එජාප ජනපතිවරණ අපේක්ෂකයා ළඟදීම


එජාප අභ්‍යන්තරය යම් තරමකින් උණුසුම් වී තිබුණ ද අගමැතිවරයා ගෙවීගිය සතිය පුරාම අදාළ සියලු උත්සව සහ රැස්වීම්වලට සහභාගි විය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ ඇමති සජිත් සමග රණාලේ ඉදිකළ නිවාස 400 කට ආසන්න සංඛ්‍යාවකින් යුත් මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණය විවෘත කිරීමට එක්වීමය.


එහිදී අගමැතිවරයාට මෙන්ම සජිත්ට ද ඉහළ ජනතා ප්‍රතිචාර හිමි විය.


බදාදා වවුනියාව රෝහලේ හදිසි අනතුරු හා වකුගඩු නිවාරණ අංශ විවෘත කිරීමට හා ඊට පසුදා මයිලඩි ධීවර වරාය සමග නිවාස සංකීර්ණය සහ තවත් ව්‍යාපෘති 6ක් ද, පසුගිය සිකුරාදා කරවෙඩ්ඩි නිවාස සංකීර්ණය ද ජනතා අයිතියට පත්කළ අගමැතිවරයා ප්‍රදේශයේ සංවර්ධනයට අදාළ රැස්වීම් කිහිපයකට ද එක් විය.


උතුරේ සංචාරයට පෙර අගමැතිවරයා දින 3ක් කොළඹ නොසිටින හෙයින් පොහොය දිනය වුවද මැති ඇමැතිවරුන් හා නිලධාරීහු රැසක් අරලියගහ මැදුරට කැඳවනු ලැබ සිටියහ.
“මහින්දගේ ඔළුවට පිස්තෝලය තියා හරි ගෝඨයි, ගෝඨගේ හමුදා සෙට් එකයි අපේක්ෂකත්වය උදුරාගත්තා. අපේ වැඩෙත් ඉක්මන් කරන්න වෙනවා. මෙතන එජාපෙ ඇතුළේ ලොකු අවුලක් කියා නැතිනම් මිනිස්සු හිතාවි.”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“එදා මහින්දගේ මූණෙ ඉරියව් එච්චර සුබවාදී නැති බව ඉරියව් විශේෂඥයන් කිහිප දෙනෙකු අන්තර් ජාලයේ විග්‍රහ කර තිබුණා. ගෝඨා දිනුවොත් නාමල් ඉවර නිසා ඔවුන් ලොකු අවුලකයි ඉන්නේ. ඒනිසා ගෝඨගේ ඡන්ද සටන එයාලා කකුලෙන් අදීවි කියලයි, ඇතුළෙන් එන ආරංචි කියන්නේ.” නවීන් දිසානායක කීවේ තමාට ලැබුණු තොරතුරු මත පදනම්වය.
“ගෝඨා අපේක්ෂකත්වයට නම් කළාට පසු පොහොට්ටුවේ හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අගමැතිතුමා හමුවුණා කියන්නේ ඇත්ත ද?” ගයන්ත කරුණාතිලක විමසූවිට අගමැතිවරයා සිනාසී ඉවත බලා ගත්තා මිසක කිසිවක් කීවේ නැත.


“තාම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලත් නැහැ. අපේක්ෂක නම් කරන්න පොහොට්ටුවට තිබෙන හදිස්සිය එජාපෙට අවශ්‍යත් නැහැ.” එසේ කීවේ චමින්ද විජේසිරිය.
“එජාපෙ අපේක්ෂකත්වය ගැන තීන්දුවකට එන්න රාජිතලා - චම්පිකලා වගේම සමහර සුළු ජාතික පක්ෂ අතරත් පොඩි කඹ ඇදිල්ලක් තිබෙනවා. සියලු දෙනාම මුලින් සමගි කරන්න වෙනවා. තව පක්ෂ එකතු කර ගන්නවා මිසක් ඉන්න අය බෙදී මේක කරන්න බැහැ. සන්ධානයත් අත්‍යවශ්‍යයි.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.


“පොහොට්ටුව ස්ටේඩියම් එක ඇතුළේ පවත්වපු රැස්වීම වගේ දහ ගුණයක සෙනඟක් ඊට පහුවැනිදා එජාපෙට බදුල්ලෙදි එකතු වුණා. පොහොට්ටුව ඒ නිසා පතුලටම වැටුණා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.


“අගමැතිතුමයි සජිතුයි දෙපැත්තට නොව එක පැත්තට කඹ අදින සැලැස්ම ඉක්මනින් ඕනෑ. දෙන්නම මස් රාත්තලේ න්‍යායෙන් මිදෙන්න අත්‍යවශ්‍යයි. බදුල්ලේ-මාතර වගේ රට පුරා රැස්වීම් තියා විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ. දෙපැත්තෙම ජ්‍යෙෂ්ඨයන්ගේ මතයටත් සවන්දී නම්‍යශීලී වීම කාගේත් වගකීමයි.” දිනේෂ් වීරක්කොඩි කීවේය.


ඇ​ෙමරිකානු පුරවැසියෙකු ජනාධිපති අපේක්ෂක කිරීම ගැන පොහොට්ටුවේ අය ලජ්ජ වෙන්න ඕනෑ. එජාපෙන් මෙහෙම කෙනෙකු අපේක්ෂකයා කළා නම් වීරවංශයි ඔය හොර නඩයයි නටන නැටිල්ල බලා ගන්න තිබුණා” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනාම අනුමත කළහ.


“හැමෝම ගෝඨගේ පුරවැසිකම ගැන විතරක් කතා කරනවා. ඒත් මා ඒ රාමුවෙන් පිට පැනලා තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියමයි කියා ඉදිරිපත් කළ මතවාදය සමාජ ජාලවල දැඩි අවධානයට ලක් වුණා.” අගමැතිවරයා කීවේය.


“ඒ වගේම ඡන්දය ඉල්ලන්න කලින් ගෝඨා ජනතාවගෙන් සමාව ඉල්ලනව ද කියන්නැයි අගමැතිතුමා කළ අභියෝගයෙන් පොහොට්ටුව සසල වෙලා කියා ආරංචියි” නවීන් දිසානායක කීවේය.


“අපි වෙනුවෙන් අපි” අරමුදලට එකතුවූ රුපියල් දශලක්ෂ 4500න් එක ගෙයක් මිලියනයක් විතර වටිනා පොඩි ගෙවල් 200 ක් විතරයි හදා තිබෙන්නේ. ඉතිරි මුදල්වලට වුණේ මොකක්ද කියලත් මෙයාලා හෙළිකරන්න ඕනෑ කියා ෆීල්ඩ් මාර්ෂල් ළඟදි කියපු කතාවත් ඉතා වටිනවා.” ගයන්ත කරුණාතිලක කීවේ එවැන්නකි.


“ප්ලාස්ටික් පොලිතීන් නැතුව ඡන්ද කරනවා කියා ගෝඨා කතාවෙදි කිව්වට පරිසරය රකිමින් දළදා පෙරහැර කරන්න අපි උත්සාහ කළත් මුළු මහනුවර ටවුමම ප්ලාස්ටික් රෙක්සින්, ඉටිකොළ, බැනර්වලින් පොහොට්ටුව මුළු මහනුවර නගරයම දූෂණය කරලා. දළදා පෙරහැරෙනුත් දේශපාලන වාසි ගන්න තරමට මෙයාලා පහළට වැටිලා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“දැන් පළාත් සභා ඡන්දය ගැන ජනාධිපති මත විමසන කතාව මොකක් ද? ආණ්ඩුවයි - පොහොට්ටුවයි දෙකම හිර කර තනතුරු ගන්න ජනාධිපති හා ශ්‍රීලනිපයේ සමහරුන් ප්ලෑන් කරනව කියා ආරංචියි.”


“ශ්‍රීලනිපයේ අය පොහොට්ටුවට ගියොත් 2015 දී වගේම ප්ලෑන් කර පොහොට්ටුවේ අය එයාලව පරද්දනවා. එජාපෙට ආවොත් ශ්‍රීලනිප අයට දිනන්න අප සහයෝගය දෙන බව ශ්‍රීලනිපයට ඒත්තු ගන්වන්න ඕනෑ.” මහාචාර්ය ආශු මාරසිංහ කළ විග්‍රහය සියලු දෙනා අනුමත කළහ.


“13 වැනි සංශෝධනය අනුව එකම රටක් තුළ පළාත් සභාවලට උපරිම බලතල බෙදිය යුතු බවට ඇමති නවීන් දිසානායක උතුරෙදි කළ කතාව ඉතා වටිනවා.” අගමැති කීවේ ප්‍රශංසා මුඛයෙනි.


“ගෝඨාභය අපේක්ෂකත්වයට නම් කරන තුරු තනියම දිනන්න පුළුවන් කියපු පොහොට්ටුව තනියම අපේක්ෂකයා නම් කර ශ්‍රීලනිපයට කොකා පෙන්නා දැන් කියනවා ශ්‍රීලනිප සහායත් එයාලට අත්‍යවශ්‍යයි කියලා. ඉතා ලාබ හා තුට්ටු දෙකේ තනතුරු කීපයකට වහල් වෙලා ආත්මයම පාවාදී ශ්‍රීලනිපය බඩගාගෙන පොහොට්ටුව ළඟට යනවද, නැද්ද කියලයි දැන් මිනිස්සු බලන් ඉන්නේ.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.


අගමැතිතුමාට අමතරව ගෝඨා ගැන හොඳම විග්‍රහය කළේ ජවිපෙ විජිත හේරතුයි. “පොහොට්ටුවේ දුර්වලම අපේක්ෂකයා ගෝඨා දාන්න තරම් රාජපක්ෂවරුන් සූක්ෂම වෙලා. පරාජය කරන්න ලේසිම අපේක්ෂ්කයා ගෝඨාභය” කියලත් විජිත කිව්වා.


“මොකද, හිට්ලර්ල-ඉඩි අමීන්ලා වගේ කෘර පාලකයන්ට දැන් නූතන ලෝකයේ ඉඩක් නැතිබව විජිත නිවැරදිව වක්‍රාකාරව විග්‍රහ කළා” මහාචාර්ය ආශු මාරසිංහ කී විට සියලු දෙනාම ඊට එකඟත්වය පළකළහ.


මන්නාරම දිස්ත්‍රික්කයේ ‘ජෝසප්වාස් නගර්’ සහ ‘ජෝසප් පුරම්’ 239 වන සහ 240 වන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම සඳහා ගිය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උණුසුම්ව පිළිගත්තේ සෙල්වම් අඩෛකලනාදන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ඇතුළු පිරිසයි. උත්සවයෙන් අනතුරුව ප්‍රදේශයේ තරුණයන් සමග පාපන්දු ක්‍රීඩා කිරීමට ද සජිත් අමතක කළේ නැත.


‘මමත් හොඳ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් තමයි. හැබැයි මම වැඩිය ප්‍රසිද්ධ ගෝල් රකින්නෙකු හැටියටයි.’ කීවේ අඩෛකලනාදන් මන්ත්‍රීවරයායි.
සජිත් කීවේ ‘හරි මම පාපන්දු ප්‍රහාරයක් එල්ල කරන්නම්. පුළුවන්‍් නම් ගෝල් එක බේරාගන්න’ කියාය.


අඩෛකලනාදන් සියල්ලන් සිනහ ගන්වමින් කීවේ ‘දැන් නම් ටිකක් අමාරු වෙයි. මොකද, ඔයාගෙ ප්‍රහාර දැන් එන්න එන්නම සැර වැඩියි.’ කියාය.
යාපනයේ ‘සෙන්තමිල් ග්‍රාමම්’ සහ ‘තිරිවේරපුරම්’ 244 වන සහ 245 වන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේ දී සජිත් හා එක්වූයේ මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනබවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. එහිදී සජිත් හමුවට පැමිණියේ වැන්දඹු මව්වරුන් පිරිසකි. ඔවුන් කීවේ තමන් ඉතා අසීරුවෙන් දුක් ගැහැට රැසක් මැද, මහත් පීඩනයකින් යුතුව ජීවත්වන බවයි. සජිත් එවෙලේම සිය නිලධාරීන් කැඳවා අමාත්‍යාංශයේ සංවර්ධන අංශය හරහා මෙම පවුල්වලට ආධාර කළ හැකි ක්‍රමවේදයක් සැකසීමේ ඇති හැකියාව සොයා බලන ලෙස දැනුම් දුන්නේය.


අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සම්පත් ඌණ විහාරස්ථානවල දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම් ගණනාවකට ද ඉකුත් සතියේ සජිත් සහභාගි විය. ඉන්දික බණ්ඩාරනායක මන්ත්‍රීවරයා ඇසුවේ ‘ඇමැතිතුමා, ඇයි මෙච්චර කලක් මේ රටේ මේ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණේ?’ කියාය. සජිත් කීවේ ‘අපි මහ පොළොවේ පය ගහලා ඇවිදින අය නිසා ගස් යට පවත්වන දහම් පාසල් අපේ ඇස් දෙකට පෙනෙනවා’ කියාය. ‘මීට අවුරුදු 4 කට කලින් මේ වැඩපිළිවෙළ අරඹන්නට හැකි වුණා නම් කොච්චර පිබිදීමක් රටේ ඇතිවෙන්න තිබුණ ද?’ ඉන්දික අසද්දී සජිත් කීවේ ‘කොහොම නමුත් පහුගිය මාස 8 ඇතුළත අපි අවුරුදු 10ක විතර වැඩ කරලා තියෙනවා’ කියාය.
මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් රණාල, ජල්තර ඉදිකළ ‘ග්‍රීන් වැලි රෙසිඩන්සීස්’ මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ‘මේක ඉතාම හොඳ ව්‍යාපෘතියක්. මේ වර්ගයේ තවත් නිවාස යෝජනා ක්‍රම තියෙනවද?’ අගමැතිවරයා ඉමහත් සතුටින් යුතුව විමසුවේය. ‘ඔව් තවත් කීපයක්ම තිබෙනවා’ සජිත් කියද්දී අගමැතිවරයා කීවේ ‘මේ වැඩසටහනින් මධ්‍යම පංතියට ලොකු හයියක් ලැබෙනවා නේද’ කියාය. ‘මෑත කාලේ කිසිම දවසක මධ්‍යම පංතිය වෙනුවෙන් මේ වගේ නැවුම් සංකල්පයක් ක්‍රියාත්මක වෙලා නෑ. මේක අපේ ආණ්ඩුවෙන්ම සැලසුම් කර ක්‍රියාත්මක කරපු සියයට සියයක්ම දේශීය ආයෝජනවලින් කරන වැඩසටහනක්’ සජිත් කියද්දී අගමැතිවරයා කීවේ ‘බොහොම හොඳයි. බොහොම හොඳයි. සජිත් බොහොම මහන්සි වෙලා වැඩ කරන බව මට පේනවා. එක දවසක යාපනේ, ඊළඟට මන්නාරමේ ආයෙත් බලනකොට කුරුණෑගල. මහන්සි නොබලා රට පුරා යනවා නේද?’ කියාය. සජිත් කීවේ මාත් තාත්තා වගේම තමයි. මටත් මිනිස්සු දකින කොට මහන්සිය නැතිවෙනවා කියාය. හෝම්ස් ලෑන්ඩ් සභාපති නලීන් හේරත් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.


එදිනම සවස හරීන් ප්‍රනාන්දු බදුල්ල විල්ස් පාක් ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ‘සජිත් එනවා’ මහා ජන රැලියට ගුවනින් යාමට සැලසුම් කර තිබුණත් පැවැති ඉතා අයහපත් කාලගුණ තත්ත්වය නිසා අවසානයේ දී සිදුවූයේ මහා මාර්ගය ඔස්සේ යාමටය. විල්ස් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී තිබුණේය. මහා ඔල්වරසන් හඬ මැද්දේ ජනතාව සජිත් ඔසවාගෙන විත් වේදිකාව මත තබද්දී හරීන් ඇසුවේ ‘ඇමැතිතුමා අමුතුම ක්‍රමයකට නේද වේදිකාවට ආවේ’ කියාය. ‘ජනතාවගේ නැවුම් බලාපොරොත්තු අවදි වුණාම ඔහොම තමයි’ සජිත් කියද්දී හරීන් කීවේ ‘ඒ පෙර නිමිති දැකලයි මම මේක සංවිධානය කළේ’ කියාය. ‘හරීන්, 2014 දී අරඹපු ජනතා විප්ලවයේ පෙරගමන්කරුවා ඔයා. මෙදා හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය කළෙත් ඔයාමයි. බොහොමත්ම ස්තුතියි’ සජිත් හැඟුම්බරව කීවේය.


ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් මේ වන විට තම අපේක්ෂකයා කවුරුන් දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ එක් පාර්ශ්වයක් පමණි. මෙම තත්ත්වය තුළ පසුගිය සතියේ පැවති එජාපයේ නිල මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම කියැවුණේ තම පක්ෂයේ සම්ප්‍රදායට අනුව මෙතරම් කලින් අපේක්ෂකයා නම් කිරීම සිදු නොවන බවත්, නිසි අවස්ථාවට සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇති බවත්ය.


එහෙත් ජනපති අපේක්ෂකත්වය පිළිබඳව යම් අර්බුදයක් ලියලා එන ලකුණු පහළ වී ඇති බැවින්, එයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමින් බොහෝ පාර්ශ්වයන් ගෙවුණු සතියේ සොයාගෙන ආවේ කතානායක කරු ජයසූරිය මහතාය.


මේ අතරට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නායක කාරකාදීන්, මෙන්ම පක්ෂයට හිතවත් භික්ෂුන් වහන්සේලා ද වූහ.


“කවුරුත් ඔබතුමාගේ හඬට සවන් දෙනවා, දින 52 කේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඔබ තුමා කළ කැපවීම නැත්නම් අද ආණ්ඩුවකුත් නෑ, එහෙනම් එක්සත් ජාතික පක්ෂයටත් ඡන්ද කරන්න වෙන්නේ විපක්ෂයේ ඉඳගෙනයි. 2013 දිත් නායකත්ව මණ්ඩලය හදලා එහි සභාපති හැටියට බෙදිලා තිබුණු පක්ෂය ජය මාවතට ගෙන ගියේ ඔබතුමා. මේ වේලාවේ මේකට මැදහත් වෙන්න. මැදිහත් වුණොත් හැමෝටම සාධාරණය ඉටු කරන්න ඔබ තුමාට පුළුවන්”


“මම විශ්වාස කරනවා සෑම පුද්ගලයෙකුටම වටිනාකමක් කාර්ය භාරයක් තිබෙනවා කියලා. කිසිම කෙනෙක් ඉවත් කරලා පක්ෂයට ගමනක් යන්න බැහැ, ඒ නිසා පක්ෂයේ කවුරුත් පිල් බෙදිලා එකිනෙකා විවේචනය කළ යුතු නැහැ. කිසිම කෙනෙකුට තනි ගමනක් යන්න බැහැ, හැමෝගේම ගෞරවය ආරක්ෂා කළ යුතුයි, මේ තත්ත්වය තේරුම් නොගැනීම ගැන මට විශාල කනගාටුවක් තිබෙනවා. නමුත්, මේ දැවැන්ත එක්සත් ජාතික පක්ෂ පවුල සමගි කරන්න ඕනෑම කැපවීමක් කරන්න මම ලැස්තියි. ඔබ තුමාලා අදාළ පාර්ශ්ව එක්ක මූලිකව කථා කරන්න මම අවශ්‍ය මැදහත්වීම කරන්නම්” යනුවෙන් පැවසූ කතානායකවරයා සමගියෙන් ජයග්‍රහණය හඹා යා හැකි බව විශ්වාස කරමින් තමා හමුවට පැමිණීම ගැන ද සියලු දෙනාටම කෘතඥතාව පළ කළේය.


අපේම බෞද්ධයන් යයි කියා ගත් සමහර අයගේ විවිධ බාධක මැද ඓතිහාසික කූරගල පුදබිමට විදුලිය ලබා දීමට ගත් පියවර වගේම පූජනීය සිද්ධස්ථානවලට නොමිලේම විදුලිය සැපයීමට ගත් පියවර ආලෝකො උදපාදී යන විශාල පුණ්‍යකර්මයක් බව උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පැමිණි කොළොන්නාවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමති රවි කරුණානායක මහතාට කීය.


එම මන්ත්‍රීවරයා එහිදී බදුල්ල රැලියට විරුද්ධව ද යමක් කීවේය.


‘මටත් ආරංචියි බදුල්ලේ රැස්වීම ගැන. ඒ ගිය අයම මට කියනවා. මේවා ඇවිල්ලා දේශපාලන සංදර්ශන. මේවට රැවටුණු යුගයක් තිබුණා. සෙනඟ ගෙනා පමණින් ඡන්දයක් දිනන්න බෑ. මට මතකයි එස්.බී. දිසානායක මහත්තයාම කිව්වා පළමු පාර ඡන්දය ඉල්ලන කොට ඡන්දයට උදව් කරන්න දෙතුන් ද‌ාහක් දෙනා මාස ගණන් තුන්වේලම කාගෙන හිටියයි කියලා. අන්තිමට ඡන්දය ගණන් ​කරන කොට ඡන්ද තිබිලා තියෙන්නේ පන්සිය ගණනක්. ඒ ඡන්ද ප්‍රතිඵල දෙන කොටත් දෙතුන් ද‌ාහක් තුන්වේලම කාගෙන ඉන්න පිරිසක් ගෙදර ඉදලා. මේක තමයි ඇත්ත. ඒක කොහොම වුණත් මේ බදුල්ල රැස්වීම තියලා තියෙන්නේ බදුල්ල උද‌ාගමක් ජනතා අයිතියට පත් කරනවා. ඒකට නිවාස ඇමැති බදුල්ලට එන පළමු අවස්ථාව නිසා මේ වගේ රැස්වීමක් සංවිධානය කළායි කියලා තමයි පක්ෂයේ මහලේකම්ට ලියලා යවලා තියෙන්නේ. ඒක පට්ටපල් බොරුවක් අන්තිමට ජනතා අයිතියට පත් කළ උද‌ාගමක් නැහැ. ඒකත් අවලංගු කරලා. රවි කරුණානායක ඇමැතිවරයා කීවේ දැඩි ආවේගයෙනි.