එජාප අපේක්ෂකයාට බාලගිරි දෝෂයද?


ජනපතිවරණය අත ළඟ යයි පැවසෙන පසුබිමක දැඩි ආරවුල් හා මත ගැටුම් මැද පොහොට්ටුවේ අපේක්ෂක නම්කර හමාරය. ජවිපෙ අපේක්ෂකයාද කල එළි බැස තිබේ.


එහෙත් ජනපතිවරණයේ ජයග්‍රහණය එජාපෙ සතු බවට පසුබිම නිර්මාණය වී තිබෙන බවට මත එළි දැකීමත් සමඟ රනිල්-සජිත්-කරූ-ෆොන්සේකා-කිරිඇල්ල ඇතුළු පිරිස තම අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමේ සීතල අරගලය එජාපය තුළ දියත් කළහ. සීතල අරගලය ගිනියම් වූයේ සජිත් ඇතුළු ප්‍රබල කණ්ඩායම සටන මහ පාරට ගෙන ඒමත් සමඟය.


‘‘ජනාධිපතිවරණය තාම ප්‍රකාශයට පත්කර නැහැ. ඒ නිසා එජාපෙට අපේක්ෂක නම් කරන්න හදිසියකුත් නැහැ” මත අරගලය යටපත් කරන්න එජාපයේ සියලු පාර්ශ්ව කියනුයේ එවැනි කතාවකි.


අගමැතිගේ උපදෙස් මත බස්නාහිර පළාතම මහ නගරය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ දියත් කළ චම්පික රණවක බ්‍රහස්පතින්දා තවත් ඉතා ජනතාවාදී ව්‍යාපෘතියකට මුලපිරුවේය. ඒ කොළඹ-කොටුවේ සිට කොල්ලුපිටිය ආසන්නය දක්වා බේරේ වැවේ බෝට්ටු මගී ප්‍රවාහන සේවය අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමය.
‘‘අද මාර වැස්සක් වහිනවා. බෝට්ටුව කුණාටුවකට අහුවේවිද දන්නේ නැහැ” යයි විහිළු කළ අගමැතිවරයා එහි යෑමට පෙර අරලියගහ මැදුරේදී තමා හමුවට පැමිණ සිටි මැති ඇමතිවරුන්ට කියා කොක් හඬලා සිනාසුණේය.


‘‘එහෙමනම් ව්‍යාපෘතිය විවෘත කිරීම කර පසු දවසක බෝට්ටු පදින්න”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද සිනා සෙමිනි.


‘‘කිසි දේකට බය වෙන්න එපා. අප දාන බෝට්ටු සුනාමියටවත් පෙරළෙන්නෙ නැහැ.” චමිපික රණවක කීවේද සියල්ලන්ම සිනා ගස්සවමිනි.


‘‘ජනාධිපතිවරණය තවම ප්‍රකාශ කළේ නැතත් අපේ අපේක්ෂක ඉක්මනින් ලෑස්ති කරන්න ඕනෑ.”, චමින්ද විජේසිරි කීය.


‘‘හොඳ අපේක්ෂක වගේම ජයග්‍රහණයට ශක්තිමත් සන්ධානයකුත් ඕනෑ. මුලින් ඉදිරිපත් කළ සන්ධානේ ව්‍යවස්ථාවට අපේ සමහරුන් සංශෝධන ඕනෑ කිව්වා. අප ඒකට අවස්ථාව දුන්නා. ඒත් සංශෝධන දෙන්න බාර ගත්ත කබීර් තාම ඒක බාර දුන්නේ නැහැ. කෙටුම්පතක් විදියට දෙන්නයි, එකග වුණේ.”, අගමැති පැහැදිලි කළේය.


‘‘පරක්කු වෙන්න හේතුව ගැන ඒ අය අතරත් මත ගැටුම් තිබෙනවද දන්නේ නැහැ. මේවා ඉක්මනින් අවසන් වෙන්න ඕනෑ.”, අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීය.
කබීර්, රාජිතට පොරොන්දු වෙච්ච සන්ධාන ව්‍යවස්ථා කෙටුම්පත තාම නැති එකෙන් වැඩ තව පරක්කු වෙනවා. ‘‘ඒක හරි නැහැ. කවුරුත් එකතු වෙලා මේවා ඉක්මන් කරන්න ඕනෑ,” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


‘‘අවසන් කෙටුම්පත ඉක්මන් කරන්නැයි පක්ෂ නායකයොත් අගමැතිතුමාට බල කරනවා. එයාල ගැලවිලා යන්නත් බැරි නැහැ. මේ පාර මුස්ලිම් ඡන්ද පොහොට්ටුවට බින්දුව නිසා හකීම්ලට දැල එළන්න එයාලා ට්‍රයි කරනවාලු”, දිනේෂ් වීරක්කොඩි කීය.


‘‘සජිත් ඇමතිතුමා කැඳවන පළාත් සභා හා මන්ත්‍රීලාගේ හමුවලට ලොකු සංඛ්‍යාවක් එනවාද?” හේෂා විතානගේ විමසීය.


‘‘පෙන්වන සංඛ්‍යා ලේඛන ගැන පොඩි ප්‍රශ්න තිබෙනවා. සමහරුන් එජාපයෙන් ගිය අයලු. මැති-ඇමතිවරුන්ට ආරාධනා කර තිබුණේ ඇමති සුජීවගේ ගෙදරට නොවෙයි. බාන්ස් ප්ලේස් එකේ දොස්තර කෙනෙකුගේ ගෙදරටලු. ඒ දොස්තර ඉස්සර මෛත්‍රී ඇමති කාළේ එයාගේ පෞද්ගලික දොස්තර හැටියටත් වැඩ කරපු කෙනෙක්ලු ” අරලියගහ මැදුරේ නිලධාරියෙකු කීවේ එවැනි කථාවකි.


‘‘එදා රෑ පාටියට ටී.වී. කැමරා ගෙනාපු එක ගැන පාලිත තෙවරප්පෙරුම ඇතුළු අය දොස් කිව්වා’’ මහාචාර්ය ආශු මාරසිංහ කීය.


‘‘අද කෑගල්ල දිසාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් සජිත් ඉල්ලා උද්ඝෝෂණයක් කරනවා නේද?” ගයන්ත කරුණාතිලක කීවේය.


‘‘ එජාප සභාපති කබීර් ඒ ගැන දන්නේ නැහැ කියන්නේ? ඊයෙලු එයා දන්නේ’’ යයි අගමැතිවරයා කීවේ මද උපහාසයක්ද සමගිනි.


‘‘ උඩින් තුන් දෙනෙකු ඉන්දැද්දි යුද හමුදා මාණ්ඩලික තනතුර කෙනෙකුට දී එයා හමුදාපතිත් කරලා. ලංකාවට එරෙහි මානව හිමිකම් යුද අපරාධ ගැන ජාත්‍යන්තරව යටපත්ව තිබූ කතා මේවා එක්ක ආපහු එළියට ආවා.”


අපේ ප්‍රවාහනයට ඇ​ෙමරිකාව දෙන්න හිටපු ඩොලර් දස ලක්ෂ 480 දැන් නොදෙන තත්ත්වයක් ඇතිවෙලා මේකට යුරෝපා සංගමයත් අත ගැහුවොත් ජී.එස්.පී. ප්ලස් හා අපේ මාළුවලටත් අබ සරණයි.”, එජාප නීති නිලධාරියෙක් කීය.


‘‘ ලංකාවේ හමුදාව සාම සාධක හමුදාවලට යවන එකත් මේ ප්‍රශ්නයත් එක්ක නවතින්න පුළුවන් කියලයි ආරංචි’’ ඔක්කොම ගත්තාම මේ ආණ්ඩුව අමාරුවෙන් ගොඩ දාපු ලංකාවේ ආර්ථිකයටයි, පහර වදින්නේ. එක් කෙනෙකු නිසා රටේම ජනතාවට වන්දි ගෙවන්න වුණොත් ඒක කනගාටුදායක තත්ත්වයක්”, දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට කාගෙත් එකඟත්වය පළවිය.


‘‘රටේ ලක්ෂ 25ක ජනතාවට ඉඩම් දෙන්න මේ ආණ්ඩුව ක්‍රියා කළා. ඒත් කුහක පොහොට්ටුව ඇතුළු විපක්ෂය උසාවි ගිහින් ඒක නවත්තලා රටේ ඉඩම් නැති දුප්පතුන් ආපහු අනාථ කළා”, ගයන්ත කරුණාතිලක කීවේ ඉතා කනගාටුවෙනි.


‘‘මේ පනත හරහා පිටරට අයටත් ඉඩම් දෙන්න හදන බවට විපක්ෂය කරන චෝදනාව අලි බොරුවක්. රාජපක්ෂලා ෂැංග්‍රිලා එකට අපේ හමුදා මුලස්ථානය දෙනවිටයි, ඇ​ෙමරිකාවේ ඩෝල් සමාගමට කෙසෙල් වවන්න සෝමාවතියේ අක්කර 15,000 ක් දෙනකොටයි, මේ පනත තිබිලද දුන්නේ?” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගෙත් අවධානය යොමුවිය.


‘‘ලංකාවට විරුද්ධව යළිත් ජාත්‍යන්තර මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා මතු වුණාම අපේ හමුදාවල අයට විදේශවලට වීසා නොදෙන අනතුර තිබෙනවා කියලත් ආරංචියි”, මහාචාර්ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.


‘‘ එක්සත් ජාතීනුත් ලංකාව ගැන උනන්දුයි. අපේ හමුදා පහුගිය වසර 04 පුරා සාම සාධක හමුදාවලට ගිහින් ගෙනා කෝටි ගණන් විදේශ විනිමයත් රටට අහිමි වෙන බවට අනතුරක් තිබෙනවා කියලත් ආරංචියි.” චමින්ද විජේසිරි හා හේෂා විතානගේ කීවේ එකම කතාවකි.


‘‘ නව හමුදා ප්‍රධානියා පත් කරන විට අගමැතිතුමාගෙන් ඇහුවද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ තීරණාත්මක පැනයකි.


‘‘ඉතා කනගාටුදායක තත්ත්වයක්. මේ පත් කිරීම ගැන මා කිසි දෙයක් දන්නේ නැහැ.” අගමැති කීවේ නළල රැලි ගන්වමිනි.


‘‘දැන් එජාපය ඇතුළේ ”ඩිනර් තරගය” තිබෙනවා. අපට හොඳට කාලා බීලා ඉන්න ලැබෙන කාලය මේකයි” චමින්ද, හේෂා හා ආශු කීවේ කොක් හඬළමිනි.


‘‘ආණ්ඩුවට වසර 04 පිරෙන එකට මා සිකුරාදා ඩිනර් එක සූදානම් කළේ සති 02 කට කලිනුයි. වෙන වෙන ඩිනර් එක පාරටම තියන්නේ ඇයි? ඒකට හේතු මොනවාද මා දන්නේ නැහැ.” අගමැතිවරයා පැහැදිලි කළේ මද සිනහවක් ද සමගිනි.


‘‘ ගෝඨා තාම ඇමෙරිකානු පුරවැසිකමින් නිදහස් කර නැහැ. නිදහස් කළා නම් ඊළඟට එන ලැයිස්තුවේ නම වැටෙනවා. ඒ තරමට ඇ​ෙමරිකානු සිස්ටම් එක නව තාක්ෂණය එක්ක යන්නේ.”


‘‘ගෝඨා ඩමියක්ලු, නාම යෝජනා දෙන්න වෙන කෙනෙකු රහසේ සූදානම් කියලා පොහොට්ටුවේ අයටම දැන් ලොකු සැකයක් ඇති වෙලාලු තියෙන්නේ.,’’ දිනේෂ් වීරක්කොඩි කීවේ මේ ගැන අධ්‍යනය කළ කණ්ඩායමක අදහස් ගෙන හැර පාමිනි.