එජාපයේ ඡන්ද ප්‍රචාරය අලුත් ක්‍රමයකට


කොරෝනා වසංගතය හේතුවෙන් ජන ජීවිතය අඩාළව පැවැතියද පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය කැදවා තිබීම හේතුවෙන් දේශපාලනය නම් කාර්ය බහුලව පැවතිණ. කොරෝනා මර්දනයට මෙන්ම මැතිවරණයට ද මහන්සි වීමට තිබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දුරකථනයට ඉසිඹුවක් නොවීය.


මහ මැතිවරණය කල් දැමිය යුතු බවට විපක්ෂය මෙන්ම සෞඛ්‍ය අංශ ද යෝජනා කර තිබූ අවධියක මැතිවරණය ජුනි 20 වැනි දාට නියම කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළ අතර ඒ වෙනුවෙන් පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක්ද කැදවා තිබිණි.
කාරණා කටයුතු එසේ වෙද්දී මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායකවරයාගේ නිවසට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ නිතර ආ ගියහ.


ඉකුත් බදාදා ද පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුම කොළඹ කොල්ලු‍පිටියේ රනිල් වික්‍රමසිංහගේ නිවසට පැමිණියේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව හා මැතිවරණ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.
‘‘මැතිවරණ කොමිසම මහ මැතිවරණයට දින නියම කළා. මෙහෙම කොහොමද ඡන්දය තියන්නේ.? තාම රෝගීන් හමුවෙනවා. ආණ්ඩුවට ඕනෑ කොහොම හරි ඡන්දය තියන්නයි.’’ මුලින්ම හඬ අවදි කළේ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායකය.
”‍ඔව් ඡන්දය තියන්න නම් මුලින්ම කරන්න ඕනෑ ලංකාවේ කොපමණ රෝගීන් පිරිසක් සමාජයේ සිටිනවාද කියා සොයා ගන්න එකයි. ඡන්දයට යනවා නම් දිනකට ලංකාවේ ජනතාව 3000 ත් 5000 ත් අතර පිරිස PCR පරීක්ෂාවට ලක් කරන්න ඕනෑ. එහෙම නැතුව ඡන්දයකට යනවා නම් ඒක ලොකු අවදානමක්.”‍ එජාප නායකයා විස්තර කළේය.


‘‘සෞඛ්‍ය ඇමැතිනිය කියන්නේ රෝගීන් එන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් කියලයි. එ් නිසා තත්ත්වය පාලනය කර ඇති බව ඇය ප්‍රකාශ කරනවා.”‍ අවදානම් නොවන ප්‍රදේශවල ඇදිරි නීතිය අයින් කරන්නෙත් ඒක නිසා බවයි, ඇය කියන්නේ.”‍, කේ.කේ. පියදාස කියා සිටියේය.
”‍ඔව්... නමුත් මේ වෙන විට නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනුත් රෝගීන් හමුවෙනවා. පිළියන්දල, බොරලැස්ගමුව ප්‍රදේශ වලින් හමුවූවේ සමාජයෙන් පැමිණි රෝගීන් නේද? ඒ නිසා මේක හරියටම ශුද්ධයි කියලා දැන ගන්න නම් අපට ජනතාවගෙන් බහුතරය පරීක්ෂා කරන්න වෙනවා. එහෙම නැතිව තීරණය ගන්න එක හොඳ තත්ත්වය නොවෙයි.”‍ එජාප නායක පැහැදිළි කළේය.
‘‘අපට දැන් ඡන්ද කැම්පේන් එක කරන්නේ කොහොමද කියා දෙපාරක් හිතන්න වෙලා. පෝස්ටර් ගහන්න විදියක් නැහැ. ගෙයින් ගෙට යන්න බැහැ. පක්ෂය මැතිවරණ ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?’’ චම්පිකා ප්‍රේමදාස එජාප නායකගෙන් විමසා සිටියේය.
‘‘සෑම පක්ෂයකටම මෙය පොදු කාරණයයි. ලොකු රැස්වීම් තියන්න හම්බ වෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමත් මාර්ගෝපදේශ දෙයි.


අපට මාධ්‍ය මගින් තමයි, ප්‍රචාරණ කටයුතු කරන්න වෙන්නේ. ඒකට සාමාජ මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යත් උපයෝගි කරගන්න වේවි. ඇදිරි නීතිය ඉවත් කළත් ලොක්ඩවුන් වැඩපිළිවෙළ දිගටම තිබෙන්න ඕනෑ. එතකොට හදිසියේ රෝගියෙකු හමුවුනොත් අවශ්‍ය පියවර ඒ පොලිස් බල ප්‍රදේශය තුළදී ගන්න පුළුවනි. ලොක්ඩවුන් වැඩපිළිවෙළ ඉවත් කළොත් කටයුතු කරන්න වෙන්නේ හදිසි නීතිය යටතේයි. එය මෙවැනි ව්‍යසනයකට යොදා ගන්න බැහැ. ඒ නිසා අප අලු‍ත් විදියකට හිතන, අලු‍ත් වැඩපිළිවෙළ යටතේ ජනතාව ළගට අපේ වැඩපිළිවෙළ ගෙන යන්න වෙනවා.”‍ එජාප නායකයා දීර්ඝ ලෙස කළ විස්තරය පැමිණ සිටි සියල්ලෝම එක මතින් පිළිගත්හ.
‘‘භීෂණය කාලයෙත් ඡන්ද තියන එක නැවැත්තුවේ නැහැ කියා තමයි ආණ්ඩුව කියන්නේ.’’? චම්පිකා ප්‍රේමදාස යළි කීවේය.


‘‘එදා පැවැති තත්ත්වය මීට වෙනස්. භීෂණ කාලයේ ජනාධිපති ප්‍රේමදාස ගමක ගෙවල් 20 ක් 30 ක් තෝරගෙන අවශ්‍ය පණිවිඩය දුන්නා. රැස්වීමට මිනිස්සු නාවත් ඔවුන්ට ගෙවල්වල ඉඳලා රැස්වීම අහන්න පුළුවන් විදියට ශබ්ද විකාශන යන්ත්‍ර දැම්මා. කොහොම හරි ගමට පණිවිඩය ගියා.


එතනදි එක්සත් ජාතික පක්ෂය හා අලියා කියන නම තමයි, ප්‍රචාරය කළේ. ඒ නිසා මනාප අංක වෙනුවට පක්ෂයත්, අලියා ලකුණත් අප ජනතාව අතට ගෙන ගියා. නමුත් අද තිබෙන තත්ත්වය වෙනස් වෙනවා. මේක වෛරසයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය මුලින්ම මේකට මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ. දැනටත් ඔවුන් ඡන්දය තියන්න උත්සාහ කරන්නේ විශේෂඥ උපදෙස් පිළිපදින්නේ නැතුවයි.’’, වජිර අබේවර්ධන පැහැදිළි කළේය.
‘‘පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් හමුවුණා. එහිදි යම් යම් මත ගැටුම් ඇති වුණා කියලාත් ප්‍රකාශ වුණා. මොකක්ද එතන වුණේ.”‍? කේ.කේ පියදාස විමසා සිටියේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ගෙනි.


‘‘මා එතනදි සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අරගෙනද ඡන්දය තිබෙන දින වකවානු ගැන තීරණය ගත්තේ කියා ඇහුවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ, ඔවුන්ගෙන් ඇහුවා නමුත් ඔවුන් නිශ්චිතව පිළිතුර දුන්නේ නැහැ කියලායි. කොරෝනා තත්ත්වය යහපත් නොවුණොත් නැවත මැතිවරණය කල් දමන්න පුළුවන් කියා සභාපතිවරයා අපට කිව්වා. එජාප මහලේකම්වරයා පිළිතුරු දුන්නේය.
අපේ පැත්තේ ඉඳලා ගිය ඇමතිකෙනකුයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමායි බහින් බස් වුණා කියලාත් සමාජ මාධ්‍යවල පළ වෙලා. ඒකයි මා ඇහුවේ.’’ කේ.කේ පියදාසගේ පැනයට මහලේකම්වරයා සිනාසුණා මිස කිසිවක් කියන්න ගියේ නැත.


කතාව වෙනතකට පෙරළු චම්පිකා ප්‍රේමදාස ‘‘දැන් ජුනි 02 වැනි දායින් පසු අලු‍ත් ව්‍යවස්ථා අර්බුදය එනවා නේද.? දැන් මේකට මොකද කරන්නේ යයි’’, විමසා සිටියේය.
”‍ඔව් එතන අර්බුදය නිර්මාණය වෙලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 70 වැනි වගන්තිය හා එහි අනු වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි රැස්විය යුතුයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැන් දින නියම කර තිබෙන්නේ පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු කාලයටත් පසුවයි. එ් නිසා ජුනි 02 වැනි දායින් පසුව ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ නියෝගය නිෂ්ප්‍රභ වෙනවා. එවිට නැවත පැරණි පාර්ලිමේන්තුවට බලය එනවා.”‍ නීති නිලධාරියකුගේ පැහැදිළි කිරීම පක්ෂ නායක ද හිස සලා අනුමත කළේ මද සිනහවක් ද මුවට නඟාගෙනය.
‘‘අපට පක්ෂ ඡන්ද ව්‍යාපාරය දැන්ම ඉඳලම පටන් ගන්න වේවි.’’ නවින් දිසානායක යළිත් අලු‍ත් පැනය යොමු කළේය.


‘‘නායකතුමා කිව්වා වගේ අලු‍ත් ක්‍රමයකට අපි මැතිවරණය පවත්වමු. මැයි මස 04 වැනි දා වෙනවිට මනාප අංක දෙන්න පුළුවන් කියා මැතිවරණ කොමිසම කිව්වා. ඉන් පස්සේ තමයි අපේක්ෂකයන්ට ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න වෙන්නේ. කොහොම වුනත් කොරෝනා පරීක්ෂා වැඩි කිරීම කාට කාටත් හොඳයි”‍, පක්ෂ මහලේකම්වරයා කීවේය.