ඒකාබද්ධ විපක්ෂයේ කඩවත රැලිය


ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ ගිය සති අන්තයේය. ඒ කඩවත නගරයෙදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මංගල රැළියෙනි. රැළිය සංවිධානය කිරීමේ බර කරට ගෙන තිබුණේ ප්‍රසන්න රණතුංගය. ප්‍රසන්නගේ දෙවන දුවගේ විවාහය ලියාපදිංචි කිරීමද යොදාගෙන තිබුණේ එදිනය. සිය නිවසේදී දියණියගේ විවාහ ලියාපදිංචිය යොදාගෙන තිබුණද ප්‍රසන්න උදේ සිටම සිටියේ කඩවත රැළියේ සංවිධාන කටයුතුවලය.  


කඩවත රැළියට විශාල සෙනඟක් පැමිණ සිටියෝය. මහින්දත් ඒකාබද්ධයේ පක්ෂ නායකයෝ සහ මනත්‍රීවරුත් ඊට සහභාගිවූහ.

ප්‍රසන්නගේ ගෙදර යොදා ගෙන තිබූ කටයුත්ත ගැන මහින්දට කීවේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයාය ඔහු කීවේ ප්‍රසන්න ගෙදර වැඩකුත් තිබියදී ඊට නොගොස් රැළියේ කටයුතුවල යෙදී සිටින බව ඔහු කීවේය. එයාට කියල වැඩක් නෑ. ගිය පාර දුවගේ උපාධි උත්සවයට නොගිහින්, මෙහෙට වෙලා නාමයෝජනා හදද්දි මම යන්තම් කියලයි ඒකට යැව්වේ. මහින්ද කීවේ ප්‍රසන්නගේ හැටි දන්නා බැවිනි. රැළිය අවසන්වී මහින්ද පිටත්ව යන්නට සූදානම් වෙද්දි ප්‍රසන්න ආවේය. “අද ගෙදර උත්සවයකුත් තියෙනවලු නේ දැයි මහින්ද අහද්දි ප්‍රසන්න කාරණය කීවේය. දුවගේ එන්ගේජ්මන්ට් එක තියෙද්දි තාත්ත මෙතනට වෙලා හිටියම හරියනවද? ඔයා දැන්ම යන්න” යැයි කියමින් මහින්ද පිටත්ව ගියේය.   


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම බදාදා උදේ දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ විවාදයට මුහුණ දෙන හැටි සාකච්ඡා කර තීරණයක් ගන්නටය. මේ හදන්නෙ වාර්තාව පාර්ලිමේන්තුවට නොදා ඡන්දය ඉවර වෙනතෙක් යට ගහගෙන ඉන්න යැයි කීවේ ප්‍රසන්න රණතුංගය. වාසු කීවේ ජනාධිපති කොමිසම පත් කළේ ජනාධිපතිවරයා වුණාට වාර්තාව රටටම අයිති බවය. බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ නෑනේ විවාදයක් කරල වැඩක් නැහැ. වාර්තාවක් නැතිව මොකද්ද විවාද කරන්න යැයි දිනේෂ් ඇසුවේ තර්කයක් මතු කරමිනි.  


කෙසේ වෙතත් බදාදා පාර්ලිමේන්තුව හදිසියේ රැස්විය. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව දන්නා නිසා ඒකාබද්ධ විපක්ෂය විරෝධයක් මතු කරන්නට කලින් සිටම සූදානම් විය. අගමැතිවරයාද විශේෂ ප්‍රකාශයක් කරන්නට යන බව ඔවුහු දැන සිටියහ. මේ නිසාම පාර්ලිමේන්තුවේ විරෝධය පළ කරන්නට ඒකාබද්ධය සූදානම් විය. ඒ සඳහා සටන්පාඨ සහිත පෝස්ටර් පාර්ලිමේන්තුවට රැගෙන ඒම පැවැරුවේ බන්දුල ගුණවර්ධනටය. බන්දුල මුල සිටම බැඳුම්කරයට එරෙහිව ලොකු සටනක් දුන් මන්ත්‍රීවරයෙකි. ඔහු සැලසුම් සහගතව පෝස්ටර් ටික පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබිණි.  


ඒකාබද්ධයත් එජාපයත් එකිනෙකාට චෝදනා කර ගත්තේ හොරා කියමිනි.


අනතුරුව දෙපාර්ශ්වය අතර ගැටුම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගියේය. මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට තුවාල සිදුවූ අතර එජාපයේ කාවින්ද ජයවර්ධන ක්ලාන්තවී ඇද වැටුණේය. අවසානයේ පාර්ලිමේන්තුව කල් තැබුවේ ‘‘නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ” යන ආප්තෝපදේශය සිහිගන්වමිනි.