කරුත්-මංගලත් අගය කළ ජනපතිගේ නිදහස් දින කතාව


 

හැත්තෑ දෙවැනි නිදහස් දින උළෙල ගිය අඟහරුවාදා උදේ කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට දී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. වෙනදා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් දින උළෙල මෙවර නිදහස් චතුරශ්‍රයේ පවත්වන්නැයි උපදෙස් දී තිබුණේ ද ජනාධිපතිවරයා විසිනි. ඒ සමගම, විෂය භාර ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණේ නිදහස් දින උළෙල වියදම් සීමා කරමින්, අභිමානවත් ලෙස පවත්වන්නට කටයුතු කරන ලෙසය.


නිදහස් දිනයට කලින් රාත්‍රි නිදහස් දින මන්දිරයේ පිරිත් පින්කම පැවැත්විණි. ජනාධිපතිවරයාත්, ඇමැති ජනකත් ඊට සහභාගි වූ අතර, ඔවුන්ට ඉඳ ගන්නට වෙනම ආසන ද පනවා තිබිණි. එහෙත් ජනාධිපතිවරයාත්, ජනකත් පිරිත් ඇසුවේ බිම ඉඳ ගනිමිනි.


අඟහරුවාදා උදේ පැවැති නිදහස් දින උළෙලට ජනාධිපතිවරයාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හේමා ප්‍රේමදාස මහත්මිය ද සහභාගි වී සිටියහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ද ආරාධනා කර තිබුණත්, ඔවුන් තිදෙනාම නිදහස් දින උළෙලට පැමිණ සිටියේ නැත. ජනාධිපතිවරයා නියමිත වේලාවටම පැමිණියේ අලුත් ආදර්ශයක් ද ලබා දෙමිනි. ඔහු පිළිගනු ලැබුවේ ජනක බණ්ඩාර ඇමැතිවරයා විසිනි. ඔහු උත්සවයට පැමිණි වහාම කළේ‍ ප්‍රධාන පීධිකාවට යාමට පෙර සිය සහෝදරයන් දෙදෙනා වන අගමැති මහින්ද රාජපක්ෂ සහ ඇමැති චමල් රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනා අසලට ගොස් වැඳ ආශිර්වාද ලබා ගැනීමය. රටේ ජනාධිපතිවරයා ජාතික උත්සවයකදී සිය සහෝදරයන් ළඟට ගොස් ප්‍රසිද්ධියේ වැඳ ආශිර්වාද ලබා ගැනීම රටටම ආදර්ශයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ගෝඨාභයගේ එම යහපත් ක්‍රියාව බොහෝ දෙනාට හැඟීම්බර අවස්ථාවක් විය. මහින්ද සිය සහෝදරයාට ආශිර්වාද කළේ වැලඳ ගනිමිනි.


ජනපති ගෝඨාගේ නිදහස් දින කතාව ද ඉතා ආකර්ෂණීය මෙන්ම හරවත් කතාවක් විය. එය පක්ෂ විපක්ෂ සියලු දෙනා ඇගයීමට ලක් කළ ජාතිය ඇමැතීමක් බව අවිවාදිතය. උත්සවය අවසන් වූ වහාම උත්සවයට සහභාගි වූ කතානායක කරු ජයසූරියත්, උත්සවයට සහභාගි නොවූ මංගල සමරවීරත් ට්විටර් සටහන් තබමින් කීවේ ජනපති ගෝඨාගේ කතාව අගය කරන බවය.
එමෙන්ම මෙවර නිදහස් උළෙල සංවිධානාත්මකව සහ අභිමානවත්ව පැවැත්වීම ගැන ද බොහෝ දෙනා කතා කළේ ප්‍රශංසනීය හැඟීමෙනි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉතා සාර්ථකව උළෙල පැවැත්වීම ගැන නිදහස් දින උළෙලට පැමිණි බොහෝ දෙනා ඇමැති ජනක තෙන්නකෝන්ට ද ස්තුතිය පළ කළහ. අගමැති මහින්ද ද ජනකට කීවේ උත්සවය හොඳටම සංවිධානය කර තිබූ බවය. උළෙල අවසන් වී පිටත්ව ගිය වහාම කතානායක කරු ජයසූරිය ද ජනකට දුරකථන ඇමතුමක් දෙමින් කියා තිබුණේ නිදහස් දින උළෙල හොඳින්ම පැවැත්වීම ගැන ස්තුතිය පළ කරන බවකි.


මේ අතර, නිදහස් දිනය වෙනුවෙන් එදින විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද කොටුව ජනපති මැඳුරේ දී ජනාධිපතිවරයා විසින් පවත්වනු ලැබීය. ඊට අගමැති මහින්ද ඇමැති ජනක ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරු ද, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද පැමිණ සිටියහ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (07) ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙනි. අගමැතිවරයා ලබන 11 වැනිදා දක්වා දින හතරක කාලයක් එහි රැඳී සිටිනු ඇත.


මහින්ද රාජපක්ෂ මහතා මෙවර අගමැති ධුරයට පත්වීමෙන් පසුව සහභාගි වන පළමු විදේශ සංචාරය මෙය වේ. මෙයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය ප්‍රථම විදේශ සංචාරය ලෙස ඉන්දියාවට ගියේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙනි. එහිදී ජනපති ගෝඨාභයට ද ඉහළම පිළිගැනීමක් ලැබිණි. අගමැති මහින්ද ඉන්දීය සංචාරයේ දී එරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් ද හමු වී වාරානාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති ඇතුළු ආගමික ස්ථාන කිහිපයක් ද වැඳපුදා ගැනීමට සහභාගි වනු ඇත.
සතියේ කැබිනට් රැස්වීම ගිය බදාදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ගිය සතියේ බදාදා ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටි බැවින් ගිය සතිය කැබිනට් රැස්වීම ද නොපැවැත්විණි. එම නිසා මේ සතියේ කැබිනට් රැස්වීමට පත්‍රිකා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබිණි.


ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන දීම නතර කිරීම හේතුවෙන් ගිය සතියේ කොළඹින් පිට පළාත්වලට විදුලිය කැපීම දේශපාලන කරළිය ද උණුසුම් කළ මාතෘකාවකි. විෂය භාර ඇමැති ලෙස මහින්ද අමරවීර අැමැතිවරයා ඒ ගැන කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක් ද කළේය. ඔහු කීවේ මේ විදුලිය කැපීම අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව සිදුව ඇති බවය. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කී අමරවීර ඊට සම්බන්ධ පුද්ගලයකුට එරෙහිව පරීක්ෂණ පවත්වා විනය පියවර ගන්නා බව කීවේය.
විදුලි බල මණ්ඩලය හා ඛණිජ තෙල් සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය ගැන ද අමරවීර කීවේ මේ සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බව කියමිනි.


මේ අතර කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ පාසල් දරුවන්ගේ වාර විභාග ගැනය. ඒ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කිරීමක් කරමින් කීවේ මේ විභාග ක්‍රමය නිසා දරුවන් යන්ත්‍ර බවට පත්ව ඇති බවද සඳහන් කරමිනි. දියුණු රටවල අධ්‍යාපන ක්‍රමයට මේ රටේ අධ්‍යාපන ක්‍රමය ද හැඩ ගැස්විය යුතු බව ජනාධිපතිවරයා කීවේ උදාහරණ ද ඉදිරිපත් කරමිනි. අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම ද ඒ ගැන විග්‍රහයක් කළේය.


ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙන පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයෙන් ඒ සඳහා ආදර්ශ ගත හැකි බව ඩලස් කීවේය. පාසල්වල අටවැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට විභාග නොපැවත්වා ඉන් පසුව විභාග පැවැත්වීම ගැන ද ඇමැතිවරයා පැහැදිළි කළහ.


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු රෝහණ දේව පෙරේරා ඉකුත් 3 වැනිදා ගෙදර ගියේ සභාපති පුටුවේ සිටි දින ගණන 5කට සීමා කරමිනි. ඔහු ඊට දින 5කට කලින් සභාපති පුටුවේ වාඩි වූයේ ලොකු දේශනයක් ද කරමිනි. දේශපාලනය කරන අයට ඒ ඒ පක්ෂ කාර්යාලවලට ගොස් දේශපාලනය කරන්නැයි ඔහු සිය ධුරයේ වැඩ බාර ගනිමින් කීවේය. පොහොට්ටුවේ දේශපාලනය කරන අයට නෙළුම් මාවතට ගොස් දේශපාලනය කරන්නැයි ඔහු කීවේය. පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ සභාපති පුටුවට පැමිණ පොහොට්ටුවේ දේශපාලනයට අභියෝග කිරීම ගැන එහි වෘත්තීය සංගම්වලින් ද ඔහුට එරෙහිව විරෝධතා එල්ල වී තිබිණි.