කඹ ඇදීම් මැද ගත් ආරක්ෂක තීන්දු


පාස්කු ඉරිදාව ශ්‍රීලංකාවට උදා වූයේ කිසිවකුත් නොසිතන ත්‍රස්ත ව්‍යසනයක්ද සමගිනි. අවුරුදු නිවාඩුවට නුවරඑළිය බලා ගොස් සිටි අගමැතිවරයා යළි කොළඹ පැමිණීමට නියමිතව තිබුණේ එදිනය. එහෙත් ආණ්ඩුව පෙරළීමේ හා අගමැති මාරු කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබෙන බවට ආරංචි වීමත් සමඟ අගමැතිවරයා ඊට දින 4කට පෙර කොළඹ පැමිණ සුපුරුදු රාජකාරි ආරම්භ කළේය.


එහෙත් නිලධාරීන් රැසක් අවුරුදු නිවාඩුව ගෙවමින් සිටි නිසා විදෙස් ආයෝජනවලට අදාළ වාර්තා රැසක් අධීක්ෂණය කිරීම සඳහා අගමැතිවරයා දකුණු මුහුදු තීරයේ බෙන්තොටට ගියේය.


බෝම්බ පිපිරීමට අදාළ සිද්ධිය සැළවූ සැනින් ඔහු අරලියගහ මැදුරට පැමිණියේ සෙසු මැති ඇමැතිවරුන්ද කැඳවමිනි. ඒ වන විට ජනාධිපතිවරයා දින 8කට අධික කාලයක් ඉන්දියාව හා සිංගප්පූරුවේ සංචාරය කරමින් සිටියේය.


කොළඹ පැමිණි අගමැතිවරයා වහාම ඇමැති මණ්ඩල සාකච්ඡාවෙන් පසු ගත යුතු ක්‍රියා මාර්ග තීන්දු කෙරිණ. ඒ අනුව ආරක්ෂක මණ්ඩලය වහාම කැඳවීමේ තීන්දුවද විය. එහෙත් හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් හා ආරක්ෂක ලේකම්වරයාගේ අදහස වූයේ එය රැස්විය යුත්තේ අරලියගහ මැදුරේ නොව ආරක්ෂක අමාත්‍යාංශයේ බවය.
‘හරි, එහෙම නම් මා අමාත්‍යාංශයට එන්නම්’ යයි කී අගමැති වහාම එහි ගියේය.


එහෙත් රැස්වීමට අවශ්‍ය මූලික පියවරවත් අදාළ නිලධාරීන් ගෙන තිබුණේ නැත. රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධනගේ කාර්යාලයට ගිය අගමැතිවරයා විනාඩි 25ක් පමණ එහි රැඳී සිටිය අතර විවිධ කඹ ඇදීම් තුළ රටේ ආරක්ෂාවට අදාළ වැදගත් රැස්වීමක් තප්පරයෙන් තප්පරය කල්‍් යන බව පෙනිණ.


ආරක්ෂක ලේකම් හා ජනපතිගේ දේශපාලන හිතවතුන් කිසියම් කල්මැරීමක් කළ බව පෙනෙන්න තිබුණි. අවසානයේ ලේකම්වරයාගේ යම් නම්‍යශීලීත්වය තුළ ආරක්ෂක කවුන්සිලයට අනිවාර්යෙන් පැමිණිය යුතු ප්‍රධානීන්ගේ අඩුලුහුඬුතාව මත හෝ රැස්වීම ඇරඹිණ. එහිදී විශේෂ තීන්දු රැසක් ගැනුනේය.


රැස්වීමෙන් අනතුරුව අගමැතිවරයා තමා සමග ගිය පිරිසට හදිසි අවස්ථාවකදී ආරක්ෂක කවුන්සිලයට අදාළ අතීත සිදුවීම් සිහි කළේ තම වසර 41ක දේශපාලන අත්දැකීම්ද සමගිනි.


ජනපති ප්‍රේමදාස ඝාතනය වුණාම 1993දී මා ආරක්ෂක කවුන්සිලය කැඳවා රටේ ආරක්ෂාව සහතික කළා. ජේ.ආර්ගේ කාලේ එතුමා ලංකාවේ නොව කොළඹින් පිට හිටියත් රන්ජන්ල ගාමිණිල ලලිත්ලා වගේ අයට මේ කවුන්සිලය කැඳවා තීන්දු ගන්න ක්‍රමවේදය ඇති කළා.


‘‘2001 ඉදලා වසර තුනක් ජනාධිපතිනී චන්ද්‍රිකා නැති වෙලාවට අගමැති ලෙස මමයි, සිකියුරිටි කවුන්සිලය කැඳෙව්වේ. 2004 සුනාමි ආපු වෙලාවේ චන්ද්‍රිකා රට හිටියත් අගමැති මහින්ද ආරක්ෂක මණ්ඩලය කැඳවා රටේ ආරක්ෂාව තහවුරු කළා. ඒත් දැන් මේ මොකක්ද වෙන්නේ. ” අගමැතිවරයා කීවේ නළල රැළිගන්වා හැඟීම්බරව ය.


සුනාමි වෙලාවේ ජනාධිපතිනී චන්ද්‍රිකා හිටියේ එංගලන්තයේයි. ඇය පළමු ෆ්ල්යිට් එකෙන්ම ලංකාවට ආවා. ඒත් මේ පාර එහෙම වුණේ නැහැ. සිංගප්පූරුවේ ඉඳලා ආපු අන්තිම ප්ලේන් එකෙයි ජනාධිපති ඇවිත් තිබෙන්නේ. මේ වගේ වෙලාවක බැංකොක් නැත්නම් ක්වාලංම්පූර් වගේ තැනකට ගියා නම් කළින්ම එන්න තිබුණා. එතුමා ලංකාවට ආවෙත් නැහැ. ආරක්ෂක කවුන්සිලයට අදාළ නිලධාරින්ට යන්නෙපා කියා බලපෑම් කළ බවත් ඒ නිලධාරීන් පිළිගත්තා, එජාප නීති නිලධාරියෙක් කීවේය.


ආරක්ෂාව තහවුරු කිරීමට සියලු විධිවිධාන කකුල් මාට්ටු මැදින් වුවද තහවුරු කළ අගමැතිවරයා බෝම්බ පිපිරවූ කොච්චිකඩේ පල්ලියටද ගොස් වූ විපත නිරීක්ෂණය කළේය. එදින රාත්‍රියේද නිදි වරාගෙන මේ වෙනුවෙන්ම කැපවූ අගමැතිවරයා කැබිනට් රැස්වීමද කැදවීය.


එහිදී සාධක සහිතව හෙළිවූයේ අප්‍රේල් මාසය ඇරඹීමත් සමග කිහිපවිටක් ඉන්දියානු බුද්ධි අංශ මෙන්ම ලංකාවේ බුද්ධි අංශද මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බවට තොරතුරු වාර්තා කර තිබූ බවය. ඒ බුද්ධි අංශ තොරතුරු අනුව ආරක්ෂක සහ නීතිය සාමය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයාව සිටි ජනපති ඇතුළු වගකිව යුත්තන් ප්‍රහාරය වලකා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබද ඇමැතිවරු රැසක් චෝදනා නගන්න වූහ.


එහෙත් ජනපති රැකීමට ඇමැතිවරුන් දෙතුන්දෙනෙකු උත්සාහ කිරීමත් සමග දැඩි මත ගැටුමක් එහිදී ඇති විය. අගමැතිවරයා එය සමනය කළේය.


මේ තොරතුර අගමැති හැටියට මට හෝ කැබිනට් එකටත් හෝ ලැබුණේ නැහැ. ලැබිලා තිබුණානම් අප ප්‍රහාරය වළක්වා ගන්නවා. එහිදී අගමැතිවරයා කීය.


ජනපති ලංකාවට පැමිණි පසු හමුවන මුල් අවස්ථාවේදී අදාළ සිද්ධිය වළකා ගැනීමට ක්‍රියා නොකිරීම ගැන ප්‍රශ්න කිරීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් කමිටුවද පත්කෙරිණ. ඊට කබීර්, සජිත්, මංගල, මනෝ, රවී ඇතුළු ඇමැතිවරු පිරිස පත් කළහ.


කොන්දක් තියාගෙන ප්‍රශ්න අහන්න ඕනෑ. මුල්ම ප්‍රශ්නේ අහන කෙනා කවුද කියා කියන්න. ලක්ෂ්මන් කිරිඇල්ල කමිටුවෙන් විමසීය.


ඇමැතිවරුන් එකිනෙකාගේ මුහුණ බලා ගනිද්දී කිරිඇල්ල කීවේ, හරි මා මුල් එක අහන්නම් ගිය පාර පක්ෂය හා ආණ්ඩුව වෙනුවෙන් කතා කර මගේ බලතල නැති වුණා. සමහර ඇමතිවරුන් රහසේ ගිහින් මගේ බලතල ඉල්ල ගත්තා කියා ජනාධිපතිතුමාම මට නම් ගම් එක්කම කිව්වා. කිරිඇල්ල කීවේ උපහාසාත්මක සිනහවක්ද සමගිනි.
ජනපති ලංකාවට පැමිණි පසු පැවැති කැබිනට් හමුවේදී කිරිඇල්ල ජනපතිගෙන් ඇසුවේ තොරතුරු ලැබී තිබුණද ප්‍රහාරය වළක්වා ගන්න ක්‍රියා නොකළේ මන්ද කියාය.


මට තොරතුරු ලැබුණේ නැහැ, ජනපති ගත් කටටම කීවේය.


මංගල ඇසුවේ ආරක්ෂක කවුන්සිලයට අගමැති කැඳවන්නේ නැත්තේ ඇයි දැයි’’ කියාය.


ඊට පිළිතුරු ලෙස ලැබුණේ ආරක්ෂක කවුන්සිලයේ තොරතුරක් ඩේලි මිරර් පත්තරේ පළවූ පසු අගමැති කැඳවීම නැවැත්වූ බවය.


ඩේලි මිරර් එක කිසි දවසක මට වාසි දෙයක් දාලා නැහැ. එහෙම දාපු දෙයක් තියනවානම් මට පෙන්නන්න, අගමැතිවරයා තදින්ම කීවේය. සියලු ඇමැතිවරු එය සනාථ කරමින් කතා කරන්නට වූහ.


සිද්ධිය වූ පසුගිය ඉරිදා සවස අගමැතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශය ඉතා සමබර හා ජනතාව තුළ බිඳ වැටුණු මානසිකත්වය බොහෝ ප්‍රමාණයකින් සනසාලන එකක් වූ බව කාගේත් පිළිගැනීම විය.


දැන් බුද්ධි අංශ තොරතුරු නිසැක ලෙසම ජනාධිපතිතුමාට ලැබුණු බව ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශයෙන් තහවුරු වෙනවා. දැන් පහළ තැන් වලින් වතුර බස්සලා මා දන්නේ නැහැ කියා ජනාධිපතිතුමාට බේරෙන්න බැහැ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, මුජිබර් රහුමාන් ඇතුළු පසුපෙළ කණ්ඩායම අගමැතිවරයාට පසු අවස්ථාවකදී ඉදිරිපත් කළ තර්කය එය විය.


වර්ෂ 1993දී විජේතුංග යුගයේ කොබ්බෑකඩුව ඝාතනය වෙලා, පූනරින් කඳවුරත් වැටිලා තිබෙද්දී විජේතුංග එක්ක එකතුවෙලා යුද්ධය මෙහෙව්වේ අගමැතිතුමායි. සමහරුන්ට මේව මතක නැහැ, නවීන් දිසානායක අතීතය සිහිපත් කළේය.


2002 දී රනිල් අගමැතිතුමා විදේශ සහාය ගෙන මූදු කොටින්ට එරෙහි දැවැන්ත මෙහෙයුමක් කරන්න පසුබිම හදා කොටින්ට අවි ඒම නැවැත්වූවා. නවීන් වැඩිදුරටත් කීවේය.
ඇයි, කරුණා අම්මාන් කොටින්ගෙන් කඩා ඔවුන්ගේ අවි බලය හා දේශපාලන එකමුතුවත් කඩා දැම්මෙත් රනිල් අගමැතිතුමා නේද? සමහරුන්ට දැන් ඒවත් අමතකයි., ලක්ෂ්මන් කිරිඇල්ලද අතීතය සිහිපත් කළේය.


අගමැතිවරයා නළල රැලිගන්වමින් ඒවා අසා සිටියා මිස කිසිවක් කීවේ නැත.


2018 සැප්තැම්බර් 28 වැනිදා එක්සත් ජාතීන් ලෝක ත්‍රස්තවාදය තුරන් කිරීමේ සම්මුතිය ගෙනාවා. මා එතකොට හිටියේ යුරෝපා නිල සංචාරයකයි. වහාම ඒක අත්සන් කරන්න කියා මා විදේශ ඇමැතිට කිව්වා. ඒත් මාසයකට පසු ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් ආණ්ඩු මාරු වුණා. ඒ හොර ආණ්ඩුව මේ වැදගත් ලියවිල්ලට අත්සන් කරනවා තබා දැන ගෙන හිටියද කියාවත් මා දන්නේ නැහැ. ඒ අතරේ පිලිපීනය, තායිලන්තය වගේ ආසියානු රටවලුත් ඊජිප්තුව, සිරියාව, නයිජීරියාව වගේම ප්‍රබල රුසියාවත් මේකට අත්සන් කළා. අප ආණ්ඩුව ගත්තට පසු මාරපන තාම මේකට අත්සන් කර නැහැ. මා හොඳට එයාට දෙහි කැපුවා. දින 52 හොර ආණ්ඩුව කාලේ රටේ හිරවෙච්ච තැන් සොයා බලල නිවැරදි කිරීම සියලු ඇමැතිවරුන්ගෙ වගකීමයි, අගමැතිවරයා තදින්ම කීවේය.


බුද්ධි අංශවලට ප්‍රහාරයේ තොරතුරු ලැබිලත් හොර ලියුම් ලිව්වා මිසක වගකිවයුත්තන්ට කතා කර කිව්වේ හෝ දැඩි අවධානය යොමු කළේ හෝ නැහැ. ඒ අනුව ඔවුන් සේවය කරන්නේ ජනතාව පත් කළ ආණ්ඩුවටද, වෙනත් බළල් අත්වලටද කියලත් අප සොයන්න ඕනෑ. ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය තරයේ අනුමත කළහ.
ලෝකයම මේ සිද්ධියෙන් සසල වුණා. ලෝක නායකයින් සියලු දෙනාම අගමැතිතුමාට කතා කළා නේද?, නවීන් දිසානායක විමසීය.


ජනපති ට්‍රම්ප් මට කතා කළේ ලංකාවෙ වෙලාවෙන් හවස 6ටයි. සිද්ධිය වෙලා ඇමරිකාවට එළිය වැටුණු පළමුවැනි තප්පරයේදී ට්‍රම්ප් මට කතා කර තිබෙන්නේ. ඕනෑම උදව්වක් කරන්නත් පොරොන්දු වුණා.


ඉන්දියාවේ මෝදි, සිංගප්පූරුවේ අගමැති, බ්‍රිතාන්‍යයේ අගමැතිනිය, පකිස්තානයේ අගමැති ඇතුළු ලෝක නායකයින් රැසක් මට කතා කළා. චීන නායකයින් ඇතුළු අය තානාපති අතේ ලිපි එවා තිබුණා. සියලු දෙනාම අපට සහාය දෙන්නයි පොරොන්දු වුණා.


අන්තවාදී ආගම්වාදී ත්‍රස්තවාදය මර්දනය කරන එක අමාරු වෙන්නේ නැහැ. විපක්ෂයේ වත්මන් වගකිවයුතු හැසිරීමත් අපි අගය කරනවා. ඒත් පස්සෙ පටු වාසි ලබන්න විපක්ෂය රට අස්ථාවර කරන්න ආවොත් අප ඔවුන්ව දේශපාලන ලෙස නිරුවත් කරනවා. මොකද, කොටි ත්‍රස්තවාදය මර්දනය කරන කාලේ අප සහාය දුන්නා මිසක් ඉන් පටු වාසි ගන්න ගියේ නැහැ. මේ විපක්ෂයෙනුත් ඒ වගකිවයුතු හැසිරීම ජනතාව වෙනුවෙන් මා බලාපොරොත්තු වෙනවා., අගමැතිවරයා කීවේ ඉතා හැඟුම්බරව ය.