කයිවාරු සහ පගා ගැන එජාපය කියන දේ


පොසොන් පොහොය තිබූ බද‌ාද‌ා පස්වරුවේ අගමැතිවරයා මිහින්තලේ ගියේ විජයවර්ධන පරපුර වසර 56 ක් පුරා කරන ආලෝක පූජාවට එක්වීමටය. ජනපති මෛත්‍රී ද ඊට එක් විය.


විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා දැනට විජයවර්ධන පරපුර නියෝජනය කරන ප්‍රධානියා ලෙස ඒ මොහොතේ සිටියේ තන්තිරිමලේ ආලෝක පූජාවට සහභාගි වෙමිනි.


‘‘මිහින්තලේදී දේශපාලනයයි, රටේ සංවර්ධනයයි කතා කරන්න බැහැ. ධර්මාශෝක රජුයි, මිහිඳු හිමියි ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මොකද එතන කතා කළ නිවේදකයායි, හිමිවරුයි, ඇමැතිවරුයි ඒවා ඔක්කොම කිව්වානේ. අප ආලෝක පූජාව විවෘත කළාම ඇති නේද? ජනපති-අගමැතිටත්, අගමැති-ජනාධිපතිටත් කීවේ එකම කථාවකි.


එහෙත් ජනපති හා අගමැතිගේ එකඟත්වය නොදත් නිවේදකයා අගමැතිවරයාට කතාවට ආරාධනා කළ විට අගමැති හා ජනපති දෙදෙනාම අසුන්වලින් නැගිට උත්සවයෙන් ඉවත්ව ගොස්ය. ඒ ඇමැති සියඹලාපිටිය කතා කරන අතරතුරය.


මිහින්තලා ආලෝක පූජාව පටන් ගත්තේ රංජිත් විජයවර්ධන මහතායි. එවකට අනුරාධපුර මහ දිසාපති ලෙස ක්‍රියා කර ඇත්තේ ඇමැති මලික්ගේ පියා වූ අයිවන් සමරවික්‍රම මහතායි.


‘‘රංජිත් විජයවර්ධන මහතා 1963 දී කොළඹින් ගෙන ගිය විදුලිජනක යන්ත්‍ර මගින් ඉතා දුෂ්කර පරිසරයක අලෝක පූජාව ආරම්භ කර තිබෙනවා.’’ මිහින්තලා විහාරාධිපති හිමියෝ අතීතය සිහිපත් කළහ.


අනතුරුව අගමැතිවරයා මිහින්තලා පුදබිමේදී අරඹා තිබූ දන්සලට ගොඩවී පැමිණ සිටි පිරිසට ආහාර බෙදා දීමට ද හවුල් විය.


‘‘අර ටී.වී. චැනල් එකක කෙනෙකු කතා කරන විට මට හිතුණේ ආලෝක පූජාව පටන් අරන් තිබෙන්නේ විජයවර්ධනලා නො​ෙව් මහාරාජල කියලයි.’’ පී. හැරිසන් කී විට අගමැතිවරයා සිනාසුණේ බඩ අල්ලා ගෙනය.
මිහින්තලේ උත්සවයෙන් පසුව ජනපති පොළොන්නරු ගිය අතර අගමැතිවරයා අනුරාධපුරේ නවාතැන් ගත්තේය.


බ්‍රහස්පතින්දා උදේම යළි කොළඹ පැමිණි ඔහු කෙළින්ම ගියේ අරලියගහ මැදුරටය.


රටේ ප්‍රබලම ව්‍යාපාරිකයකු හා ඔහුගේ උපදේශකයන් දෙදෙනකු හමුවූ අගමැතිවරයා අනතුරුව පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග ද කතා කළේය.


‘හම්බන්තොට වරාය හා අනෙකුත් ව්‍යාපෘති ලංකාවේ කරන්න චීන රජයට අනුබද්ධ සමාගම්වලට ඉඩ දෙන්න රාජපක්ෂලා ඩොලර් මිලියන 7.6 ක පගා ගත් බව’ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පත්තරේ කියන තෙක් ආණ්ඩුව මේක දන්නේ නැද්ද?’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය.


‘ඒ ඩොලර් ගණන රුපියල් වලින් කෝටි 112 ක මහා මුදල් තොගයක් ​ෙවනවා. උදයංග ගෙන්නනවා කියා කයිවාරු නොගහ රාජපක්ෂලා දැන් මේ පගාව ගැන රටට පැහැදිලි කළ යුතුයි.’ දූෂණයට එරෙහිව වෙඩි පත්තු කරමින් රන්ජන් රාමනායක කීය.


‘ආණ්ඩුව මේ සිද්ධිය ගැන දැනගෙන හිටියා. ඉහළ අයගේ උපදෙස් මත ගිය පෙබරවාරි 10 වැනිදා මා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ ගැන කතා කළා. ඔවුන් තමයි මේ ගනුදෙනුවේ අතරමැදියන් ලෙස ක්‍රියා කර තිබෙන්නේ. ඒත් ඔවුන් පැහැදිළි උත්තරයක් දුන්නේ නැහැ. නමුත් අප මේ ගැන අවධානයෙන් ඉන්න විටයි නිව්යෝර්ක් ටයිම්ස් එක මේකේ සියලුම විස්තර පළ කර තිබෙන්නේ.’ තිලක් මාරපන කීය.
‘චීනයෙන් පගාව අරන් රටේ සම්පත් හා ව්‍යාපෘති ඔවුන්ට දීම ගැන කන වැටුණාම ඒ චීන සමාගම්වල ගනුදෙනුවලට හවුල් අය ඉන්නවා නම් පියවර ගන්න. ඔවුන් ලංකාවේ වැඩවලින් ඉවත් කරන්න කියන පණිවිඩය අප චීනයට දුන්නා. එහෙම නැතිනම් පෝට් සිටි එකත් ආපහු කරන්න ලැබෙන්නේ නැහැ කියලත් ඇඟෙව්වා.’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘චීනය අප්‍රිකාවේද, ආසියාවේද වෙනත් රටකට බැස්සාම ඒ ඒ රටවල්වලට ගැළපෙන විදියටයි වැඩ කරන්නේ. ලංකාවේදි වැඩ කර තිබෙන්​ෙන් රටට ගැළපෙන විදියට නොවෙයි. රාජපක්ෂලාට ගැළපෙන විදියටයි.’ චමින්ද විජේසිරි කී විට සියලුම දෙනාම සිනාසුණහ.


‘මාතර-හම්බන්තොට රේල් පාර බෙලිඅත්ත හරහා යන්න ඕනෑ නැහැ. ඒත් එහෙම ප්ලෑන් කර තිබෙන්නේ මේ ගනුදෙනු හරහා බව චීන තානාපති ආරංචි මාර්ගවලින් මට ආවා.’ රන්ජන් රාමනායක කීය.
‘අනික පගාව ලෙස ගත් කෝටි 112 ක සල්ලි කන්ද ජනතාව ගෙවන ණය ගොඩටත් එකතු කරලා. මේවා කාට කියන්නද? රන්ජන් තවදුරටත් කීය.


‘හාමුදුරුවරුන් දුසිම් ගාණක් රාජපක්ෂලාට කඩේ ගියාට එක හිමිනමකට විතරක් චීන පගා වලින් ඩොලර් 38,000 ක් එනම් රුපියල් ලක්ෂ 60 ක මුදලක් දීලලු. තනියම කාපු ඒ හාමුදුරුවෝ කවුද කියා කඩේ යන අනිත් හාමුදුරුවරුන් දැන් හොයනවලු’ වජිර අබේවර්ධන කීවේ සිනාසෙමිනි.


ප්‍රධානම සෑයකට එකතු වන මුදල් වලින් මාසයකට ලක්ෂ 02 කට වඩා කාන්තාවකගේ ගිණුමට බැර වෙනවා කියා ආරංචියි. ආණ්ඩුව මේවා ගැනත් හොයන්න ඕනෑ. තායිලන්තෙ තිබු මේ වගේ පහත් වැඩ ඒ රජය නැති කළා.’ චමින්ද විජේසිරි කීය.


’ වන්නියේ දරුණු අායුධ එක්ක කට්ටියක් හමු වුණා. අලුත්ම තත්ත්වය මොකක්ද? දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.


‘ඒ ගැන දැඩි පරික්ෂණ කරනවා. එවැනි නැගිටීම්වලට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.’ අගමැති කීය.


‘ව්‍යවසායකයන්ට ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ හරහා කෝටි 500 ක් ණය දීමත් ‘ගම් පෙරළිය’ හා ‘ශ්‍රම ශක්ති’ හරහාත් රට පුරා විශාල වැඩ කොටසක් කරනවා. ඒක වටිනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
‘මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් කෝටි 1000 ක සහන මුදල් දෙනවා. ණය ගෙවා ගන්න බැරි රටක් බාර ගත්ත අප අද අනිත් අයටත් ණය දෙනවා. සමෘද්ධිය හා ඒ බැංකුවත් ශක්තිමත් කරනවා. ඒක විශාල ජයක්’ අගමැතිවරයා කීය.


‘අලුතින් එක් ලක්ෂ පනස්දාහකට සමෘද්ධි දෙනවා. ඒකත් ලොකු ජයක්. පළාත් පාලන ඡන්දයට අප ගියේ අත පය වීසිකර කරයි. ඒත් ඊළඟ ඡන්දයට යන්නේ ජනතාවට සලකළා. රටට විශාල වැඩ කොටසක් කරලයි.’ පී. හැරිසන් කීය.


‘උපාධිධාරි පත්වීම් 5000 ක් ජනාධිපතිතුමා නවත්වල කියා ප්‍රවෘත්තියක් පළ වුණේ ඇයි?’ චමින්ද විජේසිරි විමසීය.


‘කෙළින්ම කැම්පස් ගිය අයට පත්වීම් දෙන්න කියලයි ඉල්ලා තිබෙන්නේ. ඒකේ ‘මිනිට්’ අනුව බාහිර උපාධිධාන්ටත් පත්වීම් දෙන්න පුළුවන්. දැන් නීතිපති උපදෙස් පතා තිබෙනවා. ලකුණු මතයි, පත්වීම් දී තිබෙන්නේ.’ අගමැති කීය.


‘බඳවා ගැනීමේ ක්‍රමවේදයෙන් පිට ගිහින් නැහැ. පුහුණු කරන අය ලෙස එජාප පිරිසකුත් බඳවා ගන්න අප උත්සාහ කරනවා. මේ ආණ්ඩුවෙන් එජාප අයට මෙහෙම දෙයක්වත් කරන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද?’ අගමැතිවරයා කීවේ නළල රැළි ගන්වමිනි.


‘උසස් අධ්‍යාපනයේ මුදල් බැඳුම්කරේට ගිහින් කියන කතාව අමුතු එකක්. මහින්ද එදා පත් කළ කමිටුවකින් මේකට තීන්දු ගෙන තියෙන්නේ කියා කබීර් පැහැදිලි කළා. ඒ කාලේ ඇමැතිත් එජාප කෙනෙකු නොවේ කියා ආරංචියි.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


‘පාසල් දරුවන්ට ‘ටැබ්’ දීම ආපහු හිරවෙලා. ඒකෙන් පිරිහෙන්නේ හිරකරන අයයි. සියලු ළමයි ‘ටැබ්’ අපේක්ෂාවෙන් ඉන්නේ.’ චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.