එකඟත්වයට එන්න එජාප දෙපිල අසමත්


එ.ජා.ප. නායකත්වය සඳහා රනිල් - සජිත් පාර්ශව දිගටම කඹ අදිද්දි සජිත් පාර්ශවය තම ඉදිරි දේශපාලනය සඳහා විකල්ප ක්‍රම සොයා බැලීමට ද අමතක කළේ නැත. ඒ අනුව එ.ජා.පෙ ට අයත් සෙසු පක්ෂ සමඟ පුළුල් සන්ධානය ස්ථාපිත කිරීම ඔවුන් ආරම්භ කළ අතර එහි නායකයා ලෙස දැනටම විපක්ෂ නායක සජිත් පත්වී හමාරය.
එමෙන්ම අගමැති අපේක්ෂකයා ලෙස ද ඔහු වඩාත් සුදුසු බව සන්ධානයේ බොහෝ පක්ෂවල අදහස වේ. ඒ අතර රනිල්-සජිත්-කරු තිදෙනා අතර මුහුණට මුහුණ සාකච්ඡා රැසක් සිදුව තිබේ.


බ්‍රහස්පතින්දා සවස සිරිකොත පැවැත්වෙන එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගිවීම සඳහා එජාප නායකයා කළින්ම එහි ගියේය. මන්ත්‍රීවරු සහ කෘත්‍යාධිකාරි සාමාජිකයෝ ඔහු හමුවී විවිධ අදහස් පළ කරන්න වූහ.
“මහ ඡන්දය අත ළඟ නිසා මේ අර්බුදය අදින්න එපා. මේ තරම් ඉක්මණින් මිනිස්සුන්ට එපා වූ ආණ්ඩුවක් තවත් නැහැ. ඔබතුමා දරදඩු වුනොත් ප්‍රශ්නය තවත් අවුල් වේවි.”, ජේ.සි අලවතුවල කීවේය.


“මා දරදඩු නැහැ. මහ ඡන්දය අතළඟ තිබෙද්දි නායකත්වය වෙනස් කරන්න ඉල්ලන එක ප්‍රායෝගික ද? ඒ පාර්ශවය දරදඩු වුනොත් මේ පැත්තේ අයත් දරදඩු වෙන්න බැරි නැහැ” නායකයා පිළිතුරු දුන්නේය.
“අද හවස මොකක්ද කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්න තීන්දුව වෙන්නේ? අදින් පස්සේ ප්‍රශ්න ඇති නොවන විදියට කෘත්‍යාධිකාරියේදි තීන්දුවක් ගනිමු.” ජේ.සී. අලවතුවල වැඩිදුරටත් කීවේය.


“අද කතා කරන්නේ එ.ජා.පෙ. සන්ධානය ගැනයි. සන්ධානයේ හැඩරුව සමබර ලෙස තනතුරු බෙදීම ආදිය ගැන කරුණු පැහැදිළි කරන්න ඕනෑ. අනිත් අයට සංශෝධන ගේන්නත් ඉඩ තිබෙන්න ඕනෑ.” නායකයා කීවේය.


“සජිතුයි, ඔබතුමයි ඊයේ රෑ ඔබේ නිවසේදි හමුවුනා නේද?” ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේය.


“ඔව්. සන්ධානය ගැනයි, කතා කළේ. අවසන් තීන්දුව අද කෘත්‍යාධිකාරියේදී ගන්න කතා කරන්න පුළුවනි.” කිරිඇල්ලට ලැබුණු ප්‍රතිචාරය එයය.
“මහනුවර අධිවේගයට ජොන්ස්ටන් අතුළු ආණ්ඩුව ගහන්නේ එයාලට ලකුණු දාගන්නයි. අධිවේගයේ මුල් කොටස රාජපක්ෂලා චීනයට පොරොන්දු වෙලා තිබුණා. අප චීනයටම ඒක දුන්නා. කාගේ හරි ඉගැන්වීමකට චීනය අපට පොලු තිබ්බා. ඉඩම් කට්ටි 20,000 මැන, වන්දි ගෙවලා දළදාව වඳින්න යන අධිවේගය හදන්න මා කැප වුනා.


“මීරිගම-කුරුණෑගල කි.මි 40 ක කොටස අප රටේ සල්ලිවලින් හැදුවා. මගේ ඇමැතිකම ගලවලා කබීර්ට දුන්නාම වැඩ හිර වුනා. මා හිටියා නම් ඔය කොටස ඉවර කර මහනුවරට පැය දෙකක් අඩුවෙන් යා හැකි අලුත් පාර නිර්මාණය කරනවා. තුන්වැනි කොටසට ජපානය පස්සෙ ගිහින් අප අසරණ වුණා.” කිරිඇල්ල කීවේ මදක් නෝක්කාඩුවටය.
“ජපානය ඔය කොටසේ කොන්ත්‍රත්තුව දිගටම ඉල්ලුවා, ඒකයි වුනේ. අන්තිමට ඉටු කරන්න බැරි කොන්දේසිත් දැම්මා.”, එ.ජා.ප. නායකයා කීවේය.


“එ.ජා.ප ය බැදුම්කර වලින් බිලියන 10 ක අලාභය කළා කියලයි චෝදනාව තිබෙන්නේ. පර්පචුවෙල් සමාගමේ බිලියන 12 ක් මහ බැංකුව පවරා ගත්ත නිසා රටට පාඩුවක් නැහැ. ඒත් 2002 සිට 2015 දක්වා රාජපක්ෂලා බිලියන 5600 ක බැදුම්කර නිකුත් කර රටට විශාල පාඩුවක් කරලා. මිනිස්සුන්ගේ දහඩියෙන් ගොඩ නැඟුණු අර්ථ සාධකයෙනුත් බිලියන 57 ක් පාඩු කරලා. දැන් වෝහාරික වාර්තාවට බය වෙලා ඒක පිළිගන්නේ නැතිලු. විගණකාධිපති ඒක කළේ නැහැලු. මේවා මාර විහිළු. කබ්රාල් හා රාජපක්ෂලා වෝහාරිකය ගැන බය වෙලා.”, කිරිඇල්ල කීවේය.


“මහ බැංකුව ලෝකයේ ඉහළම සුදුස්සන් දාලා එයාලගේ අභ්‍යන්තර පරීක්ෂණයකුයි, මේ කර තිබෙන්නේ. මෙවැනි වාර්තා සැකසෙන්නේ නඩු සදහායි. විගණකාධිපති කරන්නේ පිටස්තර විගණන විතරයි.”, එ.ජා.ප නායකයා පිළිතුරු දුන්නේය.
“අලුත් සන්ධානේ ගොඩ නැගුනාම එ.ජා.ප යත් ඒකට ඇතුල්වෙන්න ඕනෑ නේද?”, චම්පිකා ප්‍රේමදාස ඇසුවේ එවැන්නකි.
“එ.ජා.ප ය එතනට යන්න කළින් වෙන්නේ මොකක් ද කියා පැහැදිලි කරගන්න වෙනවා.”, එ.ජා.ප නායකයා කීවේය.
“ලකුණ මොකක්ද? අලුත් ලකුණක් ගැනත් ආරංචියි”, චම්පිකා ප්‍රේමදාස යළිත් විමසීය.


“අලියා හා හංසයා තමයි, අපේ අයට පුරුදු. වෙන එකක් ආවොත් මුල ඉදලා කැම්පේන් කරන්න වෙනවා. මේක අපේක්ෂකයන්ගේ ඡන්දය නිසා එයාලා ඒ වෙනුවෙන් වැඩි අවධානය දක්වන්න ඕනෑ.”, එ.ජා.ප නායකයා කීවේය.
“මන්ත්‍රීලා පනස් ගාණක් දෙපැත්තටම නැතුව විරසකය ඉවර කරන්න ස්වාධීනව කටයුතු කරනවා. ඔබතුමායි, සජිත් පාර්ශ්වයයි දෙගොල්ලම ඒ තත්ත්වය හිතට ගන්න ඕනෑ.”, කේ.කේ පියදාසගේ මතය වූවේ එයය.
“ෆොන්සේකායි අජිත් පෙරේරාගෙයි කෘත්‍යාධිකාරියෙන් ඉවත් කළේ ඇයි? මිනිස්සු ඒ ගැන දැඩි උනන්දුවක් දක්වනවා.” කේ.කේ පියදාස වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
“ෆොන්සේකා උතුරු නැගෙනහිරට කළ උදව්වලට විරුද්ධව කතා කළා. ඒ මිනිස්සුන්ට ඒ ගැන හිතේ අමාරුව ඇති. සජිත්ට ඡන්ද ලක්ෂ 8 ක් ඒ මිනිස්සු දුන්නා. අජිත් පෙරේරාගේ නම් පරණ සිද්ධියක්. ඔහුට ඕනෑ නම් එය නිවැරදි කරගත හැකියි.”, නායකයා කීවේය.
“ඉන්දියන් මහ කොමසාරිස්ගේ සැමරුම වෙලාවේ මහින්දයි ගෝඨාභයයි ඔබතුමාට මොනවද කතා කළේ.”, දයා ගමගේ විමසීය.
“ආගිය තොරතුරු කතා කළේ. එහෙම තැනක දේශපාලනය කතා කරන්න පුළුවන්ද? මා ඇතුල්වෙන කොට ගෝඨා එළියට යනවා. එයාට අතට අත දුන්නා විතරයි.”, නායකයා කීවේය.


එක්සත් ජාතික පක්ෂයට පසුගිය සතිය බෙහෙවින් තීරණාත්මක එකක් විය. එයට මූලික කරුණු දෙකක් හේතුවී තිබුණි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සන්ධානයක් බිහි කිරීමත් කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් සිව් දෙනෙක් ඉවත් කිරීමට පියවර ගැනීමත්ය.


අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා, රෝසි සේනානායක, ඉමිටියාස් බාකිර් මාකර් යන මහත්ම මහත්මීන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන බව නිල වශයෙන් දැනුම් දී නොතිබුන නමුත් ඔවුන්ට පසුගිය බ්‍රහස්පතින්දා සවස තුනට පැවැත්වූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ආරාධනා කර නොතිබුණු බව සඳහන්වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ කොටුවේ පිහිටි ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවට එජාපයේ පළාත් පාලන නියෝජිතයන් කැඳවා තිබුණි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම නියෝජිත සමුළුව පැවැත්විණි. එහිදී රවි සමරවීර මහතා පිළිගැනීමේ කතාවද හරීන් ප්‍රනාන්දු මහතා සමුළුවේ අරමුණද, පැහැදිලි කළහ. පක්ෂ නායකයන් ලෙස පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, සරත් ෆොන්සේකා යන මහත්වරුන් කතා කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා කතා කළේය. තමන්ට ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම ගැන ස්තුති කළ ඔහු ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානයකින් ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය.
මේ අතර සජිත් පාර්ශ්වයේ කොටස්කරුවන්ට තරමක සැනසිලිදායක තත්ත්වයක් මුල් දින කීපය තුළ උදාවී තිබුණි. එයට හේතුව වූයේ මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාව සාර්ථක ස්වරූපයක් ගෙන තිබීමය.


එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිගටම කටයුතු කිරීමටත් සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමටත් එකඟවී ඇත. සන්ධානයේ ලේකම් පත් කිරීමේ බලය සජිත් ප්‍රේමදාස මහතාට පැවැරීමටත් මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීම මණ්ඩලයකින් සිදු කිරීමටත් කරන ලද යෝජනාවලට රනිල් වික්‍රමසිංහ මහතා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව එම සාකච්ඡාවට සහභාගි වූ අයගේ අදහස වී තිබුණි. එම සාකච්ඡාවේ තොරතුරු හිතවතුන්ට දැනුම් දීම විපක්ෂ නායක කාර්යාලයේදී පසුවදා සිදුවිය. අශෝක් අබේසිංහ, තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර, රවි සමරවීර, අජිත් පී. පෙරේරා, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එස්. එම්. මරික්කාර් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගිවී සිටියහ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ යෝජනාවලට යම් එකඟතාවක් දැක්වීම සියලු දෙනාගේම ප්‍රීතියට හේතුවී තිබුණි.
ඉන් පසුව කතානායක නිල නිවසේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර තීරණාත්මක සාකච්ඡාව පැවැත්වුණේ ඉකුත් බදාදාය. මෙම සාකච්ඡාවට අඩිතාලම දැමුවේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාය. එක්සත් ජාතික පක්ෂය යළි නව මාවතකට පිවිසෙනු ඇතැයි පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව වුවත් එදින ඒ අපේක්ෂාවත් බිඳ වැටුණු බව දැන ගන්නට ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් මතයක සිටීම ඔවුන්ගේ මෙම අපේක්ෂාභංගත්වයට හේතුවිය. මහ මැතිවරණයකදී අපේක්ෂකයන් තේරීම එක්සත් ජාතික පක්ෂය විසින්ම සිදු කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස විය. එකඟතාවකට නැති අපැහැදිලි කරුණු ඉදිරිපත් කළ නිසා එම සාකච්ඡා අසාර්ථක වූ බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබුණි.


කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා නියමිත ක්‍රමවේදයෙන් තොරව සාමාජිකයන් බඳවා ගැනීම පිළිබඳවද සජිත් ප්‍රේමදාස මහතා සිය නොසතුට පළකර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේදි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හමුවිය. දැඩි ලෙස කළකිරීමකට පත්වූ ස්වරූපයෙන් තිස්ස අත්තනායක මහතා සමඟ කතා කළ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ පාරත් ගේම් එකක් ගහලා ප්‍රශ්නය මග ඇරියා. අපි තවත් නම් සාකච්ඡාවලට යන්නේ නැහැ. අපි සන්ධානය හදලා අපේ වැඩ කරගෙන යමු.’’ යනුවෙනි.

පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත මන්දිරයේදී රැස් විය. රනිල් වික්‍රමසිංහ මහතා මූලිකත්වය ගත් අතර කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 59 දෙනාගෙන් 16 දෙනෙක්ම රැස්වීමට සහභාගිවී සිටියේ නැත. නොපැමිණි 16 දෙනාගෙන් 6 දෙනෙක් අතිශයින් පෞද්ගලික හේතු නිසා මේ අවස්ථාවට සහභාගි විය නොහැකි බව කල් ඇතිව දැනුම්දී තිබිණ.


එම සාකච්ඡාවේ මූලික හරය වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටත් පක්ෂ නායකත්වය දැරීමය. සජිත් ප්‍රේමදාස මහතාට මහ මැතිවරණය වෙනුවෙන් පිහිටුවන සන්ධානයේ නායකත්වය ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව මෙහිදී ඒකමතිකව සම්මත විය. එහිදී සාමාජිකයකු සජිත් මේ යෝජනාව පිළිනොගතහොත් ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව විමසීමක් කළේය. එහිදි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සතියක් ඇතුළත සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන බ්‍රහස්පතින්දා යළි රැස්වී විකල්ප තීරණයක් ගන්නා බවය.


මෙහිදී මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ සජිත් ජනාධිපති අපේක්ෂකධුරය සඳහා යෝජනා කළේ තමන් බවය. එහෙත් සමබරතාවයෙන් පක්ෂය ඉදිරියටත් පවත්වා ගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තිබිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.


ජෝන් අමරතුංග මහතා කීවේ එන්නෙ නැති අයට නාමයෝජනා දෙන්න අවශ්‍ය නැති බවත් ඒ සඳහා සුදුස්සන් ඕනෑ තරම් සිටින බවත්ය.
රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති තරගයෙන් පැරදුන අයකුට මේ තනතුරු දීමේ හේතුව කුමක්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියේ නැහැ සජිත්ට දෙන්න ඕනෑ යනුවෙනි.


අජිත් පී. පෙරේරා හා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය. පක්ෂයේ සාමාජිකයන් වශයෙන් නොගැලපෙන කතා කිරීම නිසා ඔවුන් මෙම සාකච්ඡාවට කැඳවූවේ නැති බව එහිදී කියැවිණි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා කැඳවා මේ ප්‍රශ්නය අවසන් කරන බවද සාකච්ඡා විය.

 

-ගජබා-