ඕනෑම ඡන්දයකට එජාපය සූදානම්


මෙරට දේශපාලන ඉතිහාසයේ අසීරුතම අර්බුදයෙන් මිදී ඉන් අනතුරුව තම අගමැති ධුරයේ මෙන්ම ඇමැතිවරුන්ගේ ධුරවල දිවුරුම් දීම් නිම කළ අගමැති රනිල් මඳ අස්වැසිල්ල ගත්තේ නත්තල් සමයේදීය.


සිය බිරිඳ මහාචාර්ය මෛත්‍රී සමග නුවරඑළියේ දින දෙකක විවේකය සඳහා ඔහු පිටත්ව ගියේ ඒ තුළය. එහි අග්‍රාමාත්‍ය නිල නිවසේ නවාතැන් ගත් අගමැතිවරයා නත්තල වෙනුවෙන් ළමා නිවාසයේ දරුවන් රැසක් එහි කැඳවීය. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පවා සොයා බැලූ රනිල්-මෛත්‍රී යුවළ බැති ගී මෙන්ම වෙනත් සරල ගී ගායනයෙන් ද එදින සැඳෑව ගත කළෝය.


එමෙන්ම සුවිශේෂ ආහාරපාන මෙන්ම නත්තල් තෑගි බෝගවලින් ද දරු දැරියන්ට සංග්‍රහ කළ රනිල්-මෛත්‍රී යුවළ ඔවුන් හා සෙල්ෆි ඡායාරූප රැසක් ගැනීමට ද අමතක නොකළේය.
උතුරු ප්‍රදේශයට අධික වැසි ලැබීමත් සමග ලක්ෂයකට වැඩි ජනතාවක් අවතැන් වූයේ අගමැතිවරයාගේ අවධානය ඒ වෙත යොමු කරමිනි. වහාම ක්‍රියාත්මක වූ ඔහු ආපදා කළමනාකරණ ඇමැති මද්දුමබණ්ඩාර ඇතුළු අදාළ සියලු මැති ඇමතිවරුන්ට හා දිසා ලේකම්වරුන් ප්‍රමුඛ නිලධාරීන්ට දුරකථන ඇමතුම් දෙමින් වහා ක්‍රියාකාරී විය යුතු අන්දම ගැන උපදෙස් රැසක් ද දුන්නේය.


රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන ඇතුළු මැති ඇමැතිවරුන් අදාළ පළාත්වලට වහාම පිටත්කර යැවූ අගමැතිවරයා අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, සනීපාරක්ෂක උපකරණ ඇතුළු සියලු දේ පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීය. පාසල් සිසුන්ගේ පාසල් පොත්පත් ඇඳුම් හා සපත්තු ආදිය පිළිබඳව විශේෂ අවධානයෙන් ක්‍රියා කරන ලෙස ඇමැති අකිල ඇතුළු නිලධාරීන්ට ද උපදෙස් දුන්නේය.


“මා සිකුරාදා ඒ පළාත්වලට ගිහින් ඉතිරි අඩුපාඩුකම් සපයනවා” අගමැතිවරයා එසේ කීවේ බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට පැමිණි මැති ඇමැතිවරුන් හමුවේය.
“දැන් කැබිනට් ඇමැතිකම් ගණන කීයද? මුස්ලිම් කොංග්‍රසයත් එක්ක ගිවිසුම් ගහලා 30 පන්නන්න බැරිද?” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.
“අප නීතිපතිගේ උපදෙස් ඉල්ලුවා. නීතියට අනුවයි වැඩ කරන්නේ. නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිකම් හුඟක් දීලා ඉවරයි, ඒත් තව කිහිපයක් තිබෙනවා”, අගමැතිවරයා කීවේය.
“දැන් මේ ජනාධිපති ඉක්මන් ජනපතිවරණය කැඳවන්න හදනවා කියා ආරංචියි. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක වෙන්නත් එතුමා සූදානම් කියන්නේ ඇත්තද?”, චමින්ද විජේසිරි විමසීය.


“මා දන්නෙ නැහැ. ජනාධිපතිට ඕනෑනම් ජනවාරි අටෙන් පසු ව්‍යවස්ථානුකූලව ජනපතිවරණය කැඳවන්න පුළුවනි. ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ඡන්දෙකට අප සූදානම්”, අගමැතිවරයා පිළිතුරු දුන්නේය.


“හොර අගමැතිකමේ දිවුරුම් දීපු ගමන් මහින්ද මහත්තයා ඇතුළු නඩය චණ්ඩි වගේ රට ඉදිරියේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන දැන් විලිලැජ්ජ නැතුව සාමාජිකත්වය ගත්තේ නැතිලු. ජනාධිපතිතුමා හා ශ්‍රීලනිපයට කොන්දක් තිබේ නම්, ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදී නම් ඔය හැමෝගෙම මන්ත්‍රී ධුර අහෝසි කරන්න පුළුවනි. ඒත් අප එහෙම කරන්නෙ නැහැ කියා එජනිස මහලේකම් අමරවීර ප්‍රසිද්ධියේම කිව්වා”, හේෂා විතානගේ කීවේ එවැන්නකි.


“අමරවීර, කථානායකට මහින්දගේ නඩය එජනිසයේ බව ලියුම් යවලලු. ඒ ලිපිය වලංගු ද කියා දැන් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මොකද, ඔය හොර ලිපිය එව්වෙ ගැටලුව මතුවෙලා මහින්දලා බෙල්ලටම හිරවුණාට පස්සෙයි”.


“ඒ අය 50කට වැඩි මන්ත්‍රීවරුන් පිරිස පොහොට්ටුවේ සභාපති හා ලේකම් ළඟ තියාගෙන සාමාජිකත්වය ගන්න හැටි ජනමාධ්‍යවලින් රටම දැක්කා. ජනමාධ්‍යවලට දීපු ප්‍රකාශත් තිබෙනවා. සාමාජික පත් රටට ප්‍රදර්ශනය කරන අයුරුත් ජනමාධ්‍යවල පළවුණා. දැන් හන්දි ගානෙ නැහැ... නැහැ... කියා හරි යන්නෙ නැහැ. මේ ගැන සොයන්න පත්කළ තේරීම් කාරක සභාව අවසන් තීන්දුව ගනීවි”, ලක්ෂ්මන් කිරිඇල්ල විග්‍රහ කළේය.


“මේ අවුරුද්ද කොහොමත් ජනතාවට උපරිම සහන දිය යුතු කාලයයි. ඒවා ඡන්ද බලාගෙන කරන දේවල්වලට වඩා එහාට ගිය දෙයක් වීම අවශ්‍යයි. අදහා ගන්නත් බැරි සහන දීම අපේ අරමුණ වෙන්න ඕනෑ”, නවීන් දිසානායක කීවේ එවැන්නකි.


“දින 52ක් පුරා රටේ ආර්ථිකය වැටුණා. මා ඒ හානිය ගැන වාර්තා කැඳවලා තිබෙනවා. එක එක ඇමැතිලා තැන් තැන්වල කියන ඒවාට වඩා සමස්ත අඩුපාඩු හා ඉදිරිය දැකලයි, තීන්දු ගන්න වෙන්නේ. මොකද, මේක “රී-බෝන්” (යළි ඉපදුණු) ආණ්ඩුව නිසා වැඩි ජවයකින් සියල්ල කරන්න වෙනවා”, අගමැතිවරයා විග්‍රහ කළේය.
“ඒක හරි. මේක එක-එක ඇමැතිලා ජනතාව ඉදිරියේ කරන වෙන්දේසිය නොවෙයි, මේක සමස්ත ආණ්ඩුවේම වැඩක් බව රටට දැනෙන්න ඕනෑ”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
“ප්‍රජාතන්ත්‍රවාදයට-රටේ ව්‍යවස්ථාවට විරුද්ධව මහින්ද නඩය අච්චර කුමන්ත්‍රණය කරලත් රටේ කළු මාධ්‍ය ගත්තේ ඒ පැත්තයි. ඔවුන්ගේ සැබෑ නිරුවත රටට එළි කරන්න අගමැතිතුමා තීන්දු කිරීම ඉතා වටිනවා. කට්ටිය බය වෙලා ජනමාධ්‍ය මර්දනයකට ආණ්ඩුව සැරසෙනවා කියා දැන් මඩ ගහන්නත් එනවා”, ගයන්ත කරුණාතිලක කීවේය.
“මහින්දගේ කාලේ වගේ අප මාධ්‍ය ආයතන ගිනි තියන්නේ මාධ්‍යවේදීන් උස්සන්නේ මරන්නේ නැහැ. මාධ්‍ය නිදහස අප දී තිබෙන නිසා ජනතාවට සමබර ප්‍රචාරණය දීම අත්‍යවශ්‍යයි. ඒක මාධ්‍ය මර්දනය නොවෙයි.


“මාධ්‍ය සමබර වෙන තුරු අප සටන ගෙනයනවා. ඔවුන්ගේ නොයෙක් සෙල්ලම් අපට කනගාටුවෙන් වුණත් එළි කරන්නත් වේවි”, අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.
“ශ්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ රැස්වීමේදී පක්ෂය පොහොට්ටුවට පාවා දුන්නා කියා ලොකු කලබලය ඇති වෙලා. කලබලය පටන් ගන්න විටම ජනපති මාරුවෙලා ගිහින්ලු. එස්.බී. තමයි, බෙල්ල තියලා තිබෙන්නේ. සංවිධායකවරුන් ඔහුට විරුද්ධව දැඩි විරෝධය පළ කරද්දි ඒක බේරන්න ආපු ශ්‍රීලනිප ලේකම්ටත් කට්ටිය ගුටි බැට දෙන තත්ත්වයටත් ගිහිල්ල කියා ආරංචියි” චමින්ද විජේසිරි කීවේය.


“අර නාමල් කුමාර ද, කවුද රට ගිනි තියපු බොරුකාරයගේ හඬ පට හොංකොංවල දී පරීක්ෂා කළාම මේක ගොතපු නාට්‍ය බව තහවුරු වෙලා කියා සී.අයි.ඩී. එකේ ඉහළ නිලධාරියෙකු මට කිව්වා. වහාම මේ මිනිහ අත්අඩංගුවට ගන්න ඕනෑ” හේෂා විතානගේ කී දේ සියලු දෙනා අනුමත කළහ.


“අතුරු සම්මත ගිණුමේ ඡන්දෙට සියලු දෙනා එන්න ඕනෑ. එජාප මහලේකම් හා ඇමැතිවරුන් දහයකට වඩා ආවේ නැහැ. අමාරුවෙන් ගොඩ ගත්ත ආණ්ඩුව එක්ක එක-එක්කෙනාට ඕනෑ විදියට පණ්ඩිතයෝ වගේ විනාශ කරන්න දෙන්න බැහැ. නිදහස කරුණු අහලා දැඩි පියවර ගන්න වෙනවා”, අගමැතිවරයා කීවේ මදක් ආවේගයෙනි.
“අර මහින්දට ක​ෙඩ් යන දොස්තර සංගමය දින 52ක් හැංගිලා ඉඳලා මහින්ද වැටුණට පසු එළියට ඇවිල්ලා සෞඛ්‍ය ඇමැතිවරුන් පත් කරන හැටි අපේ ආණ්ඩුව වැඩ කළ යුතු අන්දම ගැන පණ්ඩිතකම් කියනවා. දින 52ක් ප්‍රජාතන්ත්‍රවාදය වළලපු හැටි හා ඒ කාලේ තිබූ බෙහෙත් හිඟය ගැනවත් කිසි දෙයක් කතා කළේ නැහැ.”


දොස්තරලාත් බලකෑදර දේශපාලනය අනුව ස්ට්‍රයික් කරන්න ආවොත් ඔය පාර ජනතාව සමාව දෙන එකක් නැහැ.” දයා ගමගේ කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.
රටේ සෑම ප්‍රභූවරයෙකුටම මෙන්ම නත්තල වෙනුවෙන් රට පුරා පැවැත්වෙන උත්සව ගණනාවකට ඇරයුම් ලැබී තිබුණද කථානායකවරයා නත්තල් දිනය ගත කළේ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස සමග ය.


නත්තල් දා එහි යාමට තීරණය කළ කථානායකවරයා කිතුනුවෙකු නොවුවද නත්තල පිළිබඳව ලබා දුන්නේ අපූර්ව අර්ථකථනයකි.


“අප වෙත වඩින්න කියලා ජේසුස් වහන්සේට නත්තලේ දී අපි ආරාධනා කරනවා. ඇත්තටම අපි ආරාධනා කරන්නෙ උන්වහන්සේ තුළ තිබුණු දයාව, කරුණාව, පරිත්‍යාගශීලීත්වය වැනි උත්තරීතර ගුණාංගවලට අපේ හදවතට වඩින්න කියලා. ඒ නිසා සැබෑ නත්තල තියෙන්නේ රූපවාහිනී නාළිකාවල, ප්‍රියසාදවල, නත්තල් සැණකෙළිවල නෙවෙයි. නත්තලේ දෙවියන් වහන්සේ වැඩ ඉන්නෙ අසරණ මිනිසුන් අසලයි. නත්තල් දවසේ දයාව, කරුණාව, මනුෂ්‍යත්වය රැගෙන අසරණ මිනිසුන් වෙත යන්න පුළුවන් නම්, අපට දෙවියන් වහන්සේ හමුවෙනවා කියලයි මට හිතෙන්නෙ. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පුංචි දරුවන්ගේ, වැඩිහිටියන්ගේ අසරණ දෑස් දෙවියන්වහන්සේව අපේක්ෂා කරනවා. කිතුනුවෙක් නොවුණත්, ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ ගැන මට විශාල ගෞරවයක් තියෙන්නෙ ඔය අර්ථයෙන් තමයි.”


කරු ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය නමින් ආරම්භ කළ ඉන්දිරා පිළිකා භාරය සංවිධානය කළ මෙම නත්තල් සැමරුම් උළෙලේ දී සියලුම නේවාසික රෝගීන් වෙත ගමන් කළ නත්තල් සීයලා දස දෙනෙකු තෑගි බෝග පිරිනැමූ අතර, නේවාසික රෝගීන්ගේ දරුවන් වෙනුවෙන් ද ත්‍යාග පිරිනැමිණි.


කරු ජයසූරිය මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඉන්දිරා පිළිකා භාරය සමග ස්වේච්ඡාවෙන් එක්ව කටයුතු කරන පිරිස් ද මෙම සුවිශේෂී නත්තල් සැමරුම් උළෙල සඳහා එක්ව සිටි අතර, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කල් ඇතිවම පැමිණ උත්සවයේ සියලු වැඩකටයුතු සොයා බැලුවේය.