙදී ඇත. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද මැති ඇමැතිවරු වැඩි පිරිසක් මේ දිනවල විදේශ ගත වී සිටිති. සමහරු රාජකාරි කටයුතු වෙනුවෙන් විදේශගත වෙලාය. තවත් සමහරු අවුරුදු නිවාඩුව ගත කරන්නට පිටරට ගොස් සිටිති. එසේ වුව ද දේශපාලන පොරපිටියේ නම් ගිය සතිය වන විටත් උණුසුමේ අඩුවක් නොතිබිණි.


අලුත් අවුරුදු නිවාඩු දින කිහිපයෙන් පසුව දේශපාලන කරළියේ සිදුවිය හැකි බව කියන පෙරළි පිළිබඳ ආරංචිවලට ගිය සතිය පුරා තටු ලැබී තිබිණි. ඒ නිසාම ගිය සතියේ දේශපාලන කරළියේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍ර​යේද දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබිණි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව ගිය සඳුද‌ා (08) රාත්‍රියේ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී රැස් වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු ශ්‍රීලනිපයේ දිස්ත්‍රික් නායකයෝ ද ඊට සහභාගි වූහ. ශ්‍රීලනිපය මෙවර මැයි දින රැලිය පවත්වන්නට තීරණය කර ඇත්තේ ගම්පහදීය. මැයි පෙළපාළිය කෙටියෙන් පවත්වා රැලිය ලොකුවට පවත්වන්නටත්, වැඩි පිරිසක් ඊට සහභාගි කරවන්නටත් එහිදී තීරණය විය. සෙනඟ ගෙන්වීම සඳහා බස්රථ 1500 ක් පමණ යෙදවීම ගැන ද සාකච්ඡා විය.


ශ්‍රිලනිපය අයවැයේදී ඡන්දය දීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් කර ඇති ප්‍රකාශයකට ශ්‍රිලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එම රැස්වීමේ දී විරෝධය පළ කළහ. ශ්‍රීලනිපය ගත් ස්ථාවරය වැරදියි කීමට ජී.එල්. ට අයිතියක් නැතැයි ඔවුහු කියා සිටියහ. ජනාධිපතිවරයා ද කීවේ ආණ්ඩුව අරන් දුන්න වෙලාවෙ ඔවුන්ට 113 හොයාගන්න තිබුණනෙ කියාය.


අලුත් අවුරුද්දට පෙර අවසන් කැබිනට් රැස්වීම ගිය අඟහරුවාද‌ා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කලින් සති දෙකේ දී මෙන් මෙවර ද විදුලිය අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වී තිබිණි. වසර 5 ක කාලයක් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ විෂය භාර ඇමැති රවි කරුණානායක විසිනි. රවිගේ යෝජනාවට ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ ද එතරම් කැමැත්තක් නොතිබිණි. මංගල සමරවීර, කබිර් හෂීම්, සජිත් ප්‍රේමද‌ාස, මලික් සමරවික්‍රම ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ අවුරුදු 6 ක් විදුලිය මිලට ගැනීමේ අවශ්‍යතාවක් නැති බවය. ඔවුන් කියා සිටියේ විදුලිය අර්බුදයට අන්තර්කාලීන විසඳුමක් ලෙස මාස 6 කට මිලදී ගැනීම ප්‍රමාණවත් බවය. අනෙක මෙම කැබිනට් පත්‍රිකාව තමාට ලැබුණේ කලින් දින බව මංගල කීවේය. තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද කීවේ තමන්ට ද එය ලැබුණේ එදින උදේ බවය. ඒ නිසා ඒ ගැන අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව ඇමැතිවරු කීහ. අවුරුද්දෙන් පසුව නැවත කැබිනට් රැස්වීම පැවැත්වෙනු ලබන 23 වැනිද‌ා එය සාකච්ඡාවට ගැනීමට තීරණය වූයේ ඇමැතිවරුන් කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමිනි.


මේ අතර විදුලිය අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති අනුකමිටුවක් ද පත්කරනු ලැබීය. ඊට ඇමැතිවරු හතර දෙනෙක් ද පත්කරනු ලැබූහ. මංගල, රවි, කබිර් හකීම් හා සාගල රත්නායක කමිටුවට පත් කිරීමට තීරණය විය.


මේ අතර අධිකරණ අමාත්‍යාංශයේ සීසීටීවි කැමරා පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතියකට මුදල් අමාත්‍යාංශයයෙන් මුදල් නොලැබෙන බවට තලතා අතුකෝරල ඇමැතිවරිය ජනාධිපතිවරයාට නෝක්කාඩුවක් කීවේ මංගලට විහිළුවක් ද කරමිනි.


‘ජනාධිපතිතුමනි, මංගල ඇමැතිතුමා මට සලකන්නේ නැහැනේ.’ තලතා කියද්දී ජනාධිපතිවරයා හයියෙන් හිනාවෙමින් මංගලට කිවේ ‘මංගල තලතාට සලකන්න. තලතාට සලකන්න.’ යනුවෙනි.


කැබිනට් රැස්වීම හමාරවීමෙන් පසුව ඇමැතිවරුන් ජනාධිපතිවරයාගේ කාර්යාලයට ගොස් තමන්ට තිබෙන ප්‍රශ්න අඩුපාඩු ගැන ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීම ද සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. ගිය අඟහරුවාද‌ා කැබිනට් රැස්වීම හමාර වී සජිත් ප්‍රේමද‌ාස ඇමැතිවරයා ද ජනාධිපතිවරයා හමුවන්නට ගොස් තිබුණේ එවැනි කාරණයක් වෙනුවෙනි. සජිත් ජනාධිපතිවරයා සමඟ කතාබහ කරද්දී එම කාමරයේ රවී ද සිටියේය. ටික වේලාවකින් අගමැතිවරයා ද කබීර් හෂීම් සමඟ ජනාධිපතිවරයා හමුවන්නට ආවේය. ඒ වන විටත් සජිත් හා රවි ජනාධිපතිගේ කාර්යාලයේය.


තවත් පළාත් සභාවක නිල කාලය ගිය බද‌ාද‌ා රාත්‍රියේ අවසන් විය. ඒ දකුණු පළාත් සභාවේය. ඒ අනුව සබරගමුව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණ යන පළාත් සභා හතරේම නිල කාලය මේ වන විට අවසන් වී ඇත. මින් සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර නිල කාලය අවසන් වී වසර එකහමාරකටත් වැඩිය. බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ද ලබන 21 වැනිද‌ායින් අවසන් වේ. ඉතිරි වන්නේ ඌව පමණි. එහි නිල කාලය අවසන් වන්නේ ලබන ඔක්තෝබරයේය. පළාත් සභා 7 ක නිල කාලය අවසන්ව ඇතත්, ඒවායේ ඡන්දය පැවැත්වෙන්නේ කවද‌ාදැයි ජනාධිපතිවරයා දන්නේ ද නැත. අගමැති ප්‍රමුඛ ආණ්ඩුව දන්නේ ද නැත. මැතිවරණ කොමසාරිස් දන්නේ ද නැත. සමහරු නම් කියන්නේ පළාත් සභා පැවැත්වෙන දිනය දන්නේ දෙවියන් පමණක් බවය.


දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට දින දෙකකට පෙර එනම් ගිය සඳුද‌ා සවස පළාත් සභාවේ මැති ඇමැතිවරුන් හා නිලධාරින් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වූයේ කතළුවේ ක්‍රීඩාංගණයේය. මැති ඇමැතිවරුන් එක පිලකට ද පළාත් සභාවේ නිලධාරින් අනෙක් පිලකට ද වී ක්‍රිකට් ගැසූ අතර ඉන් ජයග්‍රහණය හිමි වූයේ නිලධාරින්ගේ කණ්ඩායමටය. එය සංවිධානය කරන්නට මුල්වූයේ හිටපු මහඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාය. ක්‍රිකට් තරගය හමාර වී පළාත් සභා මැති ඇමැතිවරුන් හා නිලධාරින් වෙනුවෙන් ඒ ආසන්නයේ හෝටලයක එදිනම රාත්‍රියේ සුහද හමුවක් පවත්වන්නට ෂාන් පියවර ගෙන තිබිණි. සංගීතය ද එක්කර තිබූ සාදය වඩාත් රසවත් වූයේ මැති ඇමැතිවරුන් මෙන්ම නිලධාරින් ද එක්ව ගී ගයන්නට වීමෙනි. සාදය අතරතුරදී හිටපු මහ ඇමැති ෂාන් එහි සිටි පිරිස අමතමින් කීවේ අපූරු කතාවකි. ‘වෙනද‌ා නම් අපි නිල කාලය ඉවරවෙන කොට ඡන්දයටක ලෑස්ති වෙනවා. ඒත් මේ පාර ඡන්දයක් පිළිබඳ බලාපොරොත්තුවක් නැතිවයි නිල කාලය අවසන් වෙන්නේ.’ ෂාන් කීවේය. දේශපාලන වශයෙන් තනතුරු ගත්තොත් කවද‌ා හරි ඒවා අතහරින්න වෙනවා. පුටුවක වාඩි වුණොත් පුටුවෙන් නැගිටින්න වෙනවා. ඒක අවබෝධ කරගන්න බැරි වීමයි සමහරුන්ට වෙලා තියෙන්නේ. මට මේක ද‌ාලා යන එකට දුකක් නෑ. හැබැයි තියෙන්නෙ ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුකක් පමණැයි යැයි ෂාන් කීවේ සාදයට එක්වූ පිරිසට සමුදෙමිනි.


උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගිය සතියේ ඌවේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූයේ ඔහු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකුට බැණවැදුණු බවට චෝදනා කරමිනි. ඒ අතරේ මහ ඇමැතිවරයා හදිසියේ රත්නපුර මහ රෝහලට පැමිණි එහි නේවාසිකව ප්‍රතිකාර ගත් බවට ද ආරංචි පැතිර ගියේය. ඒ ආරංචිය ලැබුණු ඔහුගේ හිතවතකු ඔහුට ඇමැතුමක් දී පවසා තිබුණේ මහ ඇමැතිතුමා ඌවෙ රෝහල් තියෙද්දී ඇයි රත්නපුරෙ ඇඩ්මිඩ් වූවේ කියාය. ‘මම දන්න හොඳ දොස්තර මහත්තයෙක් මෙහෙ ඉන්නවා. ඒකයි රත්නපුරේට ආවේ. මහ ඇමැතිවරයා සිය හිතවතාට කියා තිබිණි.