එල්ලුම්ගහට පණ දෙයිද ?


ගෙවී ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ අලුත්ම මාතෘකාව එල්ලුම්ගහයි. ඊට පෙර, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, හිට්ලර් පාලනය, බැඳුම්කර ගනුදෙනුව දේශපාලන කරළිය ගිනියම් කළ මාතෘකා විය. එල්ලුම් ගහ එන්නේ එහි අලුත්ම මාතෘකාව ලෙසය. ඒ නිසා මේ දිනවල හැමෝම කතා කරන්නේ එල්ලුම් ගහ ගැනය.


මත්ද්‍රව්‍ය ජාවාරම් මඬින්නට එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කළ යුතු බවට සමාජයේ බොහෝ පාර්ශ්වවලින් අදහස් ඉදිරිපත් වෙමින් තිබිණි. ගිය සතියේ කෝටි එකසිය ගාණක කුඩු ඇල්ලීමත්, මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම නියම වී හි​ෙර් සිටින ජාවාරම්කාරයකු මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවීමත් යන කාරණා මත මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන්නැයි ජනපති මෛත්‍රීට ද විවිධ පාර්ශ්වවලින් බලපැම් එල්ල වෙමින් තිබේ. එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කළ යුතුය යන අදහසට එන්නට ජනාධිපතිවරයාට මේ බලපෑම් තදින්ම හේතුවන්නට ඇත.


කැබිනට් මණ්ඩලය ගිය අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී සුපුරුදු පරිදි රැස්වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටි බැවින්, අගමැතිවරයා මෙම කැබිනට් රැස්වීමට සහභාගී නොවීය. මෙවර කැබිනට් රැස්වී​ෙම් අවධානය යොමු වූ ප්‍රධාන කරණා දෙකක් විය. එකක් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමය. දෙවැන්න තෙල් මිල වැඩි කිරීමේ යෝජනාවය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ප්‍රශ්නය මතු කළේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා කීවේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම විශාල වශයෙන් වාර්තා වීඇති බවය. පසුගිය කාලය පුරාම කුඩු විශාල වශයෙන් අැල්ලුවා. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හිරේ ගිහින් ඉන්න ජාවාරම්කාරයකුත්, හිරේ ඉඳලම කුඩු ජාවාරම් මෙහෙයවනවා. ඒ නිසා මේ ජාවාරම්කාරයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න වෙනවා කියාය. ඒ සමඟම ජනාධිපතිවරයා කීවේ ‘මංගල ඇමතිතුමා වගේ ලිබරල්වාදීන් මේකට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍යවලින් බේරාගන්න දඬුවම ගේන්න වෙනවා’ කියාය.


ජනපති මෛත්‍ර්‍රීගේ අදහස අනුමත කරමින් නවීන් දිසානායක කතා කළේය. නවීන් කීවේ ලිබරල්වාදීන්ගෙන් වැඩක් නෑ, මේ රට ​ෙම් රටේ දරුවෝ බේරගන්න ඕන. එකෙකුට දෙන්නෙකුට මරණ දඬුවම දුන්න නම් මේ මත් කුඩු රැල්ල නැති වේවි කියාය. තවත් ඇමැතිවරයකු ජනාධිපතිවරයාට කීවේ, ඔබතුමා මේක පාපයක් විදියට ගණන් ගන්න එපා, කැබිනට් මණ්ඩලය විදියට සියලු දෙනා මේ වගකීම බාරගන්නවා කියාය. එහෙනම් කවුරුත් මේක අනුමත කරනවා නේදැයි ජනාධිපතිවරයා අහද්දි සියලු දෙනාම මේසයට තට්ටු කරමින්, යෝජනාව අනුමත කළහ.


ගිය සතියේ ජනතාව මෙන්ම ආණ්ඩුවද දැඩි අපහසුතාවට පත්කළ සිද්ධිය වූයේ ඉන්ධන මිල හදිසියේ වැඩි කිරීමය. ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග වුවද, ඔහුවත් නොදැන ඉන්ධන මිල වැඩි කර තිබු​ෙණ් මුදල් අමාත්‍යංශයෙනි. මුදල් අමාත්‍යංශ​ෙය් තීරණය පැය කිහිපයකට පමණක් සීමා කරමින්, අර්ජුන ඉන්ධන බෙදුම්කරුවන්ට දන්වා තිබු​ෙණ් ඉන්ධන මිල වැඩි කර ​ෙනාමැති බවය.


මෙවර කැබිනට් රැස්වීමට මංගලත් අර්ජුනත් කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබිණි. මංගල පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ මාස තුනකට පෙර හඳුන්වා දුන් මිල සූත්‍රය අනුව මිල වැඩි කිරීම සිදුවූ බව කියන්නටය. මංගල තනි තීන්දුවට ඉන්ධන මිල වැඩි කිරීම ගැන අර්ජුන සිටියේ තරමක හිත් වේදනාවකිනි. ඒ නිසා අර්ජුනද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කිරීම සඳහා හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද යෝජනා කර තිබිණි. ඒ සමගම ඔහු පෙන්වාදී තිබු​ෙණ් ඛනිජ තෙල් සංස්ථා පනත අනුව මුදල් ඇමතිවරයාගේද එකඟතාව ඇතිව ඉන්ධන මිල වැඩි කිරීමේ බලය ඇත්තේ තමාට බවය.


මංගල කීවේ තමා ඉන්ධන මිල වැඩි කළේ මිල සූත්‍රයට අනුව බවය. ඉන්ධන මිල වැඩි කරන බව ජනාධිපතිවරයා දැනුම්වත් කරන්නැයි ඉරාන් වික්‍රමරත්නට කී බව මංගල කියද්දී ජනාධිපතිවරයා කීවේ ‘මට උදේ එකක් කියලා හවසට වැඩි ගණනකින් මිල නංවලා’ කියාය. ඉරාන් මට කිව්වේ රුපියල් හතරකින් පහකින් වැඩි කරනවා කියලයි. ඒත් සවස බලන කොට රුපියල් අටකින් නවයකින් වැඩි කරලා. ජනාධිපතිවරයා කීවේ ඒ ගැන අසතුටද පළ කරමිනි. එහිදී සිදුව ඇති අතපසුවීම ගැන තමා වගනීම බාර ගන්නා බව මංගල කීවේය. අනතුරුව කතා කළේ අර්ජුනය. අර්ජුන කතා කළේ දුක්ගැනවිල්ලක්ද ඉදිරිපත් කරමිනි. ‘මම තෙල් ඇමැති. ඒ වුණාට මම දන්නෙත් නෑ මිල වැඩි කරනකම්. අනෙක මිල ගැන තිබුණෙත් ඛනිජ තෙල් පනතට අනුව මිල වැඩි කිරීමේ බලය තියෙන්නේ තෙල් ඇමතිට. ඒ නිසා මුදල් ඇමතිට එහි තීරණයක් අරගෙන වැඩ කරන්න බැහැ’ යැයි අර්ජුන කීවේය. ජනාධිපතිවරයා කීවේ ලේකම්තුමා මට හමුවෙලා කිව්වේ තෙල් මිල රුපියල් හතරකින් පහකින් වැඩි කරනවා කියලයි. පස්සෙ රාත්‍රියේදී අර්ජුන ඇමතිතුමා මට කතා කරලා කිව්වා රුපියල් 8කින් 9කින් ඉන්ධන මිල වැඩි කරලා කියලා. ඒකයි මිල වැඩිවීම නතර කරන්න වූයේ’ කියාය.


මේ අතර චම්පික රණවක ඇමතිවරයා කීවේ ඉන්ධනවලින් බදු අයකරන එක නතර කළ යුතු බවය. එදා රාජක්ෂ ආණ්ඩුව කළෙත් පෙට්‍රල්වලට ඩීසල්වලට බදු ගැහුවා. තෙල් සංස්ථාවත්, විදුලිබල මණ්ඩලයත්, ණයකාරයින් වූවේ මේ විදිහට බදු ගහපු නිසයි. අන්තිමට මේ ආයතන දෙකට ණය දීලා රාජ්‍ය බැංකු දෙකෙත් සල්ලි නැති වෙන තැනට ගියා. අදත් මුදල් අමාත්‍යංශය මේ ආයතන දෙකෙන් බදු ගන්නවා. මේක වහාම වෙනස් කළ යුතුයි’. මම එදා 2015 අගෝස්තුවේද තෙල්, ගෑස්, විදුලිය යන තුනටම මිල සූත්‍රය ගෙනාවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වූ වෙලාවේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ඒ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න බැහැ කිව්වා’යි චම්පික කීවේය. ඉන්ධන ගැන සාකච්ඡාව අවසන් වූයේ හවස ජනාධිපවරයත් මුදල් ඇමැති සහ ඛනිජතෙල් ඇමති එක්ව සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට එකඟ වීමෙනි. එම සාකච්ඡාවේදී ද කලින් සතියේ බ්‍රහස්පතින්දා කළ ඉන්ධන මිල වැඩිවීම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට තීරණය විය.

 

 

මේ අතර තවත් කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කර තිබූ නව පනත් කෙටුම්පතක් ගැනය. ජනාධිපතිවරයා කීවේ අලුත් පනත් කෙටුම්පතේ අඩුපාඩු තිබෙන බැවින්, සංශෝධන ගණනාවක් සිදුකළ යුතු බවය.


නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුවක් ගිය අඟහරුවාදා ජනාධිපති කාර්යාල භූමියේදී විවෘත කරනු ලැබුවේ ජනපති මෛත්‍රී විසිනි. එය මෛත්‍රීට කාලයක පටන් තිබූ තවත් සිහිනයක් සැබෑ වීමකි. කන්නන්ගර මහතාගේ පිළිරුවක් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ඉදිවූයේ ජනපති මෛත්‍රීගේ මැදිහත්වීමෙනි. එය ඉකුත් අඟහරුවාදා විවෘත කරන්නට ජනාධිපතිවරයා එක්වූයේ මැති ඇමැතිවරුන් පිරිසක් ද සමගය. චම්පික රණවක, වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක්ම ඊට එක්ව සිටියහ. ඒ සියලු දෙනාම පාහේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉහළට ආ අය වීමද විශේෂත්වයකි. ජනාධිපතිවරයා කීවේ හිතේ තිබුණ ලොකු හීනයක් සැබෑ වුණා කියාය. ‘කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය නොගෙනාවා නම්, අපිත් කුඹුරු කොටන ගොවියෝ’ යැයි චම්පික කීවේය.


මේ අතර ජනපති මෛත්‍රී බදාදා මහනුවර පැවැති උත්සව කීපයකට ගියේය. ලක්ෂ්මන් කිරිඇල්ල හා වසන්ත දිසානායක සමග උදේ කොළඹින් පිටත් වූ මෛත්‍රී ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යම පළාත් උත්සවයට සහභාගි විය. මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක ජනාධිපතිවරයා පිළිගන්නට ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය. මුලින් දැනගන්නට ලැබුණේ අයහපත් කාලගුණය නිසා හෙලිකොප්ටරය කටුනායකට බස්සවා එතන සිට වාහනයෙන් නුවරට එන බවය. එහෙත් පසුව ඒ අදහස වෙනස් වී ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන්ම මහනුවරට ගියේය.


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බවට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ගිය සතියේ කෙටි පණිවිඩයක් යවා තිබිණි. එහෙත් 16 දෙනාගේ කණ්ඩායමේ එක්කෙනෙකු හැර අනෙක් කිසිවෙක් ඊට සහභාගි නොවූහ. ඒ නිසා එම රැස්වීම නොපැවැත් වූ බව වාර්තා විය. එම කණ්ඩායමේ කිහිපදෙනෙකු එස්.බී.ට දන්වා තිබුණේ 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතු වූ නිසා වෙනම රැස්වීම් තැබීමේ අවශ්‍යතාවක් නැති බවය. අනෙක දැන් 16 කණ්ඩායම කියා කණ්ඩායමක් නැති බවත්, ඉන්නෙ 70 කණ්ඩායමක් බවත්, ඔවුන් එස්.බී.ට දන්වා තිබිණි. මේ අතර, අඟහරුවාදා රාත්‍රියේ එම කණ්ඩායමේ හමුවක් කොල්ලුපිටියේ හෝටලයකට කැඳවා තිබුණ ද සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා එතනට ​ගොස් දන්වා තිබුණේ තමන් ඇතුළු කණ්ඩායම ඊට සහභාගි නොවන බවය. පිරිස ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වී ඇති නිසා වෙනම රැස්වීම්වලට සහභාගි නොවන බවද ඔහු දන්වා තිබිණි.