එජාපය දිනවන හැටි අගමැති පහදයි


 

නාම යෝජනා භාරදීමෙන් පසු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ හුණුපිටියේ ගංගාරාමයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය. කිරින්දේ අස්සජි හිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර සජිත්ට ආශිර්වාද කළහ. බුද්ධ වන්දනාවෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා බෝධීන් වහන්සේට සිවුරු පූජා කළේය.


පසුවදා සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දළදා මාළිගාවට ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තේය. මාළිගා දොරටුව අභියස දී ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා නගරාධිපති කේසර සේනානායක මහතා විසින් සජිත් පිළිගනු ලැබීය.
ගල්කිස්ස ධර්මපාලාරාමයට ගිය සජිත් ප්‍රේමදාස මහතා එහිදී කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැ දැක්කේය. දැහැමින් රට පාලනය කිරීමේ වැදගත්කම එහිදී පෙන්වා දුන් ධම්මාවාස හිමියෝ සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කළහ.
පසුගිය 9 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති 75ක නියෝජිතයන් සහභාගි වන උත්සවයකට සහභාගි වූයේය. එහිදී එම සංවිධාන රට කරගෙන යාමට අවශ්‍ය යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. රට වෙනස් කිරීමට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අලුත් මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කිරීම, නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සඳහා වූ යෝජනා මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කරනු ලැබුවේය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙම යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.


සිය පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා සංවිධායකත්වය දැරූ මැද කොළඹ බල මණ්ඩල රැස්වීම බෙහෙවින් සංවේදී එකක් විය. රණසිංහ ප්‍රේමදාස මහතා ළඟින් ඇසුරු කරමින් සිටි මැද කොළඹ විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ. ඔවුන්ගෙන් ඇතැම් අය රණසිංහ ප්‍රේමදාස මහතා සමග එක්ව ගන්නා ලද ඡායාරූප ගෙනැවිත් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වූහ.
හිටපු ජනපති ප්‍රේමදාස සමග ඡායාරූපවලට පෙනී සිටි බොහොමයක් දෙනා දැඩි සංවේගයෙන් හා සජිත්ගේ පැමිණීම ගැන දැඩි සතුටින් සිටි බවක් පෙන්නුම් කළේය. තමන් උපන් ප්‍රදේශයට හා හැදුණු වැඩුණු ප්‍රදේශය වූ මැද කොළඹ බල මණ්ඩල ප්‍රදේශයට පැමිණ සිටි ජනතාව ගැන බලවත් සතුටට පත්ව සජිත් ප්‍රේමදාස මුජිබර් රහමන් මහතාගෙන් විමසා සිටියේ බල මණ්ඩලයකට මෙතරම් සෙනඟක් එනවද යනුවෙනි. එයට පිළිතුරු දෙමින් මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ‘සර් ආපු එකට මැද කොළඹ ජනතාව බොහොම සතුටින් ඉන්නෙ.” යනුවෙනි.


ප.ව. 6.00ට පමණ අළුත්කඩේ අබ්දුල් හමීඩ් මාවතේ දී පැවැත්වූ මෙම බල මණ්ඩල රැස්වීම රාත්‍රී 10.30 දක්වා පැවැත්වුණි. මෙහිදී සජිත් ප්‍රකාශ කර සිටියේ තම පියා කොළඹ සංවර්ධනය නතර කළ තැනින් තමන් ඒ සංවර්ධනය ආරම්භ කරන බවයි.
අපේක්ෂක සජිත් හා අගමැති රනිල් යනු මේ වන විට දෙදෙනකු නොව එකම සටන වෙනුවෙන් සතුරන්ට එරෙහිව එකම පොදියකට බැඳුණු චරිත වී හමාරය.
බොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදි දෙදෙනා අතර කකුල් මාට්ටු හා සීතල අරගල වෙනුවට ඉහත කී නව ප්‍රවණතාව ඇතිවීම ගැන එජාප අභ්‍යන්තරය තුළ මෙන්ම පාක්ෂිකයා අතර ද පවතින්නේ දැඩි සොම්නසකි. මැතිවරණ ව්‍යාපාරයට අදාළ සියලු තීන්දු රනිල් - සජිත් දෙදෙනා විසින් ගනු ලැබීමද විශේෂය වී තිබේ.
සජිත් - රනිල් එකී සුසංයෝගය මුල් වරට ජනතාව අතරට පැමිණියේ පසුගිය ඉරිදා සිරිකොතේ පැවැති කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දීය. එදා එහි සිටි දහස් ගණනක පාක්ෂිකයන්ගේ ආස්වාදය ඔවුන් මුදා හැරියේ දෙදෙනා එකට එන විට නොනවත්වා අත්පොළසන් දෙමිනි.


එදිනම රාත්‍රියේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ එජාප නීතිඥ හමුව පැවැති අතර වෙනදා 500 නොඉක්මවූ ඒ පිරිස මෙවර 1200 දක්වා ඉහළ ගොස් තිබිණ.
සඳුදා නාම යෝජනා දුන් පසු අපේක්ෂක සජිත් පිළිගැනීමට විශාල පිරිසක් රැගෙන නොයාමට පක්ෂය තීන්දු කර තිබුණි.
“සෙනඟ 500ක් විතර හිටියම හොඳටම ඇති. නාම යෝජනා දීමේ නිල කටයුත්තයි, හරියට වෙන්න ඕනෑ.” එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක මතය එය විණ.
“30,000ක් ගේන්නයි අපේ සමහරුන් ප්ලෑන් කළේ.” සජිත් කීවේය.


නාම යෝජනා දීමෙන් පසු සජිත් හා ජලනි කෙළින්ම ගියේ මහනුවරය. ඔවුන් රාත්‍රී නවාතැන් ගත්තේ අර්ල් ගුණසේකරට අයත් අර්ල්ස් රීජන්සි හෝටලයේය.
පසුදා උදයේම සජිත්, ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක ඇතුළු මැති-ඇමතිවරුන් රැසක් දළදා මාලිගාවට මල් පහන් පුදා මැතිවරණ සටන ඇරැඹූහ.
අනතුරුව මාලිගාවට යාබද භූමියේ දී සිව් නිකායික මහ සඟරුවන භික්ෂූන් 865 නමක සහභාගීත්වයෙන් ජය පිරිත සජ්ඣායනය කරනු ලැබුවේ දහස් ගණනක ජනතා සහභාගීත්වයක් ද සමගිනි. එය සංවිධානය කර තිබුණේ කිරිඇල්ල හා ඔහුගේ දියණිය චමින්ද්‍රාණි කිරිඇල්ල විසිනි.


“නිකාය හතරේම මේ තරම් හාමුදුරුවරුන් එකතුවෙලා කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට ‘ජය පිරිත’ කියා නැහැ. අනු නාහිමිවරුත් මෙතන ඉන්නවා. ඔබේ ජය සහතික කරන්නේ දළදා හාමුදුරුවන්ගේ භූමියේ සිටයි” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට සජිත් ඔහුගේ දෑත බදා ගත්තේය.
එය නිම කළ පිරිස මල්වතු-අස්ගිරි-රාමඤ්ඤ මහ නාහිමිවරුන් මෙන්ම ප්‍රධාන මුස්ලිම්-හින්දු හා කතෝලික පල්ලිවලට ද ගොස් ආගමික නායකයන්ගේ ආශිර්වාද ලැබූයේ විශාල ජනතාවකගේ ප්‍රීති ඝෝෂා මැදය.


අනතුරුව පිරිස දිවා භෝජනයට පැමිණියේ අර්ල්ස් රීජන්සි වෙතය. පැමිණෙන අතරේ සජිත්ට අමුතු කතාවක් කන වැටිණ.
“මාලිගාව අද්දර පිරිත් කියන්න දෙන්නේ එක්තරා නිකායන් දෙකක හිමිවරුන්ට විතරයි කියා එක්තරා කණ්ඩායමක් පොඩි කකුල් මාට්ටුවක් දාලා. අප කියන්නේ ජය පිරිතයි. මාලිගාව අසල භූමියේ පිරිත් කියන්න අපට ඉඩ දෙන්න බැහැ කියන අය ඔය කියන වෙනත් නිකායක හිමි කෙනෙකුට එතන උපවාස කරන්න දුන්නේ ඇයි කියා අප විමසුවා. මේ භූමිය සජිත්ට පිරිත් කියන්න දෙන්න එපා කියා කවුරු හරි දේශපාලන ඉල්ලීම කර තිබෙනවද කියලත් අප ඇහුවා.
“මේ පුණ්‍ය භූමියේ ජය පිරිතට ඉඩ නොදුන්නොත් අප මහ පාරේ මේක කරනවා. විරුද්ධ වෙච්ච අය ගැන රටට එළි කරනවා” උත්සවයේ සංවිධායක පිරිස කී විට සජිත් එය අසා සිටියේ නළල රැළි ගන්වමිනි.
“නැහැ. සුළු ප්‍රශ්න ටිකක් තිබුණ ද පහසුවෙන් විසඳුනා. දියවඩන නිලමේතුමා ඇතුළු සියලු දෙනා පිරිත් කියන්න අපට විශාල සහයෝගය දුන්නා” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට සජිත් සැනසුම් සුසුම් හෙළුවේය.


හෝටලයට පැමිණි සජිත් ඇතුළු 200ක් සඳහා අර්ල් ගුණසේකර දිවා ආහාරය සහ සියලු පහසුකම් සලසා තිබිණ. කෑම ගන්නා අතරේ අර්ල් අතීතයේ අපූරු සිදුවීමක් මතක් කළේය.
“වර්ෂ 2000 මහ මැතිවරණයේ දී රාජපක්ෂලා පරද්දලා සජිත් හම්බන්තොටත්, මෛත්‍රීපාල සිරිසේන පරද්දලා මා පොළොන්නරුව දිස්ත්‍රික්කයත් එජාපයට දිනවලා දුන්නා. රනිල් නායකතුමා අප දෙන්නට උපහාරයක් හැටියට ලාබාළම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ලෙස බඳවාගෙන අපට ගෞරව කළා.” අර්ල් ගුණසේකර කී විට සජිත් ද එය අනුමත කළේය.
“ඔබතුමාගේ ශ්‍රී මුඛ කතාවට සමහරුන් පහර දෙනවා. මැතිවරණ වේදිකාවල ඉන්න හුඟ දෙනෙකු ඒ මුඛවලින් කියන්නේ බොරු හා ජනතාව අන්දන කතායි. ඒත් ඔබතුමා ඔය මුඛයෙන් කිසිම බොරුවක් නොකියන නිසා ඔබට ඇත්තේ ශ්‍රී මුඛයක්ම තමයි. නොවැම්බර් 17 වැනිදා සජිත්ට තිබෙන්නෙ ශ්‍රී මුඛයක් නොව ශ්‍රී සර්වාංගයක්ය කියා රටේ ජනතාව ඔප්පු කළාම ඔය මඩකාරයන්ට දුවන්න පාරවල් මදි වේවි”, අර්ල් ගුණසේකර කීවේය.
යුද්ධය අධික ලෙස පැවතුණ රාජපක්ෂ සමයේ විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම සජිත්ගේ සහායට බදාදා එක් විය. රාජපක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා ද ඒ අවස්ථාවට එක් වූයේය.


“ෆොන්සේකා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ලංකාවේ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය කරද්දි මා විදේශ ඇමැති හැටියට ඒ වගේම අසීරු ජාත්‍යන්තර යුද්ධය බලවත් සියලු රටවල් එක්ක කර අපේ යුද්ධය සාධාරණීකරණය කළා. අන්තිමට යුද වීරයා කකුල් දෙකෙන් ඇදගෙන ගිහින් හිර කර මාව දේශපාලන ලෙස අනාථ කළා.” රෝහිත බෝගොල්ලාගම එදා වූ දේ පැහැදිළි කළේය.
“යුද ජයෙන් පසු කළ යුතු ලෝක හා රට ඇතුළේ සංහිඳියාව රාජපක්ෂ ආණ්ඩුව කළේ නැහැ. බොගොල්ලාගම වගේ විදේශ ඇමති කෙනෙකු එදා හිටියා නම් එහෙම වෙන්නේ නැහැ. ජී.එස්.පී හා මාළු තහනම් එන්න නොදී බේර ගන්නත් තිබුණා.” නියෝමාල් පෙරේරා කීය.
බ්‍රහස්පතින්දා සජිත්ගේ මංගල රැලිය ගෝල්ෆෙස් හිදී පැවැත්වෙන නිසා අගමැතිවරයා ඊට අදාළ කටයුතුවල දැඩි ලෙස නිරත විය. ඒ අතරේ පැමිණ සිටි මැති-ඇමතිවරුන් සමග ද කතා කළේය.


“ඔබතුමයි, සජිත් අපේක්ෂකතුමයි අතරේ තියන බැඳීම හා එකට වැඩ කිරීම ගැන රටේ සමහරුන් තාම හරියට දන්නේ නැහැ” චමින්ද විජේසිරි, හේෂා විතානගේ මෙන්ම ආශු මාරසිංහ කීවේ එකම කතාවකි.
”සජිත් ඔඩොක්කුවේ වාඩිකරගෙන යන එක ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා. මේක අපේ හා රටේ සටනයි. රාජපක්ෂලා ඡන්ද එක දෙක එකතු කරනවිට මා සජිත්ට අරන් දෙන්නේ ඡන්ද ලක්ෂ ගණන් තොග පිටිනුයි. මට පුළුවන් තැන්වල මා උපරිම බර අදිනවා. සජිත්ට පුළුවන් තැන්වල එයා බර අදීවි. මේ සටන අප අනිවාර්යෙන් දිනනවා. කට්ටිය එකතු වෙලා කේක් එක හැදුවට මේක අයිසින් කරන්න තිබෙන්නෙ මටයි.” අගමැතිවරයා කීවේය.
“අනුරාධපුරයේ ලොකු සෙනඟ නැහැ. ඒකෙන් බාගෙට වඩා වැඩි සෙනඟක් මැද කොළඹ බල මණ්ඩලයේ හිටියා.” නවීන් දිසානායක කීවේය.
“දැන් ඇල්පිටිය ඡන්දය තීරණාත්මක ද? ඒ ප්‍රාදේශීය සභාව හැමදාම දිනා තිබෙන්නෙ ඒ අයයි. අපට වාසි තැනක මේ ඡන්දය ආවා නම් දිනන්නේ එජාපයයි. ඒ නිසා ග්‍රාම සේවා වසම් 17ක ඡන්ද ප්‍රතිඵලය ජනපතිවරණයට බලපාන්නෙ නැහැ” නවීන් දිසානායක කී දේ ද සියලු දෙනා අනුමත කළහ.
”කුඩා ප්‍රාදේශීය සභාවක ප්‍රතිඵලය හා පසුව වෙන දේවල් මා දන්නවා. 1977 මහ ඡන්දෙට මාස කීපයකට කලින් මුල්කිරිගල අතුරු මැතිවරණය එජාපය පැරදුනත් මහ මැතිවරණය මුල්කිරිගල ඇතුළු රටම අප උඩින්ම දිනුවා. 89 ජනපතිවරණෙට කලින් රත්නපුර අතුරු මැතිවරණයත් ශ්‍රීලනිපය දිනුවා. ඒත් ඊට පස්සේ තිබුණු ජනපතිවරණයෙන් දිනුවේ අපයි.” අගමැතිවරයා අතීත අත්දැකීම් ගෙන හැර පෑවේය.
“ඇල්පිටිය අපි පැරදුනා කියමු. ඊට පසුදා තියන රැස්වීම හරියට සංවිධානය කරන එකයි තිබෙන්නෙ. වැදගත්ම ඡන්දය දිනන්න ඕනෑ විදිය මා දන්නවා. බලය නැතුවත් ඒව මා ඔප්පු කළා.


2015 ජනාධිපතිවරණයට කළින් රාජපක්ෂලා ඌව දිනුවා. ඒත් ඊට මාස කිහිපයකට පසු විධායක ජනාධිපතිකම, පළාත් සභා, ප්‍රාදේශීය සභා, හමුදා හා පොලීසි, සමෘද්ධි ඔක්කොම එයාලට තිබෙද්දි 2015 ජනාධිපතිවරණය දිනුවේ කවුද? දින 52දී සියල්ල දණ ගස්සලා ආපහු බලය ගත්තේ මා නොවෙයිද? මේ ජනපතිවරණය දිනන්නෙත් ඒ විදියටමයි” අගමැතිවරයා මෙවර එජාපෙ ජනපතිවරණ ජයග්‍රහණය ගැන කතා කළේ එපරිද්දෙනි.


ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති නීතිඥවරුන්ගේ සමුළුවට දිවයිනේ සෑම අධිකරණ බල ප්‍රදේශයක්ම නියෝජනය කරමින් නීතිඥවරුන් 1,500කට වැඩි ප්‍රමාණයක් පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය. එය මෑත ඉතිහාසයේ දේශපාලන පක්ෂ අපේක්ෂකයකු වෙනුවෙන් එක් ස්ථානයකට රැස් වුණ විශාලතම නීතිඥ පිරිස ලෙස වාර්තා වෙයි. සජිත් එහි පැමිණ සිටි නීතිඥයන් සියලු දෙනා සමඟ සතුටු සාමීචියෙන් කතාබස් කරමින් මේසයෙන් මේසයට පිය නගද්දී ඔවුන්ගේ විවිධ අදහස් පළවනු ඇසිණි.
“ඔබතුමා ජනාධිපතිවරණයෙන් නිසැක වශයෙන්ම ජය ගන්නවා. එදාට මේ රට බේරලා දෙන්න. පහුගිය කාලෙ වගේ ජනතාවට ජීවත්වීමේ අයිතිය අහිමි කරන්න එපා. නිදහසේ මත පළ කරන්න, නිදහසේ දේශපාලනය කරන්න ඇති අවස්ථාව තහවුරු කරන්න. ආයෙමත් ගෝනිබිල්ලෝ, සුදුවෑන් සංස්කෘතිය ඇතිවෙන්න ඉඩ දෙන්න එපා” ඔවුහු කීහ.
සජිත් කීවේ “මම ඉදිරිපත් වුණේ රටේ ජනතාවගේ බියසැක දුරු කරලා, නිදහසේ හුස්මක් අරන්, සංවර්ධනය වුණු ශ්‍රී ලංකාවක ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදන්නයි. ඒ ඉලක්කය ගැන කිසිම සැකයක් ඇති කර ගන්න එපා” කියාය. සඳුදා දිනයේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සිය නාමයෝජනා භාරදුන් සජිත් පසුදා අලුයමින් ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා පිටත්ව ගියේ මහනුවර බලාය. ශ්‍රී දළදා මාළිගය පරිශ්‍රයේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් සජිත්ට ආශිර්වාද කළහ. නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන් සජිත්ගේ දෑත් අල්ලාගෙන පැවැසුවේ “බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබතුමා කරන සේවය විශිෂ්ටයි. ඔබතුමාගේ මේ සුබ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි අපි ප්‍රාර්ථනා කරනවා” කියාය. වෙඬරුවේ උපාලි අනුනාහිමියන් පැවැසුවේ “ඔබතුමා තාත්තගේ අඩි පාරේ ගිහින් බුද්ධශාසනය ශක්තිමත් කරන එක අගය කරනවා. අපේ පූර්ණ ආශිර්වාදය ඔබතුමාට හිමිවෙනවා” කියාය. එදින ශ්‍රී දළදා මාළිගාවේ නාථ දේවාල පරිශ්‍රයේදී භික්ෂූන් වහන්සේලා 850 නමක් පිරිත් සජ්ඣායනා කරමින් සජිත්ට ආශිර්වාද කිරීම විශේෂ සිද්ධියක් විය.


පසුවදා ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේ පැවැති විශේෂ වැඩසටහන නම්කොට තිබුණේ ‘මෙගා මයින්ඩ්ස්’ (Mega Minds) යනුවෙනි. ‘කෘත්‍රිම බුද්ධිය’ (AI) සහ ‘සුහුරු කළමනාකරණ’ වැනි නවීන තාක්ෂණික පද්ධති හා ක්‍රමවේදයන් අනුසාරයෙන් රාජ්‍ය පරිපාලනය නවීකරණය කළ හැකි ආකාරය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. සජිත් එහිදී මෛක්‍රෆෝනය සියතට ගෙන ඩෑෂ් බෝඩ් එකක් භාවිතයෙන් කළ විග්‍රහය සියල්ලන්ගේ සිත් ගත් බව පෙණිනි. එහි පැමිණ සිටි වෘත්තීයවේදීන් සජිත් වටකරගෙන කීවේ “මෙන්න මෙහෙම තමයි රට පාලනය කරන්න ඕනෑ” කියාය. සජිත් කීවේ “අනාගතයේ මේ රටේ තාක්ෂණික රාජ්‍ය පරිපාලන ක්‍රමය මම චම්පික රණවක ඇමැතිතුමාට භාර දෙන්නයි හිතාගෙන ඉන්නේ” කියාය. 
දේශපාලන උණුසුම රට වෙලා ගනිමින් තිබිය දී දේශපාලනයෙන් වියුක්තව තම සුපුරුදු කාර්යභාරයට අවතීර්ණව සිටින කථානායකවරයා ගෙවුණු සතියේ රටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට අදාළ කාර්යන් ගණනාවක නිරත විය.


කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා පාර්ලිමේන්තුව වෙත කැඳවා විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට ඵලදායක වැදගත් කරුණු රැසක් පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කරවීමට කථානායකවරයා සමත් විය.
ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ගුවන්වොම් ප්‍රාන්තයේ මහජන පාලක කොන්ග්‍රසයේ උපසභාපති ක්ෂු ශාඔහුවා ඇතුළු විශේෂ චීන දූත පිරිස ද පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසූරිය මහතා හමුවී සාකච්ඡාවක නිරතවූහ.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ගුණ සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ ද කථානායක කරු ජයසූරිය මහතාය.