එජාපය යළිත් අලියා ළඟටම



 

අලියා ලකුණින් ඉවත්ව තරග කරන්න බෑ

රුවන් විජයවර්ධන

 


 

වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් දිනය බ්‍රහස්පතින්දාට යෙදී තිබුණ බැවින් ද, වෝහාරික වාර්තාවට අදාළ විවාදයේ අවසන් දිනයද යෙදී තිබූ බැවින්ද එ.ජා.ප නායකයා එදින වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේය.


එ.ජා.ප මන්ත්‍රීවරුන් හා නිලධාරින් සමග කතා බහ කිරීමට ද එහිදී ඔහු ක්‍රියා කළේය.


“බැඳුම්කර මගඩිය එ.ජා.පෙ ඇඟේ ගහලා බේරෙන්න හැදුවා.


2015 ට කළින් බැදුම්කරවලින් කෝටි 5600 ක මගඩි කරපු වත්මන් ආණ්ඩුව බව වෝහාරික වාර්තාවෙන් එළියට ආවා. ඒ ගැන තියපු විවාදය බොහෝ ජනමාධ්‍ය හරියට වාර්තා කළේ නැහැ. ව්‍යාජ දේශප්‍රේමීන් රුපියල් දශ ලක්ෂ 8900 ක් අර්ථසාධකයෙන් මගඩියට යටකර වැඩ කරන ජනතාවත් උගස් කරලා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“වෝහාරික වාර්තාව හැදුවේ ජාත්‍යන්තරය පිළිගත් ස්වාධීන අයයි. ඒත් මේ ආණ්ඩුව කියන්නේ විගණකාධිපති කරපු නැති නිසා පිළිගන්න බැහැ කියලයි. විගණකාධිපති වාර්තාව හැදුවා නම් යහ පාලන ආණ්ඩුව යටතේ හිටපු කෙනෙකු හදපු වාර්තාවක් පිළිගන්නේ නැහැ කියාවි.” ජේ.සි අලවතුවල කීවේ එවැන්නකි.
“එ.ජා.පෙ සියළු දෙනා එකතු වෙලා යන්න තීන්දුව ගැනීම වටිනවා. ඒත් ඡන්ද ලකුණ ඉක්මණින් තීන්දු කර ගන්න ඕනෑ. ඔබතුමා හා විපක්ෂ නායකතුමා ප්‍රශ්නය ඉක්මණින් ඉවර කර ගන්න.” ජේ.සී අලවතුවල තවදුරටත් නායකයාගෙන් ඉල්ලා සිටියේය.
“හදවත ලාංඡනය පස්සේ මුළින්ම ගියා. ඒක වෙන පක්ෂයකට අයිති එකක් කියලවත් අධ්‍යයනය නොකළේ ඇයි? සන්ධානයේ ව්‍යවස්ථාව පවා තාම ලැබී නැහැ. අලියාගෙන් යමු කියා යෝජනා කලාම පස්ස ගැහුවා. හංසයාගෙන් යනවා නම් රවිත් එක්ක කතා කර නීතිඥයන් එක්ක ගිහින් කොමසාරිස් හමුවෙලා ප්‍රශ්නය බේර ගන්න ඕනෑ. මා මේ කරුණු මද්දුම බණ්ඩාරට පැහැදිළි කළා.” ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු දුන්නේය.


“දැන් හංසයාගෙන් හෝ අලියාගෙන් හෝ ආවොත් නාම යෝජනා අස්සන් කරන්නේ සන්ධානේ මහලේකම්ද? ඒ පක්ෂයේ ලේකම් ද?” චම්පිකා ප්‍රේමදාස විමසුවේ තීරණාත්මක පැනයකි.
“අලියාගෙන් ආවොත් එ.ජා.ප මහලේකම්ට තමයි, අස්සන් කරන්න වෙන්නේ. හංසයාගෙන් ආවොත් ඒ පක්ෂයේ මහලේකම්. ඒක සරල නීති පදනමක්.” , එ.ජා.ප නායකයා ද කට හඬ අවදි කළේය.
“දෙවැනි රාජසිංහ රජු පෘතුගීසි මාරුකර ඕලන්දක්කාරයන් ගෙන්න ගත්තා. මෙයාලා රනිල් මාරු කර රවි ගන්නයි හදන්නේ. එ.ජා.ප යෙම ඉන්නවාද රවිගේ අතට පනිනවද කියලයි, තීන්දු කරන්න වෙන්නේ?” එ.ජා.ප නීති නිලධාරියකු පැහැදිළි කළේ ඉතිහාසය හා වර්තමානය සසඳමිනි.
“මා නීතිමය පදනම පෙන්නා වරද්ද ගන්නේ නැතුව යන්න කිව්වා. ඒක හරියට තේරුම් ගත්තා ද මා දන්නේ නැහැ. මා විසඳුම් දී නැහැ. පැහැදිළි කළා පමණයි. කොමිසමත් එක්ක කතා කර විසඳුමකට එන්න අමාරුනම් ලබන සතියේ මට අවසන් විසඳුම දෙන්න වෙනවා. පැය හයෙන් උත්තර ඉල්ලනවා. එහෙම කරන්නේ කොහොමද?” , එ.ජා.ප නායකයා කීවේය.


“අපේ හමුදාපතිට මේ තහංචිය ආවේ යහ පාලන රජය ජිනිවාවලදී අත්සන් කළ 30/1 යෝජනාව නිසා කියා ආණ්ඩුව කියනවා නේද?” චම්පිකා ප්‍රේමදාස විමසීය.
“අනාථ වෙලා ජනතාව නොමග යවන්න හදනවා. මීට කළින් ජගත් ජයසූරියටත් ඔය ප්‍රශ්නයම ආවා. ඉන්දුනීසියාවේ ජෙනරල් විරන්තෝට වගේම ඉන්දියානු වත්මන් අගමැති මෝදිටත් ඇමරිකාව තහංචිම දැම්මා.
30/1 වගන්තිය අනුවද එයාලටත් තහංචි දැම්මේ කියලයි. අපි ආණ්ඩුවෙන් අහන්නේ. යමෙකුට රටකට ඇතුල් වෙන්න දීම නොදීම ඒ රටේ තීන්දුවයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කළ පැහැදිළි කිරීම එ.ජා.ප නායකයා ද අනුමත කළේය.
“එම්.සී.සී ගිවිසුම අත්සන් කරවන්න මේ ආණ්ඩුවට කරන බලපෑම ලෙසත් හමුදාපතිගේ සිද්ධිය සමහරුන් විග්‍රහ කරනවා නේද?” කේ.කේ පියදාස ඇසුවේ නායකයාගෙනි.
“නැහැ. එහෙම හිතන්න අමාරුයි. එම්.සී.සීවල ඩොලර් මිලියන 490 නැතුව ආණ්ඩුව කොහේ දුවන්නද? ඉන්දියාව ළඟ දනින් වැටිලා ණය කපන්න කියා ඉල්ලුවේ නිකංද?” එ.ජා.ප නායකයා කීවේ කාගේත් සිනා මැදය.


“මේ ආණ්ඩුව ජිනීවා යෝජනාවෙන් ඉවත් වෙන්නයි, හදන්නේ. 2015 ට කළින් වගේ ජි.එස්.පී. නැති කරගෙන මාළු, තහංචි දමාගෙන විශාල ආර්ථික ව්‍යසනය ජනතාවට කරන්නයි මේ උත්සාහ කරන්නේ.” දයා ගමගේ කී දේ ද සියලුදෙනා අනුමත කළහ.
ලාංඡනය ගැන සාකච්ඡා කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඉකුත් 19 වැනිදා යළි රැස්විය. ලාංඡනය පිළිබඳව මෙයට පෙරද කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි. එහෙත් 19 වැනිදාද එකඟතාවකට ඒමට නොහැකි විය. එහිදී මත ගැටුම් ගණනාවක්ම ඇතිවිය.
සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය. යුත්තේ ‘හංසයා’ ලකුණෙන් බවට එක්සත් ජාතික පක්ෂ උපදේශක කාරක සභාවද තීරණය කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදි උපදේශක කාරක සභාවේ එම තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරිණ.


ඒ අවස්ථාවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සඳහන් කර ඇත්තේ පක්ෂයේ අනන්‍යතාව රැකදෙන අලියා ලකුණින් ඉවත් වීමට තමන්ට හැකියාවක් නැති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මහතා හඳුන්වා දුන් අලියා ලකුණින් ඉවත්ව වෙනත් ලකුණකින් තරග කිරීම පිළිබඳව තමන්ගේ කිසිදු මනාපයක් නැති බවය.
අලියා ලකුණ මේ වනවිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ සමාජගතවී පවතින බවද ජාත්‍යන්තරය තුළ ද එනම් ඇමරිකාව, තායිලන්තය වැනි රටවල ප්‍රධාන පක්ෂවල ද අලියා ලකුණ භාවිත වන බව ද රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.


අලියා යනු සමන් දෙවියන්ගේ වාහනය බවත්, සිංහල බෞද්ධයන් අලියා ලකුණට ඉතා ළෙන්ගතුව කටයුතු කරන බවත් රුවන් විජයවර්ධන මහතා පැවැසීය. ඊට අමතරව හින්දු භක්තිකයින්ද අලියා ලකුණ මෙන්ම කොළ පැහැය සමග බද්ධවී සිටිති යැයිද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කර ඇත්තේ අලියා ලකුණින් බැහැරව මැතිවරණයට ඉදිරිපත් වීමට තමන්ගේ කිසිදු සූදානමක් නැති බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක් හෝ අලියා ලකුණින් තරග කිරීමට අවස්ථාව දෙන ලෙසත්ය.
පාලිත රංගේ බණ්ඩාර සහ දයා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන්ද අලියා ලකුණින් තරග කළ යුතු බවට පැවැසීමත් සමඟ රවී සමරවීර මහතා ඇතුළු මන්ත්‍රීවරු කීප දෙනකු ඊට විරුද්ධව අදහස් පළකර ඇත.


රවී සමරවීර මහතා දැඩිව පවසා ඇත්තේ හංසයා ලකුණට යම් එකඟතාවක් ඇතිවී තිබෙන මොහොතේ එය කඩා කප්පල් නොකරන ලෙසය.
මෙහිදී පාලිත රංගෙ බණ්ඩාර සහ රවී සමරවීර යන මන්ත්‍රීවරුන් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර රවී සමරවීර මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නැගිට යාමට ද උත්සාහ දරා ඇත.


මේ අවස්ථාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වී වාදය නතර කරවමින් රවී සමරවීර මහතා සභාවේ රඳවාගෙන ඇත.

මැතිවරණයට තවත් ඇත්තේ ඉතා කෙටි කාලයක් බැවින් මේ ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යාමට හැකියාවක් නැතැයි ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී හංසයා ලකුණ ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය විමසන ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන්ට දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට තරග කරන සන්ධානය හෝ එහි ලාංඡනය සම්බන්ධ නිශ්චිත තීන්දුවක් පෙරේදා වනතුරුද අවසන්ව තිබුණේ නැත. මේ සඳහා ‘සමගි ජන බලවේගය’ නමැති සන්ධානයක් සඳහා දෙපාර්ශ්වය එකඟ වුව ද එහි ලාංඡනය නිසා තවමත් ස්ථිර තීන්දුවක් නැත. මේ පිළිබඳව පසුගිය සතිය පුරාම තැන් තැන්වල සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි. විශේෂයෙන් ගිය සතියේ දින තුනක් පාර්ලිමේන්තුව රැස්වූ නිසා මන්ත්‍රීවරු බහුතරය පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.
විපක්ෂ නායක කාර්යාලය ආපන ශාලාව, කොරිඩෝව යන ස්ථානවල රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කළහ.
‘හංසයා’ ලකුණ ලබා ගැනීම පිළිබඳව කිසියම් ස්ථාවරයකට පැමිණෙමින් තිබූ අවස්ථාවක මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ කරුණු කීපයක් නිසා යළි ව්‍යාකූල බවක් ඇතිව තිබේ. මේ තත්ත්වය ගැන රනිල් හිතවාදී පිරිසක් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේදී කතා බහ කළහ. යම් සන්ධානයකට පක්ෂ ලාංඡනය ලබා දුන්නොත් වසර පහක් යනතුරු ආපසු ලබා ගැනිමට නොහැකි බවට මැතිවරණ කොමිසම පෙන්වාදී තිබීම ගැන විශේෂයෙන් සාකච්ඡා කළ පිරිස කියා සිටියේ අලියා ලාංඡනයෙන්ම තරග කිරීම සුදුසු බවයි. හංසයා ලකුණ තෝරා ගැනීම සඳහා කුසපත් ඇදීමක් සිදුවුවහොත් එය සුභවාදී නොවන බව ඔවුන්ගේ මතය වී තිබුණි.
පාර්ලිමේන්තුව රැස්වූ දින තුනක කාලය තුළ විටින්විට විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ සජිත්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමේද මාතෘකාව වූයේ ලාංඡනයයි. හංසයා ලකුණට එකඟවී සිටියදී මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ කරුණුවලට අනුව යළි ගැටුමක් ඇතිකර ගත යුතු නැති බව රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ මතයවී තිබුණි. බහුතරය ඊට එකඟතාව දැක්වූහ.
තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කර සිටියේ අපි මේ වනවිට සෑහෙන්න ජයග්‍රහණයක් ලබල ඉන්නේ. අපේ මූලික ඉල්ලිම් බහුතරය මේ වනවිට ඉටුවෙලා තියෙන්නෙ. මේකත් අපි විසඳගමු’ යනුවෙනි.
එළිඹෙන මහ මැතිවරණය සඳහා සජිත්ට දිස්ත්‍රික්ක රැසකින්ම ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. සුජීව සේනසිංහ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ එතුමා කොළමින් එනවා නම් එතුමගේ මැතිවරණ ව්‍යාපාරය මම කරට අරගෙන යනවා කියාය.
ඉන්පසු ඉල්ලීම ආවේ කුරුණෑගලින් අශෝක් අබේසිංහ හා තුෂාර ඉඳුනිල් දෙදෙනාම ප්‍රවෘත්ති සාකච්ඡා දෙකක් වෙන වෙනම කැඳවා සජිත්ට කුරුණෑගලින් ඉදිරිපත්වන ලෙස කීහ. එයට අමතරව සජිත් හමුවීමට විපක්ෂ නායක කාර්යයට ගිය අශෝක සජිත්ගෙන් මේ බව ඉල්ලා සිටියේය.
මේ පාර මහ මැතිවරණයට ඔබතුමා කුරුණෑගලින් තරග කරන්න එන්න. අශෝක යෝජනා කළේය. ‘අශෝක් එහෙම යෝජනා කරන්නෙ ඇයි?’ සජිත් විමසුවේය. ඔබේ පියා ගම්උදාව පටන් ගත්තෙ කුරුණෑගලින් ඔබට සහාය දක්වන නිසා මගේ පක්ෂ සාමාජිකත්වයත් ආසන සංවිධායකත්වයත් අහිමි වුණා. කරුණු ගණනාවක් නිසා ඔබට කුරුණෑඝල වැදගත්’ අශෝක් කරුණු පෙන්වා දුන්නේය. එයට ස්ථිර වචනයක් නොදුන් සජිත් හොඳයි හොඳයි අපි බලමුකොයි කීවේය.
ඒ ඉල්ලීම ගම්පහට ද ගියේය. ගම්පහ නියෝජිතයින් කිහිප දෙනෙක්ම ඉල්ලා සිටියේ මහින්ද කුරුණෑගලින් ඉල්ලුවා වගේ සජිත් ගම්පහින් ඉල්ලන්න කියාය.
මේ අතර මහනුවර පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් වන චානක අයිලප්පෙරුම සහ තිලින බණ්ඩාර තෙන්නකෝන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඉල්ලා සිටියේ මහනුවරින් තරග කරන්න කියාය.
එම ඉල්ලීම් දැන් කලුතරටත් ව්‍යාප්තවී තිබේ.
කෙසේ වෙතත් සජිත් හිතවතුන් සමඟ පැවැසුවේ ජනාධිපතිවරණෙදිත් රට වටේ ගියා. නිවාස ඇමැති විදිහට රට පුරා වැඩ කළා. ඒ නිසා කොහෙන් වුනත් ඉල්ලන එක ගැටලුවක් නොවේ. නමුත් මේ වෙලාවේ මම කැපවෙලා ඉන්නේ ආණ්ඩුව පෙරලන්න මහ ජන බලවේගය හදන්න කියාය.
සමහරු කියනවා ඔබතුමා හම්බන්තොට දාලා එන්න හදනවා කියලා. මාධ්‍යවේදී හිතවතෙක් සජිත්ගෙන් ඇසූවිට සජිත් අපූරු උත්තරයක් දුන්නේය.
මම දේශපාලනයට ආව දවසේ ඉඳලා මේ තැනට එනතුරු මට ශක්තිය දුන්නේ හම්බන්තොට ජනතාව. රාජපක්ෂ බලකොටුව දෙපාරක් පිට පිටම පරාජය කරන්න ඒ ජනතාව ශක්තිය දුන්නා. නමුත් ඉදිරියට අපි රටටම සේවය කරන්න ඕන. ඒක හම්බන්තොට ජනතාව දන්නවා’ යැයි කීවේය.
කෙසේ වෙතත් තවමත් සජිත් කුමන දිස්ත්‍රික්කයෙන් ඉදිරිත් වෙනවාද යන්න කිසිවෙක් දන්නේ නැත.
පසුගිය අඟහරුවාදා සිවිල් සංවිධායක වෘත්තීය සමිති සහ වමේ කණ්ඩායම් රැසක නියෝජිතයින් විශාල පිරිසක් සජිත් හමුවිය.
ඒ චමීර පෙරේරාගේ මූලිකත්වයෙනි.
වත්මන් ආණ්ුවේ දෙබිඩි ක්‍රියා පිළිවෙත පිළිබඳව ඔවුන් සජිත්ට කරුණු කීහ.
වෘත්තීය සමිති මුහුණදෙන ගැටලු රාජ්‍ය සේවකයන්ට සිදුව ඇති අසාධාරණ පිළිබඳවද දෙපාර්ශ්වය කරුණු හුවමාරු කර ගත්හ.
අපි දන්නවා විශාල ප්‍රශ්න සියලු දෙනාට තිබෙන බව. ඒ එක්කම කියන්න ඕන මම අන්ත ලිබරල් පුද්ගලයෙක් නොවේ. අන්ත නෙවේ. නමුත් අපි පිළිගත යුතු දෙයක් තිබෙනවා. චීනය වගේ රටවල් දැන් ධනවාදී රටවල්වලට වඩා ධනවාදි වෙලා. රුසියාව වුණත් එහෙමයි සජිත් කීවේය.

-ගජබා-