එජාප ඇමැතිවරුන් පිරිවරාගෙන ​ජනපති මොරගහකන්දේ


අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන දිනයක් බැවින්, සඳුදා හැන්දෑවේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1දී විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. වෙනදා ඒකාබද්ධ විපක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ​ෙය්ත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වෙන වෙනම පැවැත්වුණත් දැන් පැවැත්වෙන්නේ එකටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් එම රැස්වීමට සහභාගි වෙති. ජනාධිපතිවරයාත්, විපක්ෂ නායකවරයාත්, නිමල් සිරිපාල, දිනේෂ් ගුණවර්ධන සහ මහින්ද අමරවීරත්, ප්‍රධාන මේසයේ අසුන් ගත්හ. 


පාර්ලිමේන්තු සතියේ පැවැත්වෙන විවාද ගැන මුලින්ම පැහැදිලි කළ මහින්ද අමරවීර මන්ත්‍රීවරයා එහිදී කතා කිරීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන්ගේ නම් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය. අනතුරුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අවස්ථාව දුන්නේය. මුලින්ම නැගී සිටි මොනරාගල පද්ම උදය ශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය අගය කරමින්, ජනාධිපතිවරයාට ප්‍රසාදය පළකිරීමේ යෝජනාවක් මන්ත්‍රී කණ්ඩායම එක්ව ගෙන ආ යුතු බව කීවේය. එහිදී මන්ත්‍රීවරුන් සියලු දෙනා උදය ශාන්ත මන්ත්‍රීවරයාගේ යෝජනාව අනුමත කරමින්, ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කළේ අත්පුඩි ගසමිනි. ‘‘මට ඕන මේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම විතරක් නොවෙයි. එය ලෝක උරුමයක් බවට පත්කිරීමයි. එ්කට මට ඔබතුමාලා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න’’ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ, ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කියල යෝජනාවක් ඔබතුමාලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න කියාය. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දෙස බැලූ ජනාධිපතිවරයා ‘‘ගම්මන්පිල මන්ත්‍රීතුමා මේක බාරගෙන කරන්න පුළුවන් නේදැයි’’ විමසා සිටියේය. ඒ අනුව ගම්මන්පිල වැඩේ බාර ගත්තේය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙනත් කරුණක් මතු කළේ තමා කළ ප්‍රකාශයක් මාධ්‍ය හරහා වැරදි ආකාරයෙන් ප්‍රචාරය වීමෙන්, ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව කියමිනි. ජනාධිපතිතුමන් ගැන මම කරපු ප්‍රකාශයක් පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වෙලා තියනවා. මම ප්‍රශ්න හතරකට දුන්න උත්තර, අදාළ මාධ්‍යවේදියා සංස්කරණය කරපු නිසා ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා.


‘මගෙන් ඇහුවම පක්ෂයේ ලේකම්කම භාරගැනීම අභියෝගයක් ද කියල මම කිව්වෙ යකාට බයනම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ කියලයි. ඒත් ඒක මාධ්‍යවේදියා සංස්කරණය කරල දැම්මෙ වෙනින් විදියකට. හිටපු ජනාධිපතිතුමාත් ඒ ගැන කතා කරල තිබුණ. ජනාධිපතිතුමාත් මට දොස් කිව්වා. මම හැමදාම දෙපාර්ශ්වයෙ සමඟිය වෙනුවෙන් පෙනී හිටිය කෙනෙක්. ඒ නිසා මම දිහා අවබෝධයෙන් බලන්න කියලයි ඔබතුමාලගෙන් ඉල්ලන්නේ’ යැයි දයාසිරි කීවේය. ජනාධිපතිවරයා ද දයාසිරිට කීවේ ‘ඔයා දැන් පක්ෂයක මහ​ලේකම් කෙනෙක්. තවත් පක්ෂයක මන්ත්‍රීවරයෙක් නෙවෙයි’. කියාය. හිටපු ජනපති මහින්ද ද කීවේ එවැන්නකි. ‘දයාසිරි දැන් ඔයා පක්ෂයක මහලේකම් කෙනෙක්. ජනාධිපතිතුමාගේ පක්ෂයෙ ලේකම් නිසා වගකීම තව වැඩියි. ඒ නිසා පක්ෂයේ මහලේකම් කියන එක මතක තියාගෙන වැඩකළොත් වඩා හොඳයි’ යැයි මහින්ද කියා සිටියේය.  
අනතුරුව ජනාධිපතිවරයා කතා කළේය. ‘‘අපි මහ ඡන්දයක් දෙන්න ගත්ත උත්සාහය අසාර්ථක වුණා. පළාත් සභා ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් හඬක් නගන්න ඕන’’ යැයි ජනාධිපතිවරයා කියද්දී දිනේෂ් ගුණවර්ධන කීවේ පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය කරන්න පාර්ලිමේන්තුවෙන් අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මත් එහි වාර්තාව තවම ලැබී නැති බවය. දැන් ඒ සීමානිර්ණ කමිටු වාර්තාව අහෝසි වී ඇති බවද දිනේෂ් කීවේය. ‘ඔයාලා ඒ කරුණු මතුකරල ඡන්දයක් ඉක්මනින් ගන්න ඕන’ යැයි ජනාධිපතිවරයා ද කීවේය. ඒ සමඟම පාර්ලිමේන්තු මැතිවරණයක් ඉක්මනින් ලබාගැනීම සඳහා බලපෑම් කිරීමට ද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය විය.   
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්ව ගිය බදාදාට හරියටම වසර හතරකි. ජනපති පදවි ප්‍රාප්තියේ සිව්වන සැමරුම වෙනුවෙන් වෙනම උත්සව සංවිධානය නොවූ අතර සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීම හා ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කෙරිණි. ඒ අනුව ගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් හා පසුදින සපිරිකර දක්ෂිණාවක් පිරිනැමුවේ ජනාධිපතිවරයාට ආශිර්වාද කරමිනි. එය සංවිධානය කර තිබුණේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසිනි.  


හිටපු අගමැති හා ශ්‍රීලනිප නිර්මාතෘ එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වන ජන්ම දිනය යෙදී තිබුණේ ද ගිය 8 වැනිදාටය. එදින ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය පැවැත්වුණේ ද ජනපති ​මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීවරු ද ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද පුෂ්පෝපහාර දක්වන්නට පැමිණ සිටියහ. ජනපති මෛත්‍රී පැමිණ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා පිටත්ව යද්දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද පැමිණියාය. එහෙත් දෙදෙනාට දෙදෙනා මඟහැර ගියේ වචනයක් හෝ කතා නොකරමිනි. ජනාධිපතිවරයා පිටත්ව ගිය පසුව හිටපු ජනාධිපතිනියත්, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියත් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.   


මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ලග්ගල නව හරිත නගරය සහ කළුගඟ ජලාශය එදින විවෘත වූයේ ද ජනපති පදවි ප්‍රාප්තියේ සිව්වන සැමරුමට සමගාමීවය. බණ්ඩාරනායක දින උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා කෙළින්ම ලග්ගල බලා පිටත්ව ගියේ ලග්ගල නව හරිත නගරය ඇතුළු ව්‍යාපෘති රැසක් විවෘත කිරීමට කටයුතු යොදාගෙන තිබූ බැවිනි. සජිත් ප්‍රේමදාස, හැරිසන්, රාජිත සේනාරත්න, චන්ද්‍රාණි බණ්ඩාර, දයා ගමගේ, ජයවික්‍රම පෙරේරා ඇතුළු එජාප මැති ඇමැතිවරු පිරිසක් ද මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුද ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේෂල ජයරත්න, මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් ද උත්සවයට පැමිණ සිටියහ. එජාපයේ මැති ඇමැතිවරුන් පිරිස කොළඹ සිට හෙලිකොප්ටර්වලින් පැමිණ තිබුණේ සවස පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට තිබූ බැවිනි. ලග්ගල නව හරිත නගරය විවෘත කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කරන්නට ජනාධිපතිවරයා යද්දී රාජිත සේනාරත්න ඇමැතිවරයාද එහි සිටියේය. පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් සමඟ රාජිත ජනපති මෛත්‍රී දැඩිව විවේචනය කළ එජාප ඇමැතිවරයෙකි. රාජිත දුටු ජනාධිපතිවරයා ආ ඩොක්ටත් ආවාදැයි විමසා සිටියේය.  


සියලු පහසුකම්වලින් සමන්විත ලග්ගල නව හරිත නගරයෙහි විශේෂත්වය වන්නේ එය මෑත ඉතිහාසයේ ඉදිකළ විධිමත්ම නගරය වන බැවිනි. නව නගරයෙ ඉදිකිරීම් විවෘත කර ජනාධිපතිවරයා කළුගඟ ජලාශය විවෘත කරන්නටද ගියේ සජිත් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිස ද සමඟය. මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපාතිය මෛත්‍රීගේ හිතේ තිබූ සිහිනයකි. එය සැබැ කරගැනීමට හැකිවීම ගැන ඔහු සිටියේ අප්‍රමාණ සන්තෝසයකිනි. පිරිස වෙනුවෙන් දිවා භෝජනය ලග්ගල නව නගරයේ ඉදිකළ පාසලේදී සූදානම් කර තිබිණි. ජනාධිපතිවරයා, රාජිත, මහින්ද සමරසිංහ ඇතුළු පිරිස සමඟ දිවා භෝජනයට එක්වුව ද සජිත් ඇතුළු පිරිසක් දිවා භෝජන සංග්‍රහයට නොසිට පාර්ලිමේන්තුවට යන්නට කොළඹ බලා පිටත්ව ආවෝය.  


ලග්ගල නව නගරය විවෘත කිරීමේ ජනහමුව පැවැත්වුණේ එදින සවසය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට ද මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ. රැස්වීම අමතන අතරේ සරත් ඒකනායක ආණ්ඩුකාරවරයා පාලි පාඨයක් කියමින් ජනාධිපතිවරයා ගැන කීවේය. කතාව අවසන් කර පැමිණ ඉඳගත් ඔහුගෙන් ජනාධිපතිවරයා ඇසුවේ ඔයා ඒ පාඨය හරියට කිව්වද කියාය. ඒ සමඟම ජනාධිපතිවරයා රැස්වීම අතරේම දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමියන් ළඟට ගොස් මහ ඇමැතිවරයා ඒ පාඨය කිව්වා හරි දැයි විමසා සිටියේය. අනුනාහිමියන් ද කීවේ එය ඔහු හරියට කියා ඇති බවය.  


පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මාරු කිරීමේ අවශ්‍යතාවක් ජනාධිපතිවරයාට මාස ගණනාවක් තිස්සේ තිබිණි. ඔහු ඒ බව වරක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදි ද පවසා තිබිණි. ඒ අනුව ඉකුත් සතියේ සිකුරාදා උදේ ජනාධිපතිවරයා අලුතෙන් ආණ්ඩුකාරවරුන් 5 දෙනකු පත් කළේ හිටපු ආණ්ඩුකාරවරුන් 5 දෙනකු ඉවත් කරමිනි. අලුතින් පත්කළ ආණ්ඩුකාරවරුන් 5 දෙනාගෙන් දෙදෙනෙක්ම හිටපු මහ ඇමැතිවරු දෙදෙනෙකි. ඒ සරත් ඒකනායක සහ පේෂල ජයරත්නය. ඔවුන් දෙදෙනා කලින් දින රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ පසුවදා උදේ පැමිණ හමුවන ලෙසය. එහෙත් ඒ කුමකටදැයි යන්න දැනුම් දී නොතිබිණි.  
මේ අතර ගිය සඳුදා තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූහ. ඉන් ඌවට පත්කළ කීර්ති තෙන්නකෝන් සම්බන්ධයෙන් ඌව මහඇමැති චාමර සම්පත් දසනායක දැඩි විරෝධය පළකර තිබිණි. කීර්ති තෙන්නකෝන් ඌව ආණ්ඩුකාර ලෙස එන්නේ නම් තමාට ඌවේ මහ ඇමැතිධුරය දැරිය නොහැකි බවත් ඉල්ලා අස්වන බවත් චාමර කියා තිබිණි. පසුවදා කීර්ති තෙන්නකෝන් දකුණේ ආණ්ඩුකාර ලෙසත් මාර්ෂල් පෙරේරා ඌවේ ආණ්ඩුකාරවරයා ලෙසත් නැවත දිවුරුම් දුන්නේ එම විරෝධය හේතුවෙනි. මේ අතර හිටපු ආණ්ඩුකාරවරුන් නව දෙනාගෙන් අට දෙනකුම විසිවෙද්දී ඉතිරි වූ එකම ආණ්ඩුකාරවරයා මාර්ෂල් පෙරේරාය.


විපක්ෂනායක වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල කාර්යාලය සඳහා ලේකම් ධුරයට නිලධාරියකු තවමත් පත් කිරීමට රජය කටයුතු කර නැත.


මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පත්කිරීමෙන් අනතුරුව ඒ මහතා විසින් තම ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන හර්ෂ විජේවර්ධන මහතා ද විපක්ෂනායක කාර්යාලයේ අතිරේක ලේකම් ධුරයට නීතිඥ චමින්ද කුලරත්න මහතා ද පත්කර දෙන මෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් එකී ඉල්ලීම 2019.01.02 දින 18/2876/102/004 අංක දරණ කැබිනට් පත්‍රිකාව මගින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී අග්‍රාමාත්‍යවරයාගේම දැනුම් දීම පරිදි එම කැබිනට් පත්‍රිකාව පසුව සලකා බැලීම සඳහා කල් තබන ලදී. නමුත් එදින කැබිනට් මණ්ඩලය විසින් හිටපු සභානායක ලේකම් සුමිත් විජේසිංහ මහතා ඉවත් කොට පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් ධුරයට අබ්දුල් නවුෆර් රහ්මන් මහතා පත්කර ගැනීම අනුමත කරන ලදී.


ඒ අනුව විපක්ෂනායක ලේකම් ධුරය හා අතිරේක ලේකම් ධුරය හා සම්බන්ධ කැබිනට් පත්‍රිකාව නැවතත් 2019.01.07 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අතර එහිදී අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් තීරණය කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ එකඟතාවය විමසිය යුතු බවයි. මේ වන තෙක් ඉතිහාසයේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලේකම් ධුරය, ආණ්ඩුපක්ෂ ලේකම් ධුරය හා සභානායක ලේකම් ධුරය සඳහා පුද්ගලයින් පත් කිරීමේදී කථානායකතුමාගේ හෝ මහලේකම්වරයාගේ එකඟතාව විමසා නැති බව විපක්ෂයේ අදහසයි.


කෙසේ වුවද පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරයා විසින් 2019.01.07 දිනැති ලිපිය මගින් අග්‍රාමාත්‍ය ලේකම් වෙත දන්වා ඇත්තේ විපක්ෂනායකතුමාගේ ඉල්ලීම පරිදි අද‌ාළ නිලධාරින් විපක්ෂනායක ලේකම් ධුරයට හා විපක්ෂනායක අතිරේක ලේකම් ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් කථානායකතුමා එකඟතාව පළකරන බවයි. විපක්ෂනායක කාර්යාලයේ මීට පෙර අතිරේක ලේකම් තනතුරක් නොතිබුණ ද පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු සිටී. එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා එකී මන්ත්‍රීවරුන්ගේ කටයුතු සඳහා ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය හා සභානායක කාර්යාලය ලෙස කාර්යාල දෙකක් පැවතිය ද විපක්ෂයේ හා එකී මන්ත්‍රීවරුන්ගේ සියලුම කටයුතු සඳහා ඇත්තේ විපක්ෂනායක කාර්යාලය පමණක් බව විපක්ෂයේ මතයයි.


මේ තත්ත්වය නිසා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක වශයෙන් කථානායකවරයා විසින් දෙවරක්ම නිවේදනය කර තිබුණ ද ඔහුගේ ලේකම් ධුරයට ඔහුට අවශ්‍ය අයෙකු පත්කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොදීම නිසා ඔහුට මේ වන තෙක් විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාරගැනීමට නොහැකි වී ඇත.


විපක්ෂනායක ලේකම් ධුරය හා අතිරේක ලේකම් ධුරය සම්බන්ධ කැබිනට් පත්‍රිකාව නැවතත් 2019.01.14 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එකී තීරණය අනුව මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයේ වැඩ භාරගන්නා දිනය තීන්දු වීමට නියමිතය.


පොදුජන පෙරමුණ මේ දිනවල සිටින්නේ පක්ෂයේ අනුබද්ධ සංවිධාන පිහිටුවමිනි. ගියසතිය පුරා බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා නෙළුම් මාවත කාර්යාලයට වී පක්ෂයේ අනුබද්ධ සංවිධාන පිහිටුවීමේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විය. ගාමිණි ලොකුගේ, ලක්ෂ්මන් යාපා, රෝහිත අබේගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද  ඒ සඳහා එක්ව සිටියහ. මේ අතර ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජර්මන් මහාචාර්යවරයෙක් ගිය සතියේ බැසිල් සොයාගෙන නෙළුම් මාවත කාර්යාලයට පැමිණියේය. ඔහු නමින් හාර්ඩ් ස්කෝර්ය. නිවාඩුවක් ගතකිරීමට පැමිණි ජර්මන් මහාචාර්යවරයා බැසිල් හමුවන්නට පැමිණ සිටියේ ඔහුගේ ශ්‍රීලාංකික මිතුරකු සමඟය.  


විශේෂ උපන් දින සාදයක් පසුගියද‌ා සඳුද‌ා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේදී පැවැත්විණි. ඒ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ වසර 13 ක් අඛණ්ඩව කටයුතු කළ මාධ්‍ය ලේකම් පැතුම් පැස්කුවල්ගේය. මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට එක්වී සිටියේ දීර්ඝ කාලයක් ඇසුරු කළ මිතුරාට සුබ පැතීමටය. රෑ බෝවන්නට සාදය දේශපාලන කථා බහින් ඔකඳ වූයේ වරෙක ජ්‍යෙෂ්ඨයන් නැගූ තර්ක නිසාවෙනි. කොහොම නමුත් රංජිත් සියඹලාපිටිය හිටපු අමාත්‍යවරයා ද හරි හරියට තර්ක විතර්කවලට පිළිතුරු සපයමින් මධ්‍යම රාත්‍රිය වන තෙක්ම රැඳී සිටියේය.


‘ඇමැතිතුමා ආණ්ඩුව ගන්න පුළුවන්ද’ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුගේ පැනයකි.


‘වෙසක් හඳට අපි අලුත් ආණ්ඩුව හදනවා...’ රංජිත් උත්තර දුන්නේය.